වප් පොහොය හා කඨින පූජාව

656

ඇසළ අව පෑළවිය දා වස් එළඹුන භික්ෂූන් ප‍්‍රතිපත්ති පූජාවන් හි වඩාත් නියැළී සිටිමින් ජනතාව ද දහම් මගෙහි යෙදවීමට ක‍්‍රියා කිරීම පොදු ලක්ෂණයකි. තුන් මාසයක් වූ මේ වස් කාලය නිම කරමින් පවාරණ කටයුතු සිදුකරනුයේ වප් පුර පසළොස්වක පොහොය දිනයේ දී ය. විනය නියමය පරිදි වප් අව පෑළවිය දිනයේ සිට ඉල් පුර පසළොස්වක පොහොය දක්වා එකුන් තිස් දිනයන්ගෙන් එකක කඨින පින්කම් සිදුකිරීමේ අවස්ථාව උදාවෙයි. වප් පොහොයත් සමඟ එළඹෙන එම මාසය චීවර මාසය වශයෙන් හඳුන්වනුයේ කඨින චීවර පූජාවන් පැවැත්වීමට වෙන් වී ඇති හෙයිනි. මහමෙවුනා උයන මිහිඳු මාහිමියන් ප‍්‍රධාන භික්ෂූන් වෙත සඟ සතුකොට පූජා කිරීමෙන් පසු සම්බුද්ධ ශාසනය ලංකාවේ පිහිටියේ ද? යි දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මාහිමියන්ගෙන් විමසීය. ලාංකිකයකු මෙරටේ දී පැවිදිව, විනය හදාරා, විනය සංගායනා කරනතුරු සම්බුදු සසුන මෙරටෙහි නො පිහිටන බව මිහිඳු මාහිමියෝ ප‍්‍රකාශ කළහ. එයින් පසු අරිට්ඨ මහා ඇමැතියන් සමඟ පන්සියයක් පැවිදිව රහත් භාවය ලබා විනය හදාරා ථූපාරාමයට රැුස්ව එයින් අටසැට නමක් මුල්කොට විනය සංගායනා කළහ. වප් පොහෝ දිනක සිදු වූ මෙම සිදුවීමත් සමඟ සම්බුද්ධ ශාසනය සිරිලක මුල්බැස ගත් බව මිහිඳු මාහිමියෝ ප‍්‍රකාශ කළහ. බුදුරජාණන්වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට බැසීම (දේවාරෝහණය) සිදු වූයේද වප් පුන් පොහෝ දිනකදීය. ඒ දුටු අනන්ත අප‍්‍රමාණ සැදැහැවත්හු සාධුකාර දුන්හ. එසේම මෙම උතුම් දිනයේදී සිදු වූ තවත් වැදගත්ම සිදුවීමක් වනුයේ අනාගතයේ බුදුවන මෛත‍්‍රී බෝධිසත්වයන් වහන්සේ 500ක් පිරිවර සමඟ පැවිදි බිමට ඇතුළත් වීමය. වප් පොහොයට පසු එළඹෙන මාසය තුළ සිදු කෙරෙන කඨින පූජාව අන් පින්කම්වලට වඩා සුවිශේෂත්වයක් ගනී. යම් ආරාමයක භික්ෂු නමක් වස් එළඹීමෙන් අනතුරුව වප් පොහොය දක්වා වස් කඩා නොගෙන වැඩසිටියහොත් පමණක් කඨින පූජාවක් පිළිගත හැකිය. කඨින යන වචනයේ ඇත්තේ ‘දැඩි බව’ යන තේරුමයි. එම අරුථට ගැළපෙන සේ කඨින චීවරය ද වෙනත් චීවරයකට වඩා දැඩි, ප‍්‍රමුඛ ශක්තිමත් ස්වභාව ඇත්තකි. කඨින චීවරය රජෙකුගේ හෝ නායකයකුගේ ලක්ෂණ පෙන්වයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් අභිමත දිනක දී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම සිදු කළ හැකි වුවත් මෙම කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි වන්නේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයක දී එක් වරක් පමණෙකි. එය සුවිශේෂය. ධර්ම විනයානුකූලව වස් වැසූ එසේම වප් පොහෝදා මහා පවාරණය සිදු කළ උපසපන් භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ලංකාවේ පමණක් නොව ලොව ථෙරවාදී බෞද්ධ සෑම රටකම වප් පොහෝදා සිට ඊළඟ ඉල් පොහෝදා දක්වා වූ කාලය තුළ අසිරිමත් චිත්තාකර්ෂණීය වූ කඨින චීවර පූජා පිංකම පැවැත්වෙයි. මෙම අසිරිමත් චීවර මාසය සැදැහැවතුන් අතර ධාර්මික හැඟීම්, සාමූහික ක‍්‍රියාකාරකම්, අන්‍යොන්‍ය සුහදතාව, ධාර්මික විනෝදය සහ මනා සංවිධානශීලීත්වය මැනවින් මූර්තිමත් වන කාලවකවානුවක් ලෙස හඳුන්වා දිය හැකි ය. කෙසේ නමුත් වසංගතය නිසා වෙනදා මෙන් දීප්තිමත්ව මේ පිංකම පැවැත්වීමේ හැකියාව නැත. මන්ද මේ ස`දහා සහභාගි විය හැකි පිරිස සීමා කර තිබෙන නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment