වම්බටු සහ ගහල

1321

ආණ්ඩු පක්ෂය අර්බුදයකට මුහුණ පා තිබෙන මේ අවස්ථාවේදී විපක්ෂයේ බුද්ධිමය නිම්වළලූ ළිඳට ගලක් දැම්මාක් මෙන් පුළුල්වීමට පටන්ගෙන තිබේ. ඒවා ආණ්ඩුවේ ඇතැම් මෝඩ මන්ත‍්‍රීවරුන් ගහන ගොං කයිවාරු මෙන් නොවන පලදායි අදහස්ය. මේ වනවිට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයකු වූ ජනක තිස්ස කුට්ටිආරච්චි සිය ප‍්‍රකාශ මගින් අඩුම ගණනේ ඡන්ද ලක්ෂයක්වත් ආණ්ඩුවට අහිමි කර ඇත. ගොනුන් උම්බෑ හඬ නංවද්දී විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඉතා වැදගත් අදහසක් පළ කළේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නීති විද්‍යාලයට ඇතුළු වීමට ඉඩ සලසාදිය යුතු බව ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය. නීති විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ නිර්ණායකය ලෙස යොදාගත යුත්තේ එම මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගතකළ කාලය බවද ඔහු සඳහන් කළේය. සමහර මන්ත‍්‍රීවරුන් පාර්ලිමේතුවේ ගත කරන කාලය ගැන වෙන දවසක වෙනම කතා කරනු ලැබේ. ඊට පෙර අප සොයා බැලිය යුත්තේ පළපුරුදු නීතිඥයකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල මෙවැනි අදහසක් ප‍්‍රකාශ කළේ කෙසේද යන්නය. සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට බැනීම පමණක්ම කරති. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් කරන්නේ ඒවාට යටි ගිරියෙන් උත්තර සැපයීමය. මේ සාම්ප‍්‍රදායික ගාලගෝට්ටිය තුළ තනිව සිටින ලක්ෂ්මන් කිරිඇල්ල පලදායි ප‍්‍රකාශයක් කිරීම ගැන අපි ස්තුති කරමු. ඔහුගේ බුද්ධිය හදිසියේ අවදි වූයේ පහත සඳහන් සිද්ධිය හා සමාන සිද්ධියක් නිසාද? ගණිත විෂයට කිසිදු හැකියාවක් නැති මෝඩ පහේ ශිෂ්‍යයෙක් ඇමරිකානු පාසලක සිටියේය. දිනක් හෝටලයකට ගොස් ආහාර ගනිමින් සිටියදී ඔහුගේ හිසට අහක යන බෝතල් පහරක් වැදුනේය. ශිෂ්‍යයා සිහිසුන් වූ අතර නැවත නැගී සිටින විට ඇති දක්ෂ ගණිතඥයෙක් බවට පත්ව සිටියේය. බෝතල් පහර නිසා ඔහුගේ මොළයේ කිසියම් තැනක් නොහොත් ගණිත විෂයට අදාළ තැන උද්දීපනය වී තිබිණ. මෙය Sudden Saven Syndrome තත්ත්වයක් ලෙස හඳුන්වනු ලැබේ. මෙය මානසික තත්ත්වයකි. මේ පිළිබඳ පළමු විද්‍යාත්මක අර්ථකථනය දෙන ලද්දේ John Down නමැති බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරයකු විසින් 1862 දීය. එසේ වුවද මේ කතාව දැන ගැනීමෙන් පසු මේ රටේ දේශපාලනඥයන් ඔළු හප්පා ගැනීම හෝ බෝතල් පහරවල් හුවමාරු වන තැන්වලට කඩා පැනීම සිදු නොකළ යුතුය. මන්ද යත් බෝතල් පහරකින් මොළේ පෑදෙන්නේ එය හරි තැනට වැදුනොත් පමණි. එය වැරදි තැනට වැදුනොත් එක්කෝ මොළේ කොලොප්පන්ය. නැත්නම් මන්ත‍්‍රීතුමා මළවුන් අතරය.

මේ රටේ දේශපාලනය තුළ විශාල ගැටලූවක් තිබේ. එනම් උගතුන්ට වඩා නූගතුන් දේශපාලනයට පිවිසීමය. දේශපාලනයට පිවිසීම සඳහා ලංකාව සහ ඉන්දියාව වැනි රටවල කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැත. දේශපාලනයට එන එකා නම අත්සන් කරන්නට නොදන්නකු නම් දේශපාලනයට පැමිණි පසු නම අත්සන් කිරීම ඉගෙනගැනීමට ඔහුට හැකිය. පාර්ලිමේන්තුවේදී දේශපාලනඥයන් කරන කතා බහවල ප‍්‍රමිතිය වටහා ගැනීමට ඇති හොඳම උදාහරණය ජනක තිස්ස කුට්ටිආරච්චි පසුගියදා සජබ මන්ත‍්‍රිනී රෝහිනී කවිරත්න සම්බන්ධයෙන් කළ කතාවය. මේ කතාවේ ඩැමේජ් එක ඊළඟ ඡන්දයේදී බලාගැනීමට ආණ්ඩුවට පුළුවන. කිසියම් කෙනෙක් සංවිධානාත්මක සහ ක‍්‍රමවත් අධ්‍යාපනයක් ලබා ඇත්නම් කිසිදු තැනකදී විකාර කතා නොකරයි. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කවදාවත් විකාර කියවා නැත. මහාචාර්ය ජී. එල්. පීරිස් නිතරම කතා කරන්නේ නිශ්චිත ඉලක්කයකටය. ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති යනාදීන් කතා කරනු අසා සිටීම ඉතා ප‍්‍රියජනකය. ඔවුන් කතා කරන්නේ වම්බටු හෝ ගහල ගැන නොව අදාළ විෂය සම්බන්ධයෙන් පමණකි. හැබැයි ඔවුන් කුපිත කරනු ලැබුවහොත් ක්‍ෂණික ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර කට වාචාලයා බිම දැමීමට ඔවුන්ට පුළුවන. අනුර බණ්ඩාරනායක තරම් ශූර කතාකාරයෙක් ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සිටි බවට ආරංචියක් නැත. පාර්ලිමේන්තුවේ කතාවක් කිරීමට නියමිත වූ විට ඊට සතියකට පමණ පෙර සිට ඔහු පුස්තකාලවලට වැදී තම කතාවට අවශ්‍ය තොරතුරු එක්රැස් කර ගත්තේය. මේ මිනිසුන් සියලූ දෙනා සංවිධානාත්මක අධ්‍යාපනයක් ලැබූ අය වෙති. ඒ අතර නිසි අධ්‍යාපනයක් නැතත් දේශපාලන පළපුරුද්ද මත නිවැරදි දේ කතා කරන ගැමි දේශපාලනඥයෝද මේ රටේ ජීවත් වූහ. එයට හොඳම උදාහරණය ඞී. එස්. සේනානායකය. නිදහස් ලංකාවේ පළමු අගමැති වූ හෙතෙම නිතරම කතා කළේ එකල මේ රටේ බහුජන බලවේගය වූ ගොවිජනතාවගේ ආත්ම ධෛර්යය නඩත්තු කිරීමටය. ඞී. එස්. සේනානායක වැන්නෙක් යළි කිසි කලෙකත් පහළ නොවේ. නූතන සංස්කෘතික මොඩලය විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ දේශපාලන කතාකරුවන් නොව සංගීත සංදර්ශන නිවේදකයන්ය. මේ නිසා පාර්ලිමේන්තුවට එන මන්ත‍්‍රීවරයකුට විනයවත් කටක් පවත්වාගෙන යෑම සඳහා දැනුවත් මොළයක් අවශ්‍ය ය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නීති විද්‍යාලයට ඇතුළත් විය හැකි වීමේ වරප‍්‍රසාදයක් 1970 ගණන්වල තිබිණ. මහින්ද රාජපක්ෂ මෙයින් උපරිම ඵල නෙළාගෙන නීතිඥයකු බවට පත්විය. මේ වරප‍්‍රසාදය පසුකාලයේදී අත්හිටුවන ලද අතර එය කවර කුහකකමක් නිසා සිදුකළේ දැයි අපි නොදනිමු.

පාර්ලිමේන්තුවේ සැලකිය යුතු කාලයක් ගත කරන මන්ත‍්‍රීවරයකුට හෝ මන්ත‍්‍රීවරියකට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ වරප‍්‍රසාදය ලබාදීම වුව ඉතා සුදුසුය. එය ඔවුන්ගේ වයස නොසලකා කළ යුත්තකි. අධ්‍යාපනය ලැබීමට කිසිදු කෙනෙක් ලජ්ජා විය යුතු නැත. 2019 දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක නැවත වතාවක් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේය. එවිට ඔහුගේ වයස අවුරුදු 56 කි. රන්ජන් එසේ කළේ ඔහුට එරෙහිව නඩු රාශියක් තිබුණු බැවින් ඒවාට පෙනී සිටීම සඳහා නීතිඥයකු වීම පිණිස නීති විද්‍යාලයට යන අරමුණිනි. එහෙත් ඊට අවුරුද්දකට පමණ පසු එම දුප්පත් කොල්ලා හිරේ යෑම නිසා නීති විද්‍යාල ගමන නැවතින. සමහරවිට හිරගෙදර තුළදී ඔහු ඉගෙනගන්නවා ඇති. හිරගෙදර තුළ ඉගෙනගෙන විභාගවලට පෙනී සිට නිදහස ලැබූ පසු අධ්‍යාපන තලයේ ඉහළම තැන් වලට ගිය අය මේ ලෝකයේ සිටිති. මේ රටේ දේශපාලනය හද්ද මෝඩයන්ගෙන් පිරුණු තැනකි. එම මෝඩකම 100% ක්ම නැතිකළ නොහැකි නමුත් නිසි අධ්‍යාපනය මගින් 50% ක් පමණ නැතිකළ හැකිය. උගත්කම සහ ප‍්‍රඥාව යනු දෙකකි. මේ දෙකම එකට පිහිටන අවස්ථා විරලය. දෙකම එකට නොපිහිටියත් ඒ දෙකෙන්ම ටික ටික තිබුණොත් ජීවිතය ගොඩදමාගෙන හැකර කටවල් වසාගෙන අනිත් අයට වාත නොවී ජීවත්වීමට පුළුවන. මේ රටේ දේශපාලඥයන් සමාජයට සේවයක් නොකළාට කමක් නැත. පොතක් පතක් කියවා සමාජයට හානියක් නොකර සිටියොත් එය හොඳටම ප‍්‍රමාණවත්ය.

advertistmentadvertistment