වංචා දූෂණයට එරෙහිව මේ ආණ්ඩුවත් පියවර ගන්නේ නෑ… ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

47

තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න දිවි හිමියෙන් කටයුතු කළ කිහිපදෙනෙක් හිටියා

චීන පොහොරවලට මිලියන අටක් ගෙවන්න වුණේකොවිඞ් ප‍්‍රශ්නය නිසා නොවෙයි

මේ රටේ ආර්ථික දේශපාලන අර්බුදය ගැන අපට හොඳ කියැවීමක් තියෙනවා

ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තර නැතිවෙද්දී ආණ්ඩු කළේ කොයි පැත්තට හරි බෝලෙ පාස් කරන එක තෙල් ටැංකි දෙන්න ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධ කිරීම රට නොමග යවන පට්ටපල් බේගලයක් අධිරාජ්‍යවාදීන්ගෙන් මේ රට නිදහස් වීමෙන් පසු දරුණුම ආර්ථික කඩාවැටීමකට මුහුණ දෙමින් තිබේ. එම කඩා වැටීම හමුවේ මිත‍්‍ර වෙසින් එන සේරිවාණිජලා රටේ වටිනා සම්පත් එකින් එකට ලංසු තබමින් ශ‍්‍රී ලංකාව තමන්ගේ සූදු පිටියක් බවට පත්කර ගනිමින් තිබෙන බවටද දසතින් චෝදනා නඟේ. මේ සියල්ල මේ රටේ හෙට උපදින පරපුරේ අනාගතය වෙනුවෙන් ගෙනෙන්නේ සුබවාදී සංඥාවක් නම් නොවේ. සැබෑ ලෙසම ශී‍්‍ර ලංකාව ඇත්තේ එවැනි අර්බුදකාරී අවස්ථාවක නම් එවැනි සංකීර්ණ අවස්ථාවකදී මේ රටේ වාමාංශික දේශපාලන දහරාව නියෝජනය කරන ජ.වි.පෙ. කාර්යභාරය කුමක්ද. ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් අපි මුලින්ම ඒ ගැන විමසුවෙමු.

මේ රට අද පවතින ආර්ථික දේශපාන අර්බුදය ගැන අපිට හොඳ කියවීමක් තිබෙනවා. පහුගිය අවුරුදු 73 ක කාලයේ මේ රටේ ගෙනගිය වැරදි සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට කියනවා විතරක් නෙවෙයි අපි රට මෙතනින් ගොඩ ගැනීමේ විසඳුමක් මේ වන විට ජනගත කරමින් ඉන්නෙ. වාමාංශික පක්ෂයක් හැටියට අපිට මේ මොහොතේදී කළ හැකි වන්නේ මේ රට ගොඩගැනීමට සමත් විසඳුමක් ඉදිරිපත් කරල ජනතාව සංවිධානය කිරීම. ජාතික ජනබලවේගයේ කටයුතු කඩිනම් කරමින් දැන් ඉදිරියට අරන් යන්නෙ ඒකයි. මේ වසරේ පළමු මාස හතරෙදි සෑම ගමකටම අපි කොට්ඨාශ සභාවක් පිහිටුවනවා. දිස්ත‍්‍රික් විධායක සභා පිහිටුවීමත් දැන් ආරම්භ කරල තියෙන්නෙ. මේ විදියට මේ මොහොතේ අපි කරමින් ඉන්නේ මතවාදීව ජනතාව සූදානම් කිරීම සහ ජනතාව සංවිධානය කිරීම.

‘‘අපි සූදානම්, පාරට එන්න’’ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනතාවට එසේ කියා තිබුණා. ජ.වි.ප. ය මේ සූදානම් වෙන්නේ කුමක් සඳහාද?

මේ දවස්වල අපේ කොට්ඨාශ සහ දිස්ත‍්‍රික් සමුළු පවත්වාගෙන යද්දී ජනතාව අපෙන් අහනවා අපි ජනතාවට කියනවා ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් එන්නෙ මෙච්චර කාලෙකින් කියල. ජනතාව කියනවා එච්චර කාලයක් අපිට ඉන්න බෑ කියල. එහෙමනම් මේකට උත්තරය තියෙන්නෙ ජනතාවත් එක්ක එකතුවෙලා ඉක්මනට මේ ආණ්ඩුව පලවාහැරීමට කටයුතු කරන එක. ඒ වගේම රට ගොඩනැඟීමේ ස්ථිරසාර විසඳුමකට සූදානම් වන එක. අනුර කුමාර දිසානායක සහොදරයා කිව්වේ.., ‘‘ජනතාව සූදානම් නම් අපි ලෑස්තියි මේ රටේ බල හුවමාරුවකට යන්න. බලය අරන් මේ රට ගොඩනඟමුයි’’ කියන එක.

පාරට බැහැල කරන ජන අරගලයකින් තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවක් ගෙදර යවන්න පුළුවන්ද?

ලෝකයේ දේශපාලන අද්දැකීම් එහෙම තියෙනවා. සමහර රටවල සියයට 60, 70 වේ ජනවරමකින් බලයට ආව ආණ්ඩු කෙටි කාලයකින් ජනතාව පාරට බැහැල බලයෙන් පහ කළ අවස්ථා තියෙනවා. මේ කිසිවක් අපි ප‍්‍රතික්ෂේප කළ යුතු වන්නේ නෑ. මේ වෙලාවේ කියන්න බෑ ඊළඟ මාස කිහිපයේදී නැත්නම් මේ වසර අවසානයේදී සිදුකරන ජන අරගලයකින්, පාරට බැහැල කරන උද්ඝෝෂණයකින් මේ ආණ්ඩුව පළවා හරිනවා කියල. එය තීන්දු කළ හැකි වන්නේ ඒ මොහොතේ පවතින තත්ත්වය සහ ජනතාව ඊට දක්වන ප‍්‍රතිචාරය මතයි. ජනතාව ඉල්ලා හිටිනව නම් අපි ඒකට සූදානම්. ඒක ජනතාවට තීන්දු කරන්න ඉඩ දීලා අපි ඉන්නෙ.

දේශපාලන ඉතිහාසයේදී ආණ්ඩු බලයෙන් පහ කිරීම සහ ආණ්ඩු බලයට පැමිණ වීමේ භූමිකාවයි ජ.වී.පෙ, රඟදක්වා තිබෙන්නේ. ඉදිරියටත් වෙනත් බලවේග බලයට ගෙන ඒමේ භූමිකාවේද ජ.වි.පෙ. ස්ථානගත වෙන්නෙ?

බලය ලබාගන්න ආසන්න පක්ෂයක් නොවී තියන තාක්කල් ඕනෑම මැතිවරණයකදී අපේ භූමිකාව බලය ලබාගන්නා හෝ පරාජයට පත්වෙන පක්ෂයට බලපානවා. අපි ඡන්දයකට ඉදිරිපත් වුණත් කෙනකුට වාසි තව කෙනකුට අවාසියි. අපි ඉදිරිපත් නොවුණත් කෙනකුට වාසියි කෙනකුට අවාසියි. අපි උදව් කළ ජනාධිපති අපේක්ෂකයන් දිනලත් තියෙනවා, පැරදිලත් තියෙනවා. මේ රටේ දේශපාලනයේදී අපි ආණුඩුවක් ඇතුළට ගියේ 2004 සහ 2005 සන්ධාන ආණ්ඩුවට විතරයි. දැන් ඇතිවෙල තියෙන්නෙ වෙනස් තත්ත්වයක්. ජනතාව දැන් ජාතික ජන බලවේගයට බලය දෙන්ඩ සූදානම්. ඉතින් දැන් තියෙන්නෙ අපිට බලය ලබා ගැනීම සඳහා විශ්වාසය තහවුරු කරන එක. ඒ නිසා ඉදිරියට එන ඕනෑම මැතිවරණයකදී තවත් කෙනෙක් බලයට ගේන්න හෝ බලයෙන් පහ කරනවාට වඩා ජාතික ජන බලවේගයට බලය ලබාගැනීමටයි අපි කටයුතු කරන්නෙ.

කොයිම හෝ අවස්ථාවක ජ.වි.පෙ. ඉහළ නායකත්වය කතාවෙලා තියනවද ජ. වි. පෙ. හැමවිටම ඉන්න ඕන විපක්ෂයේ, විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩු විවේචනය කිරීමට සීමා වෙන්ඩ ඕන කියල?

කිසිසේත්ම නෑ. 1965 ජ.වි.පෙ. ආරම්භ කරනකොට අපේ මුල් සාමාජිකයන් හත් දෙනෙක් සිටිනකොට පවා අපේ පක්ෂය ගොඩනැඟීමේ අරමුණ ඉතා පැහැදිලිව කතා බහ කරල ලියා තිබෙනවා. ඒ තමයි මේ සමාජය වෙනස් කිරීම සඳහා වෙච්ච බලය ලබා ගැනීම. ජ.වි.පෙ. බිහිවෙන්නේම බලය ලබාගෙන මේ සමාජ ක‍්‍රමය වෙනස් කරන්න. ඒ නිසා ඔය කතාව ජ.වි.පෙ. පිහිටුවීමේ අරමුණටම පටහැනි එකක්.

ඒත් රටේ දේශපාලන බලය හුවමාරු වෙනවනම් ජනාධිපතිවරණයකට වසර තුනක් සහ මහ මැතිවරණයකට වසර හතරක් තියෙනවා?

මැතිවරණයක් සඳහා ජනතාව සූදානම් කරන අතරෙදි සමහර විට ජනතාව ආණ්ඩු බලයක් වෙනස් කිරීම සඳහා යන්නත් ඉඩ තියෙනවා. අපිට මේ මොහොතෙදී ඒක සැළසුම් කරන්න බැහැ. නමුත් රටේ ජනතාවගේ ඇතිවෙන පීඩනය, අපි කරන සංවිධාන කටයුතු, ඒ සියල්ල මත තමයි එවැනි තත්ත්වයක් නිර්මාණය වනවාද නැද්ද යන්න තීන්දු වන්නෙ. කෙසේ නමුත් ජනතාව තුළ තිබෙන පීඩනය හුදු ආණ්ඩු මාරුවකින් එහා ගිහිල්ලා, රට ගොඩනැඟීමට සමත් බලයක් දක්වා වර්ධනය කරගැනීමට නම් අනිවාර්යයෙන්ම අපේ බිම් මට්ටමේ සංවිධාන යාන්ත‍්‍රණය ශක්තිමත් කළ යුතු වෙනවා. අපි වැඩි බරක් ඒ පැත්තට තියල තියෙන්නෙ ඒකයි.

මේ තිබෙන ආර්ථික අර්බුදයට හේතුව වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නම්, නැවත ඡන්දයක් එන තෙක් මේ ආර්ථික පීඩනය ජනතාවට දරාගෙන ඉන්න සිදු වුණොත් ඒක දිගු කාලයක්. විපක්ෂය විදියට පවතින තත්ත්වය තුළ මේ පීඩනයෙන් ජනතාව ගොඩ දාන්න පුළුවන් කාර්ය භාරයක් නැතිද?

විවිධ පැලැස්තර විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ආණ්ඩු පක්ෂයෙන් කොටසක් කඩාගෙන ගොස් ආණ්ඩුවක් හදාගන්න එක. එවැනි දේවල් ඉතිහාසය පුරා සිදුවුණා. 2018 දින පනස්දෙකේ ආණ්ඩුව හැදුනේ පාර්ලිමේනතුවේ ඔළුගෙඩි හුවමාරුවකින්. රටේ ප‍්‍රධාන පක්ෂ වටා එකතු වෙලා ආණ්ඩු හැදුණා. ආණ්ඩු මාරුකරන විවිධාකාර ක‍්‍රම මේ රටේ ඉතිහාසය පුරා අත්හදා බලල තියෙනවා. ඩොලර් හිඟය, භාණ්ඩ ආනයන සීමා කිරීම, භාණ්ඩ සඳහා පෝලිම්, කෘෂිකර්මාන්තය කඩා වැටීම, රැකියා පෝලිම් මේ සියල්ලෙම ඒ ඒ ආණ්ඩු මාරුවුණ විදිය සහ ඒ ආණ්ඩු කිරීමේ ප‍්‍රතිඵලය තමා මේ. දැන් කළ යුතු වෙනස කලබල නොවී ඔළු ගෙඩි හුවමාරුවකට එහා ගිය රටේ ආර්ථික ප‍්‍රතිපත්තිමය වෙනසකට යා යුතුව තිබෙනවා. එහෙම නැත්නම් මේ ජනාධිපති වෙනුවට වෙන ජනාධිපති කෙනෙක් ඇමැති මණ්ඩලයට වෙන ඇමැති මණ්ඩලයක් වුණොත් වෙන්නෙ ජනතාව කබලෙන් ලිපට වැටෙන එකයි. අපේ උත්සහය ඉතිහාසයේ ජනතාව සිදුකරගන්නා ලද අත්වැරදීම් නොවන තිරසාර විසඳුමකට රට අරගෙන යන එක.

ජනතාව හමුවේ ලබාදුන් පොරොන්දු හරියාකාරව ඉටුකර ගැනීමට නොහැකි වුණේ ගෝලීය වසංගතය සහ නිලධාරීන්ගෙන් සහයක් නොමැති වීම නිසා බවත් ඉදිරි වසර තුනේදී ඒ සියල්ල ඉටු කරන බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කර තිබෙනවා?

ජනාධිපතිවරයාගේ ඔය ප‍්‍රකාශය පිළිබඳ ජනතාවට යම් හෝ අපේක්ෂාවක් තියාගන්න තිබුණා ගතවුණ අවුරුදු දෙකේදී ඔහු මේ රටට අවශ්‍ය කරන විදියේ නායකත්වයක් සැපයුවානම්. චීන පොහොර වලින් කඳුළක්වත් රටට නොගෙන ඩොලර් මිලියන 8.35 ගෙවන එකට කොවිඞ් සම්බන්ධයක් නෑ. ඉන්දියාවෙන් නැනෝ යූරියා බෝතල් ලක්ෂ 42 ගෙන්නනකොට, ඒවා ඉන්දියාවේ මිල වගේ හතර ගුණයක් මෙහෙ මිල වෙන එකට කොවිඞ් සම්බන්ධයක් නෑ. කිලෝ එකට රුපියල් පනහකට තිබුණ සීනි බද්ද ශත විසිපහට අඩු කරල භාණ්ඩාගාරයට රුපියල් කෝටි 1590 අහිමිකර ගන්න එකට කොවිඞ් සම්බන්ධයක් නෑ. පොල්තෙල් ගෙනල්ලා භාණ්ඩාගාරයට මුදල් අහිමි කරන්නත් විෂ පොල්තෙල් ගෙන්වන එකටත් කොවිඞ් සම්බන්ධයක් නෑ. මේ වගේ කරුණු ගොඩක් තියනවා කොවිඞ්වල කිසිම සම්බන්ධයක් නැතිව කරුණු. ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවකදී ඒ වංචා දූෂණයට එරෙහිව ක‍්‍රියාමාර්ග අරන් නෑ. කෙරවලපිටිය බලාගාරය විකිණීමට, ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි වසර පනහකට ඉන්දියාවට නීත්‍යානුකූලව පැවරීමට කොවිඩි සම්බන්ධ නෑ. ඒ නිසා මේ හැම එකක්ම කොවිඩි වලින් වහන්න බෑ. බලයට පත්වුණ ආණ්ඩු කරේම ජනතාවගේ ප‍්‍රශ්න වලට තමන් ගාව උත්තර නැති වෙනකොට කොයි පැත්තට හරි බෝලෙ පාස් කරන එක. අසූවේ මැද භාගයේ ඉඳල 2009 දක්වා බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම වැඩක් කරන්න බැරි වෙද්දි මුවා වුණේ යුද්ධයට. යුද්ධය අවසන් වුණාම මිනිස්සු හිතුවෙ යුද්ධයට ගිය මුදල් රටට වාසියක් වෙයි කියල. ඒක එහෙම වුණේ නෑ. කොවිඞ් කියන ගෝලීය වසංගතය හමුවේ අපේ කලාපයේ අනිකුත් රටවල් ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. අපිට විතරක් කොහොමද ඉතින් මේ හැම දේකටම කොවිඞ් ප‍්‍රශ්නයක් වුණේ.

තෙල් ටැංකි ඉන්දියාවට දුන්නාය කියා ඔබලා චෝදනා කළත් උදය ගම්මන්පිල ඇමැතිවරයා පුණ පුනා කියන්නෙ ඉන්දියාවට අත්පත් වෙන්න තිබුණ තෙල් ටැංකි උපායශීලීව නැවත ලබාගත්ත එකයි මෙයින් සිදුවුණේ කියලනෙ?

ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදෙන්න දිවි හිමියෙන් කටයුතු කළ කිහිප දෙනෙක් හිටියා. ඒ අය පවා ඉන්දු ලංකා ගිවිසුමෙන් තෙල් ටැංකි ඉන්දියාවට පැවරුව බව කියා නෑ. 2003 පෙබරවාරි ඉන්දියන් ඔයිල් සමාගමත් එක්ක ගිවිසුම අත්සන් කරන වෙලාවෙදිවත් ඒ ආණ්ඩුවේ හිටපු නායකයෝ කිව්වෙ නෑ ඉන්දු ලංකා ගිවිසුමේ මෙහෙම සඳහනක් තියෙන නිසා තෙල් ටැංකි දෙන්න වෙනවා කියල. අද ගම්මන්පිල 2003 නුත් එහාට ගිහිල්ලා අසූ හතේ ඉන්දු ලංකා ගිවිසුමත් සම්බන්ධ කරනවා තෙල් ටැංකි දෙන්ඩ. මේක රට නොමඟ යවන හිතා මතා කියන ලද පට්ටපල් බේගලයක්. එක පැත්තකින් මේක ජනතා ද්‍රෝහී ප‍්‍රකාශයක්. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේම ඇඳිරි නීතිය දාගෙන, ජනතාවට හොරෙන්, කැබිනට් එකටත් කියන්නෙ නැතිව ඔය කියන තෙල් ටැංකි පැවරීමක් ගැන ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් වෙන්නෙත් නෑ, ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් දේවල් මේ රටේ කි‍්‍රයාත්මක වෙලත් නෑ. උදාහරණයකට උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරල වසරකින් ජනමත විචාරණයක් තියනවා කියලා. ගිවිසුමේ තියෙනවා උතුරු නැගෙනහිර ඓතිහාසික දෙමළ වාසභූමි කියල පිළිගන්න කියල. ඒවා වුණෙත් නෑ. එහෙම තිබියදී ගිවිසුමට අමුණපු ලිපියක තියෙන එකක් අරගෙන ගම්මන්පිල කියනවා මේ තෙල් ටැංකි ඉන්දියාවට පවරන්න ඕන ඒකට කාල සීමාවක් නෑ කියලා. ඇත්තටම ගම්මන්පිල හැසිරෙන්නේ ලංකාවේ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකුට වඩා ඉන්දියන් ඔයිල් සමාගමේ සේල්ස් රෙප් කෙනෙක් හැටියට.

ඔහු එසේ කරන්නේ අපට මේ තෙල් ටැංකි ටික යළි පවරා ගැනීමේ පරිසරයක් නිර්මාණය වී තිබියදී. 2003 ඇතිකර ගත්ත ගිවිසුමේ තියනවා මාස හයක් ඇතුළතදී බදු ගිවිසුමක් ගහන්න ඕන කියල. ඒත් ඒ බදු ගිවිසුම ගැහුවෙ නෑ. අනික 2003 ගිවිසුමේ ඛනිජ තෙල් සංස්ථාව පාර්ශ්වකරුවෙක් විදියට ඇතුළත් වුණත් ඛනිජ තෙල් සංස්ථාවට මේ තෙල් ටැංකිවල භූමිය පැවරිල නෑ. ඒ වගේම 2003 ගිවිසුමෙන් 2003 දෙසැම්බර් සිට 2023 දෙසැම්බර් දක්වා ඉන්දියන් ඔයිල් සමාගමට තෙල් ගෙන්වීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට ආනයන බලපත‍්‍රයක් ලබා දුන්නා. ඒ ආදායම් බලපත‍්‍රය 2023 දෙසැම්බර් වලින් අවසන් වෙනවා. එතකොට ඕනිනම් ශ‍්‍රී ලංකා ආණ්ඩුව තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් බලපත‍්‍රය අහෝසි වුණාම ඉන්දියන් ඔයිල් සමාගමට තෙල් ලංකාවට ගෙනත් ගබඩා කරන්න බෑ කියලා. මෙන්න මේ වාසිදායක අවස්ථාව ඉන්දියාවත් එක්ක සාකච්ඡා නොකර ඩොලර් මිලියන පන්සීයක් ඉන්දියාවෙන් අරන් වසර පනහකට තෙල් ටැංකි ඉන්දියන් ඔයිල් සමාගමට දෙන්නයි මේ කටයුතු කරන්නේ.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment