වන සංහාරකයෝ වනය රකින කල… – (නරියාට කුකුල් කොටුව භාරදීම)

696

යාල ජාතික උද්‍යානයට ආසන්නව, තිස්සමහාරාම ගොවිජන බල ප්‍රදේශය තුළ පිහිටි සුප්‍රකට වැවක් වන කොච්චිපොතාන වැව් පෝෂකයේ ජලපෝෂිතය විනාශ කරමින් සංචාරක හෝටලයක් ඉදිකිරීම පිළිබඳව මහා බෝධි ගොවි සංවිධානය නමැති සංවිධානයක් තම විරෝධතාව ප්‍රකාශ කරයි. දැනගන්නට ඇති පරිදි දැනටමත් ජල පෝෂිතයේ අක්කර තුනක පමණ භූමි භාගයක් මෙම හෝටලයට නතු කරගෙන ඇති අතර, ජලය පිරී ඇති අක්කරයක පමණ ප්‍රදේශයක් ද ගොඩනැඟිලි ආස්තරණයක් යොදා ගොඩකර ඇත. වසර සිය ගණනක් පැරණි පලු, වීර, කොහොඹ යනාදී ගස් රැසක් මේ සඳහා බිම හෙළා ඇත. තවද වැවට අයත්ව තිබූ පලු ගස් කපා හෝටලයේ ඉදිකිරීම් කටයුතු සඳහා භාවිත කර ඇති බවද ගොවි සංවිධානය චෝදනා කරයි. ප්‍රශ්නය එතැනින් නවතින්නේ නැත. හෝටලයේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, පුදුමය නම්, හෝටලයේ වැසිකිළිවලින් පිටවන අපද්‍රව්‍යය ද වැවටම එකතුවන තුරු පී.එච්.අයිවරු, එම්.ඕ.එච්වරු ඇතුළු හැට හුටහමාරක් තිස්සමහාරාමයේ බලධාරීන් බකන් නිලාගෙන සිටීමය.

මෙම සිද්ධිය පිළිබඳව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා හෝ හම්බන්තොට මහ දිසාපතිවරයා හෝ ප්‍රාදේශීය සභා ලේකම්වරයා හෝ වෙනත් බලධාරියකු කුමක් දන්නේ දැයි කුමක් කියන්නේ දැයි අපි නොදනිමු. නමුත් වසර 9 ක් තිස්සේ මෙම අනවසර විනාශකාරී හෝටලයට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් නම් නැත. 2004 වසරේ පටන් ක්‍රියාත්මක වනවා යයි කියන මෙම හෝටලය පිළිබඳව ගම්මුන් අදාළ සියලු බලධාරීන් දැනුවත් කළා යයි කියන නමුත්, බලධාරීන් ගත් ක්‍රියාමාර්ගය නම්, හෝටල්කරුට හිතූ මනාපයේ පරිසර සංහාරයක් කරමින් හෝටලය යහමින් ඉදිකරගෙන යන්නට හෝටල්කරුට උදව් කිරීම පමණකි. ඒ මෙම හෝටල් හිමිකරුවා ප්‍රදේශයේ ප්‍රකට දේශපාලකයෙක් වන නිසා බව ගොවි සංවිධානය පවසයි. නමුත් හම්බන්තොට ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරයා පවසන්නේ කොච්චිපොතාන වැව තුළ සිදුකරන මෙම ඉදිකිරීම අනවසර ඉදිකිරීමක් බව හා ඊට කිසිදු අවසරයක් ගෙන නැති බව තමන් දන්නා බවයි. එමෙන්ම, වැවේ ජලය පිරෙන සීමාව දක්වා ඉදිකිරීම් සිදුකරන බවටත් හෝටලයේ වැසිකිළි අපද්‍රව්‍ය වැවට මුදාහරින බවටත් තමන්ගේ පහළ ගොවිජන සේවා නිලධාරීන් තමන්ට දැනටමත් වාර්තා කර ඇති බවත් ඔහු කියයි.

පුදුමය නම් මෙවන් සාක්ෂි, සාධක තිබියදී පවා වැට ඉන්නක් කපාගන්නට වන වදින දුප්පතුන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීති මේ හෝටල්කාරයාට ක්‍රියාත්මක නොවීමය. අපේ රටේ දේශපාලකයින් පමණක් නොව, නිලධාරී පැලැන්තියද (හැමෝම නොවේ) රටේ පාරිසරික හා ස්වභාවික සම්පත් විනාශයට ඍජුව වගකිවයුතු බවට ඕනෑතරම් සාක්ෂි තිබේ. යම් ප්‍රදේශයක, පළාතක වන විනාශයක් ඇතුළු ස්වාභාවික සම්පත් විනාශයක් සිදුවෙනවා නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඕනෑ තරම් නීති, අණ-පනත් රටේ බලාත්මක කර ඇත. දේශපාලකයකු නොව, ඕනෑම ජගතකුට එරෙහිව මෙසේ නීති මගින් ක්‍රියා කළ හැකිව තිබුණත්, කොච්චිපොතාන වැවේ විනාශයේදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රජයේ බලධාරීන් නකුට දෙපරැන්ද අස්සේ ගසාගෙන බයේ හැකිලී බලා සිටින්නාක් මෙන් රටේ කොතැනක හෝ සිදුවන ඕනෑම විනාශයක් දෙස බලාගෙන කට බලියාගෙන සිටින නිලධාරීන් පිරිසක් මේ රටේ වෙති. රට බේරාගත යුතුව ඇත්තේ මෙවන් කාලකණ්ණි නිලධාරීන්ගෙනි. දේශපාලකයින්ට ආවඩන මෙවන් කොන්ද පණ නැති නිලධාරීන් හා සන්තෝෂමට වැඩකරන නිලධාරීන් නිසා කොච්චිපොතාන වැව් රක්ෂිතය මෙන් තවත් රක්ෂිත, රජයේ කැලෑ, වැව් පෝෂිත රාශියක් මේ මොහොත වන විටත් විනාශයට ලක්වෙමින් තිබේ.

තිස්සමහාරාමයට ආසන්න තණමල්විල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය මීට දෙවෙනි නැත. එහිද වනාන්තර හා වැව් පෝෂිත මේ වන විටත් දරුණු විනාශයට ලක්වෙමින් තිබෙන්නේ නිලධාරීන්ගේ අනුදැනුම යටතේය. පරිසර යුක්ති කේන්ද්‍රය සංවිධානය කරන ලද ක්ෂේත්‍ර මාධ්‍ය සංචාර දෙකකදී හඳුනාගෙන ඇත්තේ තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත්වම සිදුකරන වන හා ජලපෝෂක විනාශයන් තණමල්විල ප්‍රදේශයේ බහුල බවයි. නිසි අවසරයකින් තොරව උඩවලව ජාතික උද්‍යාන මායිමේම සිදුකරන දැව අඟුරු පිටරට පටවන කර්මාන්තයකින් තණමල්විල ප්‍රදේශයේ වන සම්පත හා දැව සම්පත මහා විනාශයකට ගොදුරුවී ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය අධ්‍යයනය කර ඇත. චීන සමාගමක් හා දේශීය මැණික් ව්‍යාපාරිකයකු එක්ව සිදුකරන මෙම කර්මාන්තය කරගෙන යන්නට තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයා සහ වන හා වනජීවී බලධාරීන් ඉඩදී ඇත්තේ කුමන පදනමකින් ද යන්න පැහැදිලි නැත. එසේම, තණමල්විල කිවුල් ආර ප්‍රදේශයේ වන ජීවී විදුලි වැට කිලෝමීටර් 10 ක් සම්පූර්ණයෙන්ම ගලවා දමා මේ මෑතක පටන් රජයේ ඉඩම් අක්කර සිය ගණනක් හිතවතුන්ට, ව්‍යාපාරිකයන්ට ලබාදී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා නොදැන නොවන බවට පරිසර යුක්ති කේන්ද්‍රය අධ්‍යයනය කර ඇත.

නමුත්, අනෙකුත් දිස්ත්‍රික්කවල සේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන හානිය අතිශය බරපතල අයුරින් මේ මොහොත වන විටත් සිදුවෙමින් පවතින බව පරිසරවේදීහු පවසති. රටේ ආර්ථික ඝාතනයට සම්බන්ධ බවට චෝදනා ඇති පවුලක වියපත් දේශපාලකයකු විසින් හම්බන්තොට රජයේ වන ඉඩම් සන්තකයටම විකුණා දැමීමේ කටයුත්තක නියැළී සිටින බවට චෝදනා ඇත. එනම්, හම්බන්තොට සංවර්ධන සැලැස්මට අනුව උඩවලව දක්වා සකස් කර වන අලි සංක්‍රමණය වෙනුවෙන් වෙන්කර ඇති වන අලි කළමනාකරණ රක්ෂිතයේ (එම්.ඊ.ආර්.) හෙක්ටයාර් 28,000 න් දැන් ඉතිරිව ඇත්තේ හෙක්ටයාර් 11,000 ක තරම් ප්‍රමාණයක් බව කියනු ලැබේ, අනෙක් සියල්ලම හිතවතුන්ගේ උවමනා එපාකම් සඳහා ලබාදී ඇත. වත්මන් පාර්ලිමේන්තුවේ තනතුරක් දරන මන්ත්‍රීවරයකුට අයත් ගල් මෝල් සංකීර්ණයක් ද ඇත්තේ මෙම අලි කළමනාකරණ රක්ෂිතය තුළ බව පරිසරවේදීහු කියති. එසේම, විදුලි අර්බුදය දඩමීමා කරගෙන වන අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් අක්කර දහසක් පමණ බුල්ඩෝසර් මගින් මායිම් ලකුණු කර අක්කර 50-100 කැබැලි ලෙස සූර්ය විදුලි බල නිෂ්පාදනය සඳහා යයි කියමින් කොම්පැනිකරුවන් අතර බෙදා දීම මේ වන විටත් සිදුකරමින් පවතී.

මේ සියල්ල සිදුවෙමින් පවතින්නේ ජනාධිපතිවරයා විසින් රටේ වනගහනය සියයට 23 කින් ඉහළ දමන්නට ක්‍රියාකරන බවට ගෝලීය තිරසර සමුළුවල ප්‍රකාශ කරන සමයක වීම කනගාටුවකි.

අහෝ… රටේ වන සම්පතට හා ස්වාභාවික උරුමයන්ට යන කල…

advertistmentadvertistment
advertistmentadvertistment