වනයට පමණක් නොව දිවියටම සමුදුන් සිංහරාජයේ ‘ප්‍රොෆෙසර් මාටින්’

442

සිංහරාජය ගහ කොළවලට ආදරය කරන්න

සිංහරාජයේ වටිනාකම හඳුනගත්තේ ලෝක උරුමයක් වෙන්නටත් කලින්

ඩයස්පෝරියි විජේසිංහ. ඒ මනුෂ්‍යයෙකු නොවේය. එහෙත් එනම් මනුෂ්‍යයෙකුගේ කතාවක් හා බැඳී ඇත. එය මිනිසෙකුගෙ උස් ගතිගුණ ඇගයීමට තැබූ නමක්ය. ඩයස්පෝරියි විජේසිංහ දැක ගැනීමට ඔබ යා යුතු වන්නේ ලෝක උරුමයක් වන සිංහරාජයටය. ඇමේෂන් වනයෙවත් නොමැති සිංහරාජ මහ වනයේ පමණක් ඇති ඒක දේශීය වැල් වර්ගයක් වන ඩයස්පෝරියි විජේසිංහට ඒනම් ලැබුණේ සිංහරාජයේ මාටින් විජේසිංහ නිසාය. නොමැතිනම් සිංහරාජයම සිය ජීවිතය කරගෙන ඒ මහා වනස්පතිය රැක බලාගත් කවුරුත් හඳුනන මාටින් මාමා නිසාය. ඔහු සිංහරාජයේ වනස්පති මිනිසා ලෙස ලොව පතලව සිටි බෙරලිය වහම්පුරගේ මාටින් විජේසිංහය. ස්වකීය ජීවිතයේ 93 විය පිරෙද්දි සිංහරාජ මහ වනයට අපමණ සෙනහස පිරූ මාටින් මාමා ඒ ආදරයේ චින්තනය පමණක් තබා යන්නට ගොසින්ය.

සිංහරාජය ලෝක උරුමයක් වන්නට පෙර ඒ මහ වනස්පතියේ වටිනාකම හඳුනාගත් මිනිසා ඔහුය. ඒ සඳහා ඔහු දැනුම සොයාගත්තේ පොත පතින් නොව ජීවිත ඇද්දැකීමෙන්ය. 1939 වසරේ දෙසැම්බර් 24 උපත ලබා ඇති මාටින් මාමාගේ ගම සිංහරාජ වනයට ආසන්න පෙතිය කන්දය. කුඩව පාසලේ අටේ පංතිය දක්වා උගත් ඔහුට පවුලේ පැවති අග හිඟකම් හේතුවෙන් අතරමගදී පාසල් ගමන නතර කිරීමට සිදුවිය. පසුව පවුලේ බර කරට ගෙන ඔහු පෙදරේරු වැඩට බැස්සේය. මාටින් විජේසිංහයන් සහ සිංහරාජ මහ වනය හා බැඳී කතාවේ ආරම්භය පටන්ගෙන මේ කාලයේය. මීට දස වසරකට පෙර ඔහු හමුවූ මොහොතකදී ඒ අතීත කතාව අපට කීවේය.

‘‘ඒ කාලේ මේ හැම තැනම කැලෑව. යාළුවොත් එක්ක කැලේට වැදුණම එන්නෙ රෑ බෝ වෙලා. හැබැයි අපි කවුරුවත් කැලයට හානි කළෙත් නෑ දුරාචාර වැඩ කළෙත් නෑ. සොපි නෝනා මට හම්බවෙන්නෙ මේ කුඩව ගමේදී. පස්සෙ එයත් එක්ක විවාහ වෙලා මම මෙහෙම පදිංචි වුණා.’’

වනයට පමණක් නොව දිවියටම සමුදුන් සිංහරාජයේ 'ප්‍රොෆෙසර් මාටින්'

සිංහරාජ වනාන්තරය අසලම පදිංචි වූ නිසා මාටින් විජේසිංහ තවත් කැලයට සමීප විය. අනෙක් තරුණයන්ට වඩා ඔහු ගහ කොළ ගැන ඒවායේ විශේෂතා තැන ගමේ දැන උගත් වැඩිහිටියන්ගෙන් අවබෝධයක් ලබා ගත්තේය. ඒ අවබෝධයත් සමග කාලය ගෙවෙන වේගයෙන්ම මාටින් විජේසිංහ මහ වනයට තව තවත් සමීප විය. එකල සිංහරාජ වනාත්තරය කැලෑ දෙපාර්තමේන්තුවේ මහ වනාන්තරයක් වූවා මිස ඊට එහා වටිනාකමක් දී තිබුණේ නැත. 1972 වසරේදී සිංහරාජ කැලයේ ගස් කැපීමේ ව්‍යාපෘතියත් සමග කැලෑ දෙපාර්තමේන්තුවේ නිලරිධාරීන් පැමිණීම මාටින් විජේසිංහගේ ජීවිතය වෙනස් කළ සිදුවීම වූවේය.

‘‘කැලෑ දෙපාර්තමේන්තුවේ මහත්තුරු කුඩවින් තමයි කැලයට ඇතුල්වෙන්නෙ. හැමදාම දකින කැලෑවේ ගස් බිම දාද්දි අපිට උහුලගන්න බැරි වුණා. කැලෑ දෙපාර්තමේත්තුවේ නිලධාරීන්ගේ වැඩටම මම උදව් වෙද්දි සමහරු මාත් එක්ක වෛර බැඳගත්තා. නෙළුවේ ගුණානන්ද හාමුදුරුවෝ මේ විනාශයට විරුද්ධව ලොකු දෙයක් කරපු හාමුදුරුවෝ නමක්. පරිසර සංවිධාන වල හඬ අවදිවෙන්න උන්වහන්සේගෙ මැදිහත් වීමත් හේතුවක් වුණා. හැබැයි මේ වෙනකොට කැලෑව ඇතුළත ගැන මට හොඳ අවබෝධයක් තිබුණ නිසා කැලෑ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාත් එක්ක හොඳ මිත‍්‍රකමක් ඇතිකරගෙන තිබුණා. මට සිංහරාජ වනාන්තරයේ මුර රස්සාව හම්බවෙන්න ඒ හඳුනාගැනීම ගොඩක් බලපෑවා. ඒ මහත්වරු මට සිංහරාජ වනාන්තරයෙ කුඩව මුරකරු කියන කම්කරු රැකියාව හදල දුන්නා. හැබැයි මම ඒක පඩියක් බලාගෙන ගත්ත රස්සාවක් නෙවෙයි. මට ඕන වුණේ මේ කැලයත් එක්ක ජීවත් වෙන්න’’

මාටින් මාමා සිංහරාජෙයේ පළමු මුරකරු වූයේ එහෙමය. ඒ අතර කාලයේ නෙළුවේ ගුණානන්ද හාමුදුරුවන් කළ ඉල්ලීමකට අනුව 77 පැමිණි ජවර්ධන මහතාගේ රජය සිංහරාජයේ ගස් කැපීම නවතා දැමීය. එයින් සිංහරාජයට තර්ජනයක්ව පැවති උවදුර නැවතිණ. මාටින් මාමා සිංහරාජ වනයේ රැකවලා බවට පත්වීය.

දේශීය විද්වතුන් පවා සිංහරාජ වනාන්තරය ගැන උනන්දු වූයේ සිංහරාජය රැකගැනීමේ ඒ සටන නිසා බව මාටින් මාමා කියන්නේය. ඔවුන් අතරින් මුලින්ම සිංහරාජයට පැමිණ ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමල් ගුණතිලක සහ සාවිත‍්‍රි ගුණතිලකය. මේ සදාහරිත වනපෙත පිළිබඳ මුල් අධ්‍යනයන් කළ විද්වත්හු ඔවුහු වූහ. ඒ වන විටත් සිංහරාජ වනාන්තරයේ සිංහගල, පතිනිගල, ගොන්ගල, හිනපිටිගල ආදී සෑම දුර්ගයකම ඇවිද ගොස් ගහ කොළ හඳුනාගෙන සිටි පුද්ගලයා වූයේ මාටින් මාමාය. ඒ නිසා කවුරු සිංහරාජයට පැමිණියද වනපෙතේ මග නොමග කියමින් ගහ කොළ පෙන්වමින් එදා එම පර්යේෂණයන්ට නිබඳවම රුකලක් වූයේ මාටින් මාමා හෙවත් මාටින් විජේසිංහයන්ය.

වනයට පමණක් නොව දිවියටම සමුදුන් සිංහරාජයේ 'ප්‍රොෆෙසර් මාටින්'

‘‘ඊට පස්සෙ බාලසුබ‍්‍රමනියම් සහ පී. බී. කරුණාරත්න මහාචාර්යවරු එක්ක මහත්තුරු කණ්ඩායමක් පරීක්ෂණවලට ආවා. මේ හැමෝටම මම දැකල තිබුණ දුර්ලභ ගස්වැල් කැලේ ඇතුළට ගිහින් පෙන්නුවා. අවුරුදු ගාණක් මම ඔවුන් සමග කැලයේ හැම පැත්තෙම ඇවිද ගියා.’’ අද සදාතනික සුව නින්දක පසුවන මාටින් මාමා එදා ඒ අතීතය ආඩම්බරයෙන් සිහිපත් කරමින් කීවේය.

මිනිස්සු සොබාදහමට ආදරය කරන විට සොබාදහමද පෙරළා අපට ආදරය කරන බව මේ අපූරු මිනිසා දැඩිව විශ්වාස කළේය. මහ වනාන්තරයේ ඇවිද ගොස් ඇති වාර අපමණ වුවද කිසිදු මොහොතක වනාන්තරයෙන් අනතුරක් සිදු නොවූ බව ඔහු කියන්නේ ඒ විශ්වාසය ඇතිවය.

‘‘සියොතුන්ට ගී ගයන්න, වනමල් පිපෙන්න. දිය දහර ගලන්න කියා දිය යුතු නැත. එහෙත් සොබාදහම රකින්න රකින්න මිනිසාට කියා දිය යුතුව ඇත.’’

සිංහරාජ වනාන්තරයේ ප‍්‍රදර්ශනය කර ඇති එම පුවරුව සේම එම වන පියසට පය තබන ඕනම කෙනෙක්ට වනාන්තරයේ වටිනාකම කියා දුන්නේ මාටින් විජේසිංහයන්ය. ඔහුගේ ඒ දැනුම ලබාගත් අය අතර පාසල් දරුවන්ගෙ සිට දේශ දේශාන්තරවල ලොව පතල විද්වතුන්ද අයත්ය. අටේ පංතියට පමණක් විදිමත් අධ්‍යාපනය ලැබුවද විදේශික විද්වතුන්ට පවා දැනුම ලබාදීමට තරම් හැකියාවකින් මේ මිනිසා පොහොසත් විය. උද්භිත විද්‍යාඥයෙකු සතු ඒ දැනුම ඔහු සොයා ගන්නේ ස්වොත්සාහයෙන්ය. මීට වසර තුනකට ඉහතදී බී. බී. සී. සේවය මාටින් මාමා ගැන කළ වැඩසටහනකදී ඒ ගැන ඔහු මෙසේ සඳහන් කර ඇත.

‘‘මම ඉස්කෝලෙ ගියේ අටවෙනි පංතියට විතරයි. නමුත් මහන්සියෙන් පොත්පත් කියවලා, විද්‍යාඥයන් ආශ‍්‍රය කරල ලබා ගත්ත දැනුමෙන් අද මහාචාර්ය ආචාර්යවරු පවා ඉගෙනගන්නවා. හාවඞ්, යේල් සරසවිවල සිසුන්ට ඒ විශ්වවිද්‍යාලවලින් කියනවා මාව ඇවිත් හමුවෙන්න කියල.’’

සිංහරාජයේ මාටින් මාමා දෙස් විදෙස් පරිසර හිතකාමීන් අතර ජනප‍්‍රිය චරිතයක් වූයේ එහෙමය. කිසිවෙකුගේ මගපෙන්වීමෙන් තොරව හුදකලා මිනිසෙකු ලෙස මාටින් විජේසිංහ නමැති මේ මිනිසා මේ ලෝකඋරුම වනස්පතිය රැකගනිමින් ජීවිත කාලය පුරා කළ කැප කිරීමට ගෞරවයක් දෙමින් ඞී. බී. විජේතුංග ජනාධිපතිවරයා ඔහු ලංකා තිලක සම්මානයෙන් පිදුවේය. සිංහරාජයේ පළමු මුරකරුවා ලෙස වසර විසිපහක සේවය නිම කරමින් ඔහු 1997 වසරේදී විශ‍්‍රාම ගියේය. එහෙත් සිංහරාජ රැකගැනීමේ ආත්මීය බැඳීමෙන් මියෙන තුරුම මාටින් මාමා විශ‍්‍රාම ගත්තේ නැත. සිංහරාජයටම වී එහි යන එන අයට ඔහු මේ මහා වනාන්තරයේ අගය කියාදුන්නේය. පසුගිය 24 වැනිදා රාත‍්‍රියේ අප අතරින් වෙන්ව ගියේ මේ රටේ ජීවත් වූ එවැනි යුග පුරුෂ මිනිසෙකි. ගහ කොළ ඇසුරෙහි ගෙවූ ඔහුගේ නිවුණ ජීවිතය මතු නිවනින් සැනසෙන්නැයි පතමින් ඔහු මේ රටේ මතු පරපුරට කියා ඇති පණිවිඩයකින් මේ සටහන මෙසේ අවසන් කරමි.

‘‘විදෙස් රටවලින් එන විද්වතුන් මේ රටට පුදුමාකර විදියට ආදරය කරනවා. ඒ අයගෙ රටවලත් ඉස්සර වනාන්තර තිබිල. නමුත් එයාලගෙ අයම කැලෑ විනාශ කරල. දැන් ඒ අය පසුතැවෙනවා. නිතරම අපිට කියන්නෙ මේ වනාන්තර රැකගන්න කියල. සිංහරාජය ඇතුළු සියලූම වනාන්තරවලට ගහ කොළ වලට ආදරය කරන්න. අපේ ජීවය රඳා පවතින්නේ ඒ ගහ කොළ සමග. සොබාදහමට ආදරය කරන කිසිවෙකුට කිසිදාක වරදින්නෙ නෑ.’’

තිස්ස ගුණතිලක

advertistmentadvertistment