වනිඳු, ලහිරු සහ දිමුත් ශ්‍රී ලංකාවට පහසු ජයක් ගෙනෙති

509

ලකුණු 13 කට කඩුලු 5ක් දවා ගත් වනිඳු හසරංග ගේ සහ ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් ලහිරු කුමාරගේ පන්දු හමුවේ හිස ඔසවන්නට ඉඩක් නොලද ඕමාන කණ්ඩායමේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 98 ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී තවත් පන්දු වාර 35 ක් ඉතිරිව තිබියදී ඉක්මවා යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (23 වැනිදා) සමත් වූහ.

එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ දෙදෙනා පන්දු වාර 15 ක් තුළ ලකුණු සියයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහනය ගෙනත් දුන්හ.

දිමුත් කරුණාරත්න පන්දු 51 කදී ලකුණු 61 ක් ලබාගත් අතර මෙම අර්ධ ශතකය දිමුත් නොකඩවා එක දිගට තරග හතරක් තුළ ලැබූ සිව් වැනි අර්ධ ශතකය විය.

එහිදී තමන් මුහුණ දුන් පන්දු 51 න් පන්දු 8 ක් හතරේ සීමාවට යොමු කිරීමට ඔහු සමත් වූයේය.

දිමුත්ට වඩා සෙමෙන් ඉනිමක් ගොඩනැඟූ පැතුම් නිශ්ශංක නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 37 කි.

පන්දු තිස් නවයක් තුළ වාර්තා වූ පැතුම්ගේ ඉනිමට හතරේ පහර 5ක් අන්තර්ගත විය.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 11 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර බුලවායෝ හී දී පැවැති එම තරගයේ ජයග්‍රහණයත් සමග “බී” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය.

තමන් සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 4 ක් හිමි කරගෙන සිටින අතර ඔවුන් ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය + 4.220 ක් වේ. එම සටහනේ දෙවන ස්ථානයේ පසුවන ඕමාන කණ්ඩායම තරග තුනකට සහභාගි වී එක් තරගයක් පරාජය වී තරග දෙකක් ජයග්‍රහනය කර ඇත.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඕමානයට ලබා දුන් අතර වනිඳුගේ සහ ලහිරුගේ පන්දු හමුවේ අසරණ වූ ඔවුහු පන්දු වාර 30.2 ක් අවසානයේ ලකුණු 98 කට සියලු දෙනා දැවී ගියහ.

පළමු කඩුලු 4 ලකුණු 20 ක් තුළ දවා ගැනීමට ලහිරු කුමාර හා කසුන් රාජිත සමත් වූ අතර අනතුරුව 5 වෙනි කඩුල්ල වෙනුවෙන් ජටින්ඩර් සිං සහ අයාන් ඛාන් අතර ලකුණු 52 ක සම්බන්ධතාවයක් පන්දු 64 ක් තුළ වාර්තා විය.

ජටින්ඩර් ලකුණු 21 කට ද වනිඳු හසරංගගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී යෑමත් සමග ඕමාන කණ්ඩායමේ දෙවෙනි කඩා වැටීම ආරම්භ වූ අතර වනිඳු එම පන්දු වාරය නිමා කළේ කිසිදු ලකුණක් නොදී තවත් කඩුලු 2 ක් එම පන්දු වාරයේදී දවා ගනිමිනි.

අනතුරුව තවත් කඩුලු දෙකක් දවා ගනිමින් කඩුලු 5 සීමාවට අවතීර්ණ වූ වනිඳු පසුගිය තරගයේ දී ද කඩුළු හයක් දවා ගැනීමට සමත් වූ අතර ඒ අනුව මෙම තරග දෙකේදී පමණක් වනිඳු හසරංග කඩුලු 11 ක් දවාගෙන තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති එම තරගයේ මෙන්ම ඊයේ පැවති තරගයේ ද වීරයා බවට වනිඳු සම්මාන ලැබීය.

ඕමාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අයාන් ඛාන් පන්දු 60 කින් ලකුණු 41 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සමගිනි.

ලකුණු සාරාංශය

ඕමානය
පන්දු වාර 30.2 ලකුණු 98/10
අයාන් ඛාන් 41, ජටින්ඩර් සිං 21
වනිඳු හසරංග 13/5, ලහිරු කුමාර 22/3

ශ්‍රී ලංකාව
පන්දු වාර 15 යි ලකුණු 100
දිමුත් කරුණාරත්න 61, පැතුම් නිශ්ශංක 37.

advertistmentadvertistment
advertistmentadvertistment