වන සතුන් ආරක්ෂා කරන වනජීවි නිලධාරීන්ගේ දුක හිතෙන කතාව

416

කොටි ත‍්‍රස්තවාදී යුද්ධයේදී ප‍්‍රතිශතයක් විදිහට වැඩියෙන්ම මැරිලා තියෙන්නේ වනජීවී නිලධාරීන්…

මෙරට භූමි ප‍්‍රමාණයෙන් 14% ක භූමියේ ජීවත්වන සතුන්ට ප‍්‍රතිකාර කරන්න ඉන්නේ
පශු වෛද්‍යවරු දහහත්දෙනයි, වනජීවී නිලධාරීන් අටසීය හැත්තෑපහයි…

වන සතුන්ගේ ආරක්‍ෂාව භාර වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටය. අඩවිය භාර නිලධාරීන් අදාළ ප‍්‍රදේශයේ ජීවත්වන වන සතුන් සම්බන්ධයෙන් වගකිවයුතුය. එම රාජකාරිය අතිශය වගකීම්සහගතය. එමෙන්ම අවදානම් සහගත රැකියාවකි. රාජකාරියට අඩවියට ගොස් නැවත කාර්යාලයට පැමිණෙන තෙක් ජීවිතය අනතුරේය. භයානක සතුන් සමඟ කරන ගනුදෙනුව විටෙක මරණයත්, ජීවිතයත් අතර කරන සටනක් වැනිය. එහෙත් එවැනි අතිශය අවදානම් රාජකාරියක් කරන වනජීවී නිලධාරීන්ට කුඩම්මාගේ සැලකිලිවත් නොලැබෙන තරම් ය. එම නිලධාරීන් පවසන ආකාරයට වන සතුන්ට දක්වන සැලකිල්ලවත් ඔවුන්ට නොලැබෙන තරම් ය.

‘‘වනජීවී සංරක්‍ෂණය කියන්නේ ලෝකයේ තියෙන අති අවදානම් රැකියාවක්. මේ කතා කරන මොහොතේදී වන අලියෙක් කඩා පාත් වෙලා ගහන්න පුළුවන්. වළහෙක්, කොටියෙක් පැනල හප කරන්න පුළුවන්. දඩයක්කාරයෙක් වෙඩි තියන්න පුළුවන්. බැඳපු තුවක්කුවක් පත්තු වෙන්න පුළුවන්. ගෝනුස්සගේ ඉඳලා ජීවිතවලට හානි කරන්න පුළුවන් සතුන් ඕනෑ තරම් මහ කැලෑවේ ඉන්නවා. එවැනි වන සතුන්ගෙන් සිදුවන අනතුරුවලට ප‍්‍රතිචාර දැක්වීමට ආරක්‍ෂිත ක‍්‍රමවේදයක් අපිට නෑ. ආත්ම ආරක්‍ෂාවේ අයිතිය තිබුණට එය ක‍්‍රියාත්මක කිරීමට තියෙන අවස්ථාව බොහොම විරලයි. අපි මේ කතා කරන මොහොතේදී බැඳපු තුවක්කු කඳක් පත්තු වෙලා නිකවැරැටියේ වනජීවී නිලධාරීන් දෙදෙනෙක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා…’’ වෘත්තීය ගැටලූ වැළක වැටලී සිටින වනජීවී නිලධාරියෙක් පෙළගැසෙන කතාවට එසේ ප‍්‍රවේශයක් ලබා ගත්තේය. එහෙත් අදහස් ප‍්‍රකාශ කරන වනජීවී නිලධාරීන්ගේ නම්, තනතුරු හෙළිදරව් නොකිරීමට අපි වගාබලා ගන්නෙමු. ඒ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගැටලූ විසඳීම වෙනුවට මාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කළ නිලධාරීන්ගේ රැකියා අහිමි කිරීමට ඉඩ ඇති බැවිනි. එහෙයින් රැකියාවේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් වෘත්තීය ගැටලූ රටට කියන වනජීවී නිලධාරීන්ගේ කතාවට අපි නැවත සවන් දී සිටිමු.

‘‘වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කරන ලද ජාතික වන උද්‍යාන, අභයභූමි ඇතුළුව රක්‍ෂිත එකසිය විසිහතරක් තියෙනවා. මෙරට පුරා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උප කාර්යාල එකසිය හැටහතක් තියෙනවා. මෙරට භූමි ප‍්‍රමාණයෙන් 14% ක් අයිති වෙන්නේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට. මේ ආයතනයත් පොලිස් දෙපාර්තමේන්තුව වගේම විසිහතර පැයේම ක‍්‍රියාත්මක දෙපාර්තමේන්තුවක්. විසිහතර පැයේම සතුන් සම්බන්ධව සහ පරිසරය සම්බන්ධව කටයුතු කරන ආයතනයක් විදිහට මේ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන කාලසීමාව තීරණය කරන්නත් බෑ. එහෙම රාජකාරී කරන්න අඩුම තරමින් එක කාර්යාලයක සේවකයන් දහයක්, පහළොවක්වත් ඉන්න ඕනෑ. ඒත් අපේ අවාසනාවට එහෙම සේවක පිරිසක් නෑ. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටම ඉන්නේ නිලධාරීන් අටසීය හැත්තෑපහක් වගේ සුළු පිරිසක්. වන උද්‍යාන, අභයභූමි, රක්‍ෂිත එකසිය විසිහතර ඇතුළුව රට වටේ දේශීය මුහුදු සීමාව ආරක්‍ෂා කරන්න එම නිලධාරීන් අටසීය හැත්තෑපස්දෙනා ප‍්‍රමාණවත් නෑ…’’

සේවයේ නිරත වනජීවී නිලධාරීන් රැයක් දවාලක් නැතිව රාජකාරි කරන්න ඕනෑ. කැලේ සතුන් ගැන සොයාබලන්න ඕනෑ. වනජීවී ප‍්‍රශ්න සම්බන්ධයෙන් පොලිසියට, උසාවියට යන්න ඕනෑ. වන සතුන්ගෙන් හිරිහැර වෙයි කියා අනුමාන කරන ප‍්‍රදේශවල පැවැත්වෙන දේශපාලන රැස්වීම්වලට ආරක්‍ෂාව සපයන්න ඕනෑ.

ගම්වදින වන සතුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න ඕනෑ. පැය විසිහතර පුරාම වැඩ. කිසිම විවේකයක් නෑ. ඒත් රාජකාරියට නිසි ඇගයීමක් ලැබෙන්නේ නෑ. සේවයට සරිලන වැටුපක් ලැබෙන්නේ නෑ. මේ රටේ ඕනෑම ආයතනයක පැය අටෙන් පස්සේ වැඩ කරන පැය ගාණට අතිකාල දීමනාවක් ගෙවනවා. වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ වරප‍්‍රසාදයවත් නෑ. පැය විසිහතරම වැඩ කළත් අපිට ගෙවන්නේ පැය අටේ සේවයට විතරයි. මේ වෙනකොට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට ගෙවන්නේ අර්ධ පුහුණු කම්කරුවකුගේ වැටුප. කළමනාකරණ සේවයේ තාක්‍ෂණික නොවන කාණ්ඩයට ලබාදෙන එම්. එන්. 1 කියන වැටුප. ලංකාවේ ක්‍ෂේත‍්‍ර නිලධාරීන් අයත් වෙන්නේ එම්. එන් 3 වැටුප් කාණ්ඩයට. ඒත් වනජීවී දෙපාර්තමේන්තුවේ එම්. එන්. 3 වැටුපට හිමිකම් කියන්නේ අඩවි ආරක්‍ෂක තනතුරේ නිලධාරීන් පමණයි. සෙසු වනජීවී නිලධාරීන් පැය විසිහතර පුරාම වැඩ කරලා ගන්න වැටුප, රාජ්‍ය ආයතනයක ලිපිකරුවෙක් පැය අටක් වැඩ කරලා ගන්නවා. වනජීවී දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ සේවයෙන් හයර් කරපු රියැදුරු මහත්වරු අපේ නිලධාරීන් ගන්න වැටුපට වඩා වේතනයක් ලබා ගන්නවා. අපිට තියෙන එකම සතුට අවුරුද්ද අවසානයේ ලැබෙන ප‍්‍රසාද දීමනාව විතරයි. ජාතික වන උද්‍යානයකට ඇතුළුවීමේදී අය කරන මුදලෙන් යම් කොටසක් සර්විස් චාජ් කියලා වෙනම එකතු වෙනවා. ඒ මුදලෙන් 17% ක් අවුරුද්දේ අවසානයේ ප‍්‍රසාද දීමනාවක් විදියට වනජීවී දෙපාර්තමේන්තුවේ සියලූම ස්ථිර සේවකයන් අතර සම, සමව බෙදා දෙනවා. උපකාරක තනතුරු සමඟ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ රාජකාරී කරන දෙදහස් දෙසීයටම එම දීමනාව ලබාදෙනවා. ඒ දීමනාව හැර මේ රස්සාවෙන් අපිට වෙන කිසිම තෘප්තියක් නෑ.

ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරියෙක් රාජකාරියේදී මිය ගියොත් අම්මට හෝ බිරිඳට මැරෙනකම් පැන්ෂන් පඩිය ලබාදෙනවා. අපිට පැන්ෂන් එක ලැබෙන්නේ රාජ්‍ය සේවයේ අවුරුදු දහයක් සම්පූර්ණ වුණාම විතරයි. අවුරුදු දහයට කලින් මැරුණොත් පැන්ෂන් එකත් නෑ. රුපියල් ලක්‍ෂ දහයක වන්දි මුදල විතරයි. දැන් අලියෙක් ගහලා මිය යන සාමාන්‍ය පුද්ගලයෙක්ටත් රුපියල් ලක්‍ෂ දහයක වන්දි මුදලක් ගෙවනවා. වන සතුන්ව ආරක්‍ෂා කරන, පරිසරයේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් පැය විසිහතරම සේවය කරන වනජීවී නිලධාරීන්වත් තක්සේරු කරලා තියෙන්නේ සාමන්‍ය පුද්ගලයෙක් ගාණට. කොටි ත‍්‍රස්තවාදී යුද්දයේ දී ප‍්‍රතිශතයක් හැටියට වැඩියෙන්ම මැරුණේ වනජීවී නිලධාරීන්. 2008 අවුරුද්ද වෙනකොට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිටි සම්පූර්ණ නිලධාරීන් හයසීය දෙනාගෙන් අසූ හත්දෙනෙක් යුද්දයට මැදිව මිය ගිහින් තියෙනවා. විල්පත්තුවේ එකම තැන වනජීවී නිලධාරීන් හතළිස්පස්දෙනෙක් කොටි මරා දාලා තිබුණා. රටේ ත‍්‍රිවිධ හමුදාවට, පොලිසියට දෙවැනි නැති වනජීවී නිලධාරීන්ට මීට වඩා ගරුත්වයක් තියෙනවා නම් අපිටත් ආඩම්බරයක්. ඒත් එදා ඉඳලා අද දක්වා මේ රටේ බලධාරීන් ඉන්නේ ‘උඹලට ඕන විදිහට මේ ආයතනය කරගෙන පලයං’ කියන තැන. කොච්චර කැපවීමෙන් සේවය කළත් කිසිම ඇගයීමක් නෑ. වැටුප් විෂමතා, අවිවේකීකම නිසා අපේ නිලධාරීන් ඉන්නේ දැඩි කළකිරීමෙන්. කරුම ගෙවන අය හැර අනිත් සියලූදෙනා මේ දෙපාර්තමේන්තුව අතහැරලා යනවා…’’

වන සතුන් ආරක්ෂා කරන වනජීවි නිලධාරීන්ගේ දුක හිතෙන කතාව

‘‘අපේ නිලධාරීන්ගේ කළකිරීමට තවත් ප‍්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පරිපාලනය කරන්නේ වෙනත් ආයතනවලින් තෝරාපත් කරගන්නා ලද නිලධාරීන්. වන සතෙක්ට සිදුවන ජීවිත හානියක්, තුවාලයක්, වන සතෙක්ව අල්ලා වෙනත් ස්ථානයකට යොමු කළ යුතුයි කියන තීන්දු, තීරණ අරගෙන වන සතුන්ගේ අභිවෘද්ධි සඳහා රෝහල් ක‍්‍රියාත්මක කරන්නේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ‘හයර්’ එකට ගන්න දොස්තරල කණ්ඩායමක්. වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල නිලධාරියෙක් රාජකාරි කටයුත්තකට යන වාහනය පදවාගෙන යන්නේ ඒකාබද්ධ සේවයෙන් ‘හයර්’ එකට ගත්ත රියැදුරු මහත්මයෙක්. කොච්චර හදිසි ගමනක් වුණත් ඒ රියැදුරු මහත්වරු එන්නේ ඔවුන්ගේ වෙලාවට. ඒකාබද්ධ සේවයේ රියැදුරෙක් පැය 24 සේවය කරන්නේ නෑ. අමතර සේවා කාලයට අතිකාල, බටා ගෙවන්න ඕනෑ. සෙනසුරාදා, ඉරිදා, පෝය නිවාඩුයි. අලි ගම්වදින්නේ සතියේ දිනවල විතරක් නෙමෙයි. වන සතුන්ට අනතුරු වෙන්නේ රාජකාරි පැය අට තුළ පමණක් නෙමෙයි. ඒ නිසා වනජීවී සංරක්‍ෂණ නිලධාරීන්ට එහෙම නිවාඩු නෑ. ඒ වගේම අපේ නිලධාරීන්ගේ ලිපිගොනු සම්පූර්ණ කර දෙන්නේ ඒකාබද්ධ සේවයේ කළමනාකරණ සේවයෙන් ‘හයර්’ එකට ගත්ත කණ්ඩායමක්. ඒකාබද්ධ සේවයෙන් හයර් කරන සේවකයන් හැඟීමකින් වැඩ කරන්නේ නෑ. ඒ සේවකයන්ට විෂය සම්බන්ධයෙන් දැනුමක් නෑ. පළපුරුද්දක් නෑ. දැන් අපිට වෙලා තියෙන්නේ වන සතුන් ගැන සොයාබැලීම පැත්තකට තියලා හයර් එකට ගන්න සේවකයන්ට වැඩ පුරුදු කරන්න..’’

‘‘ඒ වගේම අපිට බාහිරින් එන ප‍්‍රධාන ගැටලූව අලි – මිනිස් ගැටුම. ගොවියො කුඹුර වපුරලා ගෙදරට ගිහින් කෝල් කරලා අපිට කියනවා කුඹුර ආරක්‍ෂා කරදෙන්න කියලා. පනතේ හැටියට වනජීවී දෙපාර්තමේන්තුව පත් කරලා තියෙන්නේ අලි එළවන්න නෙමෙයි. ගම්වදින අලින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා වනජීවී නිලධාරීන් මැදිහත් වෙනවා විනා ගොවීන්ගේ බව භෝග ආරක්‍ෂා කරන්න වෘත්තියෙන් බැඳිලා නෑ. අපේ ප‍්‍රධාන කාර්යභාරය සතුන්ගේ ජීවිතවල ආරක්‍ෂාව තහවුරු කිරීම. දෙවනුවට අනතුරට ලක් වී සිටින සතාව සුදුසු පරිසරයකට රැගෙන යෑම. පශු වෛද්‍යවරුන්ට යොමු කර ප‍්‍රතිකාර ලබාදීම. වගා බිම් ආරක්‍ෂා කරගැනීමේ වගකීම තියෙන්නේ ගොවීන්ට. කුඹුරු අක්කර හත්, අටසීයක් තියෙන ගම්මානයක වනජීවී නිලධාරීන් දෙතුන්දෙනකුට කුඹුරු ආරක්‍ෂා කරන්න පුළුවන්ද? ඒක ප‍්‍රායෝගික නෑ. අලි වෙඩි නිකුත් කිරීමෙන්, උපදේශන සේවා ලබාදීමෙන් වගාබිම් ආරක්‍ෂා කරගැනීමට ගොවීන්ට උපකාර වෙන්න වනජීවී නිලධාරීන්ට පුළුවන්. ඒත් නිලධාරීන් හිඟකම නිසා අලි වෙඩි නිකුත් කිරීමට එක නිලධාරීයෙක් කාර්යාලයේ තියන එකත් දැන් ගැටලූවක් වෙලා. ඒ නිසා අමාත්‍ය මණ්ඩලයේ සහ දිසාපතිවරුන්ගේ එකඟතාවයක් මත මේ වන විට අලි වෙඩි නිකුත් කරන්නේ ග‍්‍රාම සේවක නිලධාරීන් මාර්ගයෙන්. ඒ වගේම ඕනෑම සංචාරකයෙක් ජාතික වන උද්‍යානයකට ඇතුළු වෙනකොට අනිවාර්යෙන්ම වනජීවී නිලධාරිවරයෙක්ගේ මඟපෙන්වීම තිබිය යුතුයි. වනජීවී පනතේ හැටියට වන සත්ව නියාමක නිලධාරිවරයෙක් සංචාරකයන් සමඟ යන්න ඕනෑ. එම සේවාව ලබාදීමට අපිට නිලධාරීන් ප‍්‍රමාණවත් නෑ. සංචාරකයො එන කාලයට යාල වන උද්‍යානයේ පමණක් දිනකට වාහන හත්, අටසීය යනවා. රට පුරා තව ජාතික වන උද්‍යාන රාශියක් තියෙනවා. ඒ හැම ජාතික වන උද්‍යානයකම සතුන් නැරැඹීමට සංචාරකයන් යන හැම වාහනයකට නිලධාරියෙක් යවන්න අපිට පුළුවන්කමක් නෑ. නිසි මඟපෙන්වීමක් නැතිකම නිසා සංචාරකයනුත් අනතුරට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම සතෙක්ට අනතුරක් වූ විට අපිට යන්න තියෙන්නේ අබලන් වාහන. ඒ වාහනවල යනකොට සතා මැරිලා සමහර විට අපිත් අනතුරට පත් වෙන්න පුළුවන්. ඒ වගේම අනතුරට පත්වන වන සතුන්ට ප‍්‍රතිකාර ලබාදීමට දෙපාර්තමේන්තුවටම ඉන්නේ පශු වෛද්‍යවරු දාහත්දෙනයි. මෙරට භූමි ප‍්‍රමාණයෙන් 14% ක කැලෑ ප‍්‍රදේශයක ජීවත්වන වන සතුන්ට ප‍්‍රතිකාර ලබාදෙන්න පශු වෛද්‍යවරු දාහත්දෙනෙක් ප‍්‍රමාණවත්ද? මේ ගැටලූ ගැන රටේ ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයන් පවා දැනුවත්. ඒත් මේ ආයතනය දියුණු කරන්න බලයට පත් වෙච්ච කිසිම පාලකයෙක් අවධානය යොමු කළේ නෑ…’’

‘‘නිසි කළමනාකරණයකින් යුක්තව මේ ආයතනය පාරිපාලනය කර දියුණු කරනවා නම් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගන්න පුළුවන්. පාස්කු ප‍්‍රහාරයට පෙර වාර්ෂිකව මිලියන හයදාහසකට ආසන්න මුදලක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් මහ භාණ්ඩාගාරයට උපයා දීලා තියෙනවා. පාස්කු ප‍්‍රහාරයට පෙර යාල ජාතික වන උද්‍යානයේ පමණක් දෛනික ආදායම රුපියල් ලක්‍ෂ තිහත් පනහත් අතර මුදලක් ලැබුණා. මේ රටේ තව ජාතික වන උද්‍යාන කීයක් තියෙනවද? ඒ සෑම වන උද්‍යානයකින්ම සැලකිය යුතු ආදායමක් මහ භාණ්ඩාගාරයට ලබාදෙනවා. සතුන්ට කෑම, බීම දීලා ද? කැලෑව නඩත්තු කරන්න වියදම් කරලද? නෑ… නිකන්ම රජයට ලැබෙන ආදායමක්. ඒ නිසා මේ දෙපාර්තමේන්තුවට නිලධාරීන් බඳවාගැනීම, සේවකයන්ට සැලකීම ලොකු ගැටලූවක් නෙමෙයි. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මුදල් උපයන ආයතනයක්. ඒත් එම දෙපාර්තමේන්තුව මේ රටට කොච්චර වැදගත් ද යන්න තවම තක්සේරු කරලා නෑ. වන සතුන්ගේ වටිනාකම ගැන තක්සේරුවක් නෑ. වන සතෙක්ගේ වටිනාකම ගැන මේ රටේ මිනිසුන්ට අවබෝධයක් නෑ. රටේ බලධාරීන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙච්චර පහත් විදිහට සලකයි කියලා හිතුවා නම් එදා සුද්දා මේ ආයතනය පිහිටුවන්නෙත් නෑ…’’ රටේ ආර්ථිකයට නිහඬව දැවැන්ත සේවයක් කරන, එහෙත් කිසිම වටිනාකමක් නැති වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියන කතාවය අවසානය.

1937 වන සත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥා පනත හඳුන්වා දී ඇත්තේ ඉංග‍්‍රීසි ආණ්ඩුව විසිනි. මේ වන විට අවස්ථා පහකදී සංශෝධනය වී ඇති 1937 වන සත්ව හා රුක්ෂලතා ආරක්‍ෂක ආඥා පනත ‘වන සත්ව සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව’ බවට වෙනස් කර ඇත්තේ 1951 වර්ෂයේදීය. එම ආයතනයේ ආරම්භක ප‍්‍රධාන නිලධාරිවරයා ලෙස රාජකාරි කර ඇත්තේ සිරිල් වේල්ස් නිකලස් මහතාය. ඒ අනුව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේව යනු අවුරුදු හැත්තෑවක් පමණ වයසැති දෙපාර්තමේන්තුවකි. එම දීර්ඝ කාලය තුළ වන සත්ව සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඇති මෙහෙවර ද සුළු පටු නැත. එවැනි කීර්තිමත් දෙපාර්තමේන්තුවක් මේ සා පරිහානියට ලක්වීමට ඉඩහැර එම ආයතනික නිලධාරීන්ට රැකියාව එපාවෙන තැනට කටයුතු කිරීම අතිශය ඛේදජනක තත්ත්වයකි. වන සතුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ද ගැටලූවකි. එමෙන්ම කැලෑවේ ජීවත්වන වන සතුන්ගේ ජීවිත අදට ද ආරක්‍ෂා වී ඇත්තේ වනජීවී නිලධාරීන් නිසාය. ඔවුන් අකර්මන්‍යවීම තුළ දඩයක්කාරයන්, කැලෑ පාළුවන්, භූමි කොල්ලකරුවන් සක‍්‍රීය වන්නාහ. එවැනි පසුබිමක කුකුළු මස් ගානට දඩ මස් විකිණෙන බව සැබෑය. මහ කැලෑ ගිනිබත් වී පෞද්ගලික බූදල් බවට පත්වන බව ද සැබෑය. එම තත්ත්වය උදා වී, 14% ක වනජීවී සංරක්‍ෂණ ප‍්‍රදේශය අහිමි වනවා දැකීමට කැමති නම් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පරිහානියට පත්වීමට ඉඩහැර බලා සිටීම ගැටලූවක් නැත.

තරංග රත්නවීර

advertistmentadvertistment