වන අලියාට බිලිවූ 71 හැවිරිදි දෙදරු පියාගේ මළ සිරුර ඉවත් කිරීමට නොදී ගැමියෝ පොලිසියත් සමග පැය හතක් ඔට්ටු වෙති

263

වැලිගෙපොල, හඳගිරිය ප‍්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් 74 හැවිරිදි දෙදරු පියෙකු මරුමුවට පත්වීමෙන් පසු මියගිය අයගේ සිරුර එතැනින් ඉවත් කිරීමට ඉඩ නොදෙමින් ගම්වාසීන් වනජීවී නිලධාරීන්ට එරෙහිව විරෝධතාවක නිරත වුහ.

පෙරේදා (22 දා) රාත‍්‍රියේ පැය හතක කාලයක් යන තෙක් මියගිය අයගේ සිරුර ඉවත් කිරීමට ගම්වාසීන් ඉඩ ලබා නොදුන්හ. බළන්ගොඩ, හඳගිරිය, කිරිමැටියාය ප‍්‍රදේශයේ පදිංචිව සිටි එම්. එල්. පියදාස නමැති (74) හැවිරිදි පුද්ගලයකු මෙලෙස වනඅලි ප‍්‍රහාරයකට ලක්ව එතැනම මරුමුවට පත්විය.

වැලිගෙපොල – හඳගිරිය මාර්ගයේ වෙළෙඳ සැලකට යෑම සඳහා ගමන් කරමින් සිටියදී ඔහු වන අලි ප‍්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහල වෙත රැගෙන යෑමට පෙරේදා රාත‍්‍රියේ පොලිසිය පියවර ගනිද්දී ප‍්‍රදේශවාසීන් විසින් සිරුර රැගෙන යැම සඳහා අවස්ථාව ලබා නොදෙමින් විරෝධතාවක යෙදුණි.

හඳගිරිය ප‍්‍රදේශයේ කලක සිටම පවතින වන අලි ගැටලූවලට විසඳුමක් ලබාදෙන ලෙසත්, අක‍්‍රීය වී ඇති අලිවැට ප‍්‍රතිසංස්කරණය කරදෙන ලෙසත් ඉල්ලා

ගම්වාසීහු මියගිය අයගේ සිරුර ඉවත් කිරීමට ඉඩ නොදීමෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.

උඩවලව වනෝද්‍යානයේ වනඅලි හඳගිරිය ප‍්‍රදේශයට කඩා වදිමින් වගා බිම්වලට හානි කරන අතර ජිවිත කීපයක්ද මේ වනවිට බිලිගෙන ඇත.

ඊයේ (23 දා) අලූයම එකට පමණ වනජීවී නිලධාරීන් පැමිණ ප‍්‍රදේශවාසීන් පිරිසක් සමග සාකච්ඡා කිරීමෙන් පසු අක‍්‍රීය වී ඇති අලි වැට යළි සකස් කරදෙන බවට නිලධාරීන් පොරොන්දු වී ඇත. ඉන්පසු මියගිය අයගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා කහවත්ත මූලික රෝහල වෙත රැගෙන යෑම සඳහා ගම්වාසීන් ඉඩ ලබා දුන්නේය.

වැලිගෙපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

කහවත්ත – සමරවීර නිරෝෂණ, ඕපනායක – ජයලත් මුණසිංහ, බළන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment