වටලෑම් ඇරඹෙයි…. සියවසක සටහන්

135

වටලෑමට එරෙහිව රතු හමුදාව

40 වැනි කොටස

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්. විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ රතු හමුදාවට එරෙහි කු ඕ-මින්-තං වැටලීම් ආරම්භ වුණු ආකාරය ගැනයි.

ගෙදර අයත් දන්න කියන අහළ පහළ අයත් මා ඕ ත්ස-තුංට කිව්වේ ”තුන්වැනියා’’ කියලා, හැබැයි ඔහු තමයි ඒ පවුලේ ”ලොකු අයියා’’, ඒ පවුලට ඉපැදුණු මුල්ම ළමයි දෙන්නා මියගියාට පස්සේ තමයි මා ඕ ත්ස-තුං ඉපැදුණේ. ”තුන්වැනියා’’ කියන නම ඔහුට පටබැඳුණේ ඒ හින්දා. මේ

”තුන්වැනියා’’ ඉපැදුණාට පස්සේ ඔහුටත් අනතුරක්. කරදරයක් වෙයි කියලා අම්මා බයවුණා. ඉතින් අම්මාට ඕන වුණේ ඒ දරුවා පන්සලකට භාරදෙන්න. ඒත්, නිමිත්තක් බලපු හාමුදුරුවෝ අම්මාගේ බය නැතිකළා. ”දරුවාට කරදයක් වෙන්නේ නෑ. බය නැතුව ගෙදර එක් කරගෙන යන්න’’ කියලා හාමුදුරුවෝ උපදෙස් දුන්නා. ඒත් අම්මා ආපහු ගෙදර ආවේ දරුවා හොඳින් රැුක බලාගන්න කියලා අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේට භාරයක් වෙලා.

මේ ”තුන්වැනියා’’ කිසිම කරදරයක් නැතුව ලොකු මහත්වුණා, ඒ පවුලට තවත් පුත්තු දෙන්නෙක් එකතුවුණා. ඊට අමතරව, ඒ පවුලේ අය ඥාති දුවෙකුත් හදාගත්තා, ගොවිකමත්, සුළු පරිමාණයෙන් ධාන්‍ය වෙළෙඳාමකුත් කරපු මා ඕ ත්ස-තුංගේ තාත්තා දරුවන්ට බුරුලක් දුන්නේ නෑ, ඒත් ඒ තද නීති රීතිවලට යටත්වෙලා වැඩකරන්න මා ඕ ත්ස-තුං කැමැති වුණේ නෑ, ඉතින් මේ ”තුන්වැනියා’’ මේච්චල් කරගන්න පුළුවන් ක‍්‍රමයක් ගැන ඔහුගේ තාත්තා හිතුවා, අදාළ පිළියම විදිහට ඔහු හඳුනාගත්තේ වයස අවුරුදු දාහතරක් වෙද්දිම මා ඕ ත්ස-තුංට කසාදයක් කරලා දෙන එක, මනමාලිය විදිහට තෝරගත්තේ අවුරුදු දහ අටක තරුණියක්, ජයට මගුලක් කාලා ලු ඕ යී-ශ්‍යු කියන ඒ මනමාලිව කැන්දගෙන ආවත් ඊට පහුව දා ම මා ඕ ත්ස-තුං ගෙදරින් පැනලා ගියා, ඔහුට ඕනවෙලා තිබුණේ ඉගෙනගන්න, ඉතින් ඔහු යාළුවෙක්ගේ ගෙදර නැවතිලා පොත් කියවන්න පටන්ගත්තා, මනමාලි අලුත් ගෙදර නැවතුණා, ඒත් තමන්ට වෙච්ච අකරතැබ්බය හින්දා ඒ මනමාලි හිටියේ සතුටින් නෙවෙයි, ඉතින් ඇය අසනීප වුණා, අවුරුදු දෙකකට පස්සේ (1910 පෙබරවාරි 11 වැනි දා) ඇය මියගියා, මා ඕ ත්ස-තුං ආපහු ගෙදර ආවේ ඊට පස්සේ,

වටලෑම් ඇරඹෙයි.... සියවසක සටහන්
මා ඕ සහ යං කැයි-හුයි

ඒ වෙද්දිත් වයස අවුරුදු දාසයක ඉලන්දාරියෙක් වෙච්ච මා ඕ ත්ස-තුංට මේ දේවල් ගැන ලොකු අවබෝධයක් තිබුණේ නෑ, ඔහුට ඕන වෙලා තිබුණේ තව තවත් ඉගෙනගන්න, මේ ඕනකමට ඉඩදෙනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැති බව ඔහුගේ තාත්තාත් තේරුම්ගත්තා, ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්නත් ඔහු තීරණය කළා, ඉගෙන ගැනීමේ අරමුණ වෙනුවෙන් ගෙදරින් පිටත්වෙච්ච තරුණ මා ඕ ත්ස-තුංගේ (මා ඕ රුන්-චිගේ) කතාව මේ ලිපි මාලාවේ 4, 5 සහ 6 වැනි කොටස්වලින් කියලා තියෙනවා.

තමන්ගේ ගුරුවරයාගේ (යං ඡං-චී මහාචාර්යතුමාගේ) දියණිය (යං කැයි-හුයි) එක්ක මා ඕ ත්ස-තුංගේ සම්බන්ධය පටන්ගත්තේ ඉගෙනගැනීම වෙනුවෙන් ඡං-ෂා නගරයට ආවාට පස්සේ, පෙයි-චිං නගරයේ දී මේ සම්බන්ධය තව තවත් වර්ධනය වුණා, අන්තිමේ දී 1921 චීන අලුත් අවුරුද්දට කලින් මේ දෙන්නා විවාහ වුණා, (මේ ලිපි මාලාවේ 7 වැනි කොටසින් ඒ ගැන කියලා තියෙනවා),

මේ විවාහය වෙද්දිත් යං කැයි-හුයි චීන සමාජවාදී තරුණ සංගමයට සම්බන්ධ වෙලයි හිටියේ, 1922 මුල් කාලයේ, ඇය පොදු නිෂ්පාදන පක්‍ෂයේ සාමාජිකත්වයත් ලබාගත්තා, මා ඕ ත්ස-තුංගේ බිරිඳ වීමට අමතරව ඇය ඉතාමත් උනන්දුවෙන් විප්ලවීය ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙලා හිටියා, ෂං-හයි නගරයේ දී වගේම, මා ඕ ත්ස-තුංගේ ගමේදීත් ඇය මේ වැඩ වෙනුවෙන් සෑහෙන්න කැපවුණා, මා ඕ ත්ස-තුං විසින් ලියපු ”හූ-නන් පළාතේ ගොවි අරගල පිළිබඳ විමර්ශන වාර්තාව’’ සම්පූර්ණ කරගන්න ඇයගේ දායකත්වයත් ලැබුණා, (මේ ලිපි මාලාවේ 20 වැනි කොටසින් ඒ වාර්තාව ගැන කියලා තියෙනවා).

වටලෑම් ඇරඹෙයි.... සියවසක සටහන්
මා ඕ ත්ස-චියැන්

විවාහයෙන් පස්සේ 1927 වෙන කල් ගතවෙච්ච අවුරුදු හයකට තරමක් වැඩි කාලය ඇතුළත යං කැයි-හුයි පුත්තු තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක් බවටත් පත්වුණා, තුන්වැනි පුතා ඉපැදිලා මාස පහක් ගත්වෙන්නත් කලින් මා ඕ ත්ස-තුං ගෙදරින් පිටන්වුණේ සරත් අස්වනු නැගිටීමට නායකත්වය ලබාදෙන්න, මේ වෙන්වීමෙන් පස්සේ මා ඕ ත්ස-තුං සහ යං කැයි-හුයි නැවතත් මුණගැහුණේ නෑ. ඡං-ෂා නගරය කිට්ටුට ඊට තරමක් උතුරින් තියෙන ප‍්‍රදේශයක යං කැයි-හුයි තනිවුණා. සරත් අස්වනු නැගිටීම අසාර්ථක වෙලා අඩපණ වෙච්ච ගොවි – කම්කරු හමුදාවත් එක්ක චිං-කං කන්දට ගිය මා ඕ ත්ස-තුං ඊට පස්සේ රුයි-චින් ප‍්‍රදේශයේ හමුදා මූල කඳවුරක් හදන්නත් කැපවුණා.

මේ කාලය තුළ යං කැයි-හුයි සම්බන්ධ කරගන්න මා ඕ ත්ස-තුං දරපු උත්සාහය සාර්ථක වුණේ නෑ, හතුරන් විසින් ඇය සහ දරුවන් තුන්දෙනා මරා දාපු බවටත් තොරතුරු වාර්තා වුණා. ඒත් යං කැයි-හුයි දිගට ම හතුරු බල ප‍්‍රදේශයක් ඇතුළේ හැංගිලා හිටියේ. ඡං-ෂා නගරයේ දියත් කරලා තිබුණු මර්දනය හින්දා පක්‍ෂයට සම්බන්ධ කිසිම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්නත් ඇයට බැරිවුණා. ඒත් 1930 ඔක්තෝබර් මාසයේ දී ඇයව අත්අඩංගුවට ගන්න හූ-නන් පළාතේ හමුදා ලොක්කාට (හ චියැන්ට) පුළුවන් වුණා. මා ඕ ත්ස-තුංවත් පොදු නිෂ්පාදන පක්‍ෂයේ සාමාජිකත්වයත් අත්හරින්න කියලා හ චියැන් බල කළත් යං කැයි-හුයි ඒකට එකඟවුණේ නෑ. ඉතින් හ චියැන් සෙනෙවියාගේ නියෝග පිට 1930 නොවැම්බර් 14 වැනි දා යං කැයි-හුයි මරා දමනු ලැබුවා.

මේ සිද්දිය වෙද්දි මා ඕ ත්ස-තුං සහ හ ත්ස-චන් අතර විවාහය සිද්දවෙලා. (මේ ලිපි මාලාවේ 37 වැනි කොටසින් ඒ ගැන කියලා තියෙනවා). හ ත්ස-චන් කියන්නේ මා ඕ ත්ස-තුංට සටන් සගයෙක්, කඳුකර වනාන්තර ප‍්‍රදේශවල. ගම්බද අඩු පහසුකම් සහිත ප‍්‍රදේශවල ජීවත්වෙන එක ඇයට සාමාන්‍ය දෙයක්. අත් දෙකින් ම එක වර වෙඩි තැබීමේ හැකියාවත් ඇය ප‍්‍රගුණ කරලා තිබුණා. මා ඕ ත්ස-තුංගේ ලේකම් විදිහටත් කටයුතු කරපු ඇය ඔහුගේ පුද්ගලික ආරක්‍ෂාව භාර සෙබළුන් එක්කත් කටයුතු කළා.

මා ඕ ත්ස-තුං සම්බන්ධ වෙලා හිටියේ ජීවිත අවදානම වට කරගත්ත ඉතාමත් දුෂ්කර විප්ලවීය ක‍්‍රියාමාර්ගයකට. යං කැයි-හුයි එක්ක විවාහවීමෙන් පස්සේ ගමට ගිය මා ඕ ත්ස-තුං පවුලේ ඉඩම් සහ ගොවි උපකරණ ගමේ අයට බෙදලා දීලා මල්ලිලා දෙන්නත් නංගිත් (මේ නංගි හදාගත්ත කෙනෙක්) එක්ක ඡං-ෂා නගරයට ආවෙත් ඒ හින්දා. (මේ ලිපි මාලාවේ 7 වැනි කොටසින් ඒ ගැන කියලා තියෙනවා). මේ විදිහට නගරයට ඇවිල්ලා විප්ලවයට සම්බන්ධ වෙච්ච අයගෙන් මුලින් ම හතුරාට බිලිවුණේ මා ඕ ත්ස-චියැන්. ඒ කියන්නේ මා ඕ ත්ස-තුංගේ නංගි.

ඡං-ෂා නගරයට ඇවිල්ලා කෙටි කාලයක් ඇතුළත මා ඕ ත්ස-චියැන් චීන සමාජවාදී තරුණ සංගමයට සම්බන්ධ වුණා. 1923 අවුරුද්ද වෙද්දි ඇය පක්‍ෂ සාමාජිකත්වයත් ලබාගත්තා. ඉතාමත් ක‍්‍රියාකාරී තරුණියක් වෙච්ච ඇය පක්‍ෂ සංවිධාන ශක්තිමත් කරන්න කැපවෙලා වැඩ කළා. පක්‍ෂයට අලුත් සාමාජිකයන් එකතු කරගන්න. ගොවි නැගිටීම් සංවිධානය කරන්න. ඒවාට නායකත්වය දෙන්න ඇයට පුළුවන් වුණා. ඒ වගේ ම, ගරිල්ලා සටන් කණ්ඩායමක නායිකාව විදිහටත් ඇය කටයුතු කළා. 1928 අවුරුද්ද ආරම්භයේ දී, චූ ත සහ ඡන් යී විසින් හූ-නන් දකුණු ප‍්‍රදේශයේ මෙහෙයවපු ජනතා නැ`ගිටීම්වලටත් ඇය සම්බන්ධ වුණා.

චූ තගේ සේනාව සහ මා ඕ ත්ස-තුං නායකත්වය දීපු ගොවි – කම්කරු හමුදාව එකතුවුනේ 1928 අපේ‍්‍රල් 28 වැනි දා. (මේ ලිපි මාලාවේ 29 වැනි කොටසින් ඒ ගැන කියලා තියෙනවා). මේ එකතුව සිද්දවෙද්දිත් මා ඕ ත්ස-චියැන් තවදුරටත් හූ-නන් දකුණු ප‍්‍රදේශයේ රැඳිලා හිටියා. ඒ ප‍්‍රදේශයේ සටන්වලට ඉතාමත් ක‍්‍රියාකාරී විදිහට සම්බන්ධ වුණා. ඒත් 1928 මැයි මාසයේ දී ඇය හතුරන්ගේ අත්අඩංගුවට පත්වුණා. දවස් කීපයක් ඇතුළත බේරගත්තත්, ඒ වෙද්දි ගැබිණියක් වෙලා හිටිය ඇයව නැවතත් අල්ලාගන්න හතුරන්ට පුළුවන් වුණා. ඒ ග‍්‍රහණයේ හිටිය අවුරුද්දකට වැඩි කාලය ඇතුළත ලැබිච්ච දරුවා මරලා දාන්නත් හතුරෝ කටයුතු කළා. අන්තිමේ දී, 1929 අගෝස්තු 29 වැනි දා, හතුරන් විසින් ඇයට මරණ දඬුවම ලබාදුන්නා. ඒ වෙද්දිත් ඇයගේ වයස අවුරුදු 24 සම්පූර්ණ වෙලා තිබුණේ නෑ.

හතුරන් විසින් 1930 නොවැම්බර් 14 වැනි දා යං කැයි-හුයි මරාදැමීමෙන් මා ඕ ත්ස-තුංට තමන්ගේ බිරිඳත් අහිමිවුණා. මේ අහිමිවීම මා ඕ ත්ස-තුංගේ හිතට තදින්ම බලපාපු එකක් බව 1957 අවුරුද්දේ ඔහු ලියපු කවියකින් ප‍්‍රකාශ වෙනවා. නිතර ම විප්ලවයට සම්බන්ධ කවි ලියපු මා ඕ ත්ස-තුං විසින් මේ වගේ නිර්මාණ කළේ ඉතාමත් අඩුවෙන්. (ඉඩකඩ මදි නිසා ඒ නිර්මාණයේ පරිවර්තනයක් මේ සමඟ පළ කරන්න අමාරුයි). කොහොම වුනත් මා ඕ ත්ස-තුංගේ චරිතය ගැන හොයන කියන අයට ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ විදිහට විප්ලවය වෙනුවෙන් බිලිවීමේ කාරණයත් සළකා බලන්න පුළුවන්.

මේ විදිහට හතුරන් විසින් තමන්ගේ ළබැඳියන් බිලිගත්තත් ඒ ගැන හිතන්න. දුක්වෙන්න කාලයක් මා ඕ ත්ස-තුංට තිබුණේ නෑ. ගතවෙමින් තිබුණු හැම දවසක ම ඔහු ඉතාමත් අවිවේකී විදිහට විප්ලවය වෙනුවෙන් කැපවෙලා හිටියා. හතුරන් පවා ඔහුට විවේක ගන්න ඉඩදුන්නේ නෑ. 1930 නොවැම්බර් මාසයේ දී ”මැද තැනිතලාවේ යුද්ධය’’ අවසන්වීමට ආසන්න වෙද්දි ම චියං කායි-ෂෙක් විසින් රතු හමුදාවට එරෙහි සටන දියත් කළා, කු ඕ-මින්-තං පාර්ශ්වයට සම්බන්ධ ප‍්‍රාදේශීය බලපුළුවන්කාරයෝ තමන්ගේ අණසක යටතට ගන්න පුළුවන් වෙන්නෙත් මෙහෙම යුද්ධයකින් කියලා ඔහු තේරුම් ඇරගෙන හිටියා.

අලුත් යුද්ධය දියත් කෙරුණේ රට පුරා ගොඩ නැගෙමින් තිබුණු රතු බල ප‍්‍රදේශ වටලෑම් විදිහට. මේ බල කඳවුරු අතර වඩාත් බලවත්ව තිබුණේ චූ – මා ඕ රතු හමුදාව විසින් ගොඩනගමින් හිටිය චියං-ශි සෝවියට් ප‍්‍රදේශය, මේ ප‍්‍රදේශය

”මධ්‍යම සෝවිය ප‍්‍රදේශය’’ නමිනුත් හැඳින්වුණා, චියං කායි-ෂෙක්ගේ හමුදා විසින් චියං-ශි සෝවියට් ප‍්‍රදේශය වටලෑම 1930 නොවැම්බර් මාසයේ මුලම පටන්ගත්තා. ලු තී-පිං සෙනෙවියාගේ හමුදා නොවැම්බර් 2 වැනි දා වෙද්දි ම ඒ ගමන ආරම්භ කළා, නොවැම්බර් 5 වැනි දා වෙද්දි අදාළ ඉලක්ක වෙත ළඟා විය යුතු බව ඔහු තමන්ගේ සියලුම සේනාවලට නියෝග කළා.

මේ වෙද්දි චූ – මා ඕ රතු හමුදාවේ පිරිස් බලය හතළිස් දාහක් දක්වා වර්ධනය වෙලා තිබුණේ, වටලෑම වෙනුවෙන් කු ඕ-මින්-තං පාර්ශ්වය විසින් යොදවලා තිබුණු හමුදාවල පිරිස් බලය ලක්‍ෂයක්, හතළිස් දාහක හමුදාවක් විසින් ලක්‍ෂයක හමුදාවක් පරද්දවලා තමන්ගේ ප‍්‍රදේශය ආරක්‍ෂා කරගන්නේ කොහොම ද කියන අභියෝගයට රතු හමුදාව මූණදීලා හිටියා, ඒ වෙනුවෙන් උපක‍්‍රමයක් තෝරන්න කැඳවපු රැුස්වීමේ දී බහුතරයක් යෝජනා කළේ නන්-ඡං සහ චියු-චියං නගර දෙකට පහරදෙමු කියලා, එහෙම කළොත් ඒ නගර ආරක්‍ෂා කරගන්න තමන්ගේ බලය යොදවන්න හතුරාට සිද්දවෙනවා. ඉතින් ඒ මාර්ගයෙන් තමන්ගේ බල ප‍්‍රදේශය ආරක්‍ෂා කරගන්න රතු හමුදාවට පුළුවන් වෙනවා.

ඒත් මේ අදහසට මා ඕ ත්ස-තුං එකඟවුණේ නෑ. පිරිස් බලයෙන් සහ ආයුධ බලයෙන් අඩු තමන්ගේ හමුදාවලට ඒ නගර දෙකට පරදෙනවා වගේ ලොකු වැඩක් කරන්න බෑ කියලා ඔහු පෙන්නලා දුන්නා. ඒ හින්දා හතුරාගේ බල ප‍්‍රදේශයට පහරදෙන අදහස ප‍්‍රායෝගික නැති බව ඔහු කිව්වා. ඔහු කිව්වේ රතු හමුදාව විසින් තමන්ගේ බල ප‍්‍රදේශයේ දීම හතුරාට පහරදිය යුතු බවයි. රැඳිලා ඉන්න ප‍්‍රදේශයේ භූමිය රතු හමුදාවට පුරුදුයි. ප‍්‍රදේශයේ ජනතාවගේ උදව්වත් රතු හමුදාවට ලැබෙනවා. තමන්ගේ බල ප‍්‍රදේශය වටලෑමේ දැල එලද්දි හතුරාගේ බලය විසිරිලා යනවා. ඉතින් ඒ විදිහට විසිරෙන හතුරු හමුදාවලට තමන්ගේ ප‍්‍රදේශය ඇතුළට එන්න ඉඩදීලා ගරිල්ලා ප‍්‍රහාරවලින් ඒ අය විනාශ කරන එක අමාරු වැඩක් නෙවෙයි. මේ අදහස ප‍්‍රායෝගිකයි කියලා අනිත් අයත් පිළිගත්තා.

හතුරු වටලෑම හින්දා චියං-ශි සෝවියට් බල ප‍්‍රදේශයේ සටන් විශාල ප‍්‍රමාණයක් ඇතිවුණා. ඒ හැම සටනක දී ම. හතුරු බලය අඩපණ කරන්න රතු හමුදාවට පුළුවන් වුණා. නුහුරු නුපුරුදු ප‍්‍රදේශයක. මිනිස්සුන්ගේ උදව්වත් නැතුව සටන් කරපු කු ඕ-මින්-තං හමුදා නිතර නිතර ම පරාජයට පත්වුණා. අදියර පහක් යටතේ එල්ලවෙච්ච හතුරු ප‍්‍රහාර මුළුමනින් ම අවසන් වුණේ 1931 ජනවාරි මුල් සතියේ, බලාපොරොත්තු වෙච්ච කිසිම අරමුණක් මේ වටලෑම හරහා සාක්‍ෂාත් කරගන්න චියං කායි-ෂෙක්ට බැරිවුණා. කු ඕ-මින්-තං හමුදාවල දහතුන් දාහකට වැඩි පිරිසක් මරණයට පත්වුණා. චං හුයි-චන් සෙනෙවියා ඇතුළු හයදාහකට වැඩි පිරිසක් රතු හමුදාවේ අත්අඩංගුවට පත්වුණා. හතුරා සන්තකව තිබුණු තුවක්කු දොළොස් දාහකට වැඩි ප‍්‍රමාණයකුත්. කාලතුවක්කු ඇතුළු වෙනත් බර ආයුධ විශාල ප‍්‍රමාණයකුත් රතු හමුදාවට ලැබුණා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment