කඨිණ පිංකමත් වාණිජ කරණය වූ රටේ තවමත් ඉපැරණි සිරිත් රකින මහානාග රජ දවස ඉදිවූ අලුත්වෙල තිබ්බොටුවාව රජමහා විහාරය.

භික්ෂූන් වහන්සේ වස් විසීමෙන් පසු කඨින චීවරයක් පිළිගැනීමට බුදුන් වහන්සේ අනුදැන වදාරණ ලද්දේ එක් විශේෂ හේතුවක් මුල්කොට ගෙන ය. ඒ පිළිබඳව මහාවග්ග පාලියේ කඨිනක්ඛන්ධඛයේ පැහැදිලිවම සඳහන්ව තිබේ. බුදුන් දවස පටන් භික්ෂූන් වහන්සේ ආරම්භ කෙරුණු මෙම වස් සමාදන් වීම එදා පටන් අද දක්වාම පැවත ආවද අතීතයේ පැවති බොහෝ සිරිත් හා චාරිත්‍ර වර්තමානය වන විට විශාල ලෙස වෙනස් වී තිබේ. කඨිණ පිංකමද වර්තමානය වන විට වාණිජකරණය වී ඇත්තේ මිනිසුන්ගේද ඇති අවිවේකය හා පවතින ආර්ථික රටාවත් සමග මුදල් මත පදනම් වූ ජීවිකාවක් නිසාවෙනි. මේ හේතුව නිසාම කඨිණ පිංකමේ සියලු කටයුතු ද මුදලාලිලා අතට ගොස් තිබේ.

මෙවැනි පරිසරයක් තුළ අනාදිමත් කාලයක සිට පැවත ආ අපේ සිරිත් එපරිද්දෙන්ම රැකගෙන පුරාණ චාරිත්‍රාණුකූලව පවත්වන කඨිණ පිංකමක් පිළිබඳව පසුගිය දින අපට අසන්නට ලැබුණි. ඒ බුත්තල කතරගම පාරේ එන විට හමුවන හතරමං හන්දියෙන් හැරී කිලෝ මීටර් හත අටක් පමණ ගිය පසු ඉතා රමණීය පරිසර පද්ධතියක පිහිටා ඇති අලුත්වල තිබ්බොටුවාව පුරාණ රජමහා විහාරයේය. වාණිජ නගරයෙන් ඈතට වන්න පිහිටා ඇති මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජතුමාගේ සොහොයුරෙකු වූ මහානාග රජු විසින් මෙම පුරාණ විහාරය කරවා තිබේ. රුහුණු, මායා, පිහිටි ලෙස එදා පැවති තුන් සිංහලය නම් කර තිබූ අතර එහි රුහුණ රාජ්‍ය තුළ ගව්වෙන් ගව්වට වෙහෙර විහාරස්ථාන එදා ඉදිකර තිබූ බව ඉතාහාසය ද සාක්ෂි දරයි. ඒ අනුව මෙම පුරාණ විහාරස්ථාන භූමියේද අදටත් ගාවුත කණුවක් නොහොත් ගව්වෙන් ගවුවට සළකුණු ලෙස තැබූ කණුවත් දක්නට හැකිය.

මොනරාගල සිරි සුමන පිරිවෙනෙහි පරිවෙනාධිපති, අලුත්වෙල පුරාණ තිබ්බොටුවාව රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී, ශාස්ත්‍රපති, ශාස්ත්‍රවේදී, යුදගනාවේ පේමානන්ද හිමියන් විසින් වර්තමානය වන විට මෙම විහාරස්ථානයේ භාරකාරත්වය උසුලනු ලබයි.

ඉපැරැණි චාරිත්‍රවලට මුල්තැන

ඈත අතීතයේ පටන් පැවත ආ චාරිත්‍ර හා සිරිත් විරිත් රැසක්ම මේ ගම්මානයේ අදටත් දැකිය හැකිය. අද අප ලියන්නට යන්නේ වාණිජකරණයෙන් තොරව සාම්ප්‍රදායාණුකූලව පැරණි සිරිත් අනුව සිදුකරන මෙම අපූරු කඨිණ පිංකම පිළිබඳවය. විහාරාධිකාරී යුදගනාවේ පේමානන්ද හිමියන් විසින් ඒ පිළිබඳව අපට මෙලෙස පැහැදිළි කළේය.

කඨිණ පිංකමත් අද වන විට මුදලාලිලා තමා තීරණය කරන්නේ මොනවද පූජා කරන්න ඕනි කියලා. වර්තමානය වන විට ඒ තරම්ම පිංකම් වෙනස් වෙලා තියෙනවා. නමුත් එදා මහානාග රජ දවස ඉදිකෙරුණු මේ විහාස්ථානයේ පැවැත්වෙන පිංකම් අදටත් ඉපැරණි චාරිත්‍රාණුකූලවම තමා සිදුවෙන්නේ. ඒ සියලු පිංකම් ගමේ වැඩිහිටියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන්නේ පාරම්පරිකවමයි. දිවයිනේ අන් විහාරස්ථානවලට වඩා මෙම ගොවි ගම්මානයේ පිහිටි මෙම විහාරස්ථානයේ කඨිණ පිංකම පැවැත්වෙන්නේ පුරාණ සිරිත් අනුවයි.

ඒ අනුව කඨින චීවර මාසය ඇසල පුන් පොහෝ දිනයෙන් ආරම්භ වෙලා තුන් මසකට පසු එය අවසන් වෙනවා. ඉතින් සෑම විහාරස්ථානයකම වස් ආරාධානා කිරීම සිදුවන්නේ ඇසල පුන් පොහෝ දිනයේදීයි. නමුත් මේ අපේ විහාරස්ථානයේ පුන් පොහෝ දිනයේ පොහොය කර්ම කරන ලද භික්ෂූන් වහන්සේට ගම්මුන් විසින් පෝය දිනට පසු එළඹෙන අව පෑලවිය දිනයේදී වස් සමාදන් වීම සඳහා ආරාධනා කරනු ලබනවා. ඒ කටයුත්ත සිදු කෙරෙන්නේ ඉපැරණි චාරිත්‍රාණුකූලවමයි.

සතර පේරූවේම දායකත්වය

ගම්මුන්ගෙන් සැළකිය යුතු පිරිසක් උදෑසනින්ම පන්සලට ඇවිත් විහාරස්ථානයට ඇතුළු වන සතර වාහල්කඩේ ගොක් බැඳීමක් සිදුකරනවා. සතර වාහල්කඩ කියලා කියන්නේ බෝධි දොරටුව, පන්සල් දොරටුව, විහාර දොරටුව හා සංඝාවාස දොරටුව යන ස්ථාන හතරටයි. ඉතින් උදේම සතරපේරුවේ වැඩිහිටි දායකයන් ඇවිත් මේ සතර වාහල්කඩේ ගොක් බැඳීම සිදුකරනවා. අනතුරුව බෝධීන් වහන්සේ අසල සතර වරම් දෙවියන් වෙනුවෙන් වෙනම පහන් පැලක් සකස් කරනවා. පසුව දර මිටි බැඳීමේ චාරිත්‍රයත් දවල් 12.00ට පෙර සිදුකර අවසන් කරනවා. දර මිටි බැඳීම කියන්නේ සියලුම දෙනා ගිහින් වෙනම දර එකතු කරගෙන ඇවිත් ඒවා පන්සල් භූමියේ වෙනම ස්ථානයක ගොඩ ගැසීම සිදුකරනු ලබනවා වෙනම නොතෙමෙන ස්ථානයක් සකස් කරලා. ඉන් අනතුරුව වෙනම ස්ථානයක ලිප් බැඳීම සිදුකරනවා. ඉන් අනතුරුව ගමේ වැඩිහිටි කිහිප දෙනකු විසින් බෝධීන් වහන්සේ අසල වෙනම වියනක් බැඳලා ධාතූන් වහන්සේ තැන්පත් දා කරඬුව තැන්පත් කිරීමට ස්ථානයක් හා වස් සමාදන් වූ ස්වාමින් වහන්සේට වැඩ සිට පිරිත් කීමට ස්ථානයක් එහි සකස් කරනවා. උඩට සුදු වියන් බඳලා එහි බුලත් කිනිති, නා දලු හා පුවක් මල් එල්ලීම සිදුකරනවා. පෙරවරුව වන විට මේ සියලුම කටයුතු සිදුකර අවසන් කරලා සවස් භාගය ආරම්භයේදීම ගමේ අය විසින් බෙහෙත් කොළ වර්ග එකතු කරගෙන විහාරස්ථානයට රැගෙන එනවා. ඒ ඇවිත් දහවල් බඳින ලද ලිප් ගිනි මොළවා එහි බෙහෙත් කොළ ආදිය දමා මහා වතුර හැලි කිහිපයක් ලිප් තබනවා. ඒවා පැය තුන හතරකට ආසන්න කාලයක් ලිපේ තබා හොඳ හැටි තම්බා ගැනීමෙන් පසු මද රස්නය දක්වා අඩුවෙනතුරු ලිපේ තබා තියනවා ගින්දර ඉවත් කර. එතෙක් ගමේ තවත් පිරිසක් විහාරස්ථානයේ ධර්ම ශාලාව තුළ වස් වසන හිමිවරුන් සඳහා වැඩ සිටින්න වෙනම ආසන පනවීම සිදුකරනවා. ඊට අමතරව මේ ස්ථානයේම ඉදිරියෙන් වස් ආරාධනා කිරීමට පැමිණෙන දායකයන් විසින් ලුණු කැට පැකට් එකේ ඉඳන් කොට්ට, මෙට්ට, පැදුරු, බෙහෙත්, නූල් බෝල ඉඳිකට්ට දක්වාම මෙන්ම, අමු එළවළු, වියළි සළාක ආදිය පවා ගෙනවිත් මෙහි තැන්පත් කරනවා. ගොඩක් කඨින පිංකම්වල මේක දකින්න පුළුවන් කම තියෙන්නේ කඨින චීවරය පූජා කරන දිනයේදීයි. නමුත් හරි විදිය නම් වස් ආරාධානා කරන දිනයේදී තමයි මේ විදියට පූජා කිරීම සිදුකරන්න ඕනේ. ඒ කටයුත්ත අපේ විහාරස්ථානයේ අඛණ්ඩවම රජකාලේ ඉඳන් සිදුවෙනවා. මේ සියලු කටයුතු සිදු වෙන අතරේ පළමු දිනයේ තුන්යම් හේවිසිය කියලා පනික්කියෝ හේවිසි ගැහීමක් කරනවා. උදේ, දවාල, සවස ලෙස. මේ තුන්යම් හේවිසිය පළමු දිනයේ සිදුකරලා ඊළඟ දිනයේ සිට එම හේවිසි නාද කිරීම වෙනස්ම ආකාරයට පුරා දින හතක් මුළුල්ලේ විහාරස්ථානයේදී සිදුකරනවා. ඉතින් මේ හේවිසි ගහන්න එන පනික්කියෝ මේ දින හතේම පන්සලේ තමයි නැවතිලා ඉන්නේ.

ස්නානයට වෙනමම තැනක්

වටිනා කියන කඨින පිංකම පරණම හැටියට කරන පන්සලක්…
පුරාණ තිබ්බොටුවාව රජමහා
විහාරස්ථානයේ විහාරාධිකාරී,
ශාස්ත්‍රපති, ශාස්ත්‍රවේදී, යුදගනාවේ
පේමානන්ද හිමි.

මේ සියලු කටයුතු සූදානම් කිරීමෙන් පසු ලිප් බැඳ බෙහෙත් වතුරු උණු කළ ස්ථානයේ උණ බම්බු යොදා වෙනම ස්නානය කිරීමට ස්ථානයක් සකස් කරනවා. උඩු වියන් බැඳලා. ඊට පස්සේ ගමේ වැඩිහිටියෝ ටික පන්සලේ සංඝාවාස දොරටුව ළඟට යනවා පනික්කියෝ එක්ක. ඒ ඇවිත් එක හේවිසියක් ගහනවා එතන ඉඳන්. ඊට පසු එක් වැඩිහිටියෙක් ඇවිත් බුලත් අතක් දීලා ආරාධනා කරනවා අපේ හාමුදුරුවනේ පැන් පහසු වීමට (නාන්න) වඩින්න කියලා. එහෙම ආරාධනා කළාම වස් වසන හාමුදුරුවන් වහන්සේලා මුතු කුඩ යටින් පෙරහැරකින් හේවිසි ගහමින් එක්කගෙන යනවා පැන් පහසු වෙන තැනට. උපසපන් වස් ආරාධනා ලබන හිමිවරු තමයි මෙහෙම වඩම්ම ගෙන යන්නේ. එහෙම ගිහින් සිවුරු මාරු කරගෙන පැන් පහසු වීමට සකස් කර ඇති ආසනේ වාඩි වුණාම ගමේ ඉන්න වැඩිහිටි පුද්ගලයෙක් පළමුව බෙහෙත් වතුර කෝප්පයක් අරගෙන එය හාමුදුරුවන්ගේ දෙපා මුල තියලා “දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරලා පැන් පහසු කරවීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටිනවා. එහිදී අවසර හිමි වූ පසුව ගමේ වැඩිහිටියන් විසින් ස්වාමීන් වහන්සේලේ බෙහෙත් කොළ සහිත වතුරෙන් නැහැවීම සිදුකරනු ලබනවා. එලෙස ස්වාමීන් වහන්සේලා නහවලා ඉවර වෙනකම්ම පනික්කියෝ බෙර ගැසීම සිදුකළ යුතුයි. මේ කටයුත්ත අවසන් වූ පසු පෙරහැරෙන්ම හාමුදුරුවන් වහන්සේ දාන ශාලව දක්වා වඩමවාගෙන යනවා. එම ස්ථානයේදීත් ගමේ වැඩිහිටියෙක් විසින් දැහැත් වට්ටියක් දීලා ආරධානා කරනවා අප කෙරෙහි අනුකම්පාවෙන් සකස් කර තිබෙන චතුමධුර සහිත ගිලන්පස පිළිගන්න කියලා. ගිලන් පස වැළඳීමෙන් පසු හාමුදුරුවන් වහන්සේ විහාරස්ථානයේ උඩ මහලයේ පිහිටි ධාතු මන්දිරයට ගොස් වැඳ නමස්කාර කිරීම සිදුකරනු ලබනවා.

ඉන් අනතුරුව ගම්මුන් විසින් ධාතු මන්දිරයේ සිට බෝධීන් වහන්සේ දක්වා පාවඩ එළීම සිදුකරනු ලබනවා. උඩ මහලේ වැඩ සිටින ධාතූන් වහන්සේ තැන්පත් දා කරඬුව ඉදිරියේ සිට පළමුවම හේවිසි පූජාවක් තබලා එම ස්ථානයෙන් එළියට රැගෙන එනවා පාවඩ මතින්. එලෙස බෙර නාද මධ්‍යයේ පූජා පෙරහැරෙන් වඩමවාගෙන එන දා කරඬුව මත වේලාවකට විහාර භූමියේ පිහිටි ටැම්පිට විහාරයේ තැන්පත් කර එහි සිට තේවා කටයුතු යම් ප්‍රමාණයක් සිදුකරනු ලබනවා. මෙහි කරඬුව තැන්පත් කිරීමට හේතුව තමයි රුහුණේ සුගලා දේවිය යටතේ දළදා වහන්සේ පැවති අවස්ථාවේ පරාක්‍රමබාහු රජතුමා විසින් දළදා වහන්සේ අත්පත් කර ගැනීමට පැමිණි අවස්ථාවේ දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් මෙහි තැන්පත් කර තිබුණාය කියන ජනප්‍රවාද කතාව. ඌව පළාතේම මේ වන විට දෘශ්‍යමාන ටැම්පිට විහාර දෙකයි තියෙන්නේ. ඒ එකක් තමයි බිබිල මැදගම පිහිටි පියංගල රජමහා විහාරය. අනිත් ටැම්පිට විහාරය පිහිටා තියෙන්නේ අපේ මේ විහාරස්ථානයේ. දා කරඬුව ටැම්පිට විහාරයේ ටික වේලාවක් තැන්පත් කරලා තියලා පසුව යළි පාවඩ මතින් දා කරඬුව බෝධීන් වහන්සේ ළඟ පිරිත් කියන්න සැකසූ ස්ථානයට වඩමවාගෙන යනවා. ඒ ගිහින් එහි දා කරඬුව තැන්පත් කරලා සතරවරම් දෙවියන් සැකසූ ස්ථානයේ පහන් පත්තු කරලා දේවතාරාධනාව කරලා බෝධී පූජා කටයුතු සිදු කරලා වත පිරිත් දේශනා කිරීම සිදුකරනු ලබනවා. අනතුරුව දෙවියන්ට පිං දීම සිදුකරලා යළි කරඬුන් වහන්සේ පෙරහැරින් උඩ මහලට වඩමවාගෙන ගිහින් තැන්පත් කිරීමෙන් පසු ගමේ මිනිස්සු එකතු වෙලා බණ මඩුවට යනවා සියලුම දෙනා. ඒ ගිහින් හේවිසිකරුවන් විසින් එක් හේවිසියක් ගහනවා. එතකොට ස්වාමින් වහන්සේලා තුන් සිවුර ඇඳලා සංඝාවාස ගොඩනැඟිල්ලෙන් එළියට එනවා. ඒ ආවම ගමේ පිරිසක් විසින් පෙරහැරින් බණ මඩුව දක්වා හාමුදුරුවන් වහන්සේ වඩමවාගෙන යනවා. මේ වෙනකොට වැසි සළුව, මල් ගොටු, බුලත් තටුව ආදිය රැගත් පිරිස පන්සලේ ප්‍රධාන වාහල්කඩ ළඟ සූදානමින් ඉන්නවා වස් වැසීමට ආරාධනා කිරීමට පෙරහැරින් එන්න. පන්දම් එළි රැගෙන සේසත්, මුර ආයුධ කොඩි සහිත පෙරහැරින් තමා ගමේ පිරිස පන්සලේ බණ මඩුවට එන්නේ වස් ආරාධනයට. මේකට කියන්නේ ආරාධනා පෙරහැර කියලා.

දන්කඳ කියවීම

මේ පෙරහැර බණ මඩුවට ආවට පස්සේ සියලුම දෙනා බණ මඩුවේ තැන්පත් වෙනවා. ඊට පස්සේ ගමේ ඉන්න පැරණිම දායක මහත්තයෙක් කතාවක් කරලා අවසානයේ හාමුදුරුවන්ට ආරාධනා කරනවා අපිට ශක්ති ප්‍රමාණයෙන් මේ වස් තුන් මාසයේ ඔබ වහන්සේලා වෙනුවෙන් සිව් පසයෙන් ඇප උපස්ථාන කරනවා. ඒ නිසා අපි වෙනුවෙන් මේ විහාරස්ථානයේ වස් වසන්න කියලා දැහැත් වට්ටිය, මල් වට්ටිය හා වැසි සළුව පූජා කරලා ආරාධනා කරනවා. එම ආරාධනාව පිළිගන්න හාමුදුරුවන් වහන්සේ විසින් සියලුම දෙනාට පන්සිල් දීලා වස් පිංකම පිළිබඳව අනුශාසනාවක් කරලා පිංකම අවසන් කරනවා. එහිදී පිංකම අවසානයේ ගමේ දායක මහත්තයෙක් විසින් දන්කඳ කියවීමේ චාරිත්‍රය සිදුකරනවා. වස් ආරාධනා කර දිනයේ සිට දින හතක් යනකම් අඛණ්ඩව ඉටු කළ යුතු චාරිත්‍ර ටිකක් තියෙනවා. මේ දන් කඳ කියවීම කියන්නේ මේ දවස් හත පුරාවටම ඒ ඒ ගංදොරේ වැයික්කිවල අය කළ යුතු වැඩ කටයුතු හා වත් පිළිවෙත් හා දන් කඳ ගෙන ඒම ඒවා සකස් කිරීම ආදිය පිළිබඳව තමයි මෙහිදී කියවන්නේ.

මේකෙදී දවස් හත පුරාම ඒ ඒ ගම් වැයික්කිවලට අදාළ දන් කොටස් පිළිබඳ දන් වතාවත තමයි කියවනු ලබන්නේ. ඒකෙදී සඳහන් කරනවා උදේ දානය මේ ගම් කොටසින්, දවල් මේ ගම් කොටසින් කියලා බෙදා වෙන් කරලා දෙනවා. ගම් දොරේ ඉන්න මේ පැරණි උදවිය මේ වස් කාලය කිට්ටු වෙනකොට මේ සඳහා වෙනම හාල් තුනපහේ ඉඳන්ම පිරිසිදුව සකස් කර ගන්නවා. මේ වෙනුවෙන් දානය උයන්න පවා ඒ ඒ ගම්දොරේ නිවෙස් තුළ වෙනම ගොම මැටි ගා ලිප් බැඳ තමයි දාන සකස් කිරීම පවා සිදු කරන්නේ. කැවිලි පෙවිලි පවා ඒ ඒ අය විසින්ම සකස් කරනු ලබනවා. කඩෙන් ගෙනත් කිසිම දෙයක් පූජා කරන්නේ නෑ. සියලු දේ ගමේ විදියට හදනවා. ඒ විතරක් නෙමේ මෙහිදී මේ සියලු පිංකම් සඳහා ගමේ ඉන්න කුඩා හා තරුණ පිරිස සම්බන්ධ වීම අනිවාර්යයි. ඒක ගමේ ඉන්න වැඩිහිටියන් විසින්ම තමයි නියම කරලා තියෙන්නේ. මොකද මේ චාරිත්‍ර කාලාන්තරයක් තිස්සේ පැවත ඇවිත් තියෙනවා. ඒවා අනාගත පරපුරටත් එළෙසම දායාද කිරීමට තමයි මේක කරන්නේ යැයි උන්වහන්සේ අපත් සමග පැවසීය.

සටහන හා සේයා රූ
මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment