විගණනනට එන නිලධාරීන්ට එලවලු මල්ලක් දීලා යට ගහනවා – ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
මේ රටේ කෘෂිකර්මාන්තයට කුමන හෝ අකටයුත්තක් සිදුවේනම් පක්‍ෂ, පාට භේදයෙන් තොරව ඊට එරෙහිව පෙරමුණේම ගමන් කරන එමෙන්ම සැමදා ගොවියාගේ ප්‍රශ්න, ගැටලු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින චරිතයක් වේ නම් ඒ අනුරාධ තෙන්නකෝන්ය. හේ ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයාය. නිලතල ඇතත් නැතත් ඔහු සැමදා ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටියේය. එබැවින් අද ‘දිවයින – කතිකා’ ඔහු වෙනුවෙන් වෙන්කෙරේ. පහතින් පෙළගැසෙන්නේ ඔහු හා කෙරුණු එම සම්මුඛ සාකච්ඡාවයි.
● ටෙන්ඩර් මගඩි, වංචා දූෂණ පිළිබඳ ඔබ හැමදාම චෝදනා කරනව. නමුත් අද වන තුරු ඒවා ඔප්පු කිරීමට සූදානම් වුණු බවක් නම් දකින්නට ලැබුණෙ නැහැ. මොකක්ද ඒ පිළිබඳ කියන්න තියෙන්නෙ.
මම බිලියන ගණනක් නිකරුණේ ගෙවපු චීන පොහොර නැව පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළා. පැය 4ක් සාක්‍ෂි දුන්නා. නමුත් ක්‍රියාත්මක නොවීම අපේ වරදක් නෙවෙයි. අල්ලස් කොමිසම කියන්නෙ නිකන්ම නිකන් පඩි ගන්න නිලධාරි මණ්ඩලයක් නඩත්තු වන සුදු අලියෙක්. බිඳුණුවැව ගොවිපළේ සිදුවන වංචා දූෂණ හෙළිදරව් කළහම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, පළාත් ආණ්ඩුකාරවරයා, ඇමැතිවරයා කළේ වංචා දූෂණ හොයනවා වෙනුවට පණිවුඩකාරයාට වෙඩි තැබීමයි. මහඉලුප්පල්ලම ගොවිපළෙත් එහෙමයි.
● ඒ කියන්නෙ ඔබ සාක්‍ෂි නැතුවද චෝදනා කරන්නෙ?
සාක්‍ෂි සහිතව. සාක්‍ෂි සහිතව ඔප්පු කරාට ඒවට නිලධාරීන් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. නමුත් රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්ක්‍ෂමතාව, දූෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට තරම් ප්‍රමාණවත් අණපනත් නැහැ. යන්න තියෙන එකම තැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව. ඒකට ගියත් වැඩක් නැහැ. ඒක හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්. මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම නිලධාරියෙකුට දඬුවම් දීල නැහැ. මාරුවීම් කරන්නෙ නැහැ. චෝදනා ලබන අයට දඬුවම් වෙනුවට ලැබෙන්නෙ උසස්වීම්. විගණනය කරත් කරන්නේ අදාළ අමාත්‍යාංශයේ විගණන අංශයෙන්. ඒ අයට එළවළු මල්ලක් හරි මොනවහරි අල්ලස් දීල මේව යට ගහනව. අපට කරන්න පුළුවන් සාක්‍ෂි සහිතව රටට, මාධ්‍යයට හෙළිදරව් කිරීම පමණයි.
නීතිය ඉදිරියට ගියාට ඒව යටගහනව. අපට මේ කිසි කෙනෙක් එක්ක පෞද්ගලික කෝන්තර නැහැ. මේ රටේ ගොවියා හිඟන්නෙක් නෙවෙයි. නමුත් මේ වෙනකොට ඒ තැනට ඇදල දාල. වෙන රටවල පොහොසත්ම සමාජ ස්ථරය ගොවියා. අපේ රටේ ගොවියා විදෙස් රටවලට, විදෙස් බැංකුවලට, ආධාර දෙන සංවිධානවලට පෙන්න පෙන්නා උකස් කරල ණය ගන්නව.හොඳම උදාහරණය ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන අටක් දුන්න දිස්ත්‍රික්ක 7ක වී වගා කරන අඩු ආදායම්ලාභී ගොවීන් දොළොස් ලක්‍ෂයකට රුපියල් 15000 බැගින් දෙන්න. මේව බෙදන්නෙ යාපනය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, වවුනියාව, මොනරාගල වගේ දිස්ත්‍රික්ක හතකට. නමුත් බහුලව වී වගා කරන අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, අම්පාර වගේ දිස්ත්‍රික්කවලට ගොවීන්ට දෙන්නෙ නැහැ. බොරු කියල ආණ්ඩුව මිනිස්සුන්ව රවට්ටනව. අවුරුද්දකට රුපියල් 15000 කියන්නෙ දිනකට ලැබෙන්නෙ රුපියල් 41.55ක්. ඒකෙන් ගොවියට බුලත් විටක්වත් කන්න බැහැ.
● ගොවිජන සංවිධානයක් ලෙස ඔබ ඔබේ වගකීම ඉෂ්ට කළා කියලා හිතනවද?
ඔව්. අපි හැමදාමත් ගොවීන් වෙනුවෙන් පෙනී හිටිය. මේ වනවිට අක්කරයක වී වගා කරන්න ලක්‍ෂ දෙකකට වඩා යනව. ඒක නිසා වී කිලෝවක සහතික මිල රුපියල් 150ක් කරන්න කියල අපි ඉල්ලා සිටිය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සතුව තවමත් තියෙන්නේ 2015 හදපු මිල ගණන්. ඒගොල්ලන්ට අනුව අක්කරයක් වගාකරන්න යන්නේ රුපියල් 46000යි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙ තියෙනව කෘෂි ආර්ථික සංගණන ඒකකයක්. ගන්නෝරුවෙත් තියෙනව කෘෂි ආර්ථික සංගණන ඒකකයක්. මේ හැමෝගාවම තියෙන්නෙ 2015 සංඛ්‍යා දත්ත. අපි ගොවිජන ජාතික එකමුතුව වශයෙන් මේ හැම දෙයක් වෙනුවෙන්ම පෙනී සිටිය. අපි කිසිම දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැහැ. වංචා දූෂණ රටට හෙළිදරව් කිරීම තමයි අපේ වගකීම. අපි පසුගියදා යෝජනා 15 ක් ඇතුළත් ගොවියාගේ සහ ගොවිබිමේ අර්බුදය විසඳාලන යෝජනාවලියක් ඉදිරිපත් කළා. නමුත් ඒ සාකච්ඡාවට පැමිණියේ ඇමැතිවරයා පමණයි. නිලධාරීන් කිසිවෙක් පැමිණියේ නැහැ. අපි එහිදී ඇමැතිවරයාට සෘජුවම පැවසුවා ප්‍රශ්නය තිබෙන්නේ දේශපාලන අධිකාරය සමග නොව නිලධාරීන් සමග කියල. ඊට පස්සෙ ඇමැතිවරය කෝල් කළහම තමයි නිලධාරීන් ආවෙ. අපි යෝජනා කළේ කෘෂිකර්ම පුනර්ජීවන කමිටුවක් පත් කරන්න කියල. අපි ඒකට මහාචාර්යවරුන්ගෙ, ප්‍රාමාණිකයන්ගෙ ආදී වශයෙන් 08 දෙනකුගේ නම් පවා දුන්න. ඒවට කල් මරනව. ආහාර අර්බුදයක් ආවොත් කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රමුඛ ඒකට නිලධාරීන් වගකිව යුතුයි.
2016 ඉඳන් විදේශ ආධාර ලැබුණ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය, කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (සැප්), සුහුරු කෘෂිකර්මය ආදී ව්‍යාපෘති සඳහා. ඒ පොඩි ගාණක් නොවේ රුපියල් කෝටි 20,000 කට අධික මුදලක්. මේව බෙදල දීල තියෙන්නේ ඇමැතිවරුන් ඔවුන්ට හිතවත් අයට විතරයි. ව්‍යාපෘති වියදම්වලට 60්‍ර කට වඩා ගිහින් තියෙනව. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩකළ අධ්‍යක්‍ෂවරුන්ගේ පඩිය ලක්‍ෂ 5කට වඩා වැඩියි. අවුරුදු 20ක් ඉඳලත් මේ රටේ කෘෂිකර්මය වළපල්ලට යවපු එක විතරයි කළේ. එක අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් බඩගින්නට ක්‍රෝටන් කොළ, කොස් කොළ කන්න කීව. එහෙව් අධ්‍යක්‍ෂවරු මොකටද. අවුරුද්දට මාස 9-10 වර්ෂාව ලැබෙද්දි ක්‍රෝටන් කොළ කන්න ඕනෙද. එහෙව් අධ්‍යක්‍ෂ ජනරාල්වරු විශ්‍රාම ගිය පසුත් මෙවන් කමිටුවල ඉහළ වැටුප් ලබමින් සිටිනවා හැර රටට සේවයක් කරන්නෙ නැහැ. පසුගියදා මහ ලොකුවට කිව්ව ඇඹුල් කෙසෙල් කිලෝ 12,500ක් රට යවනව කියල. ඒ කියන්නෙ කෙසෙල් කැන් 400ක කෙසෙල්. මේව මාධ්‍ය සංදර්ශන විතරයි. මේ ලැබෙන මුදල් ගමට යන්නෙ නැහැ. නිලධාරීන් භුක්ති විඳිනව. ගොවි සංවිධානවල වගකීම තමයි ඒව රටට හෙළිදරව් කරන එක. මේ රටේ පවතින ගොවිජන සේවා මධ්‍යස්ථාන 542ක් පවතිනව. ඒව හෙණ ගහපු පිට්ටනි වගේ. ලංකාවෙ බීජ සංතතිය නැතිවෙල. සියලු බීජ පිටරටින් ගෙන්වන්නෙ. පස් සාම්පල් මැෂින් කැඩිල අවුරුදු හත අටක් වෙනව. තාම හදාගන්න බැරිවෙල. ඒත් ඒවගෙ නිලධාරීන් කිසිම ලැජ්ජාවක් නැතිව පඩි ගන්නව.
● මහින්ද අමරවීර ඇමැතිවරයා පසුගියදා පැවසුව රටින් හාල් ගෙන්වන්න ඕනෙ නැහැ කියල. ඇමැතිවරයා පවසන ආකාරයට ජනතාවට අවශ්‍ය තරම් වී තොග තියෙනවද?
අපි තමයි මුලින්ම කිව්වෙ මෙරට සතුව ප්‍රමාණවත් තරම් වී තියෙනව කියල. ඊට පස්සෙ සහල් ආනයනය නතර කළා. හැබැයි මේක කොච්චර කාලයකටද කියල දන්නෙ නැහැ. පසුගිය යල, මහ කන්නවල වී අස්වැන්න ලබන මාර්තු දක්වා ප්‍රමාණවත්. මේ මාස් කන්නයේ අස්වැන්න මේ වනවිටත් පොතුවිල් ප්‍රදේශයේ නෙළමින් පවතිනව. පෙබරවාරි, මාර්තු වෙනකොට රටේම අස්වනු නෙළා අවසන්. ඒ නෙළනු ලබන අස්වනු ඊළඟ කන්නය දක්වා ප්‍රමාණවත්. 2021 සහ 2022 මාස් කන්නයේ අර්බුදයක් තිබුණා පොහොර සහ තෙල් බෙහෙත් නැතිකම නිසා. ඒකෙන් අස්වනු හානි වුණා. නමුත් දැන් අවශ්‍ය වී සංචිත තියෙනව.
● මේ වනවිට සහල් කිලෝව රු. 200 පැනල. පාරිභෝගිකයන්ගෙ පැත්තෙන් හිතල සහල් මිල අඩු කරන්න බැරිද?
මේ වනවිට වී කිලෝවක නිෂ්පාදන වියදම රු. 140 – 145 ක් වෙනව. දැන් තෙල් කීයද? පොහොර කීයද? රුපියල් 8000 ට හාපු ට්‍රැක්ටර් කුලිය දැන් රු. 30000යි. ශ්‍රමය වැඩිවෙලා. 2015 කෘෂිකර්ම අමාත්‍යාංශයේ දත්ත අනුවනම් ඒ වෙනකොට වී කිලෝවක් නිෂ්පාදනය කරන්න ගියේ රු. 26 වගේ මුදලක්. නමුත් වී කිලෝවක නිෂ්පාදන වියදම රු. 140ත් වුණාම හාල් කොහොමද අඩුවට දෙන්නෙ. පිටරටින් ගේන පාන්පිටිවලින් හදන පාන් ගෙඩිය රු. 200 ට අරගෙන කන්න පුළුවන් දෙන්නටයි. ඒත් රු. 200ට ගන්න හාල් කිලෝවකින් කිසි කතාවක් නැතිව 5-6 දෙනකුට කන්න පුළුවන්. ගොවියට සහනාධාර එපා. ඉල්ලන්නෙත් නැහැ. පොහොර මිල අඩුකරල දෙන්න, ඉන්ධන මිල අඩුකරල දෙන්න, යන්ත්‍ර සූත්‍ර යෙදවුම් මිල අඩුකරල දුන්නොත් අපි හාල් කිලෝව රු. 100 ට දෙන්නම්. රටේ හැම භාණ්ඩයකම මිල වැඩි වෙලා තියෙද්දි ගොවියගෙ හාල් මිල විතරක් අඩු කරන්න බැහැ. ගොවියෙකුගෙ දෛනික ආදායම රු. 180 ටත් අඩුයි.
● කාබනික පොහොර සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් පැන නැගුණ. මේ රටේ සමහර සංවිධාන හිටපු තැන සහ අද ඉන්න තැන ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ.
කාබනික ගොවිතැන සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ අත්තනෝමතිකත්වයෙන් තීන්දු තීරණ ගත්තෙ. කිසිදු උපාය මාර්ගික සැලැස්මක් ඒ තුළ තිබුණෙ නැහැ. අපි ගොවිජන එකමුතුව ලෙස ඉදිරිපත් කළා පස් අවුරුදු සැලැස්මක්. මුලින්ම මධ්‍යම කඳුකරයෙන් පටන්ගෙන අඩි 4000 ට වැඩි, ඊළඟට 3000 – 4000 අතර ඊළඟ අවුරුද්දෙ 2000 – 3000 අතර ඊළඟ අවුරුද්දෙ 1000 – 2000 අතර සහ 1000 පහළ අනිවාර්යෙන් වී වගාවට යන්න ලෙස. 100්‍ර ක කාබනික ගොවිතැනක් ලංකාවේ තබා ලෝකෙ කොහෙවත් නැහැ. එහෙම කරන්නත් බැහැ. එහෙම කරනවනම් ඒක මුළාවක්.
අපේ පසට අධික ලෙස තෙල් පොහොර දාල අපේ රටේ පස මැරිල තියෙන්නෙ. ලංකාවෙ තියෙනව පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාංශයක්. නමුත් අද වනවිට ගොවියා තෙල් පොහොර යොදන්න ඕන කොහොමද කියල උපදෙස් ගන්නේ පුද්ගලික තෙල් හොහොර කඩවල මුදලාලිලාගෙන්. මේවට වගකියන්න ඕන හිතුමනාපෙට තෙල් පොහොර යොදවපු කෘෂිකර්ම අමාත්‍යාංශය. අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථන. ඉහළ සිට පහළ දක්වා කිසිදු නියාමනයක් නැහැ. මේ වනවිට තෙල් පොහොර කොම්පැණිවල සෙල්ස්මන්ල බොහොමයක් මේ ඉහළ නිලධාරීන්. අවුරුදු 30 කින් මේ රටේ පස් සාම්පල් පරීක්‍ෂා කරල නැහැ. පරීක්‍ෂා කරල ගොවියට දෙන්න පොහොර නිර්දේශ. තවමත් වෙන්නෙ එක එක්කෙනාට අවශ්‍ය පොහොර නිර්දේශ දීමයි. පොහොර හිඟයක් ආවම පොහොර අඩුවෙන් යොදන්න කියනව. විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත වෙන්නෙ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂට රට දාල යන්න වුණෙත් ඒකයි. ඒක නිසා කිසි විටෙක අමතක නොකළ යුතුයි විසි ලක්‍ෂයක් වූ ගොවිපළ සහ සමස්ත ජනගහනයෙන් 60% පමණ වන ගොවි ජනතාව.
මේ රටේ ජාතික ආර්ථිකයට කෘෂිකර්මාන්තයේ දායකත්වය, 7% – 8% – 9% කියනව. අපි ඒක පිළිගන්නෙ නැහැ. මේ රටේ සමස්ත ජනතාවටම කන්න දෙන්නේ ගොවි ජනතාවයි. ඒවට කෝ සංගණනයක්. හැබැයි මිනිස්සුන්ට පේන්නේ අපනයන ආදායමට වෙන දායකත්වය විතරයි. කෘෂි ආර්ථිකය නැංවුවොත් ඩොලර් මිලියන 15ක් දක්වා නැංවිය හැකියි. දැන් මේ රටේ කෘෂිකර්මාන්තය කඩාවට්ටල තියෙන්නෙ. ඒකට එදා මෙදා තුර මේ රටේ පහල වෙච්ච ආණ්ඩු, කෘෂිකර්ම ඇමැතිවරු, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් වගකිව යුතුයි. මේ බොහෝ නිලධාරීන් කුඹුරක වක්කඩක්වත් අඳුනන්නෙ නැහැ. සීත කාමරවල ඉන්න, හැඳි ගෑරුප්පුවලින් කන කෘෂිකර්මාන්තය පිළිබඳ මෙලෝ දැනුමක් නැති වෘත්තිකයන් පිරිසකුත් ඉන්නව. මේගොල්ලො මේ විනාශයට වගකිව යුතුයි.
සමීර කන්නන්ගර