වනජීවී ඡායාරූපකරණය පරිසර සංරක්ෂණයට යොදා ගත යුතුයි

140

ප්‍රවීණ සම්මානලාභී වනජීවී ඡායාරූප ශිල්පී, විශේෂඥ වෛද්‍ය, රියර් අද්මිරාල් (විශ්‍රාමික)ලලිත් ඒකනායක

වනජීවී ඡායාරූපකරණය පරිසර සංරක්ෂණයට යොදා ගත යුතුයි

වනජීවී ඡායාරූප ශිල්පියකු සමග සිදුකරන Wildlife eye නම් අපගේ නවතම සාකච්ඡාමය විශේෂාංගය තුළින් පසුගිය සතියේ මෙන්ම අදත් අප හා එක්වන්නේ ප්‍රවීණ සම්මානලාභී වනජීවී ඡායාරූප ශිල්පී, විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ය. ඔහු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ආන්ත්‍රික, කායික හා කිමිදුම් යන අංශ 3 ක මෙරට සිටින සුවිශේෂී ගණයේ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සිවිල් සමාජය සමග කටයුතු කරමින් සිටින අතර තුර හැකි සෑම අවස්ථාවකම වනජීවී ඡායාරූපකරණයේද යෙදෙමින් කටයුතු කරන්නෙකි. එමෙන්ම ඔහු හිටපු නාවික හමුදා නිලධාරියකු ලෙස නාවික හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයේ පරතෙරට ගිය පුද්ගලයෙකි. හේ නාවික උප ලුතිනන් තනතුරේ සිට රියර් අද්මිරාල් තනතුර දක්වා මෙන්ම, නාවික හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දක්වා උසස්වීම් ලබා කටයුතු කළේය. ඔහු දැන් නාවික හමුදා සේවයට සමුදී ඇත.

වනජීවී ඡායාරූපකරණය පරිසර සංරක්ෂණයට යොදා ගත යුතුයි

ඔහු තම වෘත්තීය දිවිය ආරම්භ කරන්නේ සුප්‍රකට Kandos වෙළෙඳ ලකුණ දරණ උපාලි සමූහ ව්‍යාපාරයට අයත් සිලෝන් චොක්ලට් සමාගමේ Kanvita චොකලට් පානය අලෙවි ප්‍රවර්ධන නියෝජිතයකු ලෙසිනි. අනතුරුව වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව වෛද්‍යවරයකු බවට පත්වන ඔහු නාවික හමුදාවට එක්වී එහිදී විශේෂඥ වෛද්‍යවරයකු දක්වා තම වෘත්තීය දිවිය පුළුල් කරගනී. එනමුත් මේ කිසිදු අවස්ථාවක හෝ වනජීවී ඡායාරූපකරණය අත් නොහරින ඔහු, අදටත් එම ක්ෂේත්‍රයේ ඉහළින්ම නමක් දිනාගෙන සිටින අතර ඒ ඔස්සේ තමන් විශාල වින්දනයක් ලබන බව ඔහු පවසයි.

පසු ගිය සතියේ අප ඔහුගේ ජීවන ආගමනය ගැන සොඳුරු කතාබහක යෙදුණු අතර අද දිගහැරෙන්නේ ඔහු ඡායාරූප ශිල්පියකු ලෙස ලබාගත් අත්දැකීම්, ජයග්‍රහණ හා වනජීවී ඡායාරූප ක්ෂේත්‍රයට පිවිසෙන ආධුනිකයින්ට ඔහු විසින් ලබාදෙන ඔවදන් හා ආදර්ශය කුමක්ද යන්න පිළිබඳවය.

වනජීවී ඡායාරූපකරණය පරිසර සංරක්ෂණයට යොදා ගත යුතුයි

”යාල, විල්පත්තුව, කුමන හා අනෙකුත් වනජීවී අභයභූමි තුළ සැරිසැරීම වගේම ඡායාරූපකරණයත් මගේ විනෝදාංශයක්. මේ කටයුතුවලින් ඉතා ඉහළ වින්දනයක්, තෘප්තියක් මම ලබනවා. වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන අයකුට හොඳ ඉවසීමක් තියෙන්න ඕනෙ. සතා-සිව්පාවා ගැන හැඟීමක් ආදරයක් තියෙන්න ඕනේ. ඒ වගේම පරිසරය, වන සතුන් රැකගන්න ඕනෙ කියන සංරක්ෂණ හැඟීම තියෙන්න ඕනෙ. කැමරාවක් තිබුණට, වාහන-සල්ලි තිබුණට හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න බෑ. ඇත්තටම මම ආධුනික වනජීවී ඡායාරූප ශිල්පීන්ට පණිවිඩයක් දෙන්න ඕනෙ. වනජීවී ඡායාරූප ශිල්පියෙක් වෙන්න නම් අවම වශයෙන් තමන් කරුණු 6 ක් සම්පූර්ණ කරන්න ඕනෙ. මේ කරුණු 6 මම හඳුන්වන්නේ 6 ඡ කියල. එහෙමත් නැත්නම් P-6 කිව්වත් වැරදි නෑ. එනම් P අකුරු 6 කින් කියවෙන කරුණු 6 ක් ඔහු පිළිපදින්න ඕනෙ. එතකොට තමයි පළමුව ඔහු වනජීවී ඡායාරූප ශිල්පයට සුදුසුකම් ලබන්නෙ. මේ 6 P තමයි. Passion, Patience, Perseverance, Practice, Participate, Preserve’ සිංහලෙන් කියනව නම් පළමුව මේ සඳහා “ආසාව නොහොත් කැමැත්ත” තියෙන්න ඕන. ඒක ඇඟෙන්ම එන්න ඕන දෙයක්. ඊළඟට “ඉවසීම”. මේ වැඩේට, මේ කලාවට ඉවසීම අවශ්‍යමයි. මොකද වන සත්තුත් එක්කයි අපි මේ කටයුත්ත කරන්නෙ. ඊළඟට “නොපසුබට උත්සාහය”. මම අද ක්ෂේත්‍ර කිහිපයකින් මෙතන ඉන්නේ නොපසුබට උත්සාහය නිසා. උත්සාහය තියනව නම් ඉලක්ක ජයගැනීම හරිම පහසුයි. අනික “පුහුණුව.” පුහුණුව ලබල ම දියුණු කරගන්න ඕන දෙයක්. ඒ අනුව තමයි කෙනකු අත්දැකීමක් ලබන්නෙ. ඊළඟට “සහභාගිත්වය”. ඒ කියන්නෙ අපි ලබාගන්න ඡායාරූපවලට ඇගයීමක් අවශ්‍යයි. දැන් නම් ෆේස්බුක් අප්ලෝඩ් කරල ලයික්, කමෙන්ට් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ ඡායාරූප ජාතික, ජාත්‍යන්තර මට්ටමෙන් තරගවලට යොමුකරල ඒවාට අගය කිරීමක් ලබාගන්න උත්සාහ කරන්න ඕන. මම ඒ දේ කරනවා. මේ වෙනකොට ජයග්‍රහණ රැසක් මම ලබල තියනවා. ඉතාලියෙන්, ඉන්දියාවෙන් මම ඒ වගේ ජයග්‍රහණ ලබල තියනවා. ඉන්දියාවෙන් කරපු ‘Sanchuary Asia’ කියන තරගයේ ප්‍රථම ස්ථානය මම වරක් දිනාගත්තා. ඉන්දියාවට අමතරව වියට්නාමය, ජපානය, රුසියාව, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ඇමෙරිකාව, ස්පාඤ්ඤය, රුමේනියාව යන රටවලත් ශ්‍රී ලංකාවේ මගේ වනජීවී ඡායාරූප නියෝජනය වෙලා තියනවා. ජයග්‍රහණත් ලබල තියනවා.

ඇත්තටම ඡායාරූප තරගයකින් ලැබෙන ජයග්‍රහණයක් කියන්නෙ මම අදහන හැටියට තවත් ඇරඹුමක්. අවසානයක් නෙමේ. ඒ ලබපු ජයග්‍රහණයෙන් පස්සේ මම නම් තව අලුත් දෙයක් කරන්න පෙළඹෙනවා. මම කවදාවත් හිතන්නෙ නෑ, මම ප්‍රවීණයෙක් කියල. මම හැමදාම ඉගෙන ගන්නවා. කාගේ හරි අලුත් ඡායාරූපයක් දැක්කත් මම ඒක හදාරනවා. අන්තර්ජාලයට ගිහින් ඔහුගේ තොරතුරු හොයනවා. කැමරා දත්ත බලනවා. එහෙම වුණොත් තමයි මේ ක්ෂේත්‍රයේ සජීවීව ඉන්න පුළුවන් වෙන්නෙ. මම හැමදාමත් අන්න එහෙම වනසතුන් එක්ක, පරිසරය එක්ක ජීවත් වෙනවා. මගේ ජීවිතය මොනතරම් කාර්ය බහුල වුණත් ඒකට මම ඉඩ වෙන් කරගෙන ඉන්නවා.” වෛද්‍ය ලලිත් ඒකනායක පවසයි.

වනජීවී ඡායාරූපකරණය පරිසර සංරක්ෂණයට යොදා ගත යුතුයි

මම කිව්වා පී හයෙන් අවසාන පී එක වශයෙන් “සංරක්ෂණය” කියන කාරණය වැදගත් වෙනවා. පරිසරය හා වනය, වන සතුන් සංරක්ෂණය සඳහා අපි මේ ඡායාරූපකරණය යොදාගන්න ඕන. නැත්නම් මේ දේ කරල රටට, ලෝකෙට වැඩක් නෑ. අපි පරිසරය රැක්කොත් තමයි අපිට වනජීවී ඡායාරූපකරණයක් කරන්න ලැබෙන්නෙ. ඒ නිසා මේ කරුණු 6 ඉටු කරන්න පුළුවන් නම් අපි වනජීවී ඡායාරූප ශිල්පියෙක් කියල කියන්න පුළුවන්.

මම හිතන්නෙ මම මේ කරුණු ප්‍රගුණ කරල ඉන්නෙ. නමුත් පෙර කීවා වගේ මමත් තාම මේ ගැන ඉගෙන ගන්නවා. දවසින් දවස, මොහොතින් මොහොත ඉගෙන ගන්නවා. ඇත්තටම එහෙම ඉගෙන ගන්න දේවල් මේ ක්ෂේත්‍රයේ තියනවා. මොකද ඡායාරූප ගන්න සිද්ධියෙන් සිද්ධිය අලුත් දේවල් නිසා.

වනජීවී ඡායාරූපකරණය පරිසර සංරක්ෂණයට යොදා ගත යුතුයි

ඇත්තටම මම වන ජීවී ඡායාරූප ක්ෂේත්‍රයට අහම්බෙන් ආපු කෙනෙක් නෙමෙයි. පාසල් යන කාලේ ඉඳන් මම කලාවට හරිම ලැදියි. ඒ ගැන ආසාව, උනන්දුව මට තිබුණා. පාසලේදී විතරක් නෙමේ, වෛද්‍ය විද්‍යාලේ ඉන්න කාලෙත් මම කලාව කියන එක කළා. නාට්‍ය රඟපෑවා. පිටපත් ලිව්වා. ඒ කාලෙ ඉඳම්ම තමයි මම ෆොටෝ ගන්න වැඩෙත් කළේ. නමුත් වනජීවී ඡායාරූපකරණය මම ප්‍රගුණ කළේ වෛද්‍ය රස්සාවට ඇවිත් තමයි. මම කොහොමත් අභියෝග ජයගන්න, අවදානම් දරන්න කැමති කෙනෙක්, ඒ ඔක්කොටමත් වඩා ත්‍රාසජනක, ක්‍රියාදාම (Adventure) වැඩවලට මම කැමතියි. නාවික හමුදාවට මම ගියෙත් ඒ නිසා. වනජීවී ඡායාරූපකරණය කරන කොට මේ සියල්ලම ඉෂ්ට වෙනවා. ඉතින් හරිම සතුටක්, වින්දනයක් මම ලබනවා” වෛද්‍ය ලලිත් පවසයි.

“වනජීවී ඡායාරූපකරණය සිදුකරන්නා හැකි ඉක්මන් තමන්ටම ආවේණික කලාවක්, අනන්‍යතාවක් හදාගන්න ඕනෙ කියන එකයි මගේ අදහස. මම එහෙම තැනකට දැන් ඇවිල්ලයි තියෙන්නෙ. නිකම්ම ෆොටෝ ගහන එක කලාවක් නෙමෙයි. ක්‍රමයෙන් තමයි ඒ අනන්‍යතාව හදාගන්න ඕනෙ. අමරදේව මාස්ටර්ගේ, කේමදාස මාස්ටර්ගේ සංගීතයට යම් අනන්‍යතාවක් තියනවා වගේ තමන්ගේ වනජීවී ඡායාරූපකරණයටත් ඒ සුවිශේෂීතාව ඇති කරගත යුතුයි. ප්‍රවීණයි කියන්නෙ එතකොටයි. මම ප්‍රවීණයි කියනවා නෙමෙයි. නමුත් යම් ෆොටෝ එකක් දැක්කම මේක අහවලාගේ නේද කියන ප්‍රශ්නෙ අහන තැනට අපි කලාව දියුණු කර ගත යුතුයි.” ඔහු තම අත්දැකීම් පහදයි.

වනජීවී ඡායාරූපකරණය පරිසර සංරක්ෂණයට යොදා ගත යුතුයි

“ඉස්සරලාම මමත් පින්තූර ගත්තෙ විනෝදෙට වගේ. ඉන් පස්සෙ ඒවගේ විවිධ පැතිකඩ ගැන හිතන්න පටන් ගත්තා. ඊළඟට ඒවගේ ප්‍රමිතිය ගැන හිතුව. පස්සෙ පස්සෙ ජාතික, ජාත්‍යන්තර මට්ටමේ තරගවලට මේ පින්තුර යොමුකරල ඇගයීමක් බලාපොරොත්තු උණා. ඇත්තටම ඒවගෙන් යම් යම් ඇගයීම්, ජයග්‍රහණ ලැබෙන්න පටන්ගත්තා. ඒ නිසා තව තවත් මම වනජීවී ඡායාරූපකරණයට ඇලෙන්න පටන්ගත්තා. ඔහොම තමයි මගේ මේ දිගු ගමන ආවෙ. අවසානයේ මේ කලාව කරන ගමන් පරිසරය රකින්න, සතා සිව්පාවා රකින්න මගේ කලාව මම අද භාවිතයට ගන්නවා.” වෛද්‍ය ලලිත් තම කතාව අවසන් කළේ කාර්ය බහුල ලංකා රෝහලේ විශේෂඥ වෛද්‍ය සේවයේ යෙදෙන අතර තුර අපට ලබා දුන් කෙටි ඉඩ හා කෙටි පිළිසඳර නිමා කරමිනි.

ජගත් කණහැරආරච්චි
ඡායාරූපය –
නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment