වන්නිය කවියෙන් දුටුව ඞීයාරෝ මහත්තයා

402

විමලරත්න කුමාරගම

විමලරත්න කුමාරගමයන් දිවංගත වී මෙම මස 30 වන දිනට (අදට) වසර පනස්නවයක් (59) සපිරෙයි. එසේම වසර හතළිස්තුනක් (43) වැනි කෙටි ජීවිත කාලයක් ගත කළ  කුමාරගමයන්ගේ 103 වන ජන්ම දිනය 2022 ජනවාරි මස 18 වන දිනට යෙදී ඇත මෙම ලිපිය  ඒ නිමිත්තෙනි.

වෙනත් කවීනට සාපේක්ෂව කුමාරගමයාණන් පිළිබඳව නිතිපතා, සතිපතා, වාර්ෂිකව, ඇගයුම්, වර්ණනා සැමරුම් පවත්වමින්, කාව්‍යකරුවන් හා ප‍්‍රාමාණික විද්‍යාර්ථින් ඔහුව වේදිකා මත වඩා හිදුවීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබේ. ඊට හේතු වන කරුණු සැකෙවින් විමසමු.

ඔහුගේ කාව්‍ය, උගත් යයි සම්මත පිරිසගේ සම්භාවනාවට පාත‍්‍ර වී තිබීම පමණක් නොව, හේනේ පැළේ පැල් රකින කුරහන් කපන, කුඹුරේ මඩ සාන, ගොවියාගේ ද, ගෙවිලියගේ ද එසේම සාමාන්‍ය ජනයාගේ ද හදවතේ, මුවේ පමණක් නොව, ලේ, මස්, ඇට, නහර සිඳ, ඇට මිදුලූ දක්වා ගමන් කොට ශේෂව පැවැතීම ද එහි රහස බව ඔහුට හා ඔහුගේ කවීත්වයට ගෞරව කිරීමක් ලෙස මෙහිලා සටහන් කළ හැකිය.

එම කාව්‍යයන් විටෙක රස පැදි පෙළක්ය. ඒවායේ කාව්‍ය රසයන් සියල්ලම ගැබ් වී ඇත්තේය. විටෙක ඒවා චිත‍්‍ර කතාවන්ය. පරිසර අලංකරණ රටාවන්, චිත්තමය රූප මවාපෑම් බහුලය. උපමා, උපමේයවලින් සාරය ඇති සැටිය, දුටු සැටිය, සරල ගැමි බසින් පෙන්වා දීමෙන් සරුසාරය.


‘‘වට්ටක්කා වැළකි ඒ ගෙයි වහල       ‘මත
එර`ඩු වැටේ වැඩිපුර ලොකු කපොළු   නැත
කුරහන් බිස්ස යට බල්ලට සෙවණ      ඇත
ඔහුගේ ගෙදර මට හොඳටම මතක        ඇත

(ආරච්චිරාල)

තවත් විටෙක කුමාරගමයන්ගේ කාව්‍ය චිත‍්‍රපටයක රූප රාමු අමුණන්නාක් මෙනි.

‘‘වන්නියෙ වනය රතු කර මළ හිරු ද      බහී
නැවතුණි ඉබේටම නැගි ගීතය ද              රැහී
වෙඩි කා පැමිණි මුව දෙන ගෙවුයනෙහි  කහී
ගිය හැටි දුටිමි ඈ මා පා ළඟම                 නැහී

(ආදාහනය)

දුරස්ථ රූප, සමීප රූප, ස්ථානීය සැකසීම්  (FAN)  හඬ යොදා ගැනීම්, ගැඹුර, අධ්‍යාත්මික කියවීම්, සිනමාත්මක රීතින් යොදාගෙන අපූරු චිත‍්‍රපට රැුසක්ම ඔහුගේ කාව්‍ය තුළින් අපට ප‍්‍රදර්ශනය කරවා ඇත.

විටෙක ඒවා අපූරු ගී නිබන්ධනයන්ය. ඒ තරමට කාව්‍ය ලක්ෂණ අභිබවා යමින් ගීතමය ලතාවන්ට නැඹුරු වෙයි. නිබන්ධකයිනට, සාහිත්‍යකරුවනට මේ අපූරු ගීත ගොන්න මඟ හැරුණා විය හැක.

එසේ ද වුවත්, කුමාරගමයන් අප වත්මන් ගීත සාහිත්‍යයට අපූරු ගීතයක් තිළිණ කර ඇතැයි පැවසුහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. නමුත් එය සත්‍යයකි.

ඔහු විසින් රචිත ‘වියෝගය’ කවි පන්තිය ගීතමය ලක්ෂණවලින් පොහොසත් බව වටහාගත් කවියකු ගීත රචකයකු වන රත්න කේ. පේ‍්‍රමසිරි එහි එකදු අකුරක් හෝ වෙනස් නොකොට ගී පද පෙළක් බවට පත් කර ඇත. කමල් කුරේරා විසින් තනු නිර්මාණය කොට සංගීතවත් කළ එම ගීතය ගායනා කරනු ලබන්නේ කරුණාරත්න දිවුල්ගනේ විසින්ය. එම ගීතයේ ආරම්භය පහත පරිදිය.

ඔබ ගියදා සිට තනිකම,                    පාළුව
මට ඉවසන්නට බෑ බෑ ඉවසන්නට    බෑ

තනිකඩ දිවියක් ගත කළ කුමාරගමයෝ, තම ආදරය, සෙනෙහස පිදුවේ කවියටය පරිසරයටම ගැමියනටය. ඔහුගේ කවිවල ශාංගාරය ද, නුරාවද නොමැත්තේ නොවේ. එසේ වුව ද සංයමකින් භාෂාව හසුරුවාලීමෙන් එය පාලනය කර ගන්නා අයුරු ද අපට දක්නට ලැබේ.

අයුක්තිය, අසාධාරණය හා නොමිනිස්කම් හමුවේ ඔහු දණ්ඩෙන් පහර ලත් සර්පයකු සේ උරණ විය. ප‍්‍රතිප‍්‍රහාර දුනි. ඔහුට වඩාත් රිදුණේ අසරණ. අහිංසක ගැමියනට යම් යම් බලවන්තයින් යයි කියා ගන්නා අය කළ රිදවුම්ය. පීඩනයන්ය. පීඩාවන්ය. එවැන්නන්ට ඔහු කවියෙන් නිර්දය ලෙස පහර දුන්නේය.

අලියා වැටුණු වැව සිටි දෙවෙනි        දොස්තර
ගමකට එපා වූවෙකි දිනුව                පස්සර
ඔහු කළ හරිය මා මෙහි එන්ට          ඉස්සර
හේරත් හාමිගෙන් දත හැකිය           විස්තර

ඔහුගේ සිරස අඩි පහකට වැඩිය         නැත
ඉල ඇට තල් ඉරටු මෙන් උඩ මතුව    ඇත
ඇස් දෙක ගිලී යට පොවනා තරම       අත
වානරයකු ද මේ මිනිහද කවුද             කැත

(වන්නියේ දොස්තර)

ඔහු ‘වන්නියේ රසවතා’ වෙයි. වන්නියේ කවියා නමින් වන්නි ජනතාවගෙන් කවි කිරුළ පැළැඳි ඔහු වන්නිය, පරිසරය ගැමියන්, ගැමිකම, ඔවුනගේ ගති පැවතුම් විශ්වාසයන්, අවංකකම්, මෝඩකම්, අසරණකම් අපූරුවට සිත්තම් කළේය. ගෙත්තම් කළේය. විටෙක ගැමියනට ද පුදුමයෙකි. මේ තමන් උපන්ගම, බිම, පරිසරය තම ගෙදර කෑම, බීම, ගොවිතැන තමන් සැමදාම දකිනවාටත් වඩා ‘ඞීයාරෝ මහත්තයා’ දැක පෙන්නා දීම ඔවුනට විශ්මයකි. ඒ නිසාම ගැමියෝ ඔහුට වඩාත් ළෙන්ගතු වූහ. ආදරය කළහ. ඔහුගේ කවිවලට ද පෙම් බැන්දාහ. පරම්පරා කීපයක් ගත වුව ද කටින් කට, අතින් අත හුවමාරු වෙමින් අද දවසේත් ගැමියන්, දරුවන් අතර සැරිසරන්නේ ඒ කිවි පදයි. එවන් සදාතනිකව අගය කරනා කාව්‍ය ප‍්‍රබන්ධ කිරීම, සෑම කාව්‍යකරුටම කළ හැකි දස්කමක් නොවේ. ඊට වාසනාව, නිර්මාණ ගුණය, සතතාභ්‍යාසය ද තිබිය යුතුය.

කුමාරගමයන්ගේ හරවත්, ගැඹුරු මෙන්ම ජනපි‍්‍රය කාව්‍ය රැුසක්ම නිර්මාණය වී ඇත්තේ, ඔහු ආදායම් පාලක නිලධාරි :ෘගඍගධග) ලෙස වසර එකහමාරක් පමණ සේවාවක් කළ දෙමළ හත්පත්තුවේ ආණමඩුවේදීය. ‘අයියනායක’, ‘හේරත්හාමි’, ‘අලියා වැටුණු වැව’, ‘සෝට්ස්’ මෙන්ම සාර්ථක ජනප‍්‍රසාද දිනූ කවි රැුසක්ම ලියැවුණේ වන්නිකර පරිසරය තුළදීය.

එබැවින් කුමාරගමයන් ‘සොයා යෑම’ වන්නිකරයෙන් ඇරඹිය යුතුය. අප ඔහු ‘සොයා’ ගිය ගමනේදී පැරණි ගැමියන්ගෙන් අපූරු රස තොරතුරු රැුසක්ම ලැබුණි. මෑතදී අපවත් වී වදාළ මල්පානව සිරිසුමන හිමියන් කුමාරගමයන් ළඟින් ඇසුරු කළ කිවියාණන් කෙනෙකි. කුමාරගමයන්ගේ ඞී. ආර්. ඕ. බංගලාවට (වත්මන් ‘ජයලංකා’ (දිවයින අලෙවි නියෝජිත ඩබ්ලිව්. ජයතිස්ස මහතාගේ නිවස) සැතපුම් විස්සක පමණ දුරක් පා ගමනින් වඩින උන්වහන්සේට කුමාරගමයන් සමග එවක විසූ කවියන් රැුසක්ම මුණගැසී තිබේ. කුමාරගමයන්, ප‍්‍රාංශුදේහධාරී, කඩවසම්, ආකර්ෂණීය පුද්ගලයෙකු බැව් උන්වහන්සේ සඳහන් කරති.

මේ සොඳුරු කවියා පිළිබඳව බොහෝ දෑ, පිටු ගණන් පුරාවට ලිවීමට හැකිය. මන්ද යත්, ඔහුගේ කවි පද පෙළක් දෙපෙළක් ගානේ, වදනක් අකුරක් ගානේ අර්ථය ද, රසය ද, කැටි වී ගැබ් වී, ඒවා විවරණය කළ විට, විමර්ශනය කළ විට, විචාරය කළ විට මහා දැවැන්ත පොතක් අප අභිමුව නිර්මාණය වන හෙයිනි.

කතාවක්, සිද්ධියක්, කවියෙන් ලිවීමේ කලාවත්, අර්ථ රස, කාව්‍ය රස ගැබ් කිරීමෙන් පමණක්ම නොව, ඊට අධ්‍යාත්මික හර පද්ධතියක් ද මුසු කිරීමේ, සාදු ගුණයත් කුමාරගමයන්ගේ කාව්‍ය පරිශීලනයෙන් උරුම වන හෙයින් වත්මන් ආධුනිකයිනට ‘කුමාරගම කාව්‍ය’ යනු ‘කාව්‍ය අත් පොතක් මය’, ‘කවිය’ යනු කුමක්ද යන්න උගත හැකි ‘කාව්‍ය විශ්වවිද්‍යාලයක්’මය. ඔහු ලියූ තනි කවියක් පමණක් අවසනේ ලියමි.

නිසලය, සාන්තය ගස්වැල් වැව      අවට
මා විසි කළේ පොඩි ගල් කැටයකි   වැවට
රස රළ වලළු දී දිය රඟ ගත            රුවට

එක කවියකින් නොකළැකි මොනවද ලොවට…’’?

විමලරත්න කුමාරගමයන් කිවියෙකු මෙන්ම චිත‍්‍ර ශිල්පියෙකි. මූර්ති ශිල්පියෙකි. දැව කැටයම් ශිල්පියෙකි. ඡුායාරූප ශිල්පියෙකි. ලේඛකයෙකි. ඉංගී‍්‍රසි සාහිත්‍ය ලිපි, විචාර ලියූ ප‍්‍රතිභාපූර්ණ කලාකරුවෙකි.

ටෙරන්ස් වනිගසිංහ
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment