වන හා වන ජීවීන් රකින්නට දිවි පුද කළ නිලධාරීන්ගේ කතාව

214

ශ‍්‍රී ලංකාවේ සොබා උරුමයන් ආරක්ෂා කරගැනීමේ මාහැඟි කාර්ය භාරයට උරදීමට ගොස් මේ දක්වා මෙරට වනජීවී සංරක්ෂණ නිලධාරීන් අසූ එකකට තම ජීවිත අහිමිවී ඇති බව පසුගියදා පළවූ නවතම විද්‍යාත්මක පර්යේෂණ පත‍්‍රිකාවක් මගින් අනාවරණය කර තිබේ.

 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන සහ වාර්තා අනුසාරයෙන් ලබාගත් දත්ත, ක්ෂේත‍්‍ර වනජීවී නිලධාරීන් සමග සිදුකළ සාකච්ඡා මගින් නිරවද්‍යතාවය වැඩිදුරටත් තහවුරු කරගැනීමෙන් පසු මරණය සිදු වූ දිනය, ස්ථානය, හේතුව ආදී කරුණ මෙම පර්යේෂණය මගින් විශ්ලේෂණය කර තිබේ. එම විශ්ලේෂණ ප‍්‍රතිපල ලෝක සංරක්ෂණ සංගමය (International Union for Conservation of Nature – IUCN)  මගින් වසරකට දෙවරක් පළ කරන ලොව ප‍්‍රකට විද්‍යා සඟරාවක් වන PARKS ජර්නලයේ නවතම කලාපයේ ඉකුත් නොවැම්බර් 30 දින පළ විය.

වන හා වන ජීවීන් රකින්නට  දිවි පුද කළ නිලධාරීන්ගේ කතාව


පර්යේෂකයන්ට අනුව මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුණු 1949 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා වනජීවී නිලධාරීන් අසූවක් තම රාජකාරි අතරතුර මෙරට සොබා උරුමයන් සංරක්ෂණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කර තිබේ. තවද එක් වනජීවී නිලධාරී මහතෙකු අතුරුදන් ලේඛනයට ඇතුළත්වී තිබේ. ඒ අනුව සාමාන්‍යයෙන් වසරකට එක වනජීවී නිලධාරී මහතෙකු මෙරට සොබා උරුමයන් සංරක්ෂණය වෙනුවෙන් දිවි දී තිබේ. මෙයින් සිදුවීම් 59ක් වනජීවී රක්ෂිත තුළ සිදුවී ඇති අතර ඉතිරිය වනජීවී රක්ෂිතවලින් බැහැරව සිදුවී ඇත. වනජීවී රක්ෂිත තුළ සිදුවී ඇති මරණවලින් 58ක්ම සිදුවී ඇත්තේ ජාතික උද්‍යාන තුළදී වන අතර විල්පත්තු, රුහුණ (යාල), කුමන, උඩවලව, මාදුරුඔය, වස්ගමුව, ගල්ඔය සහ අංගමැඩිල්ල යන ජාතික උද්‍යාන තුළදී එසේ රාජකාරි අතරතුර වනජීවී නිලධාරීන් ඝාතනයට ලක්ව තිබේ. තවද එක් මරණයක් වික්ටෝරියා-රන්දෙණිගල-රන්ටැඹේ අභයභූමිය තුළදී සිදුවී ඇත.

 මෙසේ මරණයට පත්වූ වනජීවී නිලධාරීන් තනතුරු දහයකට අයත් අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ වනජීවී නියාමක නිලධාරීන් අතරිනි. එම ගණන 34කි. තවද අඩවි සහකාර නිලධාරීන් 11ක් සහ අඩවි ආරක්ෂක නිලධාරීන් 10ක් ඝාතනයට ලක්වී තිබේ. රාජකාරි අතරතුර ඝාතනයට ලක්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා වන්නේ එවකට නැගෙනහිර වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ එම්.එම්.ඞී. පෙරේරා මහතාය. ඒ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මධ්‍යයේ කුමන ජාතික උද්‍යානයේ පරිපාලනය ස්ථාපනය කිරීමට දරන ලද ප‍්‍රයත්නයක් අතරතුර ත‍්‍රස්තවාදී වෙඩි ප‍්‍රහාරයකිනි. 1990 ජනවාරි මස කුඩුම්බිගල ප‍්‍රදේශයේ සිදු වූ එම අවාසනාවන්ත සිදුවීමෙන් තවත් වනජීවී නිලධාරීන් තිදෙනෙකුට ජීවිත අහිමි විය. තවද බංගලා භාරකරුවන් දෙදෙනෙක්, සහකාර බංගලා භාරකරුවෙක්, රියදුරන් හය දෙනෙක්, වනජීවී ක්ෂේත‍්‍ර සහකාරවරුන් තිදෙනෙක්, ස්වේච්ඡුා මාර්ගෝපදේශකයන් දෙදෙනෙක් සහ කම්කරුවන් එකොළොස් දෙනෙක් මේ දක්වා ඝාතනයට ලක්වී තිබේ.

 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර තිස් හතක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස දැනට විශ‍්‍රාම ලබා සිටින ගාමිණී විජිත් සමරකෝන් මහතාගේ මගපෙන්වීම යටතේ මෙම අධ්‍යනයට මූලිකත්වය ගෙන ක‍්‍රියාකර ඇත්තේ තරුණ සංරක්ෂණවේදියකු සහ වනජීවී පර්යේෂකයෙකු වන සුපුන් ළහිරු ප‍්‍රකාශ් මහතා ය. තවද මේ සඳහා මෙරට සිටින ප‍්‍රමුඛ වර්ගීකරණ සහ පරිසර විද්‍යා පර්යේෂකයෙකු වන සමීර සුරංජන් කරුණාරත්න, එක්සත් ජනපදයේ, හම්බෝල්ට් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය බුද්ධික මදුරප්පෙරුම සහ බි‍්‍රජ්වෝටර් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය තිලිණ සූරසිංහ යන මහත්වරුන් තම දායකත්වය ලබාදී තිබේ.

 ශ‍්‍රී ලංකාවේ වනජීවී නිලධාරීන් ඝාතනය වීම් වැඩිම සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙනි. නගරයෙන් ඉතා දුර බැහැර වනජීවී රක්ෂිත තුළ හුදෙකලාව තම රාජකාරිවල නිරතවූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් ත‍්‍රස්තවාදීන්ගේ පහසු ඉලක්ක බවට පත් විය. මෙරටදී එක් ස්ථානයකදී වනජීවී නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත්වන්නේද විල්පත්තු ජාතික උද්‍යාන මූලස්ථානයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙනි. 1985 මැයි මස 14 දින සිදු වූ එම බිහිසුණු මනුෂ්‍ය ඝාතන වැල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් 24 දෙනෙකුට තම ජීවිත අහිමි කළේය. එම වසරේ රුහුණ (යාල* ජාතික උද්‍යානයේ ගල්ගේ ප‍්‍රදේශයේදී අත්වැරදීමකින් ගිනිඅවියක් ක‍්‍රියාත්මක වීමෙන් රාජකාරියේ යෙදී සිටි වනජීවී නියාමක මහතෙකු මරණයට පත්වූ අතර වසරකදී වැඩිම වනජීවී නිලධාරීන් සංඛ්‍යාවක් රටට අහිමි වූ වසර ලෙස එම වර්ෂය ඉතිහාස ගත වෙයි. කෙසේ නමුත් මේ වන විට ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට රණවිරුවන් කටයුතු කිරීම නිසා වනජීවී නිලධාරීන් තුළින් එම අවදානම ඉවත්වී තිබේ.

 මෙරට වනජීවී නිලධාරීන්ට දෙවැනි විශාලතම ජීවිත අවදානම එල්ලවී ඇත්තේ වන අලි ප‍්‍රහාර හේතුවෙනි. මේ දක්වා නිලධාරීන් 20ක් වන අලි ප‍්‍රහාරවලට ලක්ව අකාලයේ මරු වැළඳගෙන තිබේ. එයින් බහුතරයක්ම (13ක්* සිදුවී ඇත්තේ වනජීවී රක්ෂිතවලින් බැහැර ප‍්‍රදේශවලය. අලි – මිනිස් ගැටුම මෙරට තීරණාත්මක පාරිසරික හා සාමාජීය ප‍්‍රශ්නයක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් ප‍්‍රමාණය සහ දෙවැනි වැඩිම මිනිසුන් ප‍්‍රමාණය මියයන රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇති බව මෙම අධ්‍යයනය ද සිදු කළ සුපුන් ළහිරු ප‍්‍රකාශ් මහතා ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින් 2020 වසරේදී අනාවරණය කෙරුණි. මෙරට අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ ප‍්‍රධාන වගකීම පැවරී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය. නමුත් මේ දක්වාම ඊට සාධනීය පිළියම් යෙදීමට බලධාරීන් අපොහොසත්වී ඇති අතර එහි ප‍්‍රතිපලයක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වකීය නිලධාරීන් ද විශාල සංඛාවක් අහිමිවී තිබේ. අලි පලවාහැරීම්, අලි ඇතුන් පරිස්ථාපනය කිරීම් සහ තුවාල ලැබූ අලි ඇතුන්ට ප‍්‍රතිකාර කිරීම් වනජීවී නිලධාරීන්ගේ සුලභ රාජකාරි අතරට ගැනෙන අතර එහිදී වන අලින්ගේ පහරදීම්වලට වනජීවී නිලධාරීන් නිරන්තරයෙන් ගොදුරුවේ. වන අලින්ට අමතරව වලසුන්, කුළු හරකුන් සහ කිඹුලන් පහරදීම නිසාද වනජීවී නිලධාරීන් එක් අයෙකු බැගින් මරණයට පත්වී තිබේ. මෙරට වනජීවී නිලධාරී මහතෙකු ප‍්‍රථම වරට රාජකාරි අතරතුර මරණයට පත්වී ඇත්තේ 1957 ජුලි මස විල්පත්තු ජාතික උද්‍යානයේදී වලසෙකු විසින් පහරදීම හේතුවෙනි. ඒ කේ. මැණික්රාල නම් නියාමක මහතෙකි.

 ලොව පුරා වනජීවී සංරක්ෂණ වෘත්තිකයන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත්වී ඇත්තේ වනජීවී ජාවාරම්කරුවන් සමග ඇති වූ ගැටුම්වලදීය. නමුත් ශ‍්‍රී ලංකාවේ එම තත්ත්වයේ යම්කිසි අඩුවක් පෙන්නුම් කරයි. අපේ රටට හිමි ස්වභාවික සම්පත් ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට දැරූ උත්සාහයන් වලදී වනජීවී නිලධාරීන් 15 දෙනෙකු මරණයට පත්වී තිබේ. වෙඩි තැබීමෙන් සිදු වූ මරණ 10ක්, පිහි ඇනුම් තුනක් සහ පහරදීම් දෙකක් ඒ අතර වේ. එම ඝාතන අතරින් 13ක් ම සිදුකර ඇත්තේ දඩයක්කරුවන් විසින් වන අතර වැලි ජාවාරම්කරුවන් එක් මරණයකට වගකිවයුතු බව අනාවරණය වී තිබේ. තවද එක් ඝාතනයක චූදිතයින් පිළිබඳව වාර්තා වී නැත.

 මීට අමතරව අත්වැරදීමෙන් ගිනිඅවි ක‍්‍රියාත්මකවීම, රිය අනතුරු සහ දියේ ගිලීම නිසා නිලධාරීන් පස් දෙනෙකුට ජීවිත අහිමිවී තිබේ. එසේම 1988/89 භීෂණ සමයේ විල්පත්තු ජාතික උද්‍යානයේ සේවයේ නියුතුව සිටියදී එක් වනජීවී නිලධාරී මහතකු ඝාතනයට ලක්වී ඇති අතර උඩවලව ජාතික උද්‍යානයේ සේවයේ නියුතුව සිටියදී එක් අයෙකු අතුරුදන් කර තිබේ.

 පර්යේෂකයින් විසින් තම අධ්‍යනයේදී අනාවරණය කරගත් කරුණු අනුව මෙසේ වනජීවී නිලධාරීන් ඝාතනය වීම වැලැක්වීම සඳහා සුදුසු නිර්දේශ කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ. ක්ෂේත‍්‍ර කාර්ය මණ්ඩලයේ උපරිම කාර්යක්ෂමතාවය ළඟා කර ගත හැක්කේ ආරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමෙන්, සමස්ත සේවක සංඛ්‍යාව වැඩි කිරීමෙන් සහ ඔවුන්ගේ සාමූහික ධාරිතාව ඉහළ නැංවීම සඳහා පවතින පුරප්පාඩු පිරවීමෙන් පමණි. වනජීවී සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ සංකීර්ණ ගැටලූ කළමනාකරණය කිරීමට වත්මන් සේවක සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවන බැවින් අමතර ශ‍්‍රම යෙදවුම් ප‍්‍රමාණනය කිරීම සඳහා පුළුල්, දීප ව්‍යාප්ත තක්සේරුවක් සිදු කිරීමට පර්යේෂකයන් නිර්දේශ කරයි.

 නිලධාරි පුහුණු කටයුතුවලදී විද්‍යාත්මක සහ විධිමත් අධ්‍යාපනයක් ලබාදිය යුතුය. උදාහරණයක් ලෙස, අලි – මිනිස් ගැටුම් විසඳීම සඳහා විශාල වනජීවීන් සංරක්ෂණය, වනජීවී හැසිරීම් සහ මානව මානයන් පිළිබඳ පුහුණුව ලත් නිලධාරීන් අවශ්‍ය විය හැකිය. අවදානම් නිරාවරණය සැලකිල්ලට ගනිමින්, ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා දැනට පවතින වේතනයන්, වඩා හොඳ වෛද්‍ය රක්ෂණ ප‍්‍රතිලාභ සහ රාජකාරියේ දී දිගු කාලීනව සිදුවන හානියකදී මූල්‍ය ආධාර ඇතුළත් වන පරිදි සංශෝධනය කළ යුතුය. ක්ෂේත‍්‍ර කාර්යාලවල යටිතල පහසුකම් (රථ වාහන, නවීන ගිනි අවි, වෙනත් උපකරණ) හා තාක්ෂණික යෙදුම් (වනජීවීන් ලූහුබැඳීමේ පද්ධති, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා සයිබර් යටිතල පහසුකම්* වැඩි දියුණු කළ යුතු අතර පුහුණු පහසුකම් ඉහළ නැංවීම මෙන්ම රාජකාරි නිල නිවාසවල තත්ත්වය උසස් කිරීමද සුදුසුය. ක්ෂේත‍්‍ර නිලධාරීන් මුහුණ දෙන අවදානම් තත්ත්වය කාලය හා භූගෝලීය වශයෙන් වෙනස් වේ. නිවැරදි ආරක්ෂක ක‍්‍රමවේද සැලසුම් කිරීම සඳහා ක්ෂේත‍්‍ර නිලධාරීන් අතර සිදුවන අනතුරු, ඔවුන් මුහුණ දෙන අනෙකුත් බරපතල තුවාල සහ ඔවුන් මුහුණ දෙන නව තර්ජන (නැගී එන සතුන් මගින් බෝවන ආසාදන වැනි* ලේඛනගත කර විශ්ලේෂණයන් සිදු කළ යුතු බව මෙම පර්යේෂණ කණ්ඩායමේ අදහසයි.

 ලොව ප‍්‍රකට විද්‍යා සඟරාවක් වන PARKS ජර්නලයේ නවතම කලාපය ඇසුරෙනි

advertistmentadvertistment
advertistmentadvertistment