වන් ඩේ – ලිමිටඩ් ඕවර්

1524

මේ ළඟදී යූ ටියුබ් ප්‍රශ්න විචාරකයෙක් යූ ටියුබ් වැඩසටහනකට සහභාගි වූ තරුණ නිළියන් තිදෙනකුගෙන් ප්‍රශ්නයක් විමසීය. ඒ ප්‍රශ්නය වූකලී ශ්‍රී ලංකාව නිදහස ලැබූ අවුරුද්ද කුමක්ද යන්නය. අවාසනාවකට එම අවුරුද්ද 1948 බව ඒ සුරූපී දැරියන් දැන සිටියේ නැත. මේ බව අසන ඔබ බලවත් සේ උරණ වනු ඇති. රූප සම්පත්තිය කොතරම් තිබුණත් මොළේ නැති වීම ලොකු අඩුවක් බවත් උපකල්පනය කරන්නට ඇති. එය වැරදි සිතුවිල්ලකි. ලංකාව 1948 දී නිදහස් වූ බව ක්‍රමයෙන් මතකයෙන් ඈත් වෙමින් පවත්නා කතන්දරයකි. එසේම 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වූ බව මෙකල සිටින වැඩි දෙනාට මතක නැත. එය මතක තබාගත යුතුත් නැත. 1948 දී අප නිදහස් වූහයි කියා හෝ 1972 දී අප ජනරජයක් වූහයි කියා හෝ අලුතින් වෙච්චි කිසිදු මඟුලක් නැත. ඒවායින් කිසිවක් සිදුවී නම් අද මේ රටේ මෙවැනි ඛේදජනක වූද කාලකන්නි වූද තත්ත්වයක් හට ගන්නේද නැත. ආණ්ඩුව විරෝධතාකරුවන්ට ගේම දෙන්නේ ටිකෙන් ටික බව පෙනේ. ගෝල්ෆේස් විරෝධතාකරුවන් හෙට කරන්නේ කුමක්ද යන්න ඔවුන් එය තීරණය කළ මොහොතේදීම ආණ්ඩුව දනී. එයට හේතුව බුද්ධි අංශයේ හාරසියයකට කිට්ටු ගණනක් ගෝල්ෆේස් විරෝධතාකරුවන් අතරට බස්සවා තිබීමය. සමහර දවස්වලට ගෝල්ෆේස් විරෝධතාව නැරඹීමට අප යන විට එතැන 500 ට වඩා සෙනඟ නැත. එයට හේතුව රාත්‍රීයේ විරෝධතාවල නිරත වන අය පසුදින උදේ රස්සාවල්වලට යෑමය. එසේ නම් දවල් කාලයේදී එතැන ඉතිරිව සිටින විරෝධතාකරුවන් 500 න් 400 ක්ම බුද්ධි අංශයේ කට්ටිය බව විශ්වාස කටයුතු අයෙක් අපට කීවේය. එය පැත්තක තබමු. පරණ කතන්දරයකින් අපේ කතු වැකියේ ඉතිරි ටික පටන් ගනිමු.

1948 දී ලංකාව නිදහස ලැබූ පසු පළමුවෙනි අගමැති ලෙස දිව්රුම් දෙන්නේ ඩී. එස්. සේනානායක ය. ඇත්තටම ඒ වනවිට ලංකාවේ අගමැති වීමට සිටියේ ඩී. එස්. නොව ශ්‍රීමත් ඩී. බී. ජයතිලක ය. ජයතිලක රැවටූ අපේ අය 1943 දී ඔහුට ඉන්දියාවේ තනතුරක් ලබා දී එහි පටවා අගමැති සටනින් ඔහු ඈත් කොට තැබීය. 1944 දී ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මිය යයි. ඉන්පසු ඉදිරියට එන්නේ ඩී. එස්. සේනානායක ය. එම තෝරා ගැනීමේ කිසිදු වරදක් නැත. ඩී.එස්. සේනානායක යනු අන්තිම අහිංසක ගැමි නායකයෙකි. 1952 දී අගමැති ඩී. එස්. සේනානායක අසු පිටින් වැටී නසී. ඊළඟ අගමැතිකමට දෙදෙනක් ඉදිරිපත් වෙති. පළමුවැන්නා ඩී. එස්. ගේ පුත්‍රයා වූ ඩඩ්ලි සේනානායක ය. දෙවැන්නා ඩී. එස්. ගේ බෑනා කෙනෙක් වූ ජෝන් කොතලාවල ය. ශ්‍රී ලංකාවේ පවුල් දේශපාලනය එතනින් පටන් ගනී. මේ වෙලාවේදී මේ රටේ ආණ්ඩුකාරයා ලෙස සෝල්බරි සාමිවරයා කටයුතු කළ අතර ඔහු ඩඩ්ලිට උදව් කර ඔහුට අගමැතිකම ලබා දෙයි. මෙසේ අගමැතිකම ඩඩ්ලිට ලබා දීම සඳහා එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීම පිණිස බ්‍රෝකර් වැඩේ කර තිබුණේ බි්‍රතාන්‍ය කිරීටයේ බලයලත් බ්‍රෝකර් තැන වූ ආණ්ඩුකාර සෝල්බරි වංශාධිපතිවරයා ය. ඩඩ්ලි බලයට විත් ටික දිනක් යනවිට ලංකාවේ හාල් මිල සේරුව සත 25 සිට සත 70 තෙක් ඉහළ ගියේය. එයට හේතුව රට තුළ මුදල් අර්බුදයක් හටගෙන තිබීමය. 1952 දී මේ රටේ කෝටියක් වූ ජනතාව සඳහා අඩු මිලට හාල් සහ සීනි ලබාදීම පිණිස ආණ්ඩුව රුපියල් මිලියන 300 ක් වාර්ෂිකව වැය කළේය. (අද නම් රුපියල් මිලියන 300 ක් යනු රජයේ එක කොන්ත්‍රාත්තුවකින් ඇමැති ලබා ගන්නා පගාවට සමාන මුදලකි.) මේ අතර කොරියන් යුද්ධය පටන් ගත්තේය. ඒ නිසා කලාපය තුළ දරුණු ආර්ථික අර්බුදයක් වර්ධනය විය. මෙයට මුහුණ දීමට අද වගේම එදත් ශ්‍රී ලංකාවට බැරි විය. මන්ද යත් ඒ වනවිටත් රටින්ම ගෙන්වා කෑමට අප පුරුදුව සිටි බැවිනි. මේ අර්බුදයත් සමගම 1951 දී රුපියල් මිලියන 200 ක් ව තිබූ මේ රටේ වෙළෙඳ අතිරික්තය 1952 වනවිට රුපියල් මිලියන 200 ක වෙළෙඳ ශේෂයක් බවට පත්විය.

මේ කියන කාලයේදී ලංකාවට ඉන්ධන ප්‍රශ්නයක් නැත. නාගරික සිටුවරුන් අතළොස්ස හැර සෙසු සියලුම දෙනා හැතැක්ම ගණන් ඇද්දේ පයිනි. නැත්නම් බර කරත්තවලිනි. එසේම එකල ලයිට් ප්‍රශ්නයක් තිබුණේ ද නැත. යමක් කමක් ඇති අය කුප්පි ලාම්පුවෙන් රැය ආලෝකවත් කළහ. ගොඩක් සල්ලි ඇති සිටුවරු විදුලි ලාම්පු පත්තු කළහ. කිසිවක් නැති දිළින්දෝ ගෙදර පහන් දැල්වීමක් නොමැතිව වේලාසනින්ම නින්දට ගොස් ජනගහනය වර්ධනය කිරීමට දායක වූහ. 1952 ආර්ථික අර්බුදය නිසා හාල් සහ සීනි ඇතුළු තවත් භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් මේ රටේ ජනයා බලවත් සේ කුපිත වූහ. මේ තත්ත්වයට විරෝධය පළ කිරීම සඳහා 1953 දී සමසමාජ පක්ෂයේ සහ වාමාංශික ව්‍යාපාරයේ මූලිකත්වයෙන් ඩඩ්ලිගේ යූ එන් පී ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත හර්තාලයක් පවත්වන ලදී. මෙය one day match එකකි. match එක ඉවර වූ විට විරෝධතාකරුවෝ දස දෙනෙක් මිය ගොස් තිබිණ. අගමැති ඩඩ්ලි ඉල්ලා අස්වී ගෙදර ගොස් තිබිණ.

පෙරේදා මේ රටේ පැවැති හර්තාලය බෙහෙවින්ම සාර්ථක වූවකි. මේ හර්තාලය දක්වා මේ රටේ ජනතාව තල්ලු කරනු ලබන්නේ පවතින ආණ්ඩුවේ බූරු වැඩපිළිවෙළය. විපක්ෂයේ කොටළු ක්‍රියාවන් ය. කොටළුවා යනු බූරු පියකුත් අශ්ව මවකුත් එකතු වී බිහිකරන ඵලයකි. කොටළුවාට ප්‍රජනන ශක්තියක් නැත. ඒ ආකාරයෙන්ම මේ රටේ ගොන් විපක්ෂයට ද අනාගන්නේ නැතුව වැඩක් කරගන්නට බැරිය. ඊට ඇති හොඳම උදාහරණය නම් රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායක වීමය. මේ සිදුවීම නිසා හර්තාලයේ නිරත වූ ජනතාව සිටියේ මහත් වූ කෝපයෙනි. ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති තැන පුරවැසියා ස්වකීය දෙවන බලාපොරොත්තුව තබන්නේ විපක්ෂය මතය. විපක්ෂයත් ඇන ගන්නා බව පෙනේ නම් පුරවැසියාට option දෙකක් ඉතිරි වේ. ඉන් පළමුවැන්න දිවි නසා ගැනීම ය. දෙවැන්න මරාගෙන මැරීම ය. ආණ්ඩුව මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරක් නොදුන්නොත් මේ පවතින සටන කොතනින් කෙළවර වේ දැයි අපට සිතා ගැනීමට බැරිය. මේ බව කොපමණ ලිව්වත් එයින් වැඩකුත් නැති ය.

advertistmentadvertistment
advertistmentadvertistment