වතු ප්‍රජාවට නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට කැප වෙනවා – ප්‍රඥප්තියක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

24

උඩරට පහතරට වතු ප්‍රජාවට නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්‍රඥප්තියක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

වතු ජනතාවට අහිමි වූ අවස්ථා බොහෝමයක් ඇති නිසා ඒවා ඉවත් කර එම ප්‍රජාවට හිමිකමක් ලබාදෙන වැදගත් ගිවිසුමකට ප්‍රවේශ වන බවත් මෙරට ඉතිහාසයේ උඩරට පහතරට ඇතුළු වතු ප්‍රජාවට කළ හැකි උපරිම සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන බවත් මේ ක්ෂේත්‍රය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් තමා බලයට පත් වී පැය 48ක් තුළ ස්ථාපිත කරන බවත් විපක්ෂ නායක මෙහිදී පොරොන්දු විය.

එසේම මේ අහිංසක වතු ප්‍රජාව විවිධ දේශපාලන උප්පරවැට්ටි නිසා, කූඨ දේශපාලන ක්‍රමෝපායන් නිසා අසරණ වී ඇති බැවින් මේ අයගේ පුරවැසිභාවයට අලු‍ත් අරුතක් ලබාදී ලැයිම් කාමරයට සීමා නොකර කුඩා තේ වතු හිමියෙක්, ඉඩමක හා ප්‍රාග්ධනයක අයිතියක් ඇති අයෙකු බවට පත් කර ආදායම් මාර්ග වර්ධනය කර ජාතික තේ නිෂ්පාදනයට ලබාදෙන දායකත්වයද වැඩි කරන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම බොරු පොරොන්දුවලට රැවටෙන සදාකාලික කම්කරු ජීවිතයක් නොව මේ ප්‍රජාවගේ අයිතීන් ශක්තිමත් කරන ජනතා සවිබල ගැන්වීමක් සිදු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ප්‍රඥප්තිය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, පලනි දිගම්බරම් මහතා සහ එම්. උදයකුමාර යනාදී වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් තබන ලදී.

මෙරට කොන් වී වෙන් වී හුදකලා වී ඇති වතු ජනතාවට පිළිගැනීමක් ලැබුණු බවත් සමගි ජන බලවේග ආණ්ඩුවකටත් පෙර මෙවැනි පිළිගැනීමක් ලැබීම සතුටට කරුණක් බවත් මෙය වරප්‍රසාද හෝ දේශපාලන වුවමනා වෙනුවෙන් නොව සැබෑම සමාජ ගිවිසුමක් බවත් මේ තුළින් වතු ජනතාවගේ පුරවැසිභාවය සැබෑ ලෙසම සම්පූර්ණ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment