මැදරට නාරම්පනාවේ උපන් විමලරත්න කුමාරගම කවියාගේ පියා පාසල් ගුරුවරයෙක් වන අතර මව දරුකම ඉතා උසස්කොට සැලකු කාන්තාවකි. කුමාරගම බිළිඳා මෙලොව එළිය දුටුවේ 1918 ජනවාරි 18 දාය.
ඔහු කුඩා අවධියේ තමාගේ ලෝකය දුටුවේ අසීමිත දයාවෙනි. මේ කුමාරගමගේ කුඩා අවධිය ගැන කියැවෙන පැදි පෙළකි.
කුරළු ගෙවල් ළඟ පොල් කෙඳි තිව්වා
දියෙහි මසුන්හට බත් ඇට කැව්වා
සාවුන් දැක උඳුපියලිය වැව්වා
මල්ගස් ළඟ මුළු හවසම ගෙව්වා
ඔහු මූලික අධ්‍යාපනය ලැබූයේ තෙල්දෙනියේ සිංහල පාසලෙනි. අනතුරුව කටුගස්තොට රාහුල විදුහලින් අධ්‍යාපන ලබා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් සිංහල පාලි ඉංගී‍්‍රසි භාෂා හැදෑරීය.
ඉන්පසු රජයේ රැුකියාවල නිරත වූ විමලරත්න කුමාරගමයන්ගේ ජීවිතයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ආදායම් පාලක නිලධාරියකු ලෙස වන්නියේ ගත කළ කාලයයි. වන්නියේ පරිසරය ගැන කරන මේ විස්තරය කියවන අපට පරිසරය සිත්හි මැවෙන්නේ නිතැතිනි.
අව්වට මැරී කුඩ මැස්සන් කුණු වෙනවා
දිය කලතමින් කණ කොක් රැුළ පොර කනවා
අලි බෙටි හරක් බෙටි වතුරට දිය වෙනවා
අලියා වැටුන වැව මේ වැව් දිය බොනවා
වන්නියේ ජනතාවගේ නූගත්කම හා ඒ නිසාම අසරණ වන ඔවුන් ගැන කවියා අනුකම්පා කරනුයේ සැබෑ මිනිස්ගති මතු කරමිනි.
ආහාරයේ වරදිනි මේ දෙය වන්නේ
යනවග අනේ මේ අය කෙලෙසද දන්නේ
උණු ගෙඩි වලින් ඉදිමුණු බඩ ගෙඩි උන්නේ
කොහොමද දෙමා උඩ රඳවා ගෙන ඉන්නේ
මම කරන රැුකියාව නිසා සමාජය මා උසස් කොට සලකති. එහෙත් අලියා වැටුන වැවේ රෝහලක මිනී කැපීමත් වැසිකිළි ඇදීමත් රැකියාව ලෙස කරන හේරත් හාමි මට වඩා කොතරම් උසස් දැයි කවියා සමාජයට පෙන්වා දෙන්නේ මෙසේය.
අලියා වැටුන වැව සිටි හේරත් හාමී
මා වැනියකු වුවද මම වැදගත් වීමී
මිනී කපන මුත් ඒ හේරත් හාමී
ඔහු මට වඩා විසිතිස් ගුණයෙන් දෑමී
ඔහු මට වඩා විසි තිස් ගුුණයකින් ධාර්මිකය. එහෙත් සමාජයට මම උසස්ය. ඔහු පහත්ය. කවියා සමාජය මිනිසාගේ උස් පහත්කම් සලකන ආකාරය සියුම් ලෙස විවේචනයට ලක් කරන ආකාරය ලගන්නා සුළුය.
කවියා තමා හා හේරත් හාමි සංසන්දනය කරයි.
හේරත් හාමි මට වඩා කෙතරම් නම් ධාර්මිකද?
කවියාගේ නිහතමානි ගුණය වත්මන් සමාජයට දෙන ආදර්ශයක් නොවේද?
මා වැනියකුට තද සංවේගයම දි දී
හැම දා උදේ ඔහු මගෙ වැසිකිළිය අදී
හදිසියෙ යමකු – මළහොත් දොස්තරද වඳී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ලදී
ඔහු වැසිකිළි ඇදීම මට මහත් සංවේගයකි. යමෙක් හදිසියේ මළහොත් දොස්තරද ඔහුට බැගෑපත් වෙයි.
ඔහු සැබෑ ලෙසම ධර්මය හඳුනන්නෙකි. අනිත්‍ය ධර්මය ගැන ඔහුගේ දැනීම කෙතරම් ඉහළ තලයක තිබේද මේ කව අපට ඒ බව පසක් කරයි.
පිහිය පහර ලැබ ඔහුගේ නැගණි අනේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙක් ගතිය දැනේ
හැ`ඩුව නමුත් ඔහු නැගණිය මැරුණ දිනේ
උණගත් දාම වැලපෙයි නෙත කඳුළ පෙනේ
ඔහු නැගණිය උණගත් දාට අ`ඩා වැලපෙයි. මැරුණ දිනේ කඳුළු සැලූවේ නැත. මැරුණ විට හැ`ඞීමෙන් පලක් නැත. ජීවත්ව සිටිය දී එන දුක් කම්කටොලූවලදී තැවෙයි. ජීවිතයේ අනිත්‍යතාව ඔහු සැබෑ ලෙසම හඳුනා ගත් තැනැත්තෙකි.
කෙනෙක් මළ පසු ඔහුට ඒ රිහිරි මස් පමණි. මේ කව ඊට කදිම උදාහරණයකි.
නැගණිය මළ විටදි දොස්තර සමග ගොසින්
ඇගෙ කය කපන ලදි හේරත් හාමි විසින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බසින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි මසින්
ගැමියන්ගේ හද ගැහෙන රාවය හඳුනා ගනිමින් කාව්‍ය රචනා කළ විමලරත්න කුමාරගමයන්ගේ කවීත්වයේ විශේෂ ලක්ෂණ නම් ව්‍යාංගාර්ථ, උපමා රූපක, ධ්වනිතාර්ථ නොමැති වීමයි. ඔහු 1962 දෙසැම්බර් 29 දින දෙනෙත් පියා ගත්ත ද ඔහුගේ කවි තව බොහෝ කලක් පවතිනු ඇත. ඔහු සමාජය වෙනුවෙන් ඉටු කළ මෙහෙය සදා අමරණීය වනු ඇත.
ඩබ්. එම්. විජේරත්න
හිටපු විදුහල්පති
සිල්වත්ගල මහා විද්‍යාලය
|