වන්නි හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව සර්ව ලෝක අධිකරණ පද්ධතිය ක‍්‍රියාත්මක කිරීම

361

වන්නි මෙහෙයුම අවසන්වී වසර 13කට පසු ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා 61ක් ඉදිරිපත් වී ඇත. මේ චෝදනා ඉදිරිපත් වූයේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේගෙනි. එහෙත් චෝදනා ඉදිරිපත් කර ඇත්තේ අබිරහස් පිරිසකි. සංඛ්‍යාව 1,20,000කට අධිකය. මානව හිමිකම් කොමසාරිස්වරිය ඔවුන් කවුදැයි ශ‍්‍රී ලංකා රජයට දැනුම්දී නැත. රජය ඒ ගැන අසන්නේද නැත. 2016 දී ශ‍්‍රී ලංකාවට එරෙහි සාක්කිකරුවෝ 4000කි. 2022 ජනවාරි මස වනවිට සාක්කිකරුවෝ 1,20,000කි.

සැබැවින්ම මේ සාක්‍ෂිකරුවෝ වන්නි මෙහෙයුම දුටු පිරිසක් නොවේ. ඔවුන් විදේශ රටවල සිටින 2 සහ 3 වැනි පරම්පරාවල අයයි. මෙම සාක්කිකරුවෝ වන්නිය, කිළිනොච්චිය, ඉරනමඩු තිබෙන ස්ථාන නොදනී.

බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් 8ක සිටින මේ විස්මයජනක සාක්කිකරුවෝ මානව හිමිකම් කවුන්සිලය වෙත යොමුකරන ලද්දේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකාය.

වන්නි මෙහෙයුම දුටු ලෙස වීඩියෝ චිත‍්‍රපටය වූ නෝ ෆයර් සෝන් සහ කිලිං ෆීල්ඩ් නිපදවූ චැනල් ෆෝ රූපවාහිනියේ කාලං මැක්රේ පවා උතුරේ ස්ථාන ගැන නොදනී. එසේනම් මේ යුද අපරාධ සාක්කි කෙරේ විස්වාස කළහැකිද? එසේම ඊටත් වඩා පුදුමය නම් ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කරන රටවල්ද යුද අපරාධ චෝදනා එල්ලවූවන් වේ. බි‍්‍රතාන්‍ය, ජර්මනිය, මැසිඩෝනියාව, මොන්ටිනීග්රෝ සහ කැනඩාව යන රටවල් වේ. මෙලෙස යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නායකයන් අතර කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානි කේ. පී. අල්ලාගත් මේජර් ජනරාල් සහ ප‍්‍රභාකරන් වැනසීමේ මෙහෙයුම දියත්කළ හමුදා නිලධාරියාද වේ. මෙහිදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අධිකරණය ලෙස කි‍්‍රයාකර ඇත. පැමිණිලිකරුවන් වූ එම කවුන්සිලය සාක්කිකරුවන් සෙවීමද සාක්කි සටහන් කරගැනීමද ඉන්පසු දඬුවම් නියම කිරීමටද කටයුතු කර ඇත.

එහෙත් ඇමරිකාව, කැනඩාව සහ බි‍්‍රතාන්‍ය තම රටවල සෙබළුන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ඉඩ දෙන්නේ නැත. මින් මානව හිමිකම් කවුන්සිලයේ දෙබිඩි පිළිවෙත හෙළිදරව් වේ. එසේම ශ‍්‍රී ලංකාව තම නිදහසට ඉදිරිපත් කරන කිසිදු වාර්තාවක් පිළිගැනීමටද මානව හිමිකම් කවුන්සිලය කි‍්‍රයාකරන්නේ නැත. විශේෂයෙන් ජිනීවා යෝජනාවට අනුමැතිය දීමට හිටපු අමාත්‍ය මංගල සමරවීරට හිමිකමක් නැති බවට බි‍්‍රතාන්‍ය රාජනීතිඥයකු ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් කළ වාර්තාව පවා ප‍්‍රතික්ෂේප කිරීමට මානව හිමිකම් කවුන්සිලය කි‍්‍රයාකළේය. එම රාජනීතිඥ මණ්ඩලයේ තර්කය වූයේ ජිනීවා යෝජනාවට අනුමැතිය දිය යුත්තේ රටක නායකයා වූ ජනපති බවයි. එහෙත් එම තර්කය ප‍්‍රතික්ෂේප විය.

බි‍්‍රතාන්‍ය රාජ නීතිඥ මණ්ඩලයේ වාර්තාව ඉවත දැමීමෙන් තහවුරු වූයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඒකපාක්‍ෂිකව කටයුතු කරන බව නොවේද? මෙම තත්ත්වය මැද මානව හිමිකම් කවුන්සිලය බටහිර රටවල රූකඩයක් ලෙස කි‍්‍රයාකරන බව තහවුරු වේ. එසේම සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමෙන් තොරව තහනම් නියෝග පැනවීම සහ සම්බාධක පැනවිය නොහැකිය. එයද මානව හිමිකම් කවුන්සිලය උල්ලංඝනය කර තිබේ. මේ වනවිට මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීම මත හමුදා නිලධාරීන් සිව්දෙනෙකුට තහනම් පැනවී ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තහනම පනවා තිබේ. මෙයට අමතරව තවත් හමුදා නිලධාරීන් 24කට සම්බාධක පැනවීමට තීරණය වී ඇත. එසේ වුවත් කිසිම කොටි ත‍්‍රස්තවාදියකුට තහනම් පැනවීමක් සිදුවී නැත. කොටි තරුණියන්ගේ ගෙලේ සයනයිඩ් කරල් පැළඳවූ ඇඩෙලා බාලසිංහම් සහ අවි ආයුධ මිලයට ගැනීමට මුදල් එකතු කළ රෙජී නැමැත්තාද හිටපු කොටි හමුදා නායකයන් කීපදෙනෙක්ද බි‍්‍රතාන්‍යයේ පදිංචිව සිටිති. මොවුන්ට එරෙහි යුද අපරාධ චෝදනා නැත. ජිනීවා ආරංචි මාර්ග හෙළි කළේ ති‍්‍රකුණාමල හිටපු කොටි නායකයාවූ දයා මෝගන් ඇතුළු කොටි හමුදා නායකයන් 25කට අධික සංඛ්‍යාවක් ජිනීවා බාසල් ලූසරින් සූරිච් ඕල්ටන් වැනි ප‍්‍රදේශවල නිදහසේ සිටින අතර ස්විට්සර්ලන්තය තුළ යුද අපරාධ සෙවීමේ කාර්යාලයක් ඇතත් එම කාර්යාලය එකී කොටි යුද අපරාධකරුවන් ගැන පරීක්‍ෂණ පවත්වා නැත.

ඔවුන්ට එරෙහිව පැමිණිල්ලක් පවා ගොනුවී නොමැත. මෙවන් පසුබිමක් මැද වන්නි මෙහෙයුමේ හමුදා නිලධාරීන්ට එල්ලවී ඇති චෝදනා සහ ඔවුන්ට විදේශ ගමන් තහනම් කිරීම පිළිගත හැකිද? මෙම තත්ත්වය මත වන්නි මෙහෙයුමේ හමුදා නිලධාරීන් වෙනුවෙන් කි‍්‍රයාකිරීමට රජය ඉදිරිපත් නොවීම අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයකි.

ත‍්‍රස්තවාදීන් පැරදවූ ලොව එකම හමුදාව ශ‍්‍රී ලංකා හමුදාවයි. එහෙත් ඔවුන් වෙනුවෙන් හඬක් නැෙඟන්නේ නැත. මෙයට කලකට පෙර ඊශ‍්‍රායලයේ හිටපු අගමැති බෙන්ජමින් නෙතන්යාහු බලයේ සිටියදී එරට හමුදා නිලධාරීන් රැසකට යුද අපරාධ චෝදනා එල්ල විය. ඒ සමගම නෙතන්යාහු කි‍්‍රයාත්මක විය. ඔහු කැබිනට් මණ්ඩලය රැස්කර චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ව රැකගත්තේ කෙසේද යන්න ගැන වැඩපිළිවෙළක් යොදවනු ලැබීය.

එසේම ඊශ‍්‍රායලයේ හිටපු විදේශ අමැතිනිය බි‍්‍රතාන්‍යයේ සංචාරයක යාමට සූදානම්වූ අවස්ථාවේ සර්ව ලෝක අධිකරණ පද්ධතිය යටතේ ඇයව අත්අඩංගුවට ගැනීමට සැලසුමක් දියත් විය. එහිදී ඊශ‍්‍රායල් රජය ඊට එරෙහිවී බි‍්‍රතාන්‍ය රජයට අනතුරු අඟවනු ලැබීය. මේ හැර ඊශ‍්‍රායලයට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙන ආ යෝජනා හතරක්ම ඇමරිකාව පරාජය කළේය. යේමනයට එරෙහිව කි‍්‍රයාකිරීම ගැන සෞදි අරාබියාවට විරුද්ධව ගෙන ආ යෝජනාවක් ඉවත්කර ගැනීමට නෙදර්ලන්තයද කි‍්‍රයාකරනු ලැබීය. මෙවැනි කි‍්‍රයා මානව හිමිකම් කවුන්සිලයේ දීන කි‍්‍රයාවකි. එය තවදුරටත් තහවුරු වන්නේ වන්නි මෙහෙයුමේ සියලූම හමුදා නායකයන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමයි. ත‍්‍රස්තවාදීන් පරාජය කළ ලොව එකම හමුදාවකට එල්ලවූ යුද අපරාධ චෝදනා ශ‍්‍රී ලංකාවේ හමුදාවට පමණක් එල්ල වූයේ මන්ද? ඒ කොටි බේරාගැනීමට ඇමරිකාව කළ ඉල්ලීමට රජය හිස නොනැමීම නිසාය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සෞදි අරාබියාවට එරෙහිව නෙදර්ලන්තය යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ ඇමරිකාව මැදිහත්වී එය අහෝසි කරනු ලැබීය.

ඊශ‍්‍රායලයට එරෙහිව ජිනීවා යෝජනා 6ක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූවත් ඒ සියලූ යෝජනා පරාජය කිරීමට ඇමරිකාව කි‍්‍රයාකළේය. එහෙත් 2009 සිට 2022 දක්වාම ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා දිගටම කි‍්‍රයාත්මක විය. ඊට එරෙහිව අභියෝග නොකෙරිණි. රජය ජිනීවා යෝජනාවෙන් ඉවත්වුවත් මානව හිමිකම් කොමසාරිස්වරිය එය දිගටම ගෙනයයි. එසේම සාක්කි සොයන්නේත් එම සාක්කි සුරක්‍ෂිතව තබන්නේත් ඇයයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මෙතෙක් කිසිම රටකට එරෙහිව මෙවන් කි‍්‍රයාමාර්ගයක් ගෙන නැත.

මෙවන් පසුබිමක් මැද වන්නි මෙහෙයුමේ හමුදා ප‍්‍රධානීන්ට ඉන්දියාව, බංගලාදේශය, චීනය, පිලිපීනය සහ මැද පෙරදිග රටවලට පමණක් යාහැකි අතර බටහිර රටවලට යෑම තහනම්ය. එම රටවල් සර්වලෝක අධිකරණ පද්ධතිය නමැති ජාත්‍යන්තර නීතියට එකඟත්වය පළකර ඇති නිසා ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් බටහිර රටවලට ගියහොත් අත්අඩංගුවට ගෙන නඩු පවරා දඬුවම් කරනු ඇත.

සිරියානු කර්නල් රස්ලන්ට ජර්මනිය ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කිරීම සිදුවූයේ ද සර්ව ලෝක අධිකරණ පද්ධතිය කි‍්‍රයාත්මක කිරීම නිසාය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment