කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ වකුගඩු සැත්කමකදී රෝගී වකුගඩුව මෙන්ම මනා ක්‍රියාකාරිත්වයෙන් තිබූ වකුගඩුවක් ඉවත්කිරීම නිසා මියගිය තුන් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් පැවැති මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී කොළඹ වෛi පීඨයේ මහාචාර්යවරයකු සාක්ෂි දීමට නියමිතව තිබියදී එම කටයුතු පසෙකලා මෙතෙක් සාක්ෂි මෙහෙය වූ බොරැල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණය දැනුවත් කිරීමකින් තොරවම පුහුණු සැසියකට සහභාගිවීම සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (20දා) දැඩි අප්‍රසාදය පළ කළාය.
ඊයේ (20දා) දහවල් පොලිස් සැරයන්වරයකුගේ මෙහෙයවීම යටතේ මහාචාර්ය රන්දුල ඩයස් මහතා සක්ෂි ලබාදීම ආරම්භ කළ නමුත් නඩුවට පාදක වූ කරුණු සම්බන්ධයෙන් නිසියාකාරව සාක්ෂි මෙහෙයවීමට එම පොලිස් සැරයන්වරයා අසමත් වී තිබිණි. ඒ පිළිබඳව නිරීක්ෂණය කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නඩු විභාගය අතරමග නතර කර මෙතෙක් දිනක් සාක්ෂි මෙහෙයවූ උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට නොපැමිණියේ ඇයි දැයි විමසූ අතර ඔහු පුහුණු සැසියකට සහභාගිවීමට යෑම නිසා නොපැමිණි බව පොලිස් සැරයන්වරයා පැවසීය.
මෙවැනි ඉතා සුවිශේෂී නඩු කටයුත්තක් වෙනුවෙන් විශේෂඥ සාක්ෂිකරුවකු අධිකරණය හමුවට කැඳවා තිබියදීත් ඒ බව දැන දැනම අවම වශයෙන් අධිකරණයට ඒ පිළිබඳව දැනුවත් කිරීමකින් තොරවම එම නිලධාරියා නොපැමිණීමෙන් මියගිය දරුවාගේ පාර්ශ්වයට දැඩි අගතියක් සිදුවන බව තම අධිකරණයට පෙනී යන බවත් සාක්ෂි මෙහෙයවීම කටයුත්ත මුල සිටම නඩුව මෙහෙය වූ නිලධාරියා සිදු නොකළ විට අධිකරණයට එම කාර්යය සිදුකළ නොහැකි බවත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශ කළාය. ඉදිරි දිනයේදී එම නිලධාරියා නොපැමිණියහොත් පොලිස් ස්ථානාධිපතිවරයා කැඳවා හෝ සාක්ෂි මෙහෙයවීමට තම අධිකරණයට සිදුවන බව පැවසූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නඩු විභාගය ලබන මස 11 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක