වඩමරච්චියේ ශෝක් ප්‍රින්සිපල්

1083

වඩමරච්චි යන වචනය දකුණේ ජනතාව අතර කොළඹ, පිටකොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය යන තරමට ප්‍රකටය. යාපනය අර්ධද්වීපයේ පිහිටි වඩමරච්චිය 1987 මැයි මාසය දක්වා තිබුණේ ප්‍රභාකරන්ගේ සාක්කුවේය. එම වකවානුවේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් 4000ක් ද ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර් ද, නාවික හමුදාවේ ප්‍රහාරක බෝට්ටුද එකතුවී වඩමරච්චි ආක්‍රමණය කර එය අත්පත් කර ගන්නට ගියේය. වඩමරච්චි සටනේදී ප්‍රභාකරන් ක්‍රමයෙන් හමුදාවට කොටුවෙමින් සිටි බව කියනු ලැබේ. ඒ නිසා එවකට පැවති ඉන්දියන් ආණ්ඩුවට එම ආක්‍රමණය නවතා දැමීමට අවශ්‍ය විය. ඉන්දියන් ආණ්ඩුව 1987 ජූලි මස 04 වැනිදා ගුවනින් පැමිණ යාපනයට පරිප්පු දමන ලද අතර ඊට යටත්වීමක් වශයෙන් පස්ස ගැහීමට ලක් රජයට සිදුවිය. මේ පරිප්පු සිද්ධිය හඳුන්වන ලද්දේ පුමලායි මෙහෙයුම වශයෙනි. අන්තිමේදී පරිප්පුත් කා ඉන්දු – ලංකා ගිවිසුමට ද අත්සන් තැබීමට එවකට පැවැති ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවට සිදුවිය. යුද්ධය නිමවී බොහෝ කල් ගතවී ඇති මේ මොහොතේදී අප මේ සිද්ධිය මතක් කරන්නේ යුද්ධය ගැන කල්පනා කරමින් මෝඩ ආතල් එකක් ගැනීමට නොව වඩමරච්චියේ වැදගත්කම සඳහන් කිරීමට ය. අද තිබෙන්නේ 1987 තිබූ වෙඩි උණ්ඩවලින් හිල් වුණු වඩමරච්චිය නොවේ. නූතන වඩමරච්චිය ඉතා දියුණුය. පිටරට සිටින දෙමළ ඩයස්පෝරාව මේ ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා විශාල මුදලක් මෙරටට එවති. එම මුදල ගසා කෑවේ යැයි කියන විදුහල්පතිවරයකු ගැන අද මේ තීරුව ඔස්සේ සාකච්ඡා කරනු ලැබේ.

සිද්ධියට සම්බන්ධ විදුහල්පතිතුමා වඩමරච්චියේ පාසලක් භාරව කටයුතු කරයි. සමාජ මාධ්‍ය ඔස්සේ පිහිටුවා ගත් ආධාර කරන්නන් සමූහයක් මගින් මේ විදුහල්පතිතුමා මේ වනවිට රුපියල් දෙකෝටි විසිහතර ලක්‍ෂයක් එකතු කරගෙන තිබේලු. ඒ තමා සේවය කරන පාසල සංවර්ධනය කිරීම සඳහාය. පරිප්පු සිද්ධියෙන් පසු වඩමරච්චියෙන් වාර්තා වූ ඊළඟ ප්‍රධානම සිද්ධිය මේ විදුහල්පතිතුමාගේ සල්ලි එකතු කිරිල්ල බව කියනු ලැබේ. මේ සම්බන්ධයෙන් යාපනයේ මානව හිමිකම් කොමිසම පරීක්‍ෂණ ආරම්භ කර ඇත. පිටරට සිටින දෙමළ ජනයා අන්තර්ජාලය ඔස්සේ අදාළ විදුහලේ සංවර්ධනය උදෙසා එවූ මුදල් ප්‍රමාණයන් ගැන දත්ත සොයා ගැනීමට මානව හිමිකම් නිලධාරීන්ට හැකිව තිබේ. විදුහල්පතිතුමා පාසල විකුණන අන්දම ගැන අදාළ පාසලේ ගුරු දෙගුරු සමිතිය ද ප්‍රශ්න කර ඇත. මෙවිට විදුහල්පතිතුමා කියා ඇත්තේ පිටරටින් සල්ලි එවන්නේ පාසලේ වැඩවලට නොව තමන් විසින් පිහිටුවන ලද එන්ජීඕ එකකට බවය. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියේ නම් මේ වනවිට මේ කියන විදුහල්පති ජීවතුන් අතර සිටීමට කිසිදු ඉඩක් නැති බව අපි සහතික කර කියමු. කොතරම් දුෂ්ට මිනීමරුවකු වුවද ප්‍රභාකරන් දූෂණයට සහ වංචාවට ඉඩ දෙන්නේ නැත. වංචනිකයා සිටිය යුත්තේ මෙලොව නොව පරලොව තුළ බව ප්‍රභාකරන් හැම විටම විශ්වාස කළේය.

විවිධ කාරණා සඳහා අන්තර්ජාලය ඔස්සේ සල්ලි එකතු කිරීමේ ජාවාරම අද වනවිට ඉතා පුළුල් මට්ටමක පවතී. රෝගී දරුවකුගේ හෝ ආබාධිත පුද්ගලයකුගේ හෝ කඩාවැටුණු නිවසක හෝ පිංතූරයක් අන්තර්ජාලයට දමා ඒ යටින් බැංකු ගිණුමක අංකය සඳහන් කළ විට පිටරටවල සිටින සිංහල, දෙමළ සහ මුස්ලිම් ඩයස්පෝරා තුනම හිත උණුවී සට සට ගා මුදල් එවන්නට පටන් ගනී. අන්තිමේදී ගේ කඩාවැටුණු එකා ගෙවල් තුනක් හැදීමට තරම් මුදලක් උපයා ගනී. හැබැයි මෙසේ උපයන මුදල ගෙවල් අයිතිකාරයාගේ සාක්කුවට යන්නේ නැත. එම මුදල යන්නේ අන්තර්ජාලයට එම පුවත මුදාහළ තෙවන පාර්ශ්වයේ ගිණුමටය. අන්තිමේදී කඩාවැටුණු නිවස නොව තෙවන පාර්ශ්වයේ නිවස තට්ටු තුන හතරක් උසට ඉදිකර ගනු දැක ගත හැකිය. මෙයට කලකට පෙර මේ රටේ සිටින වංචනිකයන් මෙබඳු කූට වැඩ සඳහා යොදා ගත්තේ පුවත්පත් ය. එහෙත් ක්‍රමයෙන් පුවත්පතට හිමි තැන අන්තර්ජාලයට හිමිවීමත් සමග මේ වංචාව ඉතා පුළුල් ලෙස ද ජාත්‍යන්තර මට්ටමින් ද කරගත හැකිව තිබේ. ලංකාව මූලික වශයෙන් ගත් කල අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති රටකි. දෙවනුව ගත් කල ලංකාවට අවුරුදු 7000ක පමණ ඉතිහාසයක් තිබේ. ලංකාවේ වංචනික ඉතිහාසයට මේ වනවිට අවුරුදු 60ක් පමණ සම්පූර්ණ වී ඇත. කුණු වූ මාළු කකුල්වල ඔතාගෙන හිඟා කෑම, හදවතේ හිලක් ඇති දරුවකු ගෙදර සිටින බව කියමින් ටිකට් අච්චු ගසා ආධාර එකතු කිරීම පිණිස එම ටිකට් විකිණීම යනාදී කපටි වැඩ වර්ධනය වන්නේ පෙර කී කාල වකවානු තුළය. අද මේ රටේ සිටින හිඟන්නන්ගෙන් 70%ක් කුඩු ගසති. 40%ක් පමණ කුඩුත් කසිප්පුත් යන දෙකම පරිභෝජනය කරති. ලංකාව චෞර රාජ්‍යයක් බැවින් ඇත්ත හිඟන්නකුට වුවද මුදලක් දීමට ජනතාව මැලිවන්නාහ. වඩමරච්චියේ ශෝක් ප්‍රින්සිපල් පෙර කී ආකාරයේ වංචාවක් කර ඇත්නම් ඔහු කුඩු සහ කසිප්පු එකට ගසන යාචකයන්ටත් වඩා දීනය.

advertistmentadvertistment
advertistmentadvertistment