වනපෙත නිවහනක් කරගත් මිනිසුන් සමග වනගත රැයක්

256

සද්දන්තයින් ගැන දැනගෙන ජීවත්වුණාම කරදරයක් වෙන් නෑ

රටේ ආර්ථික ප්‍රශ්න බලපාන්නේ අඩුවෙන්

ඉතිහාසයේ අප අත්දකින අභියෝගාත්මක කාලය මේ යැයි සිතේ. ඒ තරමට ජීවත් වීමේදි මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අභියෝගයකට ඔබ අපි මුහුණ දී සිටිමු. එය කොතැනින් කෙසේ කෙලවර වන්නේදැයි දැන් සිතා ගැනීමට පවා අසීරුය. අපට එසේ වී ඇත්තේ අප හුරු වූ අධි පරිභෝජන රටාව නිසාද? කරාමය ඇරිය විට වතුර ටිකත්, ස්විචය දැමූ විට විදුලියත්, වතුර ටිකක් උණු කිරීමට ගෑස් ටිකත් නොමැතිව ජීවත් වෙන්නට බැරි තරමට අපේ ජීවන රටාව හුරු විණි. එයින් මිදීමට නොහැකි වූ තැන අප තුළ ඇතිව තිබෙන්නේ අනාගතය පිළිබඳ අපේක්ෂාභංගත්වයකි. එවැනි අසහනකාරී පරිසරයකින් මදකට හෝ ඈත්ව ජීවත්වීමේ විරල අවස්ථාවක් පසුගියදා අපට උදාවූයේ වනාන්තරය මැද ජීවිතය ගෙවන මිනිසුන් කිහිපදෙනෙක්ගේ අත්දැකීම් සොයා වන වැදුණු නිසාය. කුඹුක්කන් ඔය අසබඩ හේන් වගාව කරමින් ජීවිතයේ වැඩි කාලයක් වාඩිවල ජීවත්වන කිහිප දෙනෙක් සමග වනාන්තරයේ රාත්‍රියක් ගෙවීම අපේ ඉලක්කය විය.

හිරුගේ රශ්මිය මැකී සන්ධ්‍යා කාලය යනු වනාන්තරය තම අණසකට නතු කරගන්නා වන සතුන් එළි බසින කාලයයි. අඳුර වැටෙන්නට ප්‍රථම අපේක්ෂිත ස්ථානයට ළඟා වීමට අපි ගමන ඇරඹුවේ ඓතිහාසික මාළිගාවිල පුද බිම අසලිනි. කුඹුක්කන් ඔය අසබඩ වාඩි පැල් වෙතට ළඟා වීමට වනාන්තරයේ කිලෝමීටර් හය හතක් පසු කළ යුතුය. ඒ සඳහා ආධාර වූ අත්ට්‍රැක්ටරය වනය ඇතුළට ප්‍රවේශ වීමට පැවති ගොඩැලි වළවල් සහිත ගුරු පාරට කදිමට ඔරොත්තු දෙන්නේය. කෙසේ හෝ දඹරන් පැහැ හිරු වනපෙත මතින් සමුගන්නට ඔන්න මෙන්න තිබියදී අපි එන්. සෝමපාල මාමල වාඩි ගසා තිබෙන කුඹුක්කන් ඔය අසබඩට සේන්දු වුණෙමු. ඒ මොහොතේම අපව පිළිගන්නට මෙන් වනය තුළින් ඇසුණු හස්ති රජකුගේ ගර්ජනාව වනාන්තරයේ හාත්පස සිසාරා විහිද ගියේය.

“ඔය ඇහෙන්නෙ. එයාලත් එක්ක තමයි අද ඉන්න වෙන්නෙ…” යැයි වාඩි පැල්පතට ඇතුළු වූ අපට සෝමපාල මාමා කීවේ ගෙවා දැමීමට ඇති ජීවිතයේ නුහුරු ඉදිරි හෝරා කිහිපය ගැන පූර්ව ඉඟියක් දෙමිනි. වාඩි පැල්පත තනා තිබුණේ කිහිප දෙනෙකුටම නොතෙමී සිටිය හැකි සවිමත් අයුරකිනි. උයා පිහා ගන්නට වෙනම කොටසක් ද එහි මනාව සකසා තිබිණි. සෑම දිනකම කල් වෙලා ඇතිව එහි රාත්‍රි ආහාරය සකසා ගන්නා ඔවුන් රැය පහන් කරන්නේ වාඩි පැල්පත අසලම විසල් සියඹලා ගසක් මුදුනේ ඉදි කළ ඇති දෙමහල් පැල තුළයි. හතර පස් දෙනෙකුට සුවසේ නිදා ගත හැකි වන සේ ඉදිකර ඇති එහි මැසි ඇඳකින් ද සමන්විත වේ.

වනපෙත වසා අන්ධකාරය රජවෙත්ම පැල්පත ඉදිරියෙහි ගිනි මැලයක් දැල්විණ. තව අමුත්තන් කීප දෙනෙක් ද ඒ අතර පැල්පතට පැමිණ සිටියේය. ඔවුහු අවට ඉඩම්වල හේන් වගාවේ නිරත වන්නෝය. දවසේ වැඩ නිම කර වෙහෙස නිවා ගැනීමට ඉඳ හිට එක තැනකට එක්ව කතා දැමීම ඔවුන්ගේ සිරිතක් සේය. ඒ අතර සිටි රසික සහ සම්පත් මේ කාෂ්ඨක පොළොව පෙරළා බව බෝග වගාවෙන් ජීවිතය ජය ගන්නට හදනා තරුණයින් දෙදෙනෙක්ය. ඔවුන් දෙදෙනාගෙන් සම්පත් නම් තාම වනාන්තරයට ආගන්තුකය. රැකියාවක් කර මාස් පඩියක් ගැනීමේ සාමාන්‍ය පිළිවෙත ඉවතලා ඔවුන් ධෛර්ය සම්පන්නව මේ හුදකලා පරිසරයේ සොබා දහමේ සුවඳ විඳිමින් ජීවිතය සොයන්නේය. මඩොල් දූව කතාවේ ජින්නා සහ උපාලි සිහිගන්වන ඔවුන්ගෙ කතාව දවසක වෙනම ලිවිය යුතුය. අල්ලපු හේනේ මහින්ද මාමා නම් කතා සාගරයක් වැනිය. තේ කහට වෙනුවට මහින්ද මාමා මයිල කොළ තැම්බූ ඳාබඳු කහට පානය වනාන්තරයේ සිදු වූ රසවත් කතා මැද රැය පහන් කිරීමට උපකාර වූයේය.

වනපෙත නිවහනක් කරගත් මිනිසුන් සමග වනගත රැයක්

මහින්ද මාමලාට වනාන්තරයේ ජීවත් වීමේදී මුහුණ දීමට සිදුවන ලොකුම අභියෝගය සද්දන්තයන්ගෙන් බේරී සිටීමය. දිනකට කිලෝ මීටර් හත අටක දුරක් ආහාර සොයා ඇවිදීමේ චර්යා රටාවක් ඇති වන අලින් මේ බිම හොඳ හැටි හුරු පුරුදුය. ඒ නිසාම ඔවුන් වන ගත ජීවිතයේදී සාමාන්‍ය දින චර්යාව තුළ සද්දන්තයන් මුණිච්චි වී නොසිටීමට වග බලා ගත්තද කිහිප අවස්ථාවකදීම සද්දන්තයින් මුහුණට මුහුණ හමුවීම නිසා බියකරු සිදුවීම්වලට ද මුහුණ දීමට සිදුවිය.

දිනක් මහින්ද මාමා වාඩියේ සිට ඊරියපොළ දෙසට කැලය ඇතුළට වැදුණේ බෙහෙත් ඖෂධ පැලෑටි සොයාගැනීමට ය. තවත් දෙදෙනෙක් ඔහුත් සමග මේ ගමනට එක්වූ අතර ඔවුන් කුඹුක්කන් ඔය දිගේ ඊරියපොළ දෙසට ගොස් එන විට සවස් කාලය ළඟා වෙමින් තිබිණ. කුඹුක්කන් ඔය ඉවුර තෙක් ඔවුන් පැමිණ තිබුණේ වනාන්තරය මැදින් වැටුණු ගුරු පාරේ පාපැදි වලිනි. ඉවුරට පැමිණි ඔවුන් පාපැදිවලට නැගී එක හැල්මේ වනාන්තරයෙන් එළියට එන්නට පිටත් විය. රූක්ෂ ගස්වලින් හෙවන වැටුණු ගුරු පාරේ වැඩි දුරක් එසේ එන්නට ලැබුණේ නැත. සද්දන්තයෙක් ඒ මග හරස් කර සිටියේ ගුරු පාරේ පස්ස බිම තබගෙන මහා කළු ගලක් පතබෑ පරිද්දෙන්ය. ඉදිරියෙන්ම පාපැදියේ ගිය මහින්ද මාමාගේ මිතුරාට සද්දන්තයා දකින විට යළි හැරෙන්නට වෙලාවක් තිබුණේ නැත. ඔහු ගිය පිම්මටම අලියා පසුකර බඹ දෙකක් පමණ ගොස් පාපැදිය බිම දමා ගසකට නැග ගත්තේය. සද්දන්තයාට ද තමන්ගේ හොඬ අසලින් ගියේ මොකෙක්දැයි හිතා ගැනීමට කාලයක් තිබුණේ නැත. දෙවැනියට පැමිණි මහින්ද මාමාට ද කර කියා ගන්නට දෙයක් නැතිව ගිය පිම්මේම ගොස් පාපැදිය බිම දැමූ සැනින් ඒ අසල සියඹලා ගහකට නැග්ගේය. මේ දෙදෙනාට තමන්ගෙ අනෙක් සගයා වෙත ඉදිරියේ සද්දන්තයෙක් සිටින සංඥාව හෝ දීමට කාලයක් තිබුණේ නැත. ඔහු ද කළු ගලක් සේ පාර වසාගෙන බිම ඇන තියාගෙන සිටින සද්දන්තයා දුටුවේ අඩි දහයක් දොළහක් පමණ ඌගේ ආසන්නයට ළඟා වූ පසුවය. ඔහු සද්දන්තයා දුටු සැණින් පැමිණි වේගයෙන්ම උගේ කට ඉදිරියේ පාපැදියත් සමග ඇද වැටුණේය. තම මිතුරා වන ජගත්ට ඊළඟ මොහොතේ සිදුවෙන්නට යන භයානක ඉරණම අනෙක් දෙදෙනාට ගසේ අත්තකට වී වෙව්ලමින් බලා සිටිනවා හැර කරගත හැකි දෙයක් නොමැති විය. සද්දන්තයාගේ කට ඉදිරියේම දඩාස් ශබ්දයෙන් වැටුණු ජගත්ට දෙවියන් බුදුන් සිහිවිය. ඔහු දෑත් එකතු කර සද්දන්තයාට වැඳ මේ තමන්ගේ ජීවිතයේ අවසානය යැයි සිතා දෑස් පියා ගත්තේය.

“රාජා ඔය මොකක්ද කරන්න හදන්නෙ මේ… දෙයියන්ගෙ නාමෙන් පලයන් පැත්තකට” ගසට නැගගෙන සිටි මහින්ද මාමා ඒ තිරිසන් සත්වයාට මහ හඬින් කීවේය. අලියාට සිංහල භාෂාව නොතේරෙන්නේය. ඒත් එය තේරුණාක් මෙන් ඌ ඇන තබාගෙන සිටි ඉරියව්වෙන් දණ පොළොවට තබා හොඬයට බරදී නැගිට ගත්තේය. තමන්ගේ කට ළඟටම කොහේදෝ සිට ඇද වැටුණු මේ කුහුඹු පණුවා මොකෙක්දැයි මෙන් බැල්මක් හෙළු සද්දන්තයා හැරී ආපසු කැලයට වැදුණේය.

“අලින්ට හොඳට කතා කළොත් උගෙන් වෙන කරදර බොහොම අඩුයි.” මේ කතාව අවසානයේ මහින්ද මාමා කීවේ එහෙමය. වනාන්තරයේ ගහ කොළ සතා සිව්පාවුන් සමග ගෙවන ජීවිතයේදී මේ මිනිසුන් තුළ එවැනි දැඩි විශ්වාසයන් ඇත.

“අපි අලින්ට මෛත්‍රී කරන්න ඕන. අලින්ට හිරිහැර කළොත් ලෙහෙසියෙන් උන් ඒක අමතක කරන්නෙ නෑ. අපි මේ කියන්නෙ අත්දැකීමෙන්. මගේ අයියා මැරුණේ අලියෙක් ගහල. මොකද එයා හැම වෙලේම අලින් එක්ක වෛරයෙන් හිටියෙ. වගා පාලු කළා කියල කීප වතාවක්ම අලින්ට වෙඩි තිබ්බා. සතාව දැක්ක තැන තිත්ත කුණුහරුපෙන් බැන්නා. මේ කෝන්තරය ටික කාලයක් තිබ්බා. අන්තිමේදි අනිත් ගෙවල් ඔක්කොම මග හැරපු අලියා ඇවිත් හැංගිලා හිටියේ අයියගෙ ගේ පිළිකන්නෙ. හැංගිලා ඉඳල ගහල මැරුවේ. අලියට එහෙම මතකයක් තියෙන්නෙ.”

අලින්ගේ මතකය පිළිබඳ දෙවරක් තර්ක කළ නොහැකි කතාවක් මා ද කියවා ඇත. හීලෑ අලි මෙල්ල කරන ඇත් ගොව්වන් නිතරම ඌට ඇන රිදවීමට පෙර හෙන්ඩුව ඇසට කිට්ටුකර පෙන්වන්නේය. අලියගේ කකුලට හෝ මුහුණට හෙන්ඩුවෙන් අනින්නේ අනතුරුවය. මෙසේ හෙන්ඩුව පෙන්වා අනින්නේ අලියාට තමන්ට රිදවන ආයුධය කුමක්දැයි පෙන්වීමටය. එවිට හොඳ මතක ශක්තියක් ඇති අලියාට ඒ ආයුධයෙන් වන රිදුම හොඳ හැටි මතක හිටින්නේය. අලියා හෙන්ඩුව පෙන්වීමෙන්ම ඌව පාලනය කළ හැකි වී ඇත්තේ ඒකය. අලින්ගේ මතකය ගැන සෝමපාල මාමාලා දැනගන්නේ ඔවුන්ට ජීවිතයේ සිදු වූ ඇබැද්දිවල අද්දැකීම් ඇසුරෙන්ය. එම දැනුම හැම විටම ඔවුන්ට වනපෙතේ සතා සිව්පාවුන් අතර ජීවිතය ගෙවීමට උපකාර වන්නේය.

අපේ කතා දිග්ගැස්සෙන්නේ වනාන්තරයේ නිහැඬියාව මැදය. මිනිස් හඬ නැවතුන විට වවුලන්ගේ තටු ගසන හඬ පවා ඇසෙන තරමට දැන් ඒ නිහැඬියාව ගැඹුරුය. එවිටම විලෝපිකයකු ගොදුරක් ඩැහැ ගන්නා අවස්ථාවක මර බියෙන් කෑ මොර දෙන සත්වයකුගේ මර හඬ ඈත වනපෙතින් ඇසී සෙමින් වියැකී යන්නේය. ඝනඳූර මැද අපට එය මහා බියකරු හැඟීමක් ගෙන දුන්නද මහින්ද මාමලාට එය හොඳ හැටි හුරුය. ඒ නිසාම එවැනි හඬවල් මැද්දේ වුව මහින්ද මාමාලා සද්දන්තයින් ගැන කියන කතා නැවතුනේ නැත.

“අලියට කොච්චර මතකයක් තියනවද කියන්නෙ මෙහෙ හිටියා නිතර අලින්ට හිරිහැර කරන මනුස්සයෙක්. අපි එයාට කතා කළේ හිච්චි අයියා කියල. පින්තාලිය හරියෙ පදිංචි වෙලා හිටියේ. දවසක් මෙයා හේනට ගිහින් ඉන්න වෙලාවේ ගෙදර වත්තට අලියා ඇවිල්ලා. ගෙදර තිබුණ පොල් ගහකුත් කඩාගෙන කනවා. ගෙදර මනුස්සයා මේ සතාට කියල තියනවා කරදර කරන්න එපා අපේ මනුස්සයා ගෙදර නෑ එයා හේනෙ ඉන්නෙ කියල. එහෙම කිව්වාම මූ ගියානෙ හේනට. ඒ වෙද්දි මනුස්සයා හේනෙ ඉරිඟු වළවල් ගහනවා. අලියා පිටිපස්සෙන් ළඟට එනකන් දැක්කෙ නෑ. පාරවල් දෙකයි තුනයි ඇදල අරන් ගහල තියෙන්නෙ. මනුස්සයා මැරුණා. ඊට පස්සෙ ඌ ආයේ ඒ පැත්තට ආවේ නෑ.”

හේන් වගාවත් සමග වනගත ජීවිතයේදී සෝමපාල මාමලා ජිවිතය ගෙවන්නෙ පරිසරයත් සමග බද්ධවය. රටේ ආර්ථිකය කඩා වැටීම ඔවුන්ගේ බව බෝග විකුණා ගැනීමේදී ගැටලුවක් වුවද සාමාන්‍ය ජීවිතයේදී ඔවුන් ඉතා සැහැල්ලුවෙන් ජීවත් වන්නේය. ආර්ථික සමාජීය දේශපාලනික ප්‍රශ්න වලින් ඔවුන්ගේ මනස නිදහස්ය. ජීවතයෙ ගෙවෙන්නෙ සිමිත අවශ්‍යතාවන් සමගය. පංචේන්ද්‍රිය පිනවන ඇසට ගැටෙන දේ අඩු තරමට ජීවිතය නිදහසේ ගෙවා දැමිය හැකි බව වටහා ගැනීමට මෙවැනි වන අරණක අද්දැකීමක් මිල කළ නොහැකිය. ජීවිතයේ වැඩි කාලයක් වනපෙත සමග ජීවත්වන මේ මිනිසුන් තුළ ඇත්තේ බොහෝ මිනිසුන්ට නොමැත මිල කළ නොහැකි ඒ සැහැල්ලු බවයි.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment