වත්මන් සමාජ දේශපාලන අර්බුදයේ කැඩපතක් වූ ‘තුරු දිරා වැටෙන තුරු’

46

සේන තෝරදෙනිය මහතාගේ නවතම කෘතිය වූ “තුරු දිරා වැටෙනතුරු” නවකතාව 2021 දෙසැම්බරයේදී සුරස ප්‍රකාශනයක් ලෙසින් ප්‍රකාශයට පත්විය. කිසියම් නවකතාකරුවකුගේ අලුත් නවකතාවක් විචාරය කිරීමට පෙර එම නවකතාකරුවාගේ පූර්ව කෘති ගැන අවබෝධයකින් යුතුව එම නවකතාකරුවාගේ නිර්මාණ භාවිතයේ සුවිශේෂතා හඳුනාගත යුතුය. විචාරකයා විචාරයට එළැඹිය යුත්තේ ඒ අවබෝධය ඇතිවය. අද විචාරකයන් හතු පිපෙන්නාක් සේ මතුව ඇති බව දක්නට ඇතත් එලෙස නවකතාකරුවකුගේ සුවිශේෂතා හඳුනාගත් විචාරකයන් දක්නට ඇත්තේ ස්වල්පයකි.

තෝරදෙනිය මහතාගේ නිර්මාණ දිවියේ එබඳු සුවිශේෂතා හතරක් අපට හඳුනාගත හැකිය. ඉන් පළමු වැන්න ඔහු සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙන් ලබාගත් අනුප්‍රාණය හා එමගින් සිය නිර්මාණ භාවිතය සුපෝෂණය කිරීම හා සුපුෂ්පවත් කිරීමයි. ඔහුගේ නිර්මාණවල ඇති මෙම ගුණය ආචාර්ය සිරි තිලකසිරි සූරීන් විසින් ලේඛන ගතකොට තිබේ. තෝරදෙනිය මහතාගේ ග්‍රන්ථ නාම දෙස බලනවිටද මේ ගුණය පැහැදිලිව පෙනේ. “නැගී සිටුව මල් බෑයෙනි” නම් ඔහුගේ කාව්‍ය සංග්‍රහය සද්ධර්ම රත්නාවලියේ “කුම්භඝෝෂක වස්තුව” අනුව යාමකි. “නකුල මාතා” නම් කෙටිකතා සංග්‍රහයේ ග්‍රන්ථ නාමය බෞද්ධ සාහිත්‍ය වෙතට පාඨකයා ගෙන යයි. “සප්ත අපදාන වස්තුව” නවකතාව සද්ධර්ම රත්නාවලිය අනුව නම් යෙදීමකි. “අටළොස් ගිරිදුදුළු” නවකතාව ගිරා සංදේශයේ “දසටක් ගිරිදුදුළු” නම් කවිය සිහිපත් කරයි. “සදත්විල මහා සුභද්‍රාවෝ” ඡද්දත්ත ජාතකයේ ආභාසය ලබා යෙදූවකි. ඔහුගේ නවතම නවකතාව වන “තුරු දිරා වැටෙනතුරු” ගිරා සංදේශයේ “දිරා වැටෙන තුරු තුර නොහැර ඉඳ තොසේ” (තුරු දිරා වැටෙන තුරු නොහැර ඉඳ) කවියද ඒ ඔස්සේ මහාගිරා ජාතකය ද අපට සිහිපත් කරදෙයි. මෙම ලක්ෂණ අපේ විශ්වවිද්‍යාලයීය සිංහල භාෂා අධ්‍යනාංශවල සැලකිල්ලට ලක්වී නැත. සිංහල කවීන් හා ගීපද රචකයන් සම්භාව්‍ය සාහිත්‍යයෙන් ලත් ආභාසය ගැන කොතෙකුත් කියවෙතත් සිංහල නවකතාකරුවා සම්භාව්‍ය සාහිත්‍යයෙන් ලත් ආභාසය ගැන ලියවී ඇති තරම ප්‍රමාණවත් නැත.

සේන තෝරදෙනිය මහතාගේ නවකතාවේ දක්නට ඇති දෙවැනි සුවිශේෂී ලක්ෂණය වන්නේ ඔහු උඩරට ජන ජීවිතය ගැඹුරින් නිරූපණය කිරීම සහ සිය නවකතා දුම්බර ජනවහරින් පෝෂණය කිරීමේ ප්‍රවණතාවයි. “උදුම්බරාගිර”,“සදත්විල මහා සුභද්‍රාවෝ”, “එකම නෙළුමක”, “බණ්ඩර මැරූ උන්”, “හඳුන් මල් කඩුල්ල”, “මඩරන්” ඊට උදාහරණ වේ. එහෙත් උඩරට ජන ජීවිතය විදහා පෑ නවකතාකරුවා වශයෙන් අදත් විචාරකයන්ගේ පැසසුමට ලක්වන්නේ උඩරට ජන සමාජයේ පිට කවරය පෙන්වූ ටී.බී ඉලංගරත්නයි.

සේන තෝරදෙනිය මහතාගේ නවකතාවල දක්නට ඇති තෙවැනි සුවිශේෂීතාව වන්නේ ඔහු දේශපාලනය නවකතාවට ගෙන එන ආකාරයයි. ඔහුගේ බොහෝ නවකතාවල මෙම ගුණය දැකිය හැකි අතර එය එන්-ජී-ඕ. ලේඛක ලේඛිකාවන් කියන දේශපාලනය නොව මාක්වාදී ආස්ථානයක පිහිටුවන ලද දේශපාලනය වේ. ඔහුගේ නවකතාවේ සිව්වෙනි සුවිශේෂතාව වන්නේ ඔහු කාන්තාව උත්කර්ෂයට නංවන ආකාරයයි. එබඳු කාන්තා චරිත රාශියක් ඔහු සිංහල සාහිත්‍යට හඳුන්වා දී ඇත. “තුරු දිරා වැටෙන තුරු” මෙම ලක්ෂණ හතරෙහිම සංකලනයක් වීම එය සුවිශේෂී නිර්මාණයක් බවට පත් කැරේ.

මෙම නවකතාවේ වෙනත් විශේෂ ලක්ෂණ දෙකක් ද තිබේ. ඉන් එකක් වන්නේ නවකතාවේ ඇති චරිත පුද්ගල නාමවලින් හඳුන්වා නොදීමයි. උදාහරණයකට නිදහසින් පසු වසර හැත්තෑ තුනක ලංකා ඉතිහාසයේ වැදගත් මංසලකුණු පවසා සිටින ප්‍රධාන චරිතය හඳුන්වා ඇත්තේ “අසූ වියට එළැඹෙමින් සිටින මිනිසා” යනුවෙනි. නවකතාවේ දෙබස් කථන දක්වා ඇත්තේ උද්ධෘත පාඨ ලක්ෂණවලින් තොරව පෙළට එකතු කරමින් වීම දෙවැනි ලක්ෂණයයි.

“තුරු දිරා වැටෙන තුරු” මුල් පරිච්ඡේද දෙක (09-76 පිටු) අවධානය යොමුකොට ඇත්තේ කොරෝනා වසංගතය සමග ඇතිවූ ආර්ථික අර්බුදය, දේශපාලන ව්‍යාකූලත්වය, දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ අමනකම්, වෛද්‍ය විශේෂඥයන් ඇතුළු උපදේශකයන්ගේ තකතීරු උපදේශ, එන්.ජී.ඕ ඇතුළු රට අරාජික කිරීමට යන වෘත්තීය සමිති (ස්ටාලින්, රත්නප්‍රිය, කුමුදේශ් ආදීන්) සහ වෙනත් විවිධ බලවේගවල ක්‍රියාකාරකම් පෙන්වාදීම සඳහාය. ගුරු සංගම්කාර ස්ටාලිං ගැන කියද්දී නාම සිද්ධි ජාතකය, 1980 දී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ක්‍රියා කළ ආකාරය ද අධ්‍යාපන ඇමැති වශයෙන් වික්‍රමසිංහගේ ක්‍රියාකාරිත්වයද පෙන්වා දෙයි.

නිදහස ලැබූ දා පටන් විවිධ ආණ්ඩු හා විවිධ දේශපාලකයන් රට කොතැනට ගෙන ගියේදැයි නවකතාව පෙන්වා දෙන්නේ “මේ කොයි යන්නේ” යන ළමා ක්‍රීඩාව උපුටා දක්වමිනි. එදා මෙම ළමා ක්‍රීඩාවට සහභාගී වූ දරුවාට තමා යන්නේ රයිගම් යයි ද” තමා ආපසු එන්නේ ඉරිදා යයි ද නිශ්චිත කිව හැකි වීය. (10-පිට) එහෙත් නිදහස ලබා වසර හැත්තෑ තුනකට පසුව කීමට ඇත්තේ “යන්නේ කොහිද නොදන්නේ” “ආපසු ඒමක් නැත්තේ” යන්නයි. (27 පිට)

මේ කාලය තුළ රටට අහිමිව ගිය අවස්ථා ගණනාවක් කතුවරයා පෙන්වා දෙයි. (14 පිට) වර්තමානයේ බලය ලබාගත් පිරිස 2015 පරාජයෙන් කිසිම පාඩමක් ඉගෙනගෙන නැත. (26 පිට) සිස්ටම් එක වෙනස් කිරීමට බලය ඉල්ලාගත් අයට කතුවරයා සිස්ටම් එක (පද්ධතිය) යනු කුමක් දැයි පද්ධති න්‍යාය අනුව පැහැදිලි කරයි. (31-32 පිටු) වර්තමාන අරාජික තත්ත්වය, විරුද්ධ පාක්ෂිකයන්ගේ කලකෝලහල, ආර්ථික හා දේශපාලන අර්බුද කතුවරයා විස්තර කොට ඇත්තේ පූජාවලියේ එන මරුන් පැරදවීම අනුව යමින්වීම විශේෂත්වයක් වේ. (28-29 පිටු) පොහොර වාත යුද්ධයකි. ගෑස් වර්ෂා යුද්ධයකි. කිරිපිටි පර්වත යුද්ධයකි. සීනි අංගාර යුද්ධයකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය භ්‍රෂ්ම යුද්ධයකි. පාන් පිටි වාලුකා යුද්ධයකි. ඖෂධ කළල් යුද්ධයකි. සම්පත් විකිණීම, ඇමරිකා, යුරෝපා, ඉන්දියා, අතපෙවීම් අන්ධකාර යුද්ධයකි. මේ නව මහා යුද්ධයනට ආයුධ සැපයුවෝ මොවුහුම වෙති. මාර සෙනඟ ගොවීන් හෙදියන් ගුරුවරුන් ආදීන් උසිගන්වා දෙස් කියවාලූහ. මෙසේ සටන් පෙරමුණු රාශියක් ඇතිකර ගැනීම අරාජිකවාදයට මග පාදයි. කතුවරයා මෙම කෘතිය පළ කරන්නේ 2021 දෙසැම්බර් මාසේ වුවද අද වනවිට ඒවා කොතෙක් දුරට ඔප්පු වෙමින් තිබෙන්නේ ද යන්න කාටත් පැහැදිලිය.

කතුවරයා විසඳුමක් ද ඉදිරිපත් කරයි. දිය අගල් මඩ අගල් සදා ආරක්ෂාව තහවුරු කරනු! අභ්‍යන්තරයෙන්ම මහා පරිශෝධන ව්‍යාපාරයක් ආරම්භ කරනු! ආණ්ඩුව තුළ සිටින මෝල්කරුවන් ඇතුළු වරදකරුවන්ට දඬුවම් ලබා දෙනු!. අර්බුදයට එකම හේතුව කොරෝනාව පමණක් නොවේ. ආණ්ඩුවේ සැලැස්මක් නැති දුර්වල කළමනාකරණය ද ඊට හේතු වී තිබේ. අපේක්ෂා කළ දේ නොකෙරෙයි. සිදු නොවෙයි. අපේක්ෂා නොකළ දේ කෙරෙයි. සිදුවෙයි. එනිසා රට නිවැරදි මාවතකට නොගතහොත් ඇතිවන දුර්විපාක ද කථකයා පෙන්වා දෙයි. රට නිවැරදි මාවතට ගෙන ඒමට තවමත් කල් ඇති බවද, ගත් තීරණ වෙනස් කිරීම හා ආපස්සට ගැනීම කළමනාකරණ න්‍යායට එකඟ බවද ඔහු කියයි.

කථකයා තමා කවරකු ද යන්නද තමා මෙතෙක් කාලයක් තිස්සේ කළ කී දෑද පාඨකයාට හඳුන්වා දෙන්නේ “කියන්න සබඳිනි” ඔබ කවුදැයි මෙතෙක් කාලයක් කළේ කුමක්දැයි” යන අඥාත පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි. (29-35 පිට) කථකයා “මම ණයකින් මිදී ඇත්තෙමි.” ණයක් දීමට හැකියාව ඇත්තෙමි.” නිධාන කිරීමක් කොට ඇත්තෙමි.” යනුවෙන් කියන්නේ සාලිකේදාර ජාතකය අනුසාරයෙනි.

නවකතාව අවසාන වන්නේ මහගිරා ජාතකය අනුව යමින් පාඨකයාගෙන් ප්‍රශ්න තුන හතරක් ඇසීමෙනි. (234 -235 පිටු) රුකෙහි මධුර ඵල ඇතිවිට ඵල කා ඵල නැතිවිට වෙනත් මං සොයා යන්නෙමුද? ඵල නැති කල්හි රුකෙහි දලු කොළ සුඹුළු කා රුක අතනොහැර සිටින්නෙමු ද? මට ප්‍රියය, ඥාතිය, මිත්‍රය කියා පිරිහී ගිය රුක් කණුව හැර නොයා සිටින්නෙමු ද? තුරු දිරා වැටෙන තුරු නොසිට ගඟෙන් දියගෙන රුක් කණුවට දමා දලු කොළ මිහිරි ඵල උපදවා නැවත ඕජා ගන්වා බීජයක් ගෙන මුල් අද්දවා ගන්නෙමු ද? අපට ඇති විකල්පය වන්නේ මේ සිව්වැන්න බව තුරු දිරා වැටෙනතුරු අවධාරණය කරයි. අප තුරු දිරා වැටෙනතුරු නොසිටිය යුතුය යන්න කතුවරයා මේ නවකතාව තුළින් අපට පහදා දෙයි. එහෙත් ඒ විකල්පය විපක්ෂ ඝෝෂාකාරීන් හා රෝස පැහැගත් රතුකමිසකාරයින් ද නොවන බව “තුරු දිරා වැටෙන තුරු” පෙන්වා දෙයි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment