වනගත ජීවිතය සාහිත්‍යයට එක් කළ ඉඟිනියාගල ඉස්කෝලේ ලොකු මහත්තයා

261

දසක හයකට පමණ පෙර මායාරංජන් හෙවත් මහානාම රාජපක්ෂයන් ඇසුරු කළවුන් අතරින් කී දෙනකු අද ජීවත්ව සිටින්නේදැයි මම නොදනිමි. මම ද ජීවිත ගමනේ අවසානය කරා පිය නගමින් සිටින්නෙක්මි. ඒ සඳහා මා තෝරා ගන්නේ මායාරංජන්ගේ ජීවිතය විනිවිද දැකිය හැකි යැයි මට හැඟුණු ලේඛන ශෛලියයි. එය කොතරම් දුරට සාර්ථක දැයි මට කිව නොහැකිය. කියවා බලනු මැනවි.

එක් දහස් නවසිය පනස් හයේ දෙසැම්බර් මස අවසාන ගුරු සහතික පත්‍ර විභාගයේ ප්‍රතිඵල නිකුත් විය. මම ඉන් සමත් ව සිටියෙමි. ඊළඟ වසරේ ජනවාරි තුන්වැනිදා මඩකලපු දිස්ත්‍රික්කයේ (එකල අම්පාර නමින් දිස්ත්‍රික්කයක් නොවීය.) වාවින්න පාසලට උපගුරුවරයෙකු ලෙසින් පත්ව ගියෙමි. කොළඹ දිස්ත්‍රික්කයට අයත් ගමක ඉපදී හැදුණ වැඩුණ මට එය හරි අපූරු ලෝකයක් විය.

දිනක් අපේ මුල්ගුරු මහත්මිය වෙත පැමිණි මැදිවිය ද ඉක්මවූ පුරුෂයකු ඇය සමඟ කතාබහ කරනු මට පෙනිණ. ඇය ඔහු සමඟ කතා කළේ හුනස්නෙන් නැඟී සිටගෙන ය. ඇතැම් දිනෙක ඇය හමුවෙනු පිණිස ගැමියෙක් එයි. ඇය හුනස්නෙන් නොනැඟී ඔහු සමඟ කතා කරයි. පන්තියක උගන්වමින් සිටි මා අර තැනැත්තා දෙස වුවමනාවෙන් බැලුවේ මුල්ගුරු මහත්මිය ගරුසරු බවක් පෙන්වා කතා කළ නිසා යැයි කිව යුතුය. ඔහු නූස් ය. නොමිටි ය. උසේ තරමට වඩා මඳක් තරව ගිය සිරුරක් ඇත්තෙකි. කළු පැහැති ය. ඇඳ සිටියේ සුදු සරමකි. ජාතික කමිසයකි. දෙපයේ මිරිවැඩි සඟළෙක් ද නොවීය. “ගුරු දෙගුරු සමිතියේ ලොක්කෙක් වෙන්නැති” මම මගේ ගමේ අත්දැකීමෙන් ඔහුගේ තරාතිරම මැන්නෙමි.

ඊළඟ පාඩමට සූදානම් වෙන විට ලොකුබණ්ඩා මහතා මා ළඟට පැමිණියේ ය.

“වැලි” ඒ ආපු මහත්තයා දිහා ඕනෑකමින් බලාගෙන ඉන්නවා මං දැක්කා. ගම් පළාතෙ කෙනෙක්ද?”

“අනේ නැහැ. මං ඔය දැක්කමයි” ලොකු නෝනා බොහොම ගරුසරු විධ්‍යට කතා කරනවා දැක්ක හින්දයි මං බලාගෙන හිටියේ….

“ඒ තමයි ඉඟිනියාගල ඉස්කෝලෙ ලොකු මහත්තය….”

“යකෝ… අපිත් ඉස්කෝලෙට එන්නෙ සපත්තුවක් සෙරෙප්පුවක් දාගෙනනෙ. ඉතින් කොහොමද මුල් ගුරුවරයෙක් කියල හිතන්නෙ?”

“ඒ වුණාට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනම දන්න කෙනෙක්”….

“කොහේ කෙනෙක්ද?”

“ගම්පහ පැත්තෙලු”

“ඉතින් මොකෝ ඔය තරම් දැන උගත්කම් ඇත්තෙක් වෙලත් මෙහාට වෙලා ඉන්නෙ?”

“හාපෝ කැලේ දාලා යන්න බැරිලු”

“කැලේ දාලා යන්න බැරිලු? මොකක්ද නම?”

“මහානාම රාජපක්ෂ කියන්නෙ අලි කොටි වලස්සු නැතිව ජීවත් වෙන්න බැරි මිනිහෙක්” මම මගේ මිත්‍රයා දෙස විමතියෙන් බලා සිටියෙමි.

“කැලේ ගැනයි සත්තු ගැනයි පොතකුත් ලියාගෙන යනවලු”

කුහුල ඉවුරු බිඳගෙන මා යටකරගෙන යද්දී ඒ අපූරු මිනිසා කෙසේ හෝ හමුවිය යුතු යැයි මම තීන්දු කෙළෙමි.

වනගත ජීවිතය සාහිත්‍යයට එක් කළ ඉඟිනියාගල ඉස්කෝලේ ලොකු මහත්තයා

මම වනය ප්‍රිය කරමි. එහෙත් ඒ තුළට වදින්නට නොවේ. ඈතින් සිට බලා සිටින්නට ය. වනය ජීවිතය කොටගත්, ඒ සම්බන්ධයෙන් පොතකුත් ලියතියැයි කියන, ඒ අරුම පුදුම ලොකු මහත්තයා හමු වෙනු පිණිස, ඒ සතියේ සෙනසුරාදා ම මම ඉඟිනියාගල ගියෙමි.

ඉඟිනියාගල පාසලට අයත් ගුරු නිවසක ඔහු පදිංචි ව සිටින බව ලොකුබණ්ඩා මහතාගෙන් අසා දැන සිටියත් එහි සිටින අන් කිසි ගුරුවරියක ගැන හෝ ගුරුවරයකු ගැන ඒ තරමින්වත් මම දැන නොසිටියෙමි. ඒ නිසා ලොකු මහත්තයාගේ නවාතැන කොතැනදැයි පාසල් වත්ත තුළ වූ කොරටුවක වම්බටු කඩමින් සිටි කෙනෙකුගෙන් අසන්නට මට සිදු විය. ඔහු සිටියේ ඇඟ ලාගත් කමිසයක් නැතිව ය. ඇඳ සිටි සරම කැසපටගන්නා ගෙන ය.

“ලොකු මහත්තයා ඉන්නෙ කොයි ගෙදර ද?” වම්බටු කඩන්නා වම්බටු පැසත් සමඟ කෙළින් වී, මා දෙස ඕනෑකමින් බලා සිටිනු මට පෙනිණ.

“ලොකු මහත්තයා හම්බවෙන්නයි ආවේ.”

“ඇයි.. ඉස්කෝලෙට ඇතුළු වෙන්නද?” ඔහුගේ ප්‍රශ්නයෙන් මම අන්දමන්ද වීමි. කුමක් කිව යුතු දැයි මට සිතගත නොහැකි විය. “පිටින් එන ළමයි නම් දැන් අරගෙන ඉවරයි. කොයිකටත් ගිහින් අහලා බලනවා. ආං අර ගෙදර ඉන්නේ…” ඔහු ගෙවල් පේළියකින් වෙන් වූ තරමක් ලොකු ගෙයක් දෙසට ඇඟිල්ල දිගුකර කීවේ ය.

“ඒක හරියට දොම්පෙට යන පාර ඇහැව්වා වගේ කතාවක් නෙ. මොනවද ඒ කිව්වෙ?” මම මගෙන් ම විමසමින් ඔහු පෙන්වූ ගෙය දෙසට ගියෙමි.

“ඇයි ළමයා?” දොරට තට්ටු කරද්දි කිසිවකු ප්‍රශ්න කරනු ඇසිණ. මම ඉස්තෝප්පුවට එබී බැලීමි. නිරුවත් උඩුකයැති ව කළු සුරුට්ටුවක් කටේ රඳවාගෙන පුවත්පතක් බලමින් සිටි ලොකු මහත්තයා කණ්ණාඩියට උඩින් මා දෙස බැලීය.

“මේ ළමයා කොහේ ඉඳල ද?”

“වාවින්නෙ ඉඳලා”

“ආ….. ඒ ඉස්කෝලෙ ඇස්. ඇස්. සී (සාමාන්‍ය පෙළ) පන්තියක් නෑනෙ.”

“නෑ. ලොකු මහත්තයා මම ඒ ඉස්කෝලෙ උගන්නනව.”

ලොකු මහත්තයා නළලට අතින් ගසා ගනිමින් හඬනඟා සිනාසුණේ ය. ඔහුගේ සුරුට්ටුව ද බිම වැටිණ.

“ඉඳගන්නවා… ඉඳගන්නවා… මං හිතුවෙ ඉස්කෝලෙට ඇතුළු වෙන්න ආපු ළමයෙක් කියලනෙ. මේ දවස්වල එහෙම ළමයින් එනවා. ඉස්කෝලෙට ඇතුළු වෙන්න පුළුවන් ද කියලා අහලා බලලා යන්න. බලනවකො හරි වැරදීමක්නෙ වුණේ.” ඔහු සුරුට්ටුව අහුලා එළියට විසිකරමින් කීවේය. වම්බටු කඩන්නා කීවේ කුමක්දැයි මට තේරුණේ එවිට ය.

“ඒකට කමක් නෑ ලොකු මහත්තයා” යි කියමින් මම වාඩිවීමි.

“ඉතින්” ඉතින් කොයි කාලෙද වාවින්න ඉස්කෝලෙට ආවෙ?”

වාවින්න පාසලට පැමිණි දිනය ගැන පමණක් නොව, ඔහු හමුවනු පිණිස ම පැමිණියේ මන්දැයි පැහැදිලි කර දෙන්නට ද මම වගබලා ගතිමි. ඔහු මවිතයට පත්වූයේ, වනය ගැනත් වනගත ජීවිතය ගැනත් පත්‍රයට ලියන්නට මා තුළ පවත්නා ආශාවේ තරම දැනගත් විට ය.

“මහත්තයා පත්‍රවලටත් ලියනවද?”

“ඔව්. ජනතා පත්‍රයට කෙටි කතා ලියනවා.”

“අහා” හරි හොඳයි නෙ.”

ඉන් පසු ගොඩනැඟුණු සුහදතාව නිසා, ඔහු මගේ නම ගම ගැන ද, මවුපිය සහෝදර සහෝදරියන් ගැන ද ඉගෙන ගත් පාසල් ගැන ද, ගුරුවරයකු වනු පිණිස සමත් වූ විභාගය ගැන ද තොරතුරු විමසීය.

මම ඒ සියල්ලට නොපැකිළව උත්තර දුන්නෙමි.

“මමත් කොළඹ දිස්ත්‍රික්කයේ (එකල ගම්පහ නමින් දිස්ත්‍රික්කයක් නොවීය.) ගම්පහ.”

“මට අපේ ඉස්කෝලෙ ලොකුබණ්ඩා මහත්තයා කිව්වා.” ලොකු මහත්තයා හිස සැලීය.

“කැලේට ආසයි කියන ගුරුවරුන් දෙතුන් දෙනකුට වඩා මට මේ පළාතෙන් හම්බවෙලා නෑ. කවුරුත් බලන්නේ කොහොමහරි අවුරුදු දෙක ගතකරලා මෙහෙන් පැනලා යන්න. කැලේට ආදරය කරන්නෙ සොබා දහමට ආදරය කරන මිනිස්සු. වැලිකන්නගේ යාලට විල්පත්තුවට කුමන කුරුලුකැලේට ගිහිල්ලා තියනවද?”

“අනේ නෑ ලොකු මහත්තයා. මං ගමෙන් පිටවෙලා මෙච්චර දුරක් ආවේ පළමු වතාවට. අම්මයි තාත්තයි නම් කැමති වුණෙත් නෑ. මැලේරියාව තියනවයි කියල.”

“දරුවන් කොච්චර ලොකු මහත් වුණත් අම්මලා” තාත්තලා හිතන්නේ උන් හැමදාම නොදරුවන් ය කියල නෙ.” කියමින් ලොකු මහත්තයා හඬ නඟා සිනාසුණේ ය.

වම්බටු කඩමින් සිටි තැනැත්තා වම්බටු පැසත් ගෙන ගෙට ගොඩවූයේ එවිට ය. එතරම් සතුටින් සිනාසෙන ලොකු මහත්තයා දෙසත් සමසුන් ගෙන සිටින මා දෙසත් ඔහු බැලුවේ පුදුමයට පත්වූවකු මෙනි.

“අද මාව හම්බවෙන්න ඇවිල්ලා ඉන්නේ කදිම ගෝලයෙක්නෙ පොතුවිල මහත්තයො. මං හිතුවෙ ඉස්කෝලෙට ඇතුළු වෙන්න ආපු ළමයෙක් කියලනෙ. බැලින්නම් අවසාන ගුරු විභාගය පාස්කරලා වාවින්නෙ ඉස්කෝලෙට ළඟදී ආපු ගුරු මහත්තයෙක්.”

“දෙයියෝ සාක්කි ලොකු මහත්තයගේ ගේ කෝකද කියල මගෙන් අහනකොට මමත් හිතුවෙ ඉස්කෝලෙට එන්න හදන ළමයෙක් කියලනෙ.” පොතුවිල මහතා උස් හඬින් කීය. හඬ නඟා සිනාසුණේ ය.

“නෝනා මහත්තයට කියන්න දැනට තේ ටිකක් එවලා අමුත්තකුටත් එක්ක දවල්ට කෑම ටිකක් හදන්නෙයි කියල.” මායාරංජන් හෙවත් මහානාම රාජපක්ෂ මහතා සමඟ මගේ දැනහැඳුනුම්කම් ඇතිවූයේ ඒ විධ්‍යට ය. එතැන් සිට සෑම සිකුරාදාවක ම සවස මම ඉඟිනියාගල ගියෙමි. එය මගේද, ලොකු මහතාගේ සහ ලොකුනෝනා මහත්මියගේ ද පොතුවිලගේ ද කැමැත්ත අනුව සිදුවූවකි. පොතුවිල තනිකඩයෙකි. නැවතී සිටියේ අල්ලපු ගුරු නිවාසයක ය. මා ඉඟිනියාගල ගියවිට නවතින්නේ ඔහු සමඟ ය. ඔහුත් සමඟ උයාපිහාගෙන කෑම ආස්වාදජනක කාරියක් විය.

ඇතැම් සෙනසුරාදා හා ඉරිදා දිනවල ලොකු මහතාත්, පොතුවිල මහතාත් සමඟ මම කැලේ ඇවිදින්නට ගියෙමි. මා ගියේ බයත් ආශාවත් දෑතෙහි ගුළිකරගෙන ය. පොතුවිල ළඟ තුවක්කුවක් තිබිණ.

එහෙත් ඔහු එයත් රැගෙන වන වැදුනේ ලොකු මහත්තයා නොයන දිනෙක පමණි. ඔහු යන්නේ නම් එදාට ගේදොර රැක බලාගන්නට තුවක්කුව ගෙදර නවතී.

දිනක් මා ලියූ කැලෑ කතාවක් සිළුමිණ පුවත්පතේ පළ වී තිබිණ. ඒ ලිපිය කියවා වැඩියෙන් ම සතුටු වූයේ ලොකු මහත්තයා යැයි මට සිතේ.

“දිගට ම ලියන්න.” ඔහු මට කීවේ ය. මා ඉඟිනියාගලට ගැනීමේ ඕනෑකමක් ඔහු තුළ ඇති බවත් ද මට හැඟිණ. පොතුවිල සමඟ ඒ ගැන කියා ද තිබිණ.

පුරුද්දක් වශයෙන් ඔහු ලියන්නට පටන්ගන්නේ රාත්‍රී කෑමෙන් පසු ය. කෑමට පෙර මදුවිත තොලගාති යැයි කීම ඔහු සම්බන්ධයෙන් නිවැරදි කියමනක් නොවේ. ඔහු තොලගාමින් කල් මරන්නකු යැයි කිව නොහැකිය. බෝතලය ගෙන කට්ට කැපෙන තෙක් වීදුරුවට වක්කර ගනී. ඒ වීදුරුවට බෝතලෙන් තුනෙන් එකක් පමණ අල්ලයි. ඊට අරවා මේවා මිශ්‍ර කිරීම වැනි බාල බොළඳ වැඩ ඔහු ළඟ නැත. එසේ කරන්නට වීදුරුව ද ඉඩ නොදේ. පැණි බඳුනක පැණියක් බීගෙන බීගෙන යන්නා සේ ඔහු අත වන වීදුරුව එක හුස්මට හිස් කරයි. ඉන්පසු ඔහුට පොවන්නට පුළුවන් ජගතකු කොතැනකවත් ඇතැයි මට නොසිතේ. කෑමට යන්නේ ඊළඟට ය. කෑමෙන් පසු සුරුට්ටුවක් දල්වා ගනී. ඉස්තෝප්පුව දිගේ එහාටත්” මෙහාටත් යති. ඉන්පසු සිය කාමරය තුළට වැද පෑන අතට ගනී. නැතහොත් නිසල රැයේ පොතක් කියවන්නට පටන් ගනී. උදෑසන සිට පාසලේ වැඩත් සෙසු බාහිර කාර්යන්හි නිරතවීමත් ඔහුගේ සිරිත ය.

“ලොකු මහත්තයා මගේ පඩිය තාම හැදුණේ නෑ. හය මාසයකුත් ඉවර වෙන්නයි යන්නේ.” දිනක් මම එතුමාට කීවෙමි. ඔහු මා දෙස බලාගෙන කල්පනා කරන බවක් පෙනිණ.

“මම ලියුමක් දෙන්නම්. ඒක ඊ.ඕ ට (එකල අද මෙන් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වැහි වැහැලා සිටියේ නැත. එක දිස්ත්‍රික්කයකට සිටියේ එක අධ්‍යාපන නිලධාරියකු පමණි‘) ගිහින් දෙන්න පුළුවන්ද?” මඳ වේලාවකට පසු ඔහු මගෙන් ඇසීය.

“පුළුවන් ලොකු මහත්තයා.” මම කීවෙමි. ඔහු යළිත් කල්පනාවට වැටුණ බවක් පෙනිණ.

“ඕනෑ නෑ. මාත් එක්කම යමු. ඉස්කෝලෙ වැඩකට මම ඊ. ඕ. හම්බවෙන්නත් තියෙනවා. ෆයිල් නොම්මරේ මතකද?.

“මතකයි”

ඉන් දින දෙක තුනකට පසු අපේ ලොකු මහත්තයා මාත් සමඟ මඩකලපුවේ අධ්‍යාපන කාර්යාලයට යෑම සඳහා පිටත් විය. ඒ ගමනට නම් ඔහු මිරිවැඩි සඟළක් පය ලාගෙන සිටි බව මගේ මතකයේ ඉතා හොඳින් රැඳී ඇත.

මඩකලපු අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් මොන තරම් සැලකිල්ලක් ගෞරවයක් ඔහුට දක්වන්නේ දැයි මම මගේම දෙනෙතින් දැක ගතිමි. දෙමළෙන් කතා කරද්දි ඇතැම් ලිපිකරුවකු ඔහු ඇමතුවේ “සර්” යි කියමිනි. අධ්‍යාපන නිලධාරිවරයාගේ කාමරයට තුළට යද්දි මා සිටියේ පිටත ය. “හලෝ ආෆ්ටර් ලෝන්ග් ටයිම්. කම් කම් වට් කැන් අයි ඩු ෆෝ යූ.” යි කියනු මට පැහැදිලි ව ම ඇසිණ. ඔවුහු දෙමළෙන් ද ඉංග්‍රීසියෙන් ද බොහෝ වේලාවක් කතා කරමින් සිටියහ.

“කෝමද පොතේ වැඩේ.”

“තව මාසෙකින් හමාරකින් පිටවේවි – සර්.”

“ඊස් ඉට් එබවුට් ජන්ගල් ලයිෆ්.”

“යෙස් සර්.”

“යූ ට්රාන්ස්ලේට් ඉට් ඉන්ටු ඉංග්ලිෂ්. දෙන් වී ඕල්සෝ කැන් රීඩ්.”

“යෙස්” අයි විල් ට්රයි.”

හය මාසයකින් නොහැදුණ වැටුප ඊළඟ මාසයේ සෑදී තිබිණ. ඒ වැටුප ලත් දිනයේ බුලත් අතක් දී මම ලොකු මහත්තයාට වැන්දෙමි. ඔහුගේ දෙනෙතට කඳුළු පුරා ඇති සැටියක් මට පෙනිණ.

ඒ එක් දහස් නවසිය පනස් හතේ නොවැම්බර් මාසයේ මුල සතිය විය හැකිය.

“අච්චුගහපු පොත් ටිකකුත් අරගෙන ගමෙත් ගිහිල්ලා එන්න ඕනෑ.” ලොකු මහත්තයා ජ්‍යෙෂ්ඨ උපගුරුවරයාට වැඩ බාර දෙමින් කියා ඇත. ඝන වනය පුරා ඇවිදිමින් ලත් ඇත්දැකීම් අළලා ලියූ පොතක් මහරගම සමන් ප්‍රකාශනායතනයට බාර දී ඇති බව අපි දැන සිටියෙමු. එකල ඉඟිනියාගල සිට කොළඹට යෑම – ඊම අද තරම් පහසු නොවීය. ගියගමන් ආපසු හැරී ආවත් ඒ සඳහා දෙදිනක් ගත වෙයි. ප්‍රවාහන සේවය සඳහා තිබුණේ දුම්රිය පමණි‘ සිය බිරියත් සමඟ ගිය ලොකු මහත්තයා සතියකින් මෙපිට නොඑන බව අපි දැන සිටියෙමු. ඒ දින කීපය මා කල් ගෙවූයේ නොසන්සුන් ගතියකිනැයි මට සිතේ. පොත කියැවීමේ නොතිත් ආශාවෙන් මම මැඬෙමින් සිටියෙමි. වනයේ අප ආ ගිය තැන් අපේ නම් ද සඳහන් කරමින් ලියා ඇතැයි මම කල්පනා කෙළෙමි. මගේ නම කොතැනක හෝ සඳහන් ව තිබුණොත් නිවාඩු කාලයේ පොත දිගහැර පෙන්වමින් “අලි කතා” කියා දී වීරයකු විය හැකි යැයි මට සිතිණ. නිරන්තරයෙන් වාගේ මම ඒ ගැන සීන දැක්කෙමි.

ඔවුන් පැමිණියේ ඉරිදා දහවල්ය. බස්රිය පාසල අසල නතර කරත්ම මම දුවගෙන ගියෙමි. පොත් පාර්සලය කතුවරයා අතින් ගතිමි.

“මොකෝ පොත් ගේනකල්ද බලාගෙන හිටියේ?” ලොකු මහත්තයා ඇසුවේ ආදරණීය සිනාවක් මුවගෙහි රඳවාගෙනය.

“ඔව් ලොකු මහත්තය.” මා දුන්නේ දඟකාර උත්තරයකැයි මට සිතේ. පොතුවිල තවත් බර පොදි දෙකක් දෑතට ගෙන ආවේය. දොර විවෘත කළ සැටියේ ගෙතුළට පැනගත් මම පොත් මිටිය මේසය මත තබා ලොකු මහත්තයාගේ මූණ බැලීමි.

“මඟ බලාගෙන සිටියේ පොතක් අරගෙන කියවන්නනේ? ඉතින් එකක් අරගෙන කියවනවා.” ඒ අවසරය මට හොඳටම ප්‍රමාණවත් විය. පාර්සලය ලිහා මම පොතක් අතට ගතිමි. පිටකවරය බෙහෙවින් මගේ සිත් ගත්තේ ය. එහි සිටියේ අඳින ලද අලින් රංචුවකි. උන්ට ඉහළින් “දිගාමඩුල්ලේ ආශ්චර්යය” යනුවෙන් ද, උන්ට පහළින් “මායාරංජන්” යනුවෙන් ද මුද්‍රණය කර තිබිණ.

“මායාරංජන්” විස්මයට පත් මම ලොකු මහත්තයාගෙන් ප්‍රශ්න කළේ දෙනෙත් නළලට ගන්නට උත්සාහ කරන්නකු මෙනි.

“ඒක නේන්නම් ලොකු මහත්තයගෙ පිස්සු වැඩනෙ. දැන් ඉතින් පොත කියවන අය ළඟට ගිහින් කියන්න ඕනෑ, ඔය පොත ලිව්වෙ මහානාම රාජපක්ෂ වන මම තමයි කියල.” ලොකු නෝනා එසේ කීවේ නොරුස්සන ගතියෙනි. පොතක් ගෙන පාළු පන්ති කාමරයක් වෙත මම දුවගෙන ගියෙමි. පොතේ පිටු අතරින් ඝන වනය තුළට වැදුණෙමි. එහි ඇතැම් පිටුවල මට ද හුරු පුරුදු තැන් ගැන ලියැවී තිබිණ. එහෙත් ඒ කොතැනකවත් මගේ හෝ පොතුවිලගේ නම් ගම් සඳහන් නොවීය. එය මගේ කියැවීමට කිසි බාධාවක් ද නොවීය. පැයකට ආසන්න කාලයක් තුළ මුළු පොත ම කියවා වට-පිට බැලූවිට මට දැනුණේ වනයටත් පියවි ලෝකයටත් අතර මා අතරමංව සිටින සැටියකි.

මා පොත අතැතිව ගුරු නිවසට ගියේ පන්ති කාමරයට යන විට මෙන් දුවගෙන නොවේ. කම්පනයට පත් සිතකින් යුතුව බිම බලාගෙන ය.

“පොත කියවා අවසන් කළා ද?” සුරුට්ටුව අතට ගත් කතුවරයා මගෙන් ඇසීය.

“ඔව්. කියවා අවසන් කළා.”

“කොහොමද පොත?”

“හරි හොඳයි ලොකු මහත්තයා.”

“මගේ පොතක් නිසාද?”

“නෑ. වනාන්තරෙන් එළියට එන්න දෙන්නෙ නැති පොතක් නිසා. කතුවරයාගේ දෙනෙතින් පිටවුණ කාන්තියත් උස් හඬින් නැඟුන සිනාවත් පෙන්නුම් කෙළේ මා දුන් උත්තරයේ පරිපූර්ණ බව යැයි මට සිතිණ.

“වැලිකන්නගේ මීට වැඩිය හොඳ පොතක් ලියන්න ඕනෑ.” ඔහු කෙළේ ආදරණීය ඉල්ලීමකි. තමන්ට වඩා තම ගෝලයන් ඉදිරියට යනු දැකීමේ ආශාව ඒ ඉල්ලීම තුළ ගැබ්ව ඇතැයි මට සිතිණ. එහෙත් කිසි දිනෙක ඒ අතින් ඔහු අසලකටවත් ළඟාවෙන්නට මට නුපුළුවන් විය. එසේ වුවද මා තුළ යන්තමින් නමුත් පැවැති ලිවීමේ ආශාව, අකාලයේ මිය යන්නට ඉඩ නොදී රැකදෙන ලද්දේ අහම්බෙන් වගේ මුණගැසුණු අපේ ලොකු මහත්තයා

විසිනි යි කියන්නට මම කිසිසේත් මැළි නොවෙමි. ඒ සම්බන්ධයෙන් මම අදත් ඔහුට පින් දෙමි.

මායාරංජන් විසින් ලියනු ලැබුවේ දිගාමඩුල්ලේ ආශ්චර්යය පමණක් නොවේ. ඉංග්‍රීසි බසින් සිංහලයට නැඟුපරිවර්තන කෘති ද ස්වතන්ත්‍ර නිර්මාණ කීපයක් ද ඇත. ඒ කොයිකෙනුත් එදා මෙන්ම අදත් පාඨක සිත් සතන් රසගැන්වෙතැයි කීම නිවැරදි ය. දිගාමඩුල්ලේ ආශ්චර්යය අතිරේක කියවීම් පොතක් ලෙස අද ද පාසල්හි භාවිත කෙරේ. එහි ඇතැම් කොටස් උපුටා ගෙන පාඨශාලීය පාඨ ග්‍රන්ථවල පළ කර ඇති බව ද කිව යුතුය. දරුවන්ට හා මිනිසුන්ට පමණක් නොව වනයේ සිටින සතා සීපාවුන්ටත්, එහි ඇති ගහකොළටත්, අසීමිතව ආදරය කළ ඒ අපූරු මිනිසා ගැන මේ තරමින්වත් කතා කරන්නට අවස්ථාව ලැබීම ගැන මම බෙහෙවින් සතුටට පත් වෙමි.

පියදාස වැලිකන්නගේ

වනගත ජීවිතය සාහිත්‍යයට එක් කළ ඉඟිනියාගල ඉස්කෝලේ ලොකු මහත්තයා
advertistmentadvertistment
advertistmentadvertistment