වගඋත්තරකරුවෝ 66ක්: බෙහෙත් මගඩියට එරෙහිව ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

516

ප්‍රමිතියෙන් තොර වෛද්‍ය සැපයුම් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට හා සාමාන්‍ය මහජනතාවට මුහුණ පෑමට සිදු වූ බරපතළ තත්ත්වයට වගකිවයුතු අමාත්‍ය මණ්ඩලය ඇතුළු අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

කැබිනට් මණ්ඩලය, සෞඛ්‍ය අංශයට සම්බන්ධ වත්මන් හා හිටපු ඉහළ නිලධාරීන්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ආන්දෝලනාත්මක වෛද්‍ය සැපයුම්වලට සම්බන්ධ සමාගම්, භාණ්ඩාගාරික ලේකම්, විගණකාධිපති, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයන්, හා එහි අධ්‍යක්ෂක ජනරාල් මෙන්ම නීතිපතිවරයා ඇතුළු පුද්ගලයන් 66 දෙනකු වග උත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත. එම වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය හා සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය වැරදි, හා නීත්‍යානුකූල නොවන බවත් නීතිය ඉදිරියේ බල රහිත බවත් ප්‍රකාශ කරන ලෙසද පෙත්සම මගින් ඉල්ලා ඇත.

පොදු දේපළ අවභාවිතය හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව වග වන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවැතියේ යැයි කියන හදිසි තත්ත්වය බොහෝ දුරට දුර්වල කළමනාකරණය නිසා ඇති වූවක් බව පෙනී යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලතල දරන පුද්ගලයන්ගේ වැරදි කළමනාකරණය විසින් හදිසි අවස්ථා සැලසුම් කර අදාළ ඖෂධ ගෙන්වීමට කටයුතු කර ඇත්තේ යටි අරමුණකින් ද යන්න පිළිබඳව සැකයක් ඇතිවන බවත් පෙත්සමේ සඳහන්ය.

වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනය තුළින් මූල්‍ය හෝ වෙනත් ප්‍රතිලාභ ලබාගෙන ඇති බවට හඳුනා ගෙන ඇති පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ආරම්භ කරන ලෙසට නීතිපතිවරයාට නියෝගය කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම සිද්ධිය හේතුවෙන් රජයට හෝ මහජනතාවට දැරීමට සිදු වූ වියදම් මෙන්ම ඒ සම්බන්ධයෙන් වන්දි මුදලක් අදාළ වගඋත්තරකාර පාර්ශ්වවලින් අය කර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝගය කරන ලෙස ද පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment