වන්නිල ඇත්තෝ සහ පොහොට්ටුවේ ඇත්තෝ!

293

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි, සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු ආයතනයේ විධායක අධ්‍යක්‍ෂිකා සමන්තා පවර්, අපේ ආර්ථික, සමාජ හා දේශපාලන ක්‍ෂේත්‍ර අර්බුදයට ලක්වීමේ සැබෑ හේතු කීපයක්ම පෙන්වාදීමට එඩිතර වූවාය. ශ්‍රී ලංකා සංචාරයේදී ජනතාව අතරටම ගොස් ප්‍රත්‍යක්‍ෂව යම් යම් දේ නිරීක්‍ෂණය කළ ඇයට රටේ අර්බුදයෙහි ප්‍රධාන වගඋත්තරකරුවන් ලෙස දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් හදුනාගත හැකිවිය. ඇගේ නිරීක්‍ෂණයෙහි ප්‍රබලම අවධානය යොමුව ඇත්තේ ඇතැම් දේශපාලනඥයන් හා ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් සිය නිලබල භාවිත කරමින් කරනු ලබන අක්‍රමිකතා කෙරෙහිය. අධික ණයබර, රසායනික පොහොර තහනම, වංචා හා දූෂණ ලෙස සමන්තා පවර් දක්වන හේතු දැන් සෑහෙන කලක පටන් සමාජ , දේශපාලන මෙන්ම ආර්ථික ක්‍ෂේත්‍රවලද දැඩි සංවාදයටත්, වාද විවාදවලටත් ලක්ව තිබෙන කරුණුම බව ඉතා පැහැදිලිය.

එහෙත් මේ රටේ කිසිදු නායකයෙක් ඒ මුග්ධ දේශපාලනය අවසන් කිරීමට කිසිදු පියවරක් ගත්තේද නැත. අද මෙරටේ තිබෙන්නේ සහචර දේශපාලනයක් හා චෞර වළල්ලකට නතුවූ පාලනයක් බවට ප්‍රබල චෝදනාවක්ද ඇත. පාර්ලිමේන්තුවේ ජ.වි.පෙ. නායක අනුර කුමාර පැවසුවේ තමන්ට බලය තිබුණේ නම් අද මේ ඉදිරි අසුන්වල සිටින බොහෝ දෙනෙක් එහි නොමැති බවය. ඇත්තටම විළි ලැජ්ජා තිබෙන එකෙක්වත් නොවීම නිසා හෝ ඔහුට දීමට පිළිතුරක් නැතුවීම නිසා හෝ එයට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේද නැත.

සමන්තා පවර් යනු මෙයට පෙරද මෙරටේ සංචාරයක නිරත වූ අයෙකි. ඒ 2015 දී විය යුතුය. එදා මේ රට ගැන ඇය කතා කළේ ප්‍රසාදයකිනි. එහෙත් අද ඒ කතාව ආපසු ගැනීමට ඇයට සිදුවූ සෙයකි. ඇය දේශපාලනඥයන්ට මෙන්ම නිලධාරීන්ටද එල්ල කළේ දැඩි චෝදනා පත්‍රයකි. ඇගේ අවධාරණය වූයේ මේ සියලු බිඳවැටීම්වලට දේශපාලනඥයන් හා නිලධාරීන් වගකිවයුතු බවය. ඇය යෝජනා කරන්නී ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍ර දෙකෙහිම ප්‍රතිසංස්කරණයක් ඉක්මනින්ම සිදුවිය යුතු බවයි. එය කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති රනිල් ඉඳුරා දැන සිටියත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් තබා නායකයන්ගේවත් අනුග්‍රහයක් ලැබේද යන්න සැක සහිතය. පොහොට්ටුවේ ඡන්දවලින් විධායක ජනාධිපති ධුරය තහවුරු කරගත් රනිල්ට ඔවුන්ගේ ඉල්ලීම් නොතකා ක්‍රියාකළ නොහැකි බව පැහැදිලිය. එහෙත් මේ අවස්ථාවේ රටේ ප්‍රබුද්ධ ජනකොටස් මෙන්ම පොදු ජනතාවටද වුවමනා වී තිබෙන්නේ යළි පොහොට්ටුව සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් නොව රටේ තිබෙන අර්බුදවලට විසඳුම්ය.

ජනාධිපති රනිල් විසින් සිදුකරන ලද රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනෙක් පත්කිරීම සම්බන්ධයෙන් තිබෙන විවේචන දෝෂාරෝපණ බරපතළය. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කරන්නේද රට උග්‍ර ආර්ථික අර්බුදයක ගිලී සිටින මොහොතක දේශපාලන පක්‍ෂ හා පුද්ගලයන් සතුටු කිරීම සඳහා කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් විශාල සංඛ්‍යාවක් පත්කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවය. එසේම දූෂණ හා අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණ මගින් වැරදිකරුවන් වූ අයත් එලෙස පත්කිරීම බැරෑරුම් කරුණක් බවය. රට ස්ථාවර කිරීමට හා ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය ලබාගත යුතු අවස්ථාවක සිටින වාතාවරණයක මෙබඳු දේවල් නිසා කිසිදු ප්‍රසාදයක් හිමි නොවන බවද ඔහු සඳහන් කර තිබේ.

අද මේ රට මුහුණ දී සිටින සමාජ – ආර්ථික හා දේශපාලන බිඳවැටීම් සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන්ට විරුද්ධව එල්ල වී තිබෙන චෝදනා පත්‍රය සුළුපටු නැත. පොහොට්ටුවේ ලේකම් සාගරට අනුව රාජපක්‍ෂවරුන්ට කිසිදු දූෂණ චෝදනාවක් පසුගිය වසර දෙකහමාර ඇතුළත එල්ල වී නැත. එහෙත් ඊට පෙර තත්ත්වය කුමක්ද? ඔහු කීමට උත්සාහ ගන්නේ පසුගිය කෙටි කාලය තුළ රාජපක්‍ෂවරුන් යහපත් කල්ක්‍රියාවෙන් සිටි බවද? එහෙත් ඒ කාලය තුළ වුවද රාජ්‍ය බලය සතුවූයේ රාජපක්‍ෂවරුන්ටම බව සාගරට පෙන්වා දිය යුතුය. අනෙක් අතට එබඳු තත්ත්වයක් තිබුණි නම් ගෝඨාභය ධුරය හැර රටින් පැනගියේත්, මහින්ද අගමැතිකමින් ඉල්ලා අස්වූයේත් කුමක් නිසාද? එපමණක් නොව කැබිනට් මණ්ඩලයේ හා පාලනයට සම්බන්ධ වූ අනෙක් රාජපක්‍ෂවරුන් තම ධුර අත්හැර ගියේද ජනතා විරෝධය හා ගාලුමුවදොර අරගලය නිසා නොවේද? සාගර පමණක් නොව ගාලුමුවදොර අරගලයේ කුණාටුවෙන් ඇමති පට්ටම් විසිවී ගිය තව කී දෙනෙක් සිටිත්ද?

වන්නිල ඇත්තෝ සහ පොහොට්ටුවේ ඇත්තෝ!

ජනාධිපති රනිල් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මෙන්ම අතුරු අය-වැය මගින්ද පොහොට්ටුවේ සෞභාග්‍ය දැක්ම පමණක් නොව එදා සිදුවූ දේශපාලන මුරණ්ඩුකම් ගැනද සියුම් හා ප්‍රබල ඇඟවීම් කර තිබුණි. ජනාධිපති යනු දෙවියකු නොව මහ පොළොවේ ජීවත්විය යුතු අයෙක් බව ඔහු පෙන්වා දුන්නේ පොහොට්ටුවේ මහරජාණෝ සංකල්පයට සරදමක් ලෙසින්ය. ජනාධිපතිවරයකුට වෙනම ධජයක් කුමකට දැයි ඔහුගේ ප්‍රතිචාරවලින් ප්‍රශ්න කර ඇත. ඒවා අගය කළ යුතු දේවල්ය. එහෙත් එහෙව් ජනාධිපති රනිල්ට මේ පොහොට්ටුකාරයන්ගේ ඇමැති දොළදුක් සංසිඳවීමට සිදුවී තිබේ. ඒ බොහෝ විවේචනවලදී පෙන්වා දුන් වැදගත්ම කරුණක් වූයේද චරිතවත් නොවූ දේශපාලන මහත්මා ගුණ හීන, දේශපාලන රස්තායිදුකාරයන් ලෙස ජනතාව චෝදනා කරන අයද රාජ්‍ය ඇමැති ධුර ලබාදී ඇති බවය. දින කීපයකට පෙර හිටපු ඇමැතිවරයකු වූ එස්. බී. මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේත් ඇමැති ධුර ලබාදීමේදී උගත්කම, කුසලතාව වැනි කරුණුද සැලකිල්ලට ගත යුතු බවය.

මෙම ඇමැති හා රාජ්‍ය ඇමැති තේරීමේ වගකීම පොහොට්ටු නායකයෝ හැරගත යුතු වෙති. පොහොට්ටුවෙන් ඉවත්වී ගිය කණ්ඩායම්වල සමහරුන් චෝදනා කරන්නේත් දේශපාලන පරිචයක් හා විනයක් නැති අයට ඒවා ලබාදීම ගැනය. ඇත්ත වශයෙන්ම ජනාධිපතිට තම කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමට සිදුවන්නේ ් පොහොට්ටුවේ අභිමතය පරිදිය. විපක්‍ෂයේ මෙන්ම පොහොට්ටුවෙන් ඉවත්වී ගිය අයගෙන්ද ජනාධිපතිවරයා සමඟ එක්ව ක්‍රියාකිරීමට එකඟතාවයක් නොවීය. පොහොට්ටුවේ දූෂිතයන් සමඟ අසුන්ගත නොහැකි බව විපක්‍ෂයේ ස්ථාවරය වී තිබේ. එය බැහැර කළ නොහැකි චෝදනාවකි. කුමක් වුවත් දැන් රටේ සිදුවන දේශපාලන ක්‍රියාකාරකම්වල වගකීම ජනාධිපති රනිල්ටය. එසේම ඔහුට පොහොට්ටුවෙන් සිදුකෙරෙන බලපෑම් හා පීඩනය ජනතාවට රහසක්ද නොවේ. රාජපක්‍ෂ පාලනය බිඳ වැටුණු ආකාරය මෙන්ම එයට ලැබුණු ජනතා විරෝධතාව කෙබඳුද යන්නත් රටම දන්නා කරුණකි. එදා සිටි ඇතැම් ඇමැතිවරුන්ට එල්ල වී තිබෙන ජනතා විරෝධය හා පිළිකුලද ජනාධිපති රනිල් ඉඳුරා දනී. එහෙත් ඔහු විධායකකම් කරන්නේ පොහොට්ටුවෙන් ලැබුණු 134 දෙනා නිසාය. එනිසා ඔහු දැඩි උභතෝකෝටිකයකට මුහුණ දෙමින්ද තමන්ට එල්ලවන විවේචන ඊතල ඉවසමින්ද මේ ගමන යායුතුය.

කෙසේ වුවද රටේ සියලුම අර්බුද පසෙකට දමා පොහොට්ටුවේ දේශපාලන දොළදුක් සංසිඳවීමට ජනාධිපති රනිල් ක්‍රියා කිරීම සමහරුන්ගේ අප්‍රසාදයටද ලක්ව තිබේ. මේ වනවිට ලංකාව බරපතළ ආහාර සුරක්‍ෂිතතාව හා මන්දපෝෂණය වර්ධනයවීම සම්බන්ධ ගැටලුවලටද මැදිවී සිටියි. ජගත් සංවිධාන දෙකක්ම එනම් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා ලෝක ආහාර වැඩපිළිවෙළ වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ ලක්‍ෂ 63කට නොඅඩු ලංකාවේ ජනතාව ආහාර අර්බුදයකට මුහුණදී සිටින බවය. මෙය බරපතළ අනතුරු ඇඟවීමකි.

පසුගිය වකවානුව තුළ ආණ්ඩුව විසින් ගන්නා ලද අමන තීරණ නිසා මෙරටේ කෘෂිකර්මය බිඳ වැටුණු ආකාරය දැන් පාසල් දරුවන් පවා දන්නා කරුණකි. ජගත් සංවිධාන දෙකක්ම නිකුත් කළ ඒකාබද්ධ වාර්තාවක සඳහන් වූයේද භෝග අස්වැන්න අඩුවීම නිසා ආහාර නිෂ්පාදනය සියයට 50කින් පහළ ගිය බවය. වී අස්වැන්න අඩුවීම මෙන්ම පවතින ආර්ථික අර්බුදය උග්‍රවීම නිසා ජීවනෝපායද බිඳවැටී ලබන ඔක්තෝබර් වනවිට මේ ආහාර සුරක්‍ෂිතතා ප්‍රශ්නය උග්‍රවනු ඇතැයිද දැනටමත් ප්‍රකාශයට පත්ව තිබේ.

මේ වනවිට ජනාධිපති රනිල්ගේ සභාපතිත්වයෙන් ආහාර සුරක්‍ෂිතතාව හා පෝෂණය සහතික කිරීම අරමුණු කරගත් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක්ද පිහිටුවා තිබේ. කිසිම පුරවැසියෙක් ආහාර නොමැතිව කුසගින්නේ සිටිය යුතු නැති අතරම කිසිදු දරුවෙක් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතු බවද ජනාධිපති රනිල් අවධාරණය කර තිබේ.

එසේම මේ ක්‍රියාන්විතය ජාතික වැදගත්කමකින් ඉදිරියට ගෙන යායුතු බවද ජනාධිපතිවරයා ඒ සම්බන්ධ ඇමැති නිලධාරි හමුවේදීත් පවසා තිබුණි. මේ කාර්ය ග්‍රාමසේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන බවද එහිදී සඳහන් වූවකි. අප යෝජනා කරන්නේත් මෙහිදී සියලු දේශපාලන පක්‍ෂ, වෙනත් සංවිධාන පමණක් නොව ආගමික නායකයන්ගේද ආශිර්වාදය දායකත්වය එයට ලබාදීම උතුම් සද්ක්‍රියාවක් බවය.

ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රශ්න පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබාගැනීම සඳහා ඇමෙරිකානු නිලධාරිනි සමන්තා පවර් ගොවියන් අතරටම ගියාය. ගොවිතැන විනාශ වූයේ පොහොර හා කෘමිනාශක හිඟය නිසා බව ඇයට පසක් විය. ඊළඟ කන්නයට පෙර පොහොර හා කෘමිනාශක ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් දීමටත් ආහාර සුරක්‍ෂිතතාව හා පෝෂණ තත්ත්වය ඉහළ දැමීමට තවත් ඩොලර් මිලියන 20ක් දීමටත් ඇය කාරුණික වූයේ දෑසින් දුටු හා කනින් ඇසූ දේවල් නිසාමය. ගොවීන්ගේ පීඩාකාරී දුක්බර විලාසය ඇගේ කම්පාවට හේතු වූ බව නිසැකය. මේ රටේ නම් බොහෝ විට බලධාරීන් ගොවි ප්‍රශ්නයේදීත් පක්‍ෂ – පාට හොයන නරුම තත්ත්වයකට පත්වන බව රහසක් නොවේ. ඒ අපේ මුග්ධ දේශපාලන හැඩගැස්මේ විලාසයයි. එසේ වුවද මෙරටේ සිටි ඇතැම් දේශපාලන නායකයන්ට අවංකවම රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමේ වුවමනාව තිබුණි. ඩී. ඇස්. එයට කැපවූ නායකයෙකි.

බණ්ඩාරනායක සමඟ එක්වූ පිලිප් ගුණවර්ධනද ගොවියා සවිබල ගැන්වීමට කැපවිය. කුඹුරු පනත උතුම් දේශපාලඥයන් විසින් දෙන ලද වරමකි. අද එයට නොයෙක් දේශපාලන අංචි ඇද තිබුණත් ගොවියාත් කම්කරුවාත් ඇගයූ බණ්ඩාරනායක සමාජ ගත කළ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය රටට ආඩම්බරයක් විය. මෙයට අමතරව ඩඩ්ලිද ගොවිතැනට දිරිදුන් නායකයෙකි. ගොවි රජවරුන්ට ඔටුනු පැලඳවීම පසුව විකාරයක් කළේ එදා සිටි නිලධාරීන්ය. සිරිමා මැතිනියද වගා සංග්‍රාමයක් දියත් කළාය. එහි තිබුණු සෝබනය ගැනද විවේචන විය. පැරණි රාජ සිරිතට කුඹුරට බැස්ස ජේ. ආර්. ද වප් මඟුලක් කළේය. මේ හැම දෙනෙකුගේම වගා සංග්‍රාම ගොවි සැලසුම් අභාවයට ගියේ නිලධාරීන් විසින් ඇන්දවීම නිසා බවද කිවයුතුය. ඒ එක් යුගයක අපේ ජනප්‍රිය ගායක ජෝතිපාල ගැයූ ගීතයක්ද උදේ හවා ප්‍රචාරය විය. “අපි වවලයි අපි කෑවේ – උත්තරම රජ කොල්ලො අපි” යනු එහි පද කීපයකි. රටක් ස්වයංපෝෂිත කිරීම යනු වේදිකාවේ හෝ කාර්යාල ඇතුලේ හෝ කළ හැකි දෙයක් නොවේ.

ලංකාවේ සමාජ ඉතිහාසය ගැන ලියූ බොහෝ දෙනෙක් අපේ රට, අපේ ගම ගැන ආඩම්බර වූහ. ඔවුන් අපේ සමාජය වර්ණනා කළේ ‘එව කව බොව කියන – තෙපුලෙන් පිරුණි හැමතැන’ යනුවෙනි. පරාක්‍රමබාහු යුගයේ මේ රට පෙරදිග ධාන්‍යාගාරය විය. එහෙව් රටේ ගොවිතැන අභාවයට ගියේ දේශපාලන පිටිබාහුලා හා පචබාහුලාද නිසාය.

ජනාධිපතිවරයා ආහාර සුරක්‍ෂිතතාව ගැන කතාකරන මේ මොහොතේ පවා ඇසෙන්නේ ගොවියන්ගේ මැසිවිලිය. පොහොර නැතිව ගොවිබිම් පාළුවූ බව ගොවි පිරිසක් කියති. තවත් පිරිසක් කියන්නේ දුකසේ ලබාගත් වී අස්වනු විකුණා ගත නොහැකි බවකි. මෙහිදී ගොවියාට සිදුවන්නේ වී මෝල්ලුන්ට තම සේසත ගසා කෑමටදී හූල්ල හූල්ලා සිටීම පමණි. ඇත්තටම ‘වවන්නෝ දිනන්නෝ’ යැයි උදම් ඇනූ රටක අද සිදුවී ඇත්තේ “වවන්නෝ හිඟන්නෝ’ යැයි හඬා වැටීමටය. අපට ආණ්ඩුවල වගා චේතනා ගැන ප්‍රශ්නයක් නැත. වී වගාව දියුණු කළ හැක්කේ දේශපාලනඥයන් කුඹුරට බැස හරක් බානක් අතට ගැනීමෙන් නොවේ. ඒ සඳහා වුවමනා පහසුකම් දීමත් සැලසුම් කිරීමත් ඔවුන්ට භාරය. ගෝඨාභය ගෙදර ගියේත් ටයිකාරයන්ගේ වෘෂභ උපදෙස් නිසාය. එක රැයකින් රසායනික පොහොර තහනම් කළ අමන තීරණය නිසාය. එනිසා ඕනෑම ජාතික කටයුත්තකදී බුද්ධිමතුන් විද්වතුන් මෙන්ම ප්‍රායෝගික අත්දැකීම්වලින් යුතු අයගේද දායකත්වය අත්‍යවශ්‍ය වනු ඇත. ජනාධිපති රනිල් පැවසූ පරිදිම ගොවිතැන වර්ධනය සඳහා නවීන තාක්‍ෂණික ඥානයද ලබාදිය යුතුය.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දුසිම් තුනකටත් වැඩි රාජ්‍ය ඇමැතිවරුන් අතර අද රටේ තිබෙන සමාජ, ආර්ථික , දේශපාලන අර්බුද කිසිවකට විසඳුමක් තබා ඔවුන් ඒවාට සංවේදී වන බවක්වත් කිව නොහැක. තවමත් ඇතැම් රාජ්‍ය ඇමැතියෙක් තමන්ට හිමිවී තිබෙන අමාත්‍යාංශය ගැන නාහෙන් අඬයි. කෘෂිකර්ම ඇමැතිවරයාට අනුව මේ රටට ගෙන්වා තිබෙන හාල් මිනිස් පරිභෝජනයට සුදුසු නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ ඒ අපරාධය කළ අයට දඬුවමක් නැතිවීමය. මෙයට පෙර චීන පොහොර ලෙස අසූචි නැවක් ගෙන්වා, එයට ජනතා මුදල් වැයකළ අයත් අද නිරුපද්‍රිතව සිටිති. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශෂීන්ද්‍රට රාජ්‍ය ඇමැතිධුරයකින්ද සංග්‍රහ කර ඇත.

කෙසේ හෝ ආණ්ඩුවට ජනතාව චෝදනා කරන්නේ තවමත් මෙරටේ ජනතාව ප්‍රශ්නවලට වඩා තම දේශපාලන බල ව්‍යාපෘතීන් උදෙසා කැපවී සිටින බව කියමින්ය. මේ වනවිට ලංකාවේ ආර්ථික අපරාධ හා ත්‍රස්තවාදී පනත යොදා දියත් කෙරෙන මර්දනය ගැනද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදීත් අවධානයට ලක්ව ඇත. තවමත් අත්අඩංගුවේ රඳවා සිටින වසන්ත මුදලිගේ පිළිබඳවද එහිදී කරුණු දැක්විණි. ඊටත් වඩා සුවිශේෂ කරුණ වන්නේ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ විවේචනයයි. ඔහුට අනුව වරදක් කර ඇත්නම් මොකාට වුවත් දඬුවම් දිය යුතුය. එහෙත් අසාධාරණයට එරෙහිව නැගී සිටීම වරදක් දැයි ඔහු අසයි. එසේම තම පරපුරට අයත්වන වසන්තට හිංසා කරන්නේ ඒ ආදිවාසී සම්භවය නිසා දැයි ඔහු විමසයි. එය උත්ප්‍රාසනීය ප්‍රශ්නයකි. කුමක් වුවත් ආණ්ඩුවට වන්නිල ඇත්තන්ට වඩා පොහොට්ටුවේ ඇත්තෝ වටිනා බව අපට තේරුම් ගත හැකිය. එනිසා අද රටේ තිබෙන සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුද සමනය කිරීම මෙන්ම එහිදී ප්‍රවේශම් සහගතව මෙන්ම ප්‍රබුද්ධ ආකල්පවලින්ද ක්‍රියාකළ යුතුය.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment