වනජීවි විදුලි වැටේ සැර වැදුණු ජලගැලුම් නිම්නයේ පාරම්පරික වී ගොවියෝ

188

* වගාවට අවසර දී ඇත්තෙ සුද්දගෙ කාලේ ඉඳල

* සින්නකර ඔප්පුත් තියනවා
 

තිස්ස ගුණතිලක
ඡායාරූප – ප‍්‍රසන්න සිල්වා


”සියවස් ගණනක් කිසි කෙනෙකුට බරක් නොවී ජීවත් වූ අපි අද හි`ගන්නු බවට පත් වෙලා.. අපේ ඉතිහාසය රජ දවස දක්වාම දිවෙනවා. අපේ මුතුන් මිත්තන්ට කුඹුරු ඉඩම්වලට 1906 ලැබුණු සින්නක්කර ඔප්පු තියෙනවා. දැන් ඒ ඉඩම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලහත්කාරයෙන් අල්ලාගෙන. අපිට වගා කරන්න තියා ඇතුළු වෙන්නත් තහනම් කරලා. දැන් අපට ජීවත් වෙන්න විදිහක් නැහැ.’’

මේ පොළොන්නරුව දිස්ත‍්‍රිත්කයේ පැලෑටියාව, සොරිවිල හා මනම්පිටිය යන ගම්මානවලට අයත් ගොවින්ගේ හඬය. මහකුඹුර නමැති වාරි ඉඩමේ අයිතිය ඉල්ලා ගොවි පවුල් අසූවක් අද පාරට බැස කෑමොර දෙන්නේ රසායනික පොහොර ඉල්ලා නොව තමන්ගේ පාරම්පරික ඉඩම් ලාබගැනීමටය. නමුත් කිසිවෙකුගේ පිළිසරණක් නොමැති ඔවුන්ගේ හඬට කන්දෙන්නට වගකිවයුතු පුද්ගලයෙක් ඒ පළාතක නැති හැඩය. රජයේ ආයතන වලින් මේ සඳහා පිළිසරණක් නොවූ තැන වර්ෂ 1906, 1925, 1946 නමැති කාලයේදී ලැබුණු ඉඩම් ඔප්පු තුරුළුකරගෙන ඔවුන් පසුගිය කාලය පුරා වගාවට අවසර ඉල්ලා ඔවුහු මේ රටේ විවිධ පක්ෂවල දේශපාලකයන් පසුපස ගොස් තිබුණහ. එහෙත් ගොවීන්ගේ එම විලාපයද දේශපාලකයන් ඉදිරියේ බීරි අලින්ට වීනා වයන්නාක් බඳුවිය.

”අපි පරම්පරාවෙන් සොරිවිල පදිංචි මිනිස්සු. අපේ මුතුන් මිත්තෝ මේ ඉඩම්වල සැබෑ අයිතිකාරයෝ. දිඹුලාගල නායක හාමුදුරුවෝ මෙහෙට වඩිනකොටත් අපි මේ ගම්මානවල පදිංචි වෙලා හිටියා. අපි ජීවත් වුණේ මේ කුඹුරු වලින් ලැබුණු ආදායමින්. ඒ කාලේ ගේ උතුරන්න වී තිබුණා. මහවැලි ග`ගට ඉහළින් පැලෑටියාව ඉඳන් මනම්පිටිය දක්වාම ඇති කුඹුරු ඉඩම් අපි යල් කන්නයේ වගා කළා. මාස් කන්නය ගංවතුරට යට වෙන නිසා වගා කරන අවස්ථා අඩුයි. නමුත් එක කන්නයක ලැබෙන අස්වැන්න අපිට අවුරුද්දක් ජීවත්වෙන්න ප‍්‍රමාණවත් වෙනවා. ඒ තරම් සශ‍්‍රීක ඉඩම් මේ ගොවියන්ට අහිමි කරන්නෙ.’’

jalagalum2මහ කුඹුරේ අයිතිය ගැන එසේ සාක්ෂි සපයන්නේ දිඹුලාගල සොරිවිල පදිංචි පී. බී. ගුණවර්ධන ගොවි මහතාය. මේ පළාතට මහවැලි සංවර්ධන ව්‍යාපාරය පැමිණෙන කාලයේ සිට සිදුවුණු විපර්යාස ඔහුට හොඳ හැටි මතකය. 1984 වසරේදී මහවැලි ව්‍යාපාරය පැමිණෙන විටත් දිඹුලාගල සොරිවිල සහ මනම්පිටියේ පැරණි ගම්මානවල ගොවීන් මහවැලි ගං දෑලේ කුඹුරු කළේය. අක්කර හයසියයක ප‍්‍රමාණයක් තරම් වූ එම ඉඩම්වලට නීත්‍යනුකූල අයිතියක් තමන්ට තිබුණේයැයි මේ ගොවීන් කියන්නේය.

‘‘සුද්දාගෙන් නිදහස ලබා ගන්න කලින් අපට මේ ඉඩම් වලට ඔප්පු ලැබුණේ. මහවැලිය ඇවිත් පිට පළාත්වල අයත් මෙහෙ පදිංචි කළා. අපේ ගම්මානවල හිටිය අයටත් පිටින් ආව අයටත් මහවැලියේ ගොඩ මඩ ඉඩම් ලැබුණා. අපේ සින්නකර ඔප්පු තිබුණු කුඹුරු අක්කර හයසීයක් අපි ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට පරිත්‍යාග කළා. නමුත් ගම්මානයට ආසන්න අක්කර සීයයක් දිගටම අපි වගා කටයුතු කළා. එම කුඹුරු අක්කර සියය ගොවීන් 80 දෙනෙක් අතර බෙදී තිබුණා. මෙම කුඹුරු වලට මහවැලි වතුර නොගෙන මැනිකේ ඇළෙන් අමුණක් හදලා වතුර ගත්තා. සමහර ගොවීන්ට අක්කරයක් වගේම තවත් කෙනෙකුට අක්කර එක හමාරක් හිමිවී තිබුණා. මේ කුඹුරු යාය මහවැලියට සම්බන්ධ නැහැ. එක කන්නයක් වගා කරන නිසාත් ගංවතුරට යට වන නිසා මේ කුඹුරු හරිම සශ‍්‍රිකයි. මහවැලි කුඹුරුවල හෙක්ටයර් එකකින් ගන්න ආදායම අපි මේ කුඹුරු අක්කරයකින් ගන්නවා. අක්කරයක් වගා කරලා අපි වී කිලෝ 4000 ක් ගන්නවා. ඒ වගේ අක්කර සියයක් වනජීවී එක බලෙන් අයිතිකරගෙන තිබෙනවා. අපේ කුඹුරු වලින් වාර්ෂිකව වී කිලෝ හාරලක්ෂයක් ජාතික නිෂ්පාදිතයට එකතු කරනවා. අද මේ ඉඩම්වලින් වී අටයක් රටට ලැබෙන්නෙ නැහැ. මාස් කන්නයේ ගංවතුරට යටවෙලා රොන්මඩ තැම්පත් වන නිසා රසායනික බෙහෙත් පොහොර අපේ කුඹුරුවලට අවශ්‍ය නැහැ. හොඳට කරල පැහෙනවා. එහෙම ඉන්නකොට තමයි වල් අලි කරදර නිසා වනජීවීඑක මැදිහත්වෙලා විදුලි වැටක් ඉදිකළේ. ’’

ගොවීන් සහ වනජීවිය අතර ඇති ගැටුමට මග පෑදී ඇත්තේ එතැනිනි. වන අලින්ගෙන් කුඹුරු ආරක්ෂාවන ලෙස කුඹුරු වලට පහල මායිමෙන් ඟගට ඉහළින් අලි වැට ඉදිකරදෙන ලෙස ගොවීන්ගෙන් යෝජනා ඉදිරිපත් වුවද වන ජීවිය විසින් එම වැට ඉදිකර ඇත්තේ කුඹුරු ඉඩම් මැදිනි. ඊට ගොවීන්ගේ විරෝධය එන විට වන ජීවිය ඉදිරිපත් කර ඇත්තෙ මෙවැනි තර්කයකි.

‘‘ කුඹුරුවලට පහළින් ගැහුවොත් ගංවතුර ගලන විට යටවෙනවා. ඒ නිසා විදුලි වැට කුඹුරු මැදින් ගහල ගේට්ටුවක් දාල ඇතුළට ඇවිත් වගා කරන්න දෙන්නම්.’’

jalagalum3වනජීවියේ එම පොරොන්දුව ක‍්‍රියාත්මක වූයේ වසරක කාලයක් පමණි. විදුලි වැටෙන් එහා වගාවන්වල නියැළීමේ තහංචි ගොවීන්ගේ ගෙලට තොණ්ඩුවක්ව වැටුණේ වනජීවියට අයිති ඉඩම්වල අනවසර වගාකිරීම් යන චෝදනාවත් සමගිනි. එවැනි අවස්ථාවක එවකට සිටි වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එම ගැටලූවට මැදිහත්ව ගොවීන්ගේ ඔප්පු තිරප්පු ගැන සොයා බලා යළිත් වනජීවියේ අධීක්ෂණය මත කඹුරුවලට ඇතුල්වීමට ගොවීන්ට අවසර ලැබී තිබිණි. නමුත් නිලධාරීන්ගේ වෙනස්වීම්ද දේශපාලන බලය වෙනස්වීම්ද හේතුවෙන් ඒ සියල්ල දැන් වෙනස්වී තිබෙන්නේ මහ කුඹුර ඉඩම් මේ අසරණ ගොවීන්ට තහනම් කලාපයක් වෙමිනි.

මෙම පාරම්පරික සින්නකර අයිතිය සහිත ඉඩම්වල සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ග තුනටම අයත් ගොවීන් සිය වගා කටයුතු කරගෙන ගොස් තිබේ. අපට හමුවූ කන්නමුත්තු සිවඥානම් ඉන් එක් අයෙකි. ලාංකීය දමිළ වැසියෙකු වුවත් චතුර ලෙස සිංහල භාෂාව හැසිරවීමේ හැකියාව ඇති ඔහු වනජීවියේ සහ මහකුඹුරේ ගැටලූව ගැන කියන්නෙ මෙවැන්නකි.

”විදුලිවැට ගැහුවේ අලි ගමට එන එක නතර කරන්නත් එක්ක. නමුත් අලි ගමට එනවා. මට වගා කරන්න කුඹුරුත් නැති නිසා ගොඩ ඉඩමේ මම පසුගිය කන්නයේ අක්කර 12 ක මඤ්ඤොක්කා හිටෙව්වා. ඒ සේරම අලි දවස් දෙකෙන් විනාශ කරලා දැම්මා. දැන් කුලියක් කරලා හම්බවෙන කීය හරි දීලා හාල් කිලෝ එකක් අරං එනවා. රටේ ආහාර නිෂ්පාදනය වැඩි කරන්න වගා කරන්න කියලා රජය අපට කියනවා. අනිත් පැත්තෙන් මේ වගේ නිලධාරීන් අපට වගා කරන්න නොදී බාධා කරනවා. මීට අවුරුදු පහකට විතර කලින් පූර්ණ කියලා වනජීවී නිලධාරී මහත්තයෙක් හිටියා. එයා හරිම හොඳයි. අපට ගේට්ටුවක් දාලා වගා කරන්න යන්න එන්න අවසර දුන්නා. අපි අලි වැටෙන් එපිට හිටිය නිසා වල් අලි මහවැලි ගම්මානවල කුඹුරුවලට එන එකත් නතර වුණා. අලි වැටත් ආරක්ෂා වුණා. අද වනජීවී නිලධාරීන් අපට කිසිදු අනුකම්පාවක් දක්වන්නෙ නැහැ. නමුත් ගවපට්ටි කාරයින් එක්ක නම් පුදුම හිතවත්කමක් තියෙන්නේ. වනෝද්‍යානයක් ඇතුළේ ගව පට්ටි හතළිස් හයක් ඉන්නවා. ඒ එක ගව පට්ටියක හරක් 200 විතර ඉන්නවා. පට්ටිකාරයෝ වනජීවී කලාපයට ගිහිං හරක් ඇති කරනවා. ඒවට නීතිමය කටයුතු මොකුත් නැහැ. හැබැයි අපේ ගොවියෙක් විදුලි වැටෙන් එපිටට ගියොත් අල්ලා උසාවි දාලා දඩ ගහනවා. පසුගිය සතියේත් අපේ එක් කෙනෙකුට රුපියල් තිස් පන්දහසක දඩයක් ගහලා තිබුණා. නීති විරෝධී විදිහට වනෝද්‍යානය ඇතුළේ තියෙන ගවපට්ටි වලට වනජීවී නිලධාරීන් රැකවරණය දෙනවා. කුඹුරු ගොවිතැන් කරන මිනිස්සු පන්නලා දානවා.

jalagalum4පැලැටියාව සහ දිඹුලාගල ප‍්‍රදේශවල ගොවීන්ට එක නීතියක් සහ මනම්පිටියේ ගොවීන්ට වෙනම වනජීවී නීතියක් ක‍්‍රියාත්මක වන බව ඔහු නොකියා කියයි. නමුත් ඒ කතාව තවත් පැහැදිලි කළේ මනම්පිටිය, කොළණිපාර අංක 91 හි පදිංචි සිවනායගම් බාලචන්ද්‍රන්ය.

”මනම්පිටියේ මහවැලි කුඹුරු තුනක් තියෙන්නේ විදුලි වැටෙන් එහා. නමුත් ඒවට යන්න අපූරුවට අවසර දෙනවා. නමුත් අපට අපේ කුඹුරු තහනම් ප‍්‍රදේශ කරලා. මීට අවුරුදු හතරකට පමණ පෙර දිඹුලාගල හිටපු ප‍්‍රාදේශීය ලේකම්තුමිය අපේ ප‍්‍රශ්නය විසඳන්න මැදිහත් වුණා. එතුමියත් වනජීවී එකට කිව්වා අපිට වගා කරගන්න අවසර දෙන්න කියලා. එතුමිය කිව්ව නිසා එක කන්නයක් විතරක් දුන්නා. හැබැයි වනජීවිය ආයෙත් ගේට්ටුව වහලා දැම්මා.’’

සියවස් ගණනාවක් වගා කළ බිම් අ`ගලට වනජීවිය විසින් දැන් කම්බි ගසා ඇත. එයින් පීඩිත ගොවීන්ගේ දරු පැටවුන් කුසගින්නේ තියන්න බැරිකමට දැන් මේ ගොවියෝ වැලි ගොඩ දැමීම වැනි කටයුතුවල නිරතව සිටිති. වී ගොවීන්ට තහනම් වූ වනජීවී කලාපය තුළ දහස් ගණනක් ගවයන් සිටින්නේ කෙසේදැයි ගොවීහු ප‍්‍රශ්න කරති. අපටද එය හිතාගැනීමට නොහැකි ප‍්‍රහේලිකාවකි. මෙවැනි වාතාවරණයක් මැද රජයේ කෘෂි අංශයේ නිලධාරීන් සෑම බිම් අ`ගලකම වගාකරන ලෙස ජනතාව දැනුවත් කරමින් සිටියි. පරිසරය හා වනජීවීන් ආරක්ෂා කිරීමට බැඳී සිටින ඉහළ බලධරයන් චක‍්‍රලේඛන අරගෙන වගාකරුවන්ට හරස් වෙයි. නමුත් මේ නීතිය සෑම දෙනකුටම පොදු විය යුතුය. ජාතික වනෝද්‍යානයක් තුළට ගවයන් හෝ වෙනත් ගෘහාශ‍්‍රිත සතුන් ඇතුළු කළ නොහැකිය. ගවයින් වනෝද්‍යාන තුළ ජීවත්වීම නිසා වල් අලි ගම්වැදීම සිදුවෙන බව පසුගිය කාලය පුරාම අලි මිනිස් ගැටුම පිළිබඳ කළ අධ්‍යනයන් වලදී පෙන්වා දි තිබේ. පරිසරවේදීන් පවා පෙන්වා දී තිබේ. මාදුරුඔය ගවපට්ටි වනසතුන්ට හිරිහැරයක් බවට හඬනගන වනජීවිය ජලගැළුම් නිම්න වනෝද්‍යානයට එය සාධාරණීකරණය කරන බවට ගොවීහු චෝදනා කරති. කෙසේ වෙතත් නීති විරෝධී ආකාරයට වනෝද්‍යානය තුළ ගවපට්ටි පවත්වාගෙන යෑමට අවසර දීම තුළින් පෙනෙන්නේ වනජීවියේ නරිවාදන් රෙද්දපල්ලෙන් වැක්කෙරීම බව කුඩා දරුවෙකුට වුවද පැහැදිලි වෙන කරුණකි.

advertistmentadvertistment
advertistmentadvertistment