වතු සේවකයන්ගේ හිග EPF‍, ETF ගෙවන්න රජය තීරණය කරයි

139

වතු සේවකයන්ට වසර දහයක් පුරා නොගෙවූ රු. කෝටි 500කට අධික හිඟ අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, පොලියත් සමග ගෙවීමට රජය තීරණය කර ඇත.

මේ හිඟ මුදල් ගෙවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණු බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇමැති හා මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රජයට අයත් වැවිලි සමාගම් වන ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන තුනෙහි පමණක් රු. කෝටි 500කට ආසන්න හිඟ අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල්, වසර දහයකට අධික කාලයක් නොගෙවා තිබූ බව ද මේ නිසා විශාල වතු සේවක පිරිසක් අපහසුවට පත්ව සිටි බව ද ඇමැති සියඹලාපිටිය මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව වතු සේවකයන් විසින් පවරන ලද නඩු 2000ක් පමණ තිබූ අතර සේවකයන්ට විශාල නීතිඥ ගාස්තු ගෙවමින් මේ නඩු පවත්වාගෙන යෑමට ද සිදුව තිබිණි. මේ නිසා මෙම හිඟ මුදල් ගෙවීම, එම වතු සේවකයන්ට විශාල සහනයක් මෙන්ම රජය විසින් ගත් විප්ලවීය තීන්දුවක් බව ද මේ ගැන මාධ්‍යට අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා කීවේය.

මේ හිඟ මුදල් ලැබිය යුතු සේවක පිරිස අතර මියගිය සේවකයෝ ද විශාල පිරිසක් සිටිති. ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ යැපෙන්නන්ට එම හිඟ මුදල් ලබාගැනීමට අවස්ථාව සැලසේ.

මෙම හිඟ ගෙවීම්වලට, අදාළ මුළු කාලයට නිශ්චිත පොලිය, ඒ ඒ වසරවල අර්ථසාධක අරමුදල මගින් සාමාජිකයන්ට ලැබුණු පොලිය මෙන්ම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා ලැබුණු පොලිය ද එකතු කර ගෙවීම සිදු කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment