වන්දි අයකර ගත්තාට මහමොළකරු රතුපලස් මතින් වඩින්නේ නැත

146

මිලියන 100 ක් මෛත්‍රිට
මිලියන 75 බැගින් පූජිත්ට හා නිලන්තට මිලියන 50ක් හේමසිරිට
මිලියන 10 ක් සිසිරට – මිලියනය බැගින් ගෙවන්න රජයටත් නියෝග
නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නත් නියෝග
වන්දි ගෙවන්නත් නියම වේ
වන්දි ගෙවන හැටි උසාවියට කියන්න නියෝග

මෑත භාගයේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කළ පිළිකුල් සහගතම සිදුවීම ලෙස පාස්කු ප්‍රහාරය අතීතයට එක්වී අවසානය. එහෙත් තවමත් පාස්කු ප්‍රහාරයේ නිශ්චිත වරදකරුවෙක් නැත. පැවති ආණ්ඩු දෙකකටම මෙහි “මහමොළකරු” සොයාගන්නට හැකියාවක් ලැබුණේද නැත. ඒ නිසාම මෙම ප්‍රහාරය තුළ දේශපාලනය ඕනෑවටත් වඩා ඇති බව සිතීම සාධාරණය.

2019 අප්‍රේල් 21 එල්ල වූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාර මාලාව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ ෂැංග්‍රිලා හෝටලය, කිංස්බරි හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ඇතුළු ස්ථාන අටකට එල්ලවූ අතර එම මරාගෙන මැරෙන ප්‍රහාරවලින් විදේශීය ජාතිකයන් ඇතුළු 269 දෙනකු මියගොස් තවත් 500 කට ආසන්න පිරිසක් බරපතළ තුවාල ලබා තිබිණි.

මෙම ප්‍රහාර මාලාව එල්ල වීමත් සමග එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම ප්‍රහාර මාලාව වළක්වා නොගැනීම පිළිබඳ සෘජුවම චෝදනා එල්ල වූ අතර ඒ වනවිට පැවති යහපාලන ආණ්ඩුවටද එම චෝදනාවලින් ගැලවිය නොහැකි විය. ජනාධිපතිවරයා විසින් යහපාලන ආණ්ඩුවටත්, යහපාලන ආණ්ඩුව විසින් ජනාධිපතිවරයාටත් බෝලය පාස් කරනවා විනා එයට වගකියන්නට කිසිවකුත් ඉදිරිපත් නොවූහ. අවසානයේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන් තීරණය කළේ නීතියේ පිළිසරණ පතන්නටය. ඒ පැවති කිසිම ආණ්ඩුවකින් සාධාරණය ඉටු නොවන තැනය.

● ජනතාව නඩුමගට පිවිසීම

ඒ අනුව මෙම බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මියගිය පියෙකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යාපාරිකයකුවන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනකු, ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතිඥ මෝදිත ඒකනායක ඇතුළු පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු වගඋත්තරකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ගොනු කළේය. ඒ මොහොමඩ් හෂීම් මොහොමඩ් සහරාන් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාද් නමැති මුස්ලිම් අන්තවාදී සංවිධානය කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය, ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන හා හෝටල් ඇතුළු ආර්ථික මර්මස්ථාන ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට නිසි පියවර නොගත් හා ඒවා වළක්වා ගැනීමට අපොහොසත් වීම හේතු කොටගෙනය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව රටේ විධායක ජනාධිපතිවරයාට එරෙහිව නඩුකරයක් පවත්වා ගෙන යෑමේ නීතිමය ඉඩකඩක් නොමැති බැවින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම වගඋත්තරකාර ලේඛනයෙන් ඉවත් කිරීමට පසුගිය සැප්තැම්බර් 26 වැනිදා නියෝග කොට තිබිණි.

● සත්පුද්ගල විනිසුරු මඬුල්ලක්

එම පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය, මූර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන සත්පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී පුරා වසර දෙකකට ආසන්න කාලයක් විභාගයට ගැනිණි. මෙම විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් ලෙස කටයුතු කළ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන හා ගාමිණී අමරසේකර යන මහත්වරුන් නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පෞද්ගලික හේතූන් මත ඉවත්විය. අනතුරුව පසුගිය ඔක්තෝබර් 5 වැනිදා විභාගය අවසන් කොට තිබිණි.

● නඩු තීන්දුවෙන් මිලියන ගණන් වන්දි ගෙවන්න නියෝග

එහි තීන්දුව පසුගිය 12 වැනිදා ප්‍රකාශයට පත්කළ අතර පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට සත්පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව නිගමනය කළහ. මෛත්‍රිපාල සිරිසේන මහතා රුපියල් මිලියන 100 ක වන්දියකුත් පූජිත් ජයසුන්දර හා නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 75 බැගිනුත් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 50ක වන්දියකුත් සිසිර මෙන්ඩිස් මහතා රුපියල් මිලියන 10ක වන්දියකුත් තම පෞද්ගලික මුදලින් ගෙවන ලෙස නියෝග කළ අතර ඊට අමතරව මියගිය එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 බැගින් ද, බරපතළ තුවාල ලැබූ එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ පහ බැගින්ද රජයෙන් වින්දිතයන්ට ගෙවීමටද නියෝග කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශ්ව වන්දි ගෙවීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වීම පිළිබඳ නව නඩුවක් ගොනු කිරීම අත්‍යවශ්‍යයි. කාලයේ වැලි තලාවට කිසිසේත් ම යට වන්නට ඉඩ නොදී මෙම ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට පැමිණ වීම රජයේ වගකීම,” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ල වූයේ එවක පැවති ආණ්ඩුවට පමණක් නොවේ. ඒ පිළිබඳ විවිධ ඔත්තු සේවා වෙතද විදෙස් රටවල් වෙතද මෙරට දේශපාලන බලය ලබා ගැනීමට විපක්‍ෂ කණ්ඩායම් වෙතද ඇඟිල්ල දිගුවිණි. නමුත් අදවන තුරුත් මෙම ප්‍රහාර මාලාව එල්ල කළ එක් තැනැත්තියක් වන සාරා ජස්මින් ජීවතුන් අතරද කියාවත් තහවුරු කරගෙන නැත.

එසේම මේ වනවිට චෝදනා එල්ල වූ බොහෝ දෙනකුට විශ්‍රාම වැටුප්, නිල නිවාස, නිල වාහන ලැබෙන අතර සිදුවිය යුත්තේ මේ සියල්ල අහිමි කිරීමයි.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයගෙන් වන්දි අයකර ගැනීමෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවූවා යැයි සිතීම වලංගු නැත. පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීම නිසා අදාළ පුද්ගලයන්ගෙන් වන්දි අයකර ගැනීමෙන් පසු මහමොළකරු රතුපලස් මතින් වඩින්නේ නැත. එම අභිරහසද විසඳිය යුතු බව අපේ හැඟීමයි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment