වගාවෙන් අන්තිමට ඉතුරු වෙන්නේ දුක විතරයි

260

මේ සේරම ආණ්ඩුවේ ගේම් අපි ඒ ගේම්වල ඉත්තො…

ඉස්සර කුඹුරු අක්කරයක් කරන්න ගියේ රුපියල් 30,000යි. දැන් රුපියල් 50,000ක් විතර යනවා…

රසායනික පොහොර, කෘමි නාශක, වල් බෙහෙත් නැතිව අක්කර ගණන් වගා කරලා ලාබ ගන්න බෑ…

හේන්වල වගා කරන්නෙත් හයිබි‍්‍රඞ් බීජ…

දැන් ගොවිතැන ප‍්‍රශ්න ගොඩකි… එහෙම කියන්නේ අප නොවේ. බුත්තල ගොවීන්ය. ඔවුන්ට පමණක් නොව, මුළු රටේ ම ගොවීන්ට වගාව එපාවන තරමට ගැටලූ ගොඩ ගැසී තිබෙන බව සැබෑය. වී, එළවළු, තේ, රබර් ඇතුළු සෑම වගාවකම නිරත ගොවීන් නන්නත්තාර වී සිටිනුයේ අකාල වැස්ස සහ පොහොර ගැටලූව නිසාය.

‘‘ඉස්සර එක්දාහස් පන්සියට ගත්ත පොහොර කිලෝ පනහේ මිටිය දැන් රුපියල් 9000 යි. 10,000 යි. ගොයමට ගහන්න 2500 ට තිබුණු වල් නාශකය දැන් රුපියල් 6000 යි. රුපියල් 200 ට 300 ට තිබුණු වල් නාශක බෝතලය දැන් 1000 යි, 1500 යි. රුපියල් 2000 ට තිබුණු නමක් නැති බෙහෙත් කෑන් එක දැන් රුපියල් 15,000 යි. මේ මිල ගණන්වලට රාසයනික දාලා වගා කරලා අපි කොහොම ද ලාබ ගන්නේ… ගෙදර කෑමට ප‍්‍රමාණවත් එළවළු ටිකක් හදාගෙන හිටියා, දැන් කොරටුවත් වල් වැදිලා. වල් බෙහෙත්, කෘමි නාශක දාන්නේ නැතිව අක්කර ගණන් වගා කරන්න බෑ… අබ ඇටයක් තරම් මොළයක් තියෙන මිනිස්සු අපි කියන මේ හරුපේ තේරුම් ගන්න ඕනෑ…’’

කඳු ගැසෙන ගොවි ගැටලූ අපට කියන්නට එසේ ප‍්‍රවේශයක් ලබාගත්තේ ජී. එම්. පියසේනය. ඔහු බුත්තල කෝන්කැටිය ප‍්‍රදේශයේ ජීවත්වන පාරම්පරික ගොවි මහත්මයෙකි. හැත්තෑඑක් වැනි විය පසු කරගෙන යන හේ අක්කර නවයකට ආසන්න වී සහ අක්කර පහකට ආසන්න භූමියක මුංඇට, කවුපි, බඩඉරිඟු මාරුවෙන් මාරුවට වගා කරන ගොවියෙකි. ජීවන වෘත්තියට ගොඩ, මඩ දෙකම සරුසාරෙට අස්වැද්දූ පියසේන සහ ඔහුගේ දරුවන් අද කරකියා ගැනීමට කිසිවක් නොමැතිව දුක් වෙන්නහ.

‘‘බුත්තල නගරයේ සිට කතරගම දෙසට කෝන්කැටිආර කුඹුර දක්වා එක යායට කුඹුරු යාය. අක්කර දෙදහකට වැඩියි. කෝන්කැටිආර අපේ කුඹුර තමයි යායේ අන්තිම කුඹුර. මේ කන්නය ඒ කුඹුර තව කුඹුරු කෑලි තුනක්ම කළේ නෑ. කුඹුරු යායේ අක්කර ගාණක් මේ කන්නයේ කරලත් නෑ. භාණ්ඩ මිල වැඩිවීමත් එක්ක සේවා මිලත් ලොකු ගාණකින් වැඩි වෙලා තියෙනවා. දැන් අක්කරයක් හාන්න මැෂින් එකකට පහළොස්දාහසක් ගන්නවා. ගොයම් කපන මැෂින් එකට පහළොස්දාහසක් ගන්නවා. අපේ ශ‍්‍රමය, අනෙකුත් වියදම් ටික බැලූවම වැඩි මිලට පොහොර, තෙල් බෙහෙත් ගහලා වගා කරලා ලාබයක් ගන්න බෑ. ඉස්සර කුඹුරු අක්කරයක් කරන්න ගියේ රුපියල් 30,000ක් වගේ මුදලක්. දැන් රුපියල් 50,000ක් විතර යනවා…’’

වගාවෙන් අන්තිමට ඉතුරු වෙන්නේ දුක විතරයි

‘‘අත්හදා බලන්න අක්කරයක කාබනික ගොවිතැන කළා. වී මලූ එකළොහයි ලැබුණේ. අපේ ගෙදර කෑමටවත් ඒ වී ටික ප‍්‍රමාණවත් නෑ. 1977 අවුරුද්දේ ඉඳලා කුඹුරු කොටනවා. වැඩක් නෑ. ඒත් ඉතිං කරන්න දෙයක් නැතිකමට දරුවොත් ගොවිතැනටම හුරු වුණා. මේ ඉන්නේ බාල පුතා අවුරුදු තිස්එකයි. තවම කසාද බැඳලත් නෑ. දැන් මගේ ගොවිතැන්වලින් භාගයක්ම කරන්නේ මෙයා තමයි…’’ ප‍්‍රසන්න පෙනුමැති, පෘෂ්ටිමත් තරුණයා දෙසට මම හැරුණෙමි. හේ රුවන්ය. කලා අංශයෙන් උසස් පෙළ විභාගය සමත්ව ඇති ඔහු කලාකරුවෙකි. ගායනට, වාදනයට හැකියාවක් ඇති ඔහු සංගීත ප‍්‍රසංගවලට සවුන්ඞ් ලබාදීම ව්‍යාපාරයක් කරගෙන සිටි දක්‍ෂ තරුණයෙකි.

‘‘උසස් පෙළ කරලා ඉවර වුණාට පස්සෙ කොළඹට ගිහින් යාළුවෙක් එක්ක සම්බන්ධ වෙලා සවුන්ඞ් සප්ලයි ව්‍යාපාරයක් පටන් ගත්තා. හොඳට ව්‍යාපාරය කරගෙන ගියා. පාස්කු ප‍්‍රහාරයෙන් පස්සෙ බිස්නස් නැති වුණා. ඊට පස්සෙ තමයි ගමට ඇවිත් වගා කරන්න පටන් ගත්තේ. කොරෝනා කාලෙත් වගා කළා. අපිට හෙනහුරා පාත් වුණේ පොහොර ප‍්‍රශ්නයත් එක්ක තමයි. රසායනිකයි, කාබනිකයි කලවමේ වගා කරගෙන යන්න උපදෙස් දුන්නා නම් කන්න දෙකක් යනකොට මේ වැඬේ සාර්ථකයි. දැන් සිද්ධ වෙලා තියෙන්නේ පොහොර කොම්පැනිකාරයන් පොහොසත් කිරීමක්. මේ සේරම ආණ්ඩුවේ ගේම්. අපි ඒ ගේම්වල ඉත්තො…’’ රුවන් කියන ඒ කතාවේ සත්‍යතාවයක් නැතුවාම නොවේ. එක්දාහස් පන්සීයට තිබුණු පොහොර මිටියක් රුපියල් දසදහසට වැඩිවීම පිටුපස ‘ගේම්’ එකක් තිබිය හැකිය. අපට දුක ලොකු ලොක්කො ගහන ගේම් නිසා රටේ ජනතාව අසරණවීම ගැනය.

‘‘අපේ ගම්වල කොච්චර ඉගෙනගත්ත අය හිටියත් ජොබ් නෑ. රජයේ රැකියාවකට යන්න නම් දේශපාලනඥයන්ගේ ඡන්ද වැඩවලට ඇවිඳින්න යන්න ඕනෑ. ඒ ගියත් ඡන්ද ඉවර වුණාට පස්සේ අපේ මුහුණු ඒ දේශපාලනඥයන්ට අමතකයි. මම කලා අංශයෙන් ඒ එකයි. සී දෙකක් අරගෙන විභාගය සමත් වුණා. මගේ වයිෆ් කලා අංශයෙන් ඒ දෙකයි. සී එකක් අරගෙන විභාගය සමත් වුණා. ඒත් අපිට ජොබ් නෑ…’’ බුත්තල, වගුරල ප‍්‍රදේශයේ ජීවත්වන ප‍්‍රසාද් චතුරංග ද අපේ කතාවට අලූත් ප‍්‍රවේශයකින් එකතු විය. ඔහුට වයස අවුරුදු විසිඅටකි. පාසලෙන් සමුගත් කාලයේ සිට ගස්ලබු, කෝලිකුට්ටු කෙසෙල් වගාව කරගෙන යන ඔහු යම් ස්ථාවරයකට පැමිණ ඇති දිරිය තරුණයෙකි. එහෙත් පොහොර ගැටලූව හමුවේ ඔහු ද අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත.

‘‘කෙසෙල්, ගස්ලබු වගාව හොඳට ආදායම් ගන්න පුළුවන්. වේලාවට පොහොර ටික දාලා විටමින් ටික දෙන්න ඕනෑ. අක්කර හතරක් විතර මම වගා කරලා හොඳ ආදායමක් ගත්තා. එක කන්නයක් හොඳට ම සරු වෙලා ත‍්‍රීවීල් එකකුත් ගත්තා. ඒත් පොහොර නැතිකමත් එක්ක ගස්ලබු ගස් නාටු වෙලා ඵලදාව ආවේ ම නෑ. කෝලිකුට්ටු කෙසෙල්වලට පොහොර ටික නියම වෙලාවට දාන්න බැරි වුණොත් ගස් නාටු වෙලා වියළිලා යනවා. මෙතැන අක්කරයක කෝලිකුට්ටු දාලා තියෙනවා. පොහොර නැතිව මුළු වගාවම ඉවරයි…’’ කොළ කහ වී පරඩැල් වී යන කෙසෙල් වත්තක් ප‍්‍රසාද් අපට පෙන්නුවේය. විසල් ඉඩමක එක පැත්තක කෙසෙල්ය. අනිත් පැත්තේ ගස්ලබුය. ගිනි පුපුරක් වැටෙන්න කෙසෙල් යායම පත්තු වී අළු වී යන තරමට වියළි ගොස්ය. මන්දපෝෂණය හැදුණු ගානට ගස්ලබු ගස් නාටු වී තිබේ. ඒ වගාවන් දකිනවිට මගේ හදවත ද හෝස් ගා පත්තු වී ගියේය.

‘‘මේ ඉඩමේ කෙසෙල්, ගස්ලබුු පැළ දාන්න විතරක් රුපියල් එක්ලක්‍ෂ හැටදාහක් විතර ගියා. එක කෙසෙල් පැළයක් රුපියල් හැටක්. ගස්ලබු පැළයක් රුපියල් හැට පහයි. රුපියලක ආදායමක් ගන්න බැරි වුණා. මගේ මහන්සිය සේරම වතුරේ. දැන් මම හිතාගෙන ඉන්නේ ගත්ත ණය ගෙවන්න මේ ත‍්‍රීවීල් එක විකුණන්න. මේ කන්නයේ කුඹුරු කරන්නත් බෑ. දැන් අපි ජීවත් වෙන්න ක‍්‍රමයක් හොයාගන්නත් ඕනෑ. කාබනික දැම්මොත් කෙසෙල් පැළ දාහකට පොහොර මිටි පනහක්, හැටක් විතර දාන්න වෙනවා. ඒ වගේම කාබනික පොහොරවලට ප‍්‍රමිතියක් නෑ. වගාවකට යොදන ක‍්‍රමවේදයක් නෑ. උපදෙස් දෙන්න කවුරුවත් නෑ. ගොවි නියාමකවරු, කෘෂිකර්ම උපදේශකලා හිටියට වගා බිමක් පැත්ත පළාතකට එන්නේ නෑ. ඒ මිනිස්සු දැන් කළු කඬේ රසායනික පොහොර, තෙල් බෙහෙත් විකුණනවා. ඉඳලා හිටලා එන පොහොර ටික, මිටි සීය එකසීය පනහ ලොරිවල පටවගෙන ගිහින් ගොඩ ගහගෙන අධික මිලට ගොවීන්ට විකුණනවා. සීනි, කෙසෙල් කොම්පැනිවලට කලට වේලාවට පොහොර ටික ලැබෙනවා. මේ පොහොර ප‍්‍රශ්නය තියෙන්නේ අසරණ ගොවීන්ට විතරයි. අපි ඉවරෙටම ඉවර වුණා. මේ මාමා පහුගිය කළේ මිරිස් දාලා හොඳ ආදායමක් ගත්තා. මේ පාර පොහොර නැතිව මිරිස් වත්තම විනාශ වුණා…’’ ප‍්‍රසාද් ඔහුගේ ඉඩමට යාබද වත්තේ හිමිකරුව ද කතාවට එකතු කරගැනීමට එසේ හඳුන්වා දුන්නේය. හේ සුමනසේකරය. වයස අවුරුදු හැට පසු කරගෙන යන වියපත් මිනිසෙකි. එහෙත් ඔහු කැත්තේ උදැල්ලේ වැඩවලට තවමත් කොල්ලා වගේ ය.

වගාවෙන් අන්තිමට ඉතුරු වෙන්නේ දුක විතරයි

‘‘මිරිස් ඵලදාව හොඳට ලැබිලා ලොකු ලාබයක් අරගෙන වාහනයකුත් ගත්තා. දැන් ඒ වාහන විකුණන්න වෙලා. මෙදා සැරේ ගොඩ, මඩ දෙකම වගා කළේ නෑ. රසායනික නැතිව වගා කරලා ණයකාරයෙක් වෙලා මැරිලා යනවට වඩා, තියෙන විදිහට කාලා ගෙදරට වෙලා ඉන්න එක ලබන ආත්මයට හොඳයි. ඒත් මේ වගා බිම් විනාශ වෙනවා දකිනකොට නම් බඩ පපුව පත්තු වෙනවා. මෙතැන අක්කර දෙකක ගස්ලබු දාලා තියෙනවා. රුපියලක ආදායමක් ගන්න ඵලදාවක් ලැබුණේ නෑ. බෙහෙත්, පොහොර නැතිව අක්කරයක මිරිස් වගාවම කුණු වුණා. කාබනික පොහොර දැම්මට ගස්වලට පණ ලැබුණේ නෑ. ගොවි නියමකලාට කිව්වට අදටවත් වගාව පරීක්‍ෂා කරන්න ආවේ නෑ. ඒ මිනිස්සු පොහොර ගැටලූවත් ඉල්ලමක් කරගෙන හොඳට ගරනවා…’’ ගරන අයට මේ ආණ්ඩුව හොඳ බව පෙනේ. එම ගැරිල්ලේ තරම අවබෝධ වන්නේ අගාධයට තල්ලූවෙමින් තිබෙන රට පතුලට ම වැටී මඬේ එරුණු දවසටය.

ගරන කතා… පොහොර ගැටලූ මලූ පිටින් ලිහෙන අතරේ ප‍්‍රසාද් චතුරංග අපව යාල රක්‍ෂිතය ඇතුළේ හේනකට එක්කරගෙන ගියේය. බුත්තල – කතරගම මාර්ගයේ වගුරල ප‍්‍රදේශයෙන් හැරී අතුරු මාර්ගයක ගොස් එම හේන්ට ළඟා වීමට කිලෝ මීටර් විස්සකට වැඩි දුරක් ගමන් කිරීමට සිදු විය. එක හේනක් නොව, යායට හේන් ගොවිතැන කරන ප‍්‍රදේශයකි. එම ප‍්‍රදේශයට අප යන විටත් පස පෙරළුෑ වගා බිමක කිහිපදෙනෙක් රටකජු බීජ වපුරමින් සිටීයහ. ඔවුන් අතරින් වියපත් මිනිසෙක් උදැල්ලත් රැගෙනම අලි වැට අද්දරට පැමිණියේ ය. ඔහු රත්නායකය. ජීවිතෙන් වැඩි කාලයක් හේන් කොටන ඔහුට දැන් වයස හැටපහකි. හේනේ කර වෙන ඔහුගේ කටහඬ ද නොඇසෙන තරම් වියළි ගොස්ය. එහෙත් අපි ඒ හීන් හඬ තේරුම් ගත්තෙමු.

‘‘මේ හේනට යාව එක යායට අක්කර ගාණක් වගා කරනවා. අපිට අක්කර පහක් තියෙනවා. මේවා අපේ සීයා, කිරිකිත්තගේ කාලේ ඉඳලා කරන හේන්. යුද්දේ කාලේ බුත්තල – කතරගම මාර්ගයේ ගල් ගේ හරියේදී බස් එකට වෙඩි තියලා කොටි ත‍්‍රස්තවාදීන් ගිහින් තිබුණේ මේ හේන් යාය මැදින්. ඒ යන ගමන් මේ හේන්වල වැඩ කරපු හත්දෙනකුට වෙඩි තියලා මරා දාලා ගිහින් තිබුණා. වෙඩි වැදිලා බේරුණේ එක්කෙනයි. එයා තවම ජීවතුන් අතර ඉන්නවා. යුද්දේ කාලෙවත් අපි මේ වගා බිම් කැලේට යන්න දුන්නේ නෑ. ඒත් දැන් හිටි හැටියේ කඩා පනින වන සංරක්‍ෂණ නිලධාරීන් අපිට නීතිය ක‍්‍රියාත්මක කරන්න යන්නේ මංකොල්ලකාරයෝ ගානට දාලා. වැඩ කරන කැති, උදලූ පාවා අරගෙන යනවා. හේන් වගාවට අවසර දීලා කියලා මැති, ඇමැතිවරු පංපෝරි ගැහුවට සතියට දෙවතාවක් විතර වන සංරක්‍ෂණ නිලධාරීන් ඇවිත් අපිට කරදර කරනවා. මහා කැලෑව මැද වුණාට වන සතුන්ගෙන් එච්චර කරදර නෑ…’’

‘‘පහුගිය කාලේ මේ යායට ම වගා කළේ බඩඉරිඟු. හොඳ අස්වැන්නක් තිබුණා. ඒත් තෙල් බෙහෙත් නැතිව බඩඉරිඟු වගා කරන්න බෑ. සේනා දළඹුවාගෙන් වගාව බේරගන්න අනිවාර්යෙන්ම කෘමි නාශක යොදන්න ඕනෑ. ඒ නිසා රසායනික තහනමත් සමඟ බඩඉරිඟු වගාව නතර කළා. කරන්නම දෙයක් නැතිකමට රටකජු දානවා. රටකජු වගාවෙන් ලොකු ලාබයක් ගන්න බෑ. සමහර වෙලාවට මහන්සියටවත් සාධාරණයක් නොවෙන්න පුළුවන්. ඒත් හේන් පාළුවට යන්න දෙන්න බෑ. ඊට අමතරව වට්ටක්කා, මෑ, වම්බොට්ටු, වැටකොලූ, මිරිස්, ගෙදර කෑමට එළවළු ටිකක් හදා ගන්නවා. ඒවටත් වල් නාශක ටිකක් දාන්න ඕනෑ…’’

‘හේන් වගාවේදී රසායනික භාවිත කරන්නේ නෑ කියලා කියන්නේ…’ ගලාගෙන යන කතාවට මම පැනයක් යොමු කළෙමි.

අපේ සීයලගේ කාලේ කෙරුණු හේන් ගොවිතැන නෙමෙයි දැන් කෙරෙන්නේ. අපි වගා කරන ගොඩක් බෝග හයිබි‍්‍රඞ්. ඒවට රසායනික ඕනෑ. විශේෂයෙන්ම වල් නාශක, කෘමි නාශක භාවිත කරනවා. රසායනික පොහොර මිල අඩුවට තිබුණු නිසා පොහොරත් දැම්මා. බඩඉරිඟුවලට නම් අනිවාර්යෙන්ම රසායනික ඕනෑ…’’ මොනරාගල දිස්ත‍්‍රික්කය මායිමේ ඔක්කම්පිටිය පහළගම පදිංචි රත්නායක පවුලේ සියලූ සාමාජිකයන් සමඟ පැමිණ හේන් වැඩ කරන අතරේ අඩ හෝරාවකට වැඩි කාලයක් අප සමඟ කතාබහ කිරීමට ද මැලි නොවිණි. රත්නායක හුස්මක් ගන්න ඇසිල්ලට යසපාල කතාව පටන් ගත්තේය. ඔහුට වයස අවුරුදු හතළිස් හතරකි. දෙදරු පියෙකි. ගොඩ, මඩ දෙකම වගා කරන යසපාල හේන් වගාව ද සරුවට කරන්නෙකි.

‘‘බණ්ඩක්කා අක්කරයක් විතර දැම්මා. එක මුරයයි කැපුවේ. කහ ලෙඬේ ආවා. ඒ ලෙඬේට බෙහෙත් තියෙනවා. ඒත් දැන් නෑ. පොහොරත් නැති නිසා මුළු වගාවම මැරිලා ගියා. හේන් කියලා නෑ මහත්තයෝ ලෙඩ ආවොත් ඒවට බෙහෙත් ගහන්න ඕනෑ. වැඩි අස්වැන්නක් ගන්න පොහොර දාන්න ඕනෑ. අපේ මුතුන් මිත්තෝ හේන් වගා කළේ ගෙදර කෑමට විතරයි. දැන් අපි වගා කරන්නේ විකුණලා ආදායමක් ගන්න. බිස්නස් එකට කරනකොට හුරතල් කරලා ගස් හදන්න බෑ. බලධාරීන් සහ නිලධාරීන් ඔය දෙක තේරුම් ගන්න ඕනෑ…’’ රත්නායක උස් හඬින් නැවත කතාවට එකතු විය.

‘‘රටේ කෘෂිකාර්මාන්තයට මෙච්චර ප‍්‍රශ්න ආපු කාලයක් මගේ ජීවිතේට මතක නෑ. දැන් ගොවිතැන් කරලා අන්තිමට ඉතුරු වෙන්නේ දුක විතරයි. පහුගිය කාලේ දුන්නා වගේ සහන මිලට පොහොර ටික දෙනවා නම් අපිට සහනයක් තියෙනවා. වැඩි මිලට පොහොර, තෙල් බෙහෙත් අරගෙන වගා කරලා වැඩක් නෑ. ගොඩක්ම ගොවියෝ වගා කරන්නේ පොලියට සල්ලි අරගෙන. අස්වැන්න අරගෙන තමයි ඒ ණය ගෙවන්නේ. මේ පවතින ක‍්‍රමය තුළ පොලියට සල්ලි අරගෙන වගා කරලා ණය ගෙවා ගන්න බැරි වෙනවා. තව ටික දවසක් යනකොට ගොවීන්ට වගා කරන්න නෙමෙයි ජීවත් වෙන්නත් පොලියට සල්ලි ගන්න වෙනවා. අපි ගොවියෝ නිසා සමෘද්ධියත් නෑ. දැන් අපිට යන එනමං නැති වෙන තරමට අතරමං වෙලා මහත්තයෝ… ඡන්දේ කාලේ අපි දැකපු සුරපුරය දැන් මහා අවීචියක්. ගමේ ඉන්න නිලධාරීන්වත් ගොවි ප‍්‍රශ්න ගැන හොයන්නේ නැති කාලෙක අපේ දුක අහන්න මෙච්චර දුරක් ආවට මහත්තෙලාට පින්සිද්ධ වෙනවා…’’ එසේ කීවේ යසපාලය.

දේශපාලන ගුණ්ඩුවලට රැවටුණු ගොවීහු සල්ලිවලට රසායනික ඉල්ලා මහ පාර දිගට උද්ඝෝෂණ කළහ. කඹල රත් වූ පසු රොටිය පුච්චා ගත් ආණ්ඩුව පොහොර තහනම අකුලාගෙන රසායනික ආනයනයට කොම්පැනිවලට අවසර දුන්නේය. ඒ අවසරයෙන් ගොවීන්ට ලබා දුන් පොහොර සහනාධාරය ද නතර කළේය. රජයේ සැලසුම සාර්ථක විය. ගොවීන්ගේ ඉල්ලීම ද සඵල විය. දැන් ඕන තරමට වෙළෙඳපොළේ රසායනික තිබේ. මිල එකට එක නොව, එකට දහයකින් පමණ වැඩිය. වැඩි මිලට රසායනික භාවිත කරමින් කරන ගොවිතැනේ අස්වැන්න වැඩි මිලට ලබාගැනීමට පාරිභෝගික ජනතාව සූදානම් වී සිටිය යුතුය. පොහොර කතාව සමාප්තය…

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment