වචනය හරස් වුණා  සූර්ය පැනල සැඟවුණා – දුමින්ද කියයි

321

ඇතැම් නිවාසවල වහල මත (Roof Top) සූර්ය කෝෂ සවිකර වසර දෙකක් ගතව තිබුණත් ඒ සඳහා සබඳතා ලබාදීමට විදුලිබල මණ්ඩලයට නොහැකි වී ඇත්තේ ‘‘විදුලිබල පනතේ එක් වචනයක් නිසා’’ යැයි සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා හෙළි කරයි.

පුනර්ජනනීය බලශක්ති මගින් විදුලිය ජනනය කළ හැකි ව්‍යාපෘති කඩිනමින් කි‍්‍රයාත්මක කිරීමට පිහිටුවූ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ස්ථාපිත කර වසර පහළොවක් ගතව තිබුණත් විදුලිබල පනතේ වගන්තියක කුඩා වචනයක් නිසා සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට බාධා එල්ල වී ඇතැයි ඒ මහතා කියා සිටී.

2007 වසරේදී සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවාලීමෙන් පසුව 2013 වසරේ විදුලිබල පනත ගෙනා බවත් එහිදී මෙගාවොට් 10ට අඩු විදුලි ව්‍යාපෘති වලට අනුමැතිය ලබාදීම හා මෙගාවොට් 10ට වැඩි ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේදී තරගකාරි මිල ගණන් යටතේ බලපත‍්‍ර ලබාදිය යුතු ආකාරයට අදාළ වගන්තියක් මීට හරස් වී ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා ඉකුත් ජනවාරි මස 31 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව එය මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.

මෙම විදුලිබල පනතේ කුඩා සංශෝධනයක් කිරීමට පමාවීම හේතුවෙන් 2013 වසරේ සිට පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වූ බව ද ඇමැතිවරයා කියා සිටියේය.

විශේෂයෙන්ම නිවාසවල වහල මත සූර්ය පැනල සවිකර වසර එකහමාරක් දෙකක් පමණ ගතවූ ව්‍යාපෘති තිබුණත් ඒවාට සබඳතා ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත්ව සිටින බව ද දුමින්ද දිසානායක මහතා පැවසීය.

අඩු ආදායම්ලාභී සමෘද්ධි සහනාධාර ලබන පවුල් ලක්ෂයකට වහල මත සූර්ය පැනල සවිකර මාසිකව 2500 ක ආදායමක් ලබාදිය හැකි ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇතැයි ද එම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් පසු වසර පහළොවකට පසු සූර්ය පැනලවල සම්පූර්ණ අයිතිය සමෘද්ධිලාභීන් වෙත ලැබෙන බව ද ඒ මහතා කීය.

2030 වසරේදී මෙරට සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීම රජයේ ඉලක්කය වී ඇතැයි ද ඒ අනුව ඉදිරි වසර අට තුළ මෙගාවොට් 9000 ක් පුනර්ජනන වයාපෘති මගින් ලබාගත යුතු බව ද ඇමැතිවරයා පෙන්වාදෙනු ලැබීය.

මෙගාවොට් 50ට වැඩි ව්‍යාපෘති සඳහා නොවැම්බර් මාසයේ යෝජනා කැඳවූ බවත් ඒ අනුව ලැබුණු යෝජනා 534 ක් ලැයිස්තුගත කර විදුලිබල මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද හෙතෙම කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment