වත්මන් කවි  ඇසින් දුටු  ස්ත්‍රිය

226

සාහිත්‍ය නිර්මාණ කෙරෙහි තේමා වූ සුලබ තේමාවක් වශයෙන් කාන්තාව නැතහොත් ස්ත්‍රිය හැඳින්විය හැකිය. ස්ත්‍රිය, මහිලා, වනිතා යනාදී වචන කාන්තාව හැඳින්වීම සඳහා යොදා ගන්නා පර්යාය පද වේ. ඈත අතීතයේ පටන් කාන්තාව හා සාහිත්‍යයට ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධයකි. අපරදිග මෙන්ම පෙරදිගද සාහිත්‍ය නිර්මාණ බොහොමයක් කෙරෙහි පාදක වූ වස්තුවක් වශයෙන් ස්ත්‍රිය පෙන්වාදිය හැකිය. මෑතකාලීන බොහෝ කාව්‍ය නිර්මාණවලට ද ස්ත්‍රිය, ස්ත්‍රීත්වය හා ලලනා ලක්ෂණ තේමා වී ඇත. ලක්මාලි හේවාවසම්ගේ හැඟුම් මුහුළස ලිහුණි පද්‍ය සංග්‍රහයේ එන සාරි සහ ඔසරි එවැනි පද්‍ය නිර්මාණයකි.

එක් දරු
 
 දෙදරු
 
 තුන් දරු ද කිව හැකි
 
 නොලද දරු බඩවත
 
 සැණෙන් හඳුනා ගත හැකි…
 
 (හේවාවසම්, 2021: 51).
 

 පද්‍ය නිර්මාණය ඇරඹෙන්නේ ඉහත පැදි කොටසිනි. භාෂාව සරල මෙන්ම පැහැදිලිය. අලංකාර භාවිතය අවමය. එහෙත් යම් රිද්මයක් ඇත. නිදහස් පද්‍යයකි. කවියේ තේමාව සාරි සහ ඔසරි යන්නයි. සාරිය යනු ඉන්දියානු ආභාසයෙන් ලංකාව අරක් ගත් කාන්තා ඇඳුම් විලාසිතාවකි. ඔසරිය ප්‍රධාන වශයෙන් උඩරට රදළ පවුල්වල කාන්තාවන් අතීතයේ පටන් ඇඳි ලාංකීය වැඩිහිටි කාන්තාවන්ගේ ජාතික ඇඳුම් විලාසිතාවයි. අද වන විට සාරි සහ ඔසරි යනු පොදුවේ ලාංකීය කාන්තාවන් අතර ජනප්‍රිය ඇඳුම් විලාසිතා දෙකකි. විශේෂයෙන් කාර්යාලවල රැකියාවල නියුතු යුවතියන්ගේ සිට වැඩිහිටි කාන්තාවන්ද, ගුරුවරියන් ඇතුළු බොහෝ කාන්තාවන් නිතරම සාරි සහ ඔසරි අඳිනු දැකිය හැකිය. කිවිඳියගේ කාව්‍ය තේමාව මෙකී විලාසිතා ද්විත්වයයි. කිවිඳිය පවසන ආකාරයට සාරිය හෝ ඔසරිය අඳින ආකාරයට එම තැනැත්තියගේ විවාහක අවිවාහක බව මෙන්ම දරුවන් කොපමණ සිටිනවාද යන්නද තීරණය කළ හැකිය. හඳුනාගත හැකිය.

ස්ටේ‍රච් මාක් ඇති බඳ වට රැළි එතෙන
 
 දුම්රිය බස් අනඟනෙත් නිතර ඇලි ඇලි
 
 පොඩ්ඩක් එහෙ මෙහෙට වෙන සාරි පොට තුළ
 
 “කෝ කොහිද නාභිය?” සොයා වෙහෙසෙන පිරිමි
 
 පොළ දාට
 
 ටවුමට
 
 බැංකුවට
 
 පිට කැපූ රවුම…(හේවාවසම්, 2021: 51).
 

 මෙහි එන කතා නායිකාව දිනපතා රැකියාවකට යන දරුවන් සිටින තැනැත්තියක් විය හැකිය. කිවිඳිය වක්‍රව පවසන්නේ යම් තරමකට ඉගෙන ගෙන සමාජ තත්ත්වයක් හිමි වුවද ඇයගේ සැබෑ ජීවන යථාර්ථයයි. අලංකාර අයුරින් සාරි සහ ඔසරි හැඳ සමාජය ඉදිරියේ පෙනී සිටින කාන්තාවන්ගේ සැබෑ ජීවන යථාර්ථයයි. ඇය ගෘහයේ සියලු කටයුතු ඉටු කළ යුතුය. එහෙත් ඇයගේ සාරියේ කටුව ගසා ගැනීමට යෑමේදී පවා ඇතැම් විට නිවැසියන්ගේ රැවුම් ගෙරවුම්වලට ලක් වීමට සිදු වේ. එකී පීඩන එතනින්ද නොනවතී. පොදු ප්‍රවාහනයේදී කාමුක පිරිමින්ගේ නෙත්වලින් දූෂණයට ලක් වේ. ඇතැම් කාමී පුරුෂයන් බලා සිටින්නේ නාභිය පමණක් වුවද දැක සැනසීමේ අභිප්‍රායෙනි.

වත්මන් කවි  ඇසින් දුටු  ස්ත්‍රිය

සුරේඛා සමරසේනගේ වම් පියවුර කාව්‍ය සංග්‍රහයේ ‘සිංහ ධේනූවී’ කාව්‍ය නිර්මාණය ස්ත්‍රී පීඩනය නිරූපණය කරන තවත් එක් කාව්‍ය නිර්මාණයකි.

ලෙන් දොර පෙරලාන උදයෙම පැන්නා ය
 
 බසයක එල්ලිලා නගරෙට දිව්වා ය
 
 කන්තෝරුවේ වැඩ කර කර උන්නා ය…
 
 (සමරසේන, 2022: 46).


 මෙය එක්තරා ආකාරයක අන්තර්පඨිතමය කියවීමක් සහිත කාව්‍ය නිර්මාණයකි. ඒ සිංහබාහු කතා පුවතයි. සිංහයා හා සිංහ ධේනූවී මෙන්ම ලෙන්දොර යයි කියූ සැනින් මනසට නැගෙන්නේ එම පුවතයි. එම පුවතට අනුව ලෙන්දොර වසා දමා දරුවා හා බිරිඳ නිවසේ දමා පිටව යන්නේ සිංහයාය. මෙහිදී පවසන්නේ සිංහයා කියූ ලෙසටම සිටින සිංහධේනුවියක ගැන නොවේ. ලෙන්දොර පෙරළාගෙන සිංහධේනුවිද උදයම පැනයන බව පවසයි. ඇය කිසියම් රැකියාවක නිරත වන තැනැත්තියක බව පැහැදිලිය. මෙම කවියේ පැන යෑම හා සම්බන්ධ ක්‍රියාපද ඇයගේ කාර්යබහුල බවට එක්තර ඉඟියකි. ඇය නිවසින් පිටව යන්නේද කාර්යාලයෙන් පිටව එන්නේද පැන ගෙනය. ඇයට යන එන මගත් රාජකාරි බහුලය. නිවසේද සියලුම මෙහෙයන් ඉටු කරයි. ‘චූ ගඳ ගහන ඇඳ රෙදි හෝදන්නා ය…’ ඒ බව එම පැදි ඛණ්ඩයෙන් පමණක් වුවද තහවුරු වේ. සිංහයා සිටින්නේ සිංහ සෙයියාවෙනි. දවස තුළ වූ වෙහෙස මත්වතුරට දිය කර හරියි. සමාජ මාධ්‍ය ජාලාවල සැරි සරා දුම්වැටි උරයි. ධේනූවිට එවැනි නිදහසක් නොමැත. ඇය රෑ මැදියම වනතුරුත් ගෘහීය කටයුතුවල නියැලේ. ඉන් ද නොනවැති සයනයේදී ද ඇය ස්වකීය සැමියා සතුටු කළ යුතුය. සියල්ල අවසානයේ නැවත උදයේ සිටම ක්‍රියාත්මක වන්නේ ඉහත කී චක්‍රයමය. මෙය පොදුවේ සමස්තයක් වශයෙන් රැකියාවක නියැලෙමින් ගෘහීය කටයුතුද සිදු කරන මධ්‍යම පාන්තික කාන්තාවන්ගේ ශෝචනීය ඉරණමයි.

ධේනුවිය – අන්තිමේ ඇඳට එන්නා ය
 
 සිංහ නිය පහර – ඉවසා ගන්නා ය
 
 මැදියම පසුව – ඇය නින්දට යන්නාය
 
 එනමුත් පහට ‘එලාම් එක’ වැදෙනා ය…


 (සමරසේන 2022: 47).

 ඇතැම් විට එම ඉරණම කාන්තාවන් කැමැත්තෙන් නොකරනවා විය හැකිය. එහෙත් එම වගකීම් බිරිඳක වශයෙන් ඇය අතින් ඉටු විය යුතු බව පවුල මෙන්ම සමාජය ද අපේක්ෂා කරයි. කුලගෙට යන දියණියකට මව්වරුන් නිරන්තරයෙන් අවවාද දෙනුයේ ස්වකීය යුතුකම් හා වගකීම් ඉටු කරමින් සියල්ල ඉවසන ලෙසයි. ගෙයි ගිනි පිටට නොදෙන ලෙසයි. විශේෂයෙන් බිරිඳක නම් විශාඛාව මෙන් විය යුතු බව ලාංකීය බෞද්ධ සමාජය අදටත් අපේක්ෂා කරයි. ගෘහීය කටයුතු සියල්ල කිරීම ඇය සතු කාර්යයක් ලෙස දකියි. පුරුෂයා කළ යුත්තේ රැකියාවක් සිදු කොට පවුල පෝෂණය කිරීම බව පිළිගැනේ. අනෙක් සියලු කටයුතු කළමනාකරණය කළ යුත්තේ කාන්තාවයි. ඇයට විකල්ප නැත. රැකියාවක් කළද එහි වෙනසක් නොමැත. මෙකී සමාජ යථාර්ථය මෙම කාව්‍ය නිර්මාණයෙන් විශද කරයි. එහෙත් අද වන විට අධ්‍යාපනය, තේරුම් ගැනීම වැනි සාධක මත ඇතැම් කුටුම්භවල මෙම තත්ත්වය යම් තරමකින් වෙනස් අවස්ථා තිබිය හැකිය. ස්වාමියා බිරිඳ හා සහයෝගයෙන් ක්‍රියා කරන අවස්ථා තිබිය හැකිය. එහෙත් පොදුවේ 21 වන සියවස තුළ වුවද බොහෝ දෙනෙක් කාන්තාව ගෘහය තුළට සීමා කරමින් දරුවන් හදාවඩා නිවස පාලනය කරමින් ඉතා කුඩා වපසරියක සිටිනු දැකීම අපේක්ෂා කරයි. මෙය බොහෝ විට දකුණු ආසියාතික සමාජවල අතීතයේ පටන් පැවත එන තත්වයකි.

 සුරේඛා සමරසේනගේ ‘සමහර පිරිමි’ නම් හයිකු කවියද ස්ත්‍රීවාදී කාව්‍ය විචාරයේදී සියුම්ව කියවිය හැකි කවියකි. මෙහිදී විශේෂයෙන් කාන්තාවන් විෂයෙහි රුදු පිරිමින්ගේ ආක්‍රමණශීලි ලිංගික හැසිරීම විශද කරයි. මෙය කෙටි කවියක් වුවද විශාල අරුතක් ගෙන එයි. ලිංගික එක්වීමකදී පුරුෂයන් මෙන්ම කාන්තාව ද සූරාන්තය කරා යා යුතුය. පිරිමියා ලිංගික කටයුත්තකදී ගැහැනිය එම ක්‍රියාවට නතු කර ගත යුත්තේ ආදරය හා රාගය එක සේ කැටිකර ගනිමිනි. එහෙත් ඇතැම් පුරුෂයන්ට අවශ්‍ය වන්නේ මොහොතකට තම තෘප්තිය පමණි. ඒ සඳහා කාන්තාව පෙළා දමයි. පීඩාවට පත් කරයි. ඇතැම් පුරුෂයින්ට කාන්තාව යනු ලිංගික කෙළි බඩුවක් පමණි. මෙය ස්ත්‍රීවාදී විචාරයේදී සඳහන් වන්නේ පුරුෂයා රංගනය කරන තැනැත්කෙකු බවත් කාන්තාව ඔහුගේ රඟ මඬල වන බවත්ය. තවද පුරුෂයා ස්වභාවයෙන්ම ආක්‍රමණශීලි බව දැක්වේ. ව්‍යාඝ්‍රයෙකු සේ ආක්‍රමණය මගින් සිය හැඟීම් සංතෘප්ත කිරීම ඔහුගේ සහජ ලැදියාවයි. ලිංගික කටයුත්තේදීද එය පොදු වූවක් බව දැක්වේ. මෙම පද්‍ය නිර්මාණයේදී පුරුෂ ලිඟුව පිහිතලයකට සම කොට දක්වයි. එය රූපකයකි.

සමහර පිරිමින්ට ඇත්තේ
 
 ලිඟු නෙවෙයි – පිහිතල
 
 ‘එකපාර පිහියෙන් ඇනීම’යි
 
 ඒ අයගෙ තෘප්තිය
(සමරසේන, 2022: 54).

 ස්ත්‍රිය සම්බන්ධ සාහිත්‍ය විමසීමේදී දැකිය හැකි තවත් එක් ලක්ෂණයක් වන්නේ ස්ත්‍රිය පිළිබඳ සංකල්ප රූප දක්නට ලැබීමයි. ස්ත්‍රීන් වඩා කරුණාවන්තය. ඔවුහු මුදු මොළොක්ය. මෙම ලක්ෂණ නෛසර්ගිකවම පැමිණෙන බව විශ්වාස කිරීම සාරාත්මවාදී බව ස්ත්‍රීවාදිහු දක්වති. එසේම සාහිත්‍ය තුළ ස්ත්‍රී චරිත නිරූපණය හා ඇයට අයත් යැයි සැලකෙන සමාජ භූමිකා හා ඔවුන්ගේ සමාජානුයෝජනය සම්බන්ධව සාකච්ඡා කර ඇත. කෙසේ නමුත් ස්ත්‍රීවාදය නම් සාහිත්‍ය න්‍යායේදීද ස්ත්‍රිය විෂයෙහි සෑම අංශයක්ම කතිකාවට ලක් වුණි. ස්ත්‍රි අධ්‍යාපනය, සම්මත අසම්මත ලිංගික සම්බන්ධතා, වාණිජකරණය සමග ස්ත්‍රී ද්‍රව්‍යකරණය හා ස්ත්‍රී කාරකත්වය වැනි තේමා ඒ අතර වේ. මේ සියලු දේවල් සම්බන්ධයෙන් මෙම න්‍යායධරයෝ ස්වකීය අදහස් දක්වා ඇත. මෙකී තේමා ආශ්‍රිත නිර්මාණ සාහිත්‍ය කෘති තුළින්ද හඳුනා ගත හැකිය.

 ඈත අතීතයේ පටන් සාහිත්‍ය නිර්මාණ කෙරෙහි ස්ත්‍රිය නම් තේමාව බහුල යොදා ගෙන ඇත. බොහෝ විට සාහිත්‍යයේ ස්ත්‍රිය නිරූපණය වී ඇත්තේ ශරීරය කේන්ද්‍ර කොට ගෙනය. එනම් ශරීරය කේන්ද්‍ර කර ගත් සංකල්ප රූපවලින් පෙන්වයි. බොහෝ විට සමාජය තුළ ස්ත්‍රිය වින්දිතයෙකු වෙනුවට කාරකයෙකු වශයෙන් දකියි. ස්ත්‍රී චරිත නිරූපණය, ඇය හා බැඳි සංකල්ප රූප, ස්ත්‍රී හිංසනය, පීඩනය, ස්ත්‍රී ද්‍රව්‍යකරණය, ස්ත්‍රී කාරකත්වය වැනි සංකල්ප සාහිත්‍ය නිර්මාණවලින් මනාව හඳුනා ගත හැකිය.

● සහකාර කථිකාචාර්ය
 ඉවන්තා සඳුනි ජයසේන
 සිංහල අධ්‍යයන අංශය – පේරාදෙණි විශ්වවිද්‍යාලය
 
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment