* ළමා ප‍්‍රඥප්තිය කැලේ
* බොහෝ දරුවන් අපචාරයට අපයෝජනයට අපහරණයට ලක් වෙලා
* බොහෝ කතා එළියට ඇවිත් නෑ
මස්කෙළිය රෙඞ්වැලි වතුයායේ ලැයිං පෙළක ඉපිද තම දෙමාපියන් සමග දුක්බර දිවියක් ගෙවූ පිරිපුන් දැකුම්කළු දැරියක වූ ”පසුවදී’’ අප නිවසේ මෙහෙකාර කමට ගෙන එන විට මා වයස අවුරුදු දහයක පමණ කොලූගැටයෙකි. මෙයට දශක ගණනාවකට පෙර ඇයව අප වෙත ගෙන ආවේ කිරුළපන මහජන පුස්තකාලයේ සේවය කළ දේවා නමැති ඇගේ දුරෙන් ඥාති මාමා කෙනෙකු විසිනි. දේවාගේ පියා වත්තේ කංකානියෙක් වන අතර ඔහුගේ දෙවැනි රස්සාව වූයේ කොළඹ නිවෙස්වලට ළාබාල මෙහෙකාරියන් සප්ලයි කිරීමයි. එකල උඩහින් හෙවත් වතුකරයෙන් කොළඹට මෙහෙකාරකමට දැරියක හෝ තරුණියක රැගෙන ඒම නීති විරෝධී හෝ නොමනා නොවන සාමාන්‍ය ක‍්‍රියාවකි.
තමා මාමා සමග මස්කෙළියේ සිට උඩරට මැණිකේ දුම්රියේ කොළඹටත් එතැනින් කැලණිවැලි හෙවත් පුංචි කෝච්චියේ කිරිල්ලපොනේටත් ආ හැටි සහ කිරිල්ලපොනේ දුම්රියපළේ සිට අප නිවසට රේල් පාර දිගේ එන විට දේවාමාමා තමන්ව අසල තිබූ පාළු අඳුරු කෙසෙල් කොටුවකට ඇදගෙන ගොස් අතවර කරන්නට සැරසුනු හැටිත් ඉතා අසීරුවෙන් ඇය ඉන් බේරුණු හැටිත් පසුවදී අපේ අම්මාට කඳුළු පෙරමින් කියා සිටි හැටි මාත් මගේ චූටි අක්කාත් අසා සිටියේ ඔවුන්ට නොදැනෙන්නට හොර රහසේ බව මතකය.
”මං බෝම අමාරුවෙං තමා නෝනා ඒ කඩවරයගෙං බේරුනේ’’
ඇය එදා කියූ වචන වැල් කුඩා මට තේරුණ හැටි අදටත් මට ප‍්‍රහේළිකාවකි. ඇය තැතිගත් මුවැත්තියක සේ අපේ අම්මා ඉදිරියේ තම දුක වැමෑරූ අන්දම අක්කාත් මාත් දරාගත්තේ අසීරුවෙනි.
පසුවදීගේ පැමිණීම අප පවුලේ දරුවන් පස් දෙනාට පස්වනක් ප‍්‍රීතියක් විය අපි ඇයව පිළිගත්තේ අපේම වැඩිමහල් සොයුරියක් ලෙසිනි. දින කිපයකින් අම්මා පසුවදීගේ නම රේඛා ලෙස මාරු කළ අතර කලට වෙලාවට විවාහ වී දරුවන් ලැබ හැට පිනූ අත්තම්මෙකු ලෙස අද කැනඩාවේ ජීවත්වන පසුවදී අදටත් අපේ අම්මා දුන් රේඛා නමැති නම අතහැර නැත. කුඩා අපට දමිල වචන දමිල කතා සහ කවි මෙන්ම වතුකරේ ජීවිත ගැනත් ඉගැන්වූ රේඛා හෙවත් කුඩා පසුවදී අප නිවසට එන විට අප පස් දෙනා මෙන්ම ඇයද ඇත්තටම ළමයෙකි.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව අවුරුදු 18ට පහළ සෑම කෙනෙකුම ළමයකු ලෙස සැලකේ. ඒ නිසා පසුගිය දිනෙක පිළිස්සී මියගිය හැටන් ඩයගම සිට මෙහෙකාරකමට රිෂාඞ් බදුර්දීන්ගේ නිවසට ගෙනා ඉශාලිනී දැරියද ළමයෙකි. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව හැම ළමයෙකුටම මෙම ප‍්‍රඥප්තියේ සඳහන් සියලූම අයිතිවාසිකම් හිමි විය යුතුය. මෙම ප‍්‍රඥප්තියේ වගන්ති 41 ක් ඇත. ඒ හැම වගන්තියක්ම වාගේ අවසන් වන්නේ අයිති විය යුතුය, රජය වග කිව යුතුය, රජය කළ යුතුය, දෙමාපියන්ගේ වගකීමයි, රජයේ වගකීමයි, රජය බැඳී සිටි අයිතියක් ඇත, බලා ගත යුතුය අධීක්ෂණය කළ යුතුය, යන බරපතළ වදන් වලිනි. නමුත් හාස්‍යට කරුණ වන්නේ ඒ සියලූ වගන්ති සහ පනත් අද වචනයටම පමණක් සීමා වී තිබිමයි. පාඨකයාට ඉතා වැදගත් වුවත් ඉඩකඩ සීමාසහිත වීම නිසා එම වගන්ති හතළිස් එකම මෙහි ලියන්නට නොහැකි නිසා අප මාතෘකාවට අදාළ වගන්ති කීපයක් පමණක් පහත දක්වමු.
වගන්තිය 02 – ළමයින් කවුරුන් වුව ද කුමන වයසක වුව ද කිසියම් ආබාධයක් සහිත වුවද කුමන වර්ණයකින් යුක්ත වුවද කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුව ද කුමන භාෂාවක් කතා කළ ද ඒ සැමටම මේ අයිතිවාසිකම් හිමි ය. සෑම ළමයකු හටම වෙනස්කම් නොකිරීමට රජය වග බලා ගත යුතු අතර, ළමා අයිතීන් ප‍්‍රචලිත කිරීම ද රජයේ වගකීමයි.
වගන්තිය 05 – ළමයාට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සැලසීමෙහි ලා පවුල සතු වගකීමට ද දෙමව්පිය අයිතීන් හා වගකීම්වලට ද රජය ගරු කළ යුතුය.
වගන්තිය 06 – ජීවත් වීමට අයිතියක් ළමයින් සතු බව සියලූ දෙනාම පිළිගත යුතු ය. ළමයාගේ පැවැත්ම හා සංවර්ධනය සුරක්ෂිත කිරීම රජයේ වගකීම වේ.
වගන්තිය 09 – ළමයාගේ උපරිම යහපත සඳහා පමණක් (එනම් මව්පියන් විසින් ළමයාට අකටයුත්තක් කරනවා නම් හෝ නොසලකා හරිනවා නම්) මිස ඔවුන් දෙමාපියන්ගෙන් වෙන් නොකළ යුතු ය. දෙමව්පියන් වෙන්ව ජීවත් වීමට තීරණය කළහොත් ළමයාට ඔවුන්ගෙන් එක් අයකු සමග ජීවත් වීමට සිදු වනු ඇත. එහෙත් මව සහ පියා සමඟ පහසුවෙන් සම්බන්ධතා පවත්වා ගෙන යෑමට ළමයාට අයිතියක් ඇත.
වගන්තිය 11 – දෙමව්පියන් හෝ තුන්වන පාර්ශ්වයක් විසින් ළමයින් පැහැරගෙන යෑම හෝ බලහත්කාරයෙන් රඳවා තැබීම වැළැක්වීම හා ළමයා නැවත ලබා ගැනීමට කටයුතු කිරීම රජයේ වගකීමයි.
වගන්තිය 14 – දෙමාපියන්ගේ මග පෙන්වීම හා රටේ පවතින නීතියට අනුකූලව තමන්ට රිසි සේ සිතීමට හා කැමති ආගමක් ඇදහීමට ළමුන්ට අයිතියක් ඇත.
වගන්තිය 16 – සෑම ළමයෙකුට ම පෞද්ගලික ජීවිතයකට අයිතියක් ඇත. තම පෞද්ගලිකත්වය, පවුල, නිවෙස හා ලිපි
ගනුදෙනු සම්බන්ධව අන් අයගේ මැදිහත් වීමෙන් තොර ව කටයුතු කිරීමට ඔවුන්ට අයිතියක් ඇත.
වගන්තිය 19 – අපයෝජනයෙන් හා නොසලකා හැරීමෙන් ආරක්ෂා වීමට ළමයින්ට අයිතික් ඇත. දෙමාපියන්ට හා රැකබලා
ගන්නන්ට ළමයින්ට හිංසා කිරීමට කිසිම අයිතියක් නැත. අපයෝජනයට ලක් වීමෙන් ළමයින් ආරක්ෂා කර ගැනීමත්, එසේ අපයෝජනයට ලක් වූ දරුවන් පුනරුත්ථාපනය කිරීමත් රජයේ වගකීමයි.
වගන්තිය 20 – ළමයාට දෙමව්පියන් නොමැති නම් හෝ තම පවුල සමඟ ජීවත් වීමට නොහැකි නම්, ඔහුට / ඇයට විශේෂ ආරක්‍ෂාව හිමි විය යුතුය. මෙවන් අවස්ථාවේ දී ළමයාට වෙනත් පවුලක් සොයා දීම හෝ ළමයාගේ සංස්කෘතික පසුබිමට සුදුසු ආයතනයක් ලබා දීම රජයේ වගකීමයි.
වගන්තිය 25 – ළමයාගේ රැකවරණය, ආරක්ෂාව හා ප‍්‍රතිකාර සඳහා ඔහු/ඇය රජයේ මැදිහත් වීමෙන් යම් ස්ථානයක රඳවා තිබේ නම්, අදාළ ස්ථානය පිළිබඳව හා ළමයා පිළිබඳව නිරන්තරව අධීක්ෂණය කළ යුතුය.
වගන්තිය 26 – තම රටේ පවතින සමාජ ආරක්ෂණ වැඩසටහන්වලින් ප‍්‍රයෝජන ලැබීමට ළමයාට අයිතියක් ඇත.
වගන්තිය 27 – ළමයාට ඇඳුම් පැළඳුම් හා වාසය කිරීමට ස්ථානයක් ලබා දීම දෙමාපියන්ගේ වගකීමයි. දෙමව්පියන්ට මෙය කිරීමට අපහසු අවස්ථාවන්හි දී රජය ඊට මැදිහත් විය යුතු ය.
වගන්තිය 28 – අධ්‍යාපනය ලැබීමට සියලූ ළමයින්ට අයිතියක් ඇත. අඩුම තරමේ මූලික අධ්‍යාපනය අනිවාර්ය කිරීමටත්, එය නොමිලයේ ලබා දීමට කටයුතු කිරීමත් රජයේ වගකීමයි.
වගන්තිය 30 – සුළු ජන කණ්ඩායමකට අයත් ළමයින්ට තම සංස්කෘතිය භුක්ති විඳීමටත් තම ආගම ඇදහීමටත් තම භාෂාව භාවිත කිරීමටත් අයිතියක් ඇත.
වගන්තිය 31 – ක‍්‍රීඩා කිරීමට, විනෝදයෙන් සිටීමට, සංස්කෘතික හා සෞන්දර්යාත්මක ක‍්‍රියාකාරකම්හි යෙදීමට ද ළමයින්ට අයිතියක් ඇත.
වගන්තිය 32 – තම අධ්‍යාපනයට, සෞඛ්‍යයට හෝ වර්ධනයට හානියක් වන රැකියාවලින් හෝ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ළමයින්ට අයිතියක් ඇත. රැකියාවක නිරත වීමට අදාළ අවම වයස් මට්ටම රජය විසින් තීරණය කළ යුතු ය. එමෙන් ම, ළමයින් සඳහා යහපත් සේවා පරිසරයන් ද ඇති කළ යුතු ය.
වගන්තිය 34 – ලිංගික අපයෝජනයෙන් හා ලිංගික අතවරවලින් ආරක්ෂා වීමටත් ව්‍යාපාරික වශයෙන් කෙරෙන ලිංගික කටයුතුවලින් හා අසභ්‍ය ප‍්‍රකාශන වැනි දේවල් වලින් ආරක්ෂාවීමටත් ළමයාට අයිතියක් ඇත.
වගන්තිය 35 – ළමයින් පැහැරගෙන යෑම හා විකිණීම වැළැක්වීමට ගත හැකි සියලූම පියවර රජය විසින් ගත යුතු ය.
වගන්තිය 36 – 32 සිට 35 දක්වා ඇති වගන්තිවල සඳහන්ව නැති වෙනත් සියලූම ආකාරයේ අපයෝජනවලින් ළමයින් ආරක්ෂා කර ගැනීම රජය සතු වගකීමයි.
වගන්තිය 37 – ළමයින්ට වධ හිංසා කිරීම, දරුණු ලෙස සැලකීම හෝ දඬුවම් කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීම හෝ මරණීය දණ්ඩනයට ලක් කිරීම, නීත්‍යනුකූල නොවන ලෙස අත්අඩංගුවට ගැනීම හෝ ඔවුන්ගේ නිදහස උදුරා ගැනීම නොකළ යුතු ය. නීත්‍යනුකූල ලෙස නිදහස සීමා කළ ළමයෙකුට නිසි ලෙස සැලකීම් ලැබීමට අයිතියක් ඇත. රඳවා තබා ගන්නා ස්ථානවල දී වැඩිහිටි රැඳවියන්ගෙන් වෙන්ව සිටීමට ද තම පවුල සමග සම්බන්ධතා පවත්වාගෙන යෑමට ද නීතිමය හෝ වෙනත් ආධාර ලැබීමට ද අයිතියක් ඇත. දරුවන් ආරක්ෂා කිරීමට ඔවුන් ගැන සොයා බැලීමට පහසුකම් සැපයීමට මෙන්ම දරුවන්ට වන අකටයුතු ගැන විමර්ශනය කිරීමට අද අප රටේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සහ සංවිධාන සිය ගණනකි. එහෙත් අපට ඇති ගැටලූව කොතෙක් මෙවැනි සංවිධාන ආයතන තිබුණත් දිනෙන් දින අපේ දරුවන්ට සිදුවන දුක්ගැහැටයන්ගේ අඩුවක් දකින්නට නොලැබීමයි. ළමයින්ගේ ආරක්ෂාව හා රැකවරණය සඳහා කටයුතු කරන ප‍්‍රධාන රාජ්‍ය ආයතන තුනක් අප රටේ ඇත. බත්තරමුල්ල සෙත්සිරි පායේ 3 වන මහලේ ස්ථාපිත පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ඉන් ප‍්‍රධාන වෙයි. එහි ප‍්‍රාදේශීය කාර්යාල දිවයින පුරා පිහිටුවා ඇති අතර අදාළ ඕනෑම කාර්යාලයකට දරුවන්ගේ ගැටලූ ඉදිරිපත් කළ හැකි ය.
ශ‍්‍රී ජයවර්ධනපුර තලවතුගොඩ මාදිවෙල පිහිටා ඇති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දරුවෙකුගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වූ ඕනෑම අවස්ථාවක දී අධිකාරිය විසින් පිහිටුවා ඇති ජාතික ළමා දුරකථන සේවය අංක 1929 ඔස්සේ ඇමතිය හැකි බවට ජනමතයක් ව්‍යාප්ත කොට ඇත. එසේම ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප‍්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම දරුවන් සඳහා සේවා සැපයීමට පත් කර ඇත. ශී‍්‍ර ලංකා පොලිසිය යටතේ ඇති ළමා හා කාන්තා කාර්යාංශයද ළමා කටයුතු වෙනුවෙන් ක‍්‍රියා කරන බවට අප දැන්වීම් සහ ප‍්‍රචාරණ පුවත් දැක ඇති අතර නුගේගොඩ පාගොඩ පාරේ ස්ථාපිත එහි ප‍්‍රධාන කාර්යාලයට අමතරව ශී‍්‍ර ලංකාවේ සෑම පොලිස් ස්ථානයක ම ළමා හා කාන්තා කාර්යාංශයේ ශාඛාවක් පිහිටුවා ඇත.
එහෙත් ළමයින් අපහරණය, ළමා අපචාර ළමයින්ට කරන කෲර වධ හිංසන ලිංගික අතවර දූෂණ ළමා ඝාතන මෙන්ම බාල වයස්කාර වහල් හෝ මෙහෙකාර සේවා කිසි අඩුවක් නැතිව සුලබව සිදුවෙයි.
වර්මානයේ නීති විරෝධී සහ සදාචාරාත්මක නොවන කාර්යයක් ලෙස බහුතරයක් පිළිගත්තද මෙයට දශක කීපයකට පෙර නම් උඩහින් හෙවත් වතුකරයෙන් දෙමළ කෙල්ලක කොළඹ බංගලාවක මෙහෙකාර කමට ගෙන ඒම අති සුලබ සහ සාමාන්‍ය කටයුත්තකි.
”අනේ පුළුවන්නං අපිටත් පොඩි දෙමළ කෙල්ලෙක් හොයල දෙන්නකො බබාල එක්ක තනියට ඉන්නයි ඔය ගෙදර තියෙන පොඩි පොඩි වැඩ කරන්නයි.’’
නිතර ගෙදරට යන එන බාසුන්නැහැලාට කම්කරුවන්ට සුළු ව්‍යාපාර සඳහා එන වෙළෙන්දන්ට පරණ කෝට් කාරයන්ට මෙසේ කීම එකල ගෙවල් වන නිතර ඇසෙන කතාවකි.
විශ්ව සාහිත්‍ය කෘතීන් තුළ මෙන්ම අපගේ සාහිත්‍ය නිර්මාණ වන නව කතා චිත‍්‍රපට නාට්‍ය සහ ගීත වලත් මෙවැනි ළමා මෙහෙකාර දරු දැරියන් සහ ඔවුන් වටා ගෙතුනු කතාන්නර අප අනන්තවත් අසා ඇත. ද ලේ මිසරාබ්ලෙ නමින් වික්ටර් හියුගෝ ලියූ අපේ ඊරියගොල්ල ශූරීන් විසින් හෙළ බසට අනුවර්ථනය කළ මනුතාපයේ එන පැන්තිනාගේ කුඩා දියණිය කිසා එකල අපගේ හදවත් ශෝකයෙන් ඇලලූ ළමා මෙහෙකාර චරිතයකි. චාල්ස් ඩිකන්ස්ගේ ඔලිවර් ට්විස්ට්, මාර්ක් ට්වේන්ගේ ටොම් සෝයර්, නිකොලොයි ඔස්ත්‍රොව්ස්කිගේ වානේ පන්නරය ලැබූ හැටි වැනි කෘතීන් තුළත් මෙවැනි ළමා මෙහෙකාර චරිත තිබූ අතර සහ ලොව දසත ලක්ෂ සංඛ්‍යාත රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් හැඬවූ සහ නැලවූ ඔෂින් නමැති ජපන් දැරියගේ කතාව මේ සඳහා තවත් උදාහරණයකි.
ටයි මහත්තයාගේ හඳයා චිත‍්‍රපටයේත් සසර නෑදෑයෝ අයියමලෝ පාර දිගේ වාලම්පුරි වැනි චිත‍්‍රපට සහ නවකතා වලත් ළමා මෙහෙකාරකම් කළ චරිත අප සිත් සසල කර ඇත.
ආයා කෙල්ලන් ගැන අප කොතෙකුත් සිංදු සහ බයිලා අසා ඇතිද? මේ ආයා කෙල්ලන් යනු වතුකරයෙන් කොළඹ මෙහෙකාර කමට ගෙනා කෙල්ලන් බව සැවොම දනී. තරුණ මෙහෙකාර දැරියන්ට ඇබට් එක කියා කියන්නට අප පුරුදු වුණේ මේ ආයා බිට් කියන වචන දෙක කෙටි කිරීමෙනි. එකල දැන් මෙන් මේඞ්ලා සර්වන්ට්ස්ලා ඩොමෙස්ටික් හෙල්පර්ස්ලා යන වැදගත් නම් වලින් අමතන මෙහෙකාරියන් සපයා කොමිස් මුදල් උපයන ඒජන්සි තිබුණේ නැත. (අප මොවුන් ගැන වෙන දවසක වෙනම කතා කරමු) එකී මෙහෙකාර ඒජන්සි වෙනුවට එකල සිටියේ ආයා සප්ලයස්ලා හෙවත් තැරුව්කරුවන්ය. මේ තරුව්කරුවා බෙහෝ විට දමිල වතු සේවකයෙකි. වත්තක කංකානම් කෙනෙකි. එසේත් නැත්තම් වෘත්තිය ලෙසම ම ආයලා සපයන්නට රට පුරා සැරුසරන හිත් පිත් නැති චරිතයකි. අප දන්නා පරිදි වතුකරයෙන් නගරයට ගෙනෙන හිරිමල් ගැටිස්සියන් බහුතරයක් මුල් වරට අතවරයට පත්වන්නේ මෙකී තැරුව්කරුවා අතිනි.
සමහර නෝනාවරු මහ මහත්තුරු තම බංගලාවලට උඩහින් නව යොවුන් කෙල්ලක් මෙහෙකාර කමට ගෙන්වා ගන්නේ වැඩපල කර ගන්නටම නොවේ යන්න සත්‍ය කියමනකි. උගත් වැදගත් ධනවත් යයි කියා ගන්නා ඔවුන් තම තරුණ පුතුන් තමන්ට නොගැළපෙන සංකර කෙල්ලන් සමග හාදවී එවැන්නියන් සහේට ගනීවි යන බය නිසා ගෙදරට ඇහැට කනට පේන වැඩකාර කෙල්ලෙක් ගෙනෙන්නේ තම පුතුන්ගේ ශාරීරික මදන ආශාවන් මේ අහිංසක දැරිවියන් ලවා ඉටු කරවා ගැනීමටයි. මෙවැනි කතා අප අනන්තවත් අසා දැක ඇත.
අපේ අම්මා තාත්තා සහෝදරියන් තිදෙනා සහ එකල චරිතවත් අහිංසකයන් වූ මාත් අපේ අයියාත් නිසා අපේ රේඛා හෙවත් පසුවදී බේරුනාට ඇයට අයියාගේ සහ මගේ සමහර වනචර පාසල් මිතුරන්ගෙනුත් අසල්වාසී අමන තරුණයන්ගෙන් අනන්තවත් හිරිහැර කරදර සහ අයුතු අමුතු යෝජනා නිතර පැමිණි බව ඇය පසුව අපට කියා ඇත. රේඛා අප නිවසේ සිටි වසර කීපය තුළ අපේ නිවසේ අය ඇයව මනාව රැකබලා ගත් නිසා අද ඇය විවාහවී සතුටින් දිවි ගෙවයි. නමුත් තම හාම්පුතුන් සහ ඔවුනගේ මිතුරන් ඥාතීන් තරුණ පුතුන් අතින් දූෂණයට අතවරයන්ට ලක්ව අකාලේ මිය ගිය සහ සදාතනික අසරණ භාවයට පත්වුණු තරුණ මෙහෙකාරියන් ගැන අප කොතරම් අසා ඇද්ද. අද වන විට කඳුකරයෙන් වතුකරයෙන් ළමා මෙහෙකාරියන් සහ ළමා මෙහෙකරුවන් කොළඹ බංගලාවලට ගෙන ඒම එතරම් සුලබ නොවුණත් බොරු වයස් ව්‍යාජ උපන්දින සහ පාස්පෝර්ට් හදා ඔවුන්ව විදේශ රටවලට යැවීම නම් අනන්තවත් සිදුවෙයි. මෙවැනි අවර කටයුතු කිරීම සඳහාම කැපවුනු රැකියා ඒජන්සි ඒජන්තලා සහ තැරුව්කරුවන් අද අනන්තය අප‍්‍රමාණය. අප ඉහත සඳහන් කළ රාජ්‍ය ආයතනවල වගකීම වන්නේ එවැනි උන් අල්ලා නීතිය ඉදිරියට ගෙනවිත් හැකි උපරිම දැඩි දඬුවම් ලබා දීමයි.මහරගම පමුණුව පාරේ ඇති සමහර රෙදිපිළි ව්‍යාපාර ස්ථානවල පිටකොටුවේ හරස් වීදිවල පවත්වාගෙන යන ඇඟලූම් සහ වෙනත් තොග සහ සිල්ලර කඩවලට ගොස් හොඳින් විමර්ශනය කර බැලූවොත් වයස දහ අටට අඩු ළමයින් අනන්තවත් රැකියාවලට අනුයුක්ත කර ඇති බව ඔබට දැක ගත හැක. මෙම ළමුන් වැඩි දෙනකු රැගෙනවිත් ඇත්තේ හැටන්, මස්කෙළිය, නුවරඑළිය, කොටගල, තලවකැලේ වැනි කඳුකර නගර වලින් බව අපට වගකීමෙන් කිව හැකිය. ඉතා සුළු පඩියක් පමණක් දී අවම පහසුකම් සහිත කුකුල් කූඩු බලූ කූඩු වැනි බෝඩිංවල රැඳෙමින් මේ දරුවන් දුක් විඳින්නේ ජංගම දුරකථනයක් ගැනීම හොඳ ඇඳුමක් ඇඳීම රත්තරං මාලයක් මුද්දක් හදා
ගැනීම වැනි ප‍්‍රාථමික ආසාවක් මුදුන්පත් කර ගැනීමට බව රහසක් නොවේ. සමහර ළමා සේවකයන්ට ඔවුන්ගේ හාම්පුතුන් මත්පැන් සහ ගංජා ආදියෙන්ද සලකන්නේ ඔවුන්ව ගම නොයවා තමන් ළඟම තබා ගැනීමේ උපක‍්‍රමයක් ලෙසිනි. අද අප රටේ රෙදිපිලි සහ ඇඟලූම් ව්‍යාපාරය රැඳී තිබෙන්නේත් එය පාලනය කරන්නේත් බහුතරයක් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් බව රහසක් නොවේ. රට පුරා මොවුන්ට විවිධ නම් වලින් සුපිරි පන්තියේ සාප්පු සංකීර්ණ ෂෝ රූම්ස් ඇති අතර ඒවායේ අනන්තවත් අඩු වයස් දරු දැරියන් වෙළෙඳ සේවකයන් ලෙස වැඩ කරනු මම අනන්තවත් දැක ඇත්තෙමි. ඔවුන් වැඩි දෙනකු වතුකරයෙන් ගෙන ආ දමිල ගැටව් සහ ගැටිස්සියන් බව වගකීමෙන් කිව හැකිය. මේ ගැන රජය සොයා බැලිය යුතුය. අප මෙසේ කියන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන් කෙරෙහි ඇති ද්වේශයෙන් නොව අසරණ ළමා ළපටි ශ‍්‍රමිකයන් ගැන ඇති අනුකම්පාව නිසාය.
අතට ගානක් ලැබෙන රැකියාවක නිරත වුණද ඒ දරු දැරියන්ට මේ ගෙන්දගං පොලවේ විෂම සමාජයේ ඇති රැකවරණය ආරක්ෂාව අල්පය. අප මෙසේ කියන්නේ ඔවුන්ට වතුකරයේ හොඳ ආරක්ෂාවක් රැකවරණයක් ඇති බව කියන්නට නොවේ. සමහරවිට මෙකී වතුකරයේ ළමා ළපටින්ට අතවර සහ හානි වන්නේ සිය නිවසේම, ලැයිමේම හෝ අවට වත්තක වෙසෙන තම ඥාති හෝ ඥාති නොවන අසත්පුරුෂයෙකු අතිනි. ජීවිතයට ඇති ආසාව, මරණ බිය හෝ ලැජ්ජාව නිසා බොහෝ දරුවන් තමාට සිදුවන අතවර අසාධාරණකම් වෙනත් අයෙකුට කියන්නට මැළි වෙයි. කොළඹ හතේ පාසල්වල දරුවන්ට තම දුක කීමට තම පාසල තුළ හෝ නගරයේ සුපිරි තැනක මනෝ උපදෙස් දෙන කවුන්සලර්ලා කවුන්සලර්ලීලා සිටිනවාක් මෙන් ගමේ තේ වත්තේ ලැයිමේ ආදී බිම් මට්ටමේ තැන් වලත් මනෝ උපදේශකවරුන් උපදේශිකාවන් සිටිය යුතුය. මෙය කාලීන අවශ්‍යතාවකි. පන්සලට පල්ලියට දේවාලයට කෝවිලට ගොස් එහි සිටින ආගමික නායකයන්ට තම ප‍්‍රශ්නය හෝ වුණ අසාධාරණය කියන්නට අද බොහෝ අය මැලි වන්නේ එහි සිටින අයත් එවැනි දේට නැඹුරු නිසා සහ අද ගමේ පූජනීය ස්ථාන පවා දේශපාලනීකරණයට ලක්වී ඇති නිසා විය යුතුය. වතුකරයෙන් කොළඹට දැරියක ගෙන ආ විගස ඇය වෙනත් නමකින් බෞතීස්ම කිරීම නගරයේ සංස්කෘතියකි. එදා අපේ අම්මා පසුවතීට රේඛා කියා නම් තැබුවාට වෙනත් බොහෝ අය කරන්නේ කටට කියන්නට හුරු බාල තුන්වන පන්තියේ නමක් රෙජිස්ටර් කිරීමයි. එවැනි නම් මොනවාද කියා මෙහි නොලියමි.
සමහරු ඒ දැරිවියගේ ඇඳුම පවා වෙනස් කරති. බොහෝ විට ඇයට අඳින්නට සිදුවන්නේ ඉණේ සිට පාදයේ බොලට මැණික් කටුව දක්වා දිගට එල්ලා හැලෙන ලොකු සායකි. අත් ගොබ, ගෙල සහ බඩ පෙදෙස පෙනෙන සේ ඇඳුම් ඇදීම ඇයට අකැපය. කෑම බීම නිදා ගැනීම මුළුතැන්ගෙයි හෝ රිෂාඞ් බදුර්දීන් කළා සේ නිවසේ පිටතින් ඇති කුඩා කාමරයක් තුළ කළ යුතුය. සමහර නිවෙස්වල හාම්පුත් නෝනලා ලිංගික දුබලතා හෝ නෂ්ටකාමයෙන් පෙළෙන්නේ නම් තම සැමියාගේ ලිංගික අවශ්‍යතාවන් සඳහාත් මෙහෙකාර දැරිය සූදානම්ව සිටිය යුතුය. ගෙදර ප‍්‍රධාන පිරිමියා අතින් පමණක් නොව තරුණ පුතුන්ගෙන් ඔවුන්ගේ මිතුරන්ගෙන් වයෝවෘද්ධ පියාගෙන් හාම්පුතාගේ සහෝදරයන් අතින් කෙළෙසෙන, දිනපතා ලිංගික අතවරවලට ලක් වන තරුණ මෙහෙකාරියන්ද අද අප රටේ අනන්තවත් සිටින අතර ඔවුන් රහසේ හළන කඳුළු සැඟවී හෙළන සුසුම් කොතෙක් කාටත් නොදැනී විශ්වයට මුසු වනවා ඇද්ද.
– මිත්‍ර ශ්‍රී කරුණානායක
[email protected]