වයසට ගියත් අංගම්පොරයෙන් කර අරින්නේ නෑ… පාරම්පරික අංගම්පොර ශිල්පී සෙනෙවිරත්න

448

රාවණා යුගයේ සිට මේ දක්වා දිවයන අප‍්‍රකට ඉතිහාසය ගත් කල දේශයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක බළඇණියක් ලෙසින් කි‍්‍රයාත්මක වූ සටන් ශිල්පයක් ලෙස අංගම්පොර සටන් කලාව හැඳින්විය හැක. එදා රාවණා රජුන් ඇතුළු සිහල රාජාවලියේ එන සියලූ ම රජවරුන් පෘතුගීසි, ඉංගී‍්‍රසි, ලන්දේසි ආක‍්‍රමණ හමුවේ දේශයේ ආරක්ෂාව සහ රජයේ ආරක්ෂාව වෙනුවෙන් මහා දැවැන්ත කාර්යභාරයක් එදා සිටි අංගම්පොර සටන් ශිල්පීන් විසින් ඉටුකළ බව ඉතිහාසය විසින් සාක්ෂි දරනු ඇත.

එදා මුතුන්මිත්තන් ගිය අඩි පාරේ යමින් වර්තමානය තුළ ද අනාගතය උදෙසා ද අංගම්පොර සටන් ශිල්පීන් බිහිකරමින් අංගම්පොර ශිල්පය දිවි දෙවෙනි කොට ආරක්ෂා කළ අංගම්පොර ශිල්පියකු වේයන්ගොඩ මොට්ටුන්න ප‍්‍රදේශයේදී අපට මුණගැසිණ. එනම් පසුගිය දිනෙක ශී‍්‍ර ලාංකේය විශිෂ්ට පුරවැසියන් අගයමින් පිරිනැමෙන රාජ්‍ය සම්මාන උළෙලේදී ආර්. ඒ. සෙනෙවිරත්න රණවීර නම් මෙම සටන් ශිල්පියා කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබී ය. ඒ අනුව අතීතයේ අත්දැකීම් සමගින් මෙම ශිල්පියා සමග දොඩමළු වීමට අපට අවස්ථාව හිමි වූහ.

එම කතාබහට ප‍්‍රවේශයක් ලෙස ඔහු අංගම්පොර සටන් කලාවට ප‍්‍රවිෂ්ට වූ ආකාරය පිළිබඳව අප විසින් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර සිටියේ තම මුත්තනුවන්ගේ මඟ පෙන්වීම යටතේ ඔහු එම සටන් කලාවට පිවිසුණ බවය. එහිදී වැඩිදුරටත් එම අතීතය සිහිපත් කළ අංගම්පොර ශිල්පී ආර්. ඒ. සෙනෙවිරත්න මහතා මගේ මුත්තණුවන් මේ සටන් කාලව පිළිබඳ ඇසූ පිරූ තැන් ඇති අයෙක්. ඔහු මට මේ ශිල්පය පුරුදු පුහුණු කළා පමණක් නොවෙයි. සංවරශීලීව ජීවත් වන ආකාරයත් පුරුදු පුහුණු කළා. ඒ මොකද කියනවා නම් මම පොඩි කාලේ පාසල් ගිහින් එද්දී හැමදාම කවුරු එක්ක හරි රණ්ඩු වෙනවා. ඉතින් අම්මට තාත්තට හැමදාම කාගෙන් හරි පැමිණිල්ලක් තියෙනවා උඹලගේ පුතා අපේ කොල්ලට ගැහුවා කියලා. ඒ නිසා අපේ තාත්තා මාව මේ ශිල්පය ඉගෙනීමට යොමු කළා. විශේෂයෙන් තාත්තා එහෙම කළේ මගේ පෞරුෂය වර්ධනය කිරීමට සහ යම් පාලනයක් ඇති කිරීමට කියලයි මා අදටත් විශ්වාස කරන්නේ.

වයසට ගියත් අංගම්පොරයෙන් කර අරින්නේ නෑ… පාරම්පරික අංගම්පොර ශිල්පී සෙනෙවිරත්න

සෙනෙවිරත්න මහතා ඔහුගේ පාසල් ජීවිතය සම්බන්ධයෙන් ද මෙසේ තම ජීවිතයේ රසමුසු තැන් පිළිබඳව අප හා දොඩමළු විය.

මගේ මුල්ම පාසල කුඹල්ඔළුව විද්‍යාල ය. පසුව වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී බොක්සිං, රෙස්ලිං වැනි සටන් ශිල්ප ඉගෙන ගන්නත් මල්ලවපොර ශිල්පය ඉගෙන ගන්නත් අවස්ථාව ලැබුණා. කරුණාතිලක ගුරුතුමා තමයි මල්ලවපොරෙ ශිල්පය ඉගැන්නුවේ. දැන් මට වයස අවුරුදු අසූඑකක්. මගේ තරුණ කාලෙදී මේ ප‍්‍රදේශයේ නොහික්මුණු පිරිසක් හින්දා මේ පළාතෙට මිනිස්සු බයෙන් ජීවත් වුණේ. ඒ ප‍්‍රශ්නය මේ පළාතට ම ලොකු හිසරදයක් වෙලා තිබුණේ. ඒ හින්දම මේ සටන් ශිල්පය ඉගෙන ගන්න ඕන කියන උවමනාව වැඩි වුණා. මට අවුරුදු විසිඑකක් වෙනකොට අංගම්පොර සටන් කලාව උගන්වන්න පටන් ගත්තා. ඒ වෙනකොට මම මේ ශිල්පය හොඳින් අධ්‍යයනය කරලයි තිබුණේ. වේයන්ගොඩ තැපැල් කාර්යාලය අසල පුද්ගලික පාසලක් තිබුණා. එතැනට විශාල ශිෂ්‍ය පිරිසක් ඉගෙන ගන්න ආවා මා ළඟට. ඒ අතරවාරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබුණා. රැකියාව කරන ගමන්ම බොහොම ගෞරවයකින් ආරක්ෂා කරගෙන අනිත් අයට ඉගැන්වීම් කටයුතු කළා. ඉතින් මේ ශිල්පය උගන්වන්න ගිහින් මට බොහෝ කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අංගම්පොර සටන් ශිල්පය උගන්වන්න කියලා පොලිසි ගානේ යන්නත් සිද්ධ වුණා. නීති විරෝධීයි කියලා නඩු දැම්මා. සමහර අවස්ථාවල මාව මරන්න පවා සැලසුම් කරලා තිබ්බා. එවකට හිටපු ආරක්ෂක ඇමැති ලක්ෂ්මන් ජයකොඩි මහත්තයාට මම ගිහින් කිව්වා. එතුමා පොලිසියට කියලා තිබුණා මට කරදර කරන්න එපා කියලා යැයි සෙනෙවිරත්න මහතා සිනහාවෙන් යුතුව අප හා පැවසීය.

වයස අවුරුදු 21ක් ගත වීමත් සමග අංගම්පොර ශිල්පය පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් සහ පුහුණුවක් ලද සෙනෙවිරත්න මහතා ඉන් අනතුරුව තමන් විසින් ප‍්‍රගුණ කරන ලද ශිල්පය තවත් පිරිසක් වෙත ප‍්‍රදානය කිරීමේ අරමුණින් සටන් උපදේශකයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කර ඇත. අංගම්පොර සටන් කලාව යනු කුමක්ද යන්න පිළිබඳව අප විසින් විමසීමක් කරන ලද්දේ ඒ පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන්ය.

ඇෙඟ් හරඹ කියන එක තමයි අංගම්පොර කියන්නේ. අංගම්, ඉලංගම්, මායා අංගම්, වෛද්‍ය ශාස්ත‍්‍ර කියලා විවිධ කොටස්වලට මේ සටන් ක‍්‍රමය බෙදෙනවා. ඒ වගේ සුවිශේෂී සටන් ක‍්‍රම මහනුවර රාජධානිය යුගයේ තිබිලා තියෙනවා. අංගම්පොර සටන් ක‍්‍රමය කියන්නේ ජානවලින් බද්ද වූ දෙයක්. මේ ශිල්පය රැක ගැනීමට, ආරක්ෂා කර ගැනීමට, දැනුමින් පෝෂණය කර ගැනීමට, මනස නිරවුල්ව තබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම අපේ මේ සටන් ක‍්‍රමය නිසා එදා – සුද්දා සිංහලයාට හොඳට ම බය වුණා. ඉංගී‍්‍රසි පාලන සමයේ එනම් 1818 ගිවිසුම හරහා අංගම්පොර සටන් ක‍්‍රමය තහනම් කරන්න නියෝග කළා. ඒ වගේම මේ ශිල්පය දන්නා අයට දණහිසෙන් පහළට වෙඩි තියන්නත් ඔවුන්ගේ උඩුකය නිර්වස්ත‍්‍ර කරන්නත් නියෝග කරලා තියෙනවා. මේ ශිල්පීන් පරාජය කරන්න සුද්දා නොයෙක් උපක‍්‍රම යොදලා තියෙනවා. නමුත් මේ ශිල්පීන් ඉතාමත්ම ශක්තිමත් පිරිසක්. එදා පෘතුගීසි, ඉංග‍්‍රීසි, ලන්දේසි මේ සියලූ ආක‍්‍රමණ හමුවේ දේශය ආරක්‍ෂා කිරීමට ආරක්‍ෂක බළඇණියක් හැටියට පැවතුණ සටන් කලාවක් තමයි මේ අංගම්පොර සටන් කලාව. සුද්දා එදා තේරුම් ගත්තා කිසිම අවස්ථාවක සටන් කරලා සිංහලයා පරද්දන්න බැහැ කියලා. ඒ නිසා තමයි මේ රටේ භෞතික සම්පත්, වැව් අමුණු එදා තිබුණු ඒ සංකල්ප විනාශ කරන්න කටයුතු කළේ. නමුත් එදා ගිවිසුම් ගහපු බලලෝභී පිරිසක් එකතුවෙලා මේ රට පාවලා දීපු නිසා තමයි සිංහලයාට එදා අකමැත්තෙන් වුවත් යටත් වෙන්න සිද්ධ වුණේ.

ඒ වගේම අංගම්පොර සටන් කලාව මහනුවර රාජධානිය කාලේ තිබුණා කියලා පොත පතේ සඳහන් වෙනවා. එදා පැවතුණ ගුරුකුල හරහා කොතරම් තහනම් කළත් මේ සටන් ක‍්‍රමය සිංහලයාගේ ජානවලට බද්ද වෙලා තිබුණා. මේ ශාස්ත‍්‍රය තමන්ගේ හැකියාව අනුව තම තමත් තනියම හොර රහසේම ආරක්‍ෂා කරගෙන පවත්වා ගෙන ගියා. ඒ වගේම අංගම් කියන ශාස්ත‍්‍රය තුළ පා පහරවල් දීමේ ක‍්‍රමවේද තියෙනවා. හරස් කුටිය, චොල්ලය, වැලමිටි පහර, දණහිස් පහර, ඇතුල් පහර, පිටපහර ආදී සුවිශේෂී නම්වලින් හැඳින්වෙන සිංහල පා පහරවල් ගණනාවක් තියෙනවා. ඒ වගේම හැම ශාස්ත‍්‍රයකම බෝර ගැටේ, ආදි ගැට ගණනාවක් පොලූ හරඹ, කඩු හරඹ ආදි ක‍්‍රමෝපායන් තියෙනවා. මායා අංගම්වල එන නිල ශාස්ත‍්‍රයන් විශේෂ අවස්ථාවලදී භාවිතයට ගැණුනු අවස්ථා තිබෙනවා. එදා දුටුගැමුණු එළාර යුද්ධෙදීත් ‘‘ජයෝ මුනින්දස්ස සුබෝධි මුලේ’’ කියන ආරක්‍ෂක ගාථාව මතුකරමින් දුටුගැමුණු රජතුමා කටයුතු කළ බව ඉතිහාසය තුළ සඳහන් වෙනවා. ඒ අනුව මේ ශාස්ත‍්‍රය අඩු වැඩි වශයෙන් රැකගෙන ආරක්‍ෂා කරගෙන මේ පරම්පරාවට විතරක් නෙමෙයි ඊළ`ග පරම්පරාවටත් මේ ශාස්ත‍්‍රය දායාද කරන්න මේ වනවිටත් අපි කටයුතු කරමින් සිටිනවා. මගේ දරුවෝ උසස් අධ්‍යාපනය හදාරලා මේ වනවිට නීතිඥවරු වශයෙන් කටයුතු කරනවා. එයාලා මේ සටන් කලාව ප‍්‍රගුණ කරලයි තියෙන්නේ. මින් ඉදිරියට මේ ශිල්පය ඉදිරියට පවත්වා ගෙන යන්න මගේ දරුවෝ ඉදිරිපත් වෙලා සිටින එකම මට ලොකු ආඩම්බරයක්.

අංගම්පොර සටන් කලාව පිළිබඳව දීර්ඝ විස්තරයක් සිදුකළ අපගේ කථානායකවරයාගෙන් තවත් බොහෝ දේ දැන ගත යුතුව ඇත. මේ ශාස්ත‍්‍රය ආත්මාරක්‍ෂාවට ද නැතිිනම් ජාතියේ ආරක්‍ෂාවට ද යන්න පිළිබඳව ඔහුගෙන් විමසා සිටියේ එම අරමුණින් යුතුවය.

වයසට ගියත් අංගම්පොරයෙන් කර අරින්නේ නෑ… පාරම්පරික අංගම්පොර ශිල්පී සෙනෙවිරත්න

යුද සටන් කලාවක් විදියටයි මෙය පැවැතෙන්නෙ. ඒ යුද සටන් කලාවේ එක කොටසක් තමයි මේ ආත්මාරක්‍ෂක සටන් කලාව. මේක ක‍්‍රීඩාවක් හැටියට අර්ථ දක්වලා තියෙනවා. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වුණාට ක‍්‍රීඩාවක් විදිහට අර්ථ නිරූපණය කරන එක වැරදියි. විශේෂයෙන් අධ්‍යාත්මික පැත්තට බරව තමයි මේ සටන් ක‍්‍රමය පැවැත එන්නේ.

මේ සටන් කලාවේ පැවැත්ම පිණිස රජයේ අවධානය කොතෙක් දුරට යොමු වී ඇති ද? එය ප‍්‍රමාණවත් මට්ටමක පවතී ද යන්න පිළිබඳව අප කළ විමසුමකට තරමක් කලකිරීම් සහගත හඬින් පිළිතුරු දුන් සෙනෙවිරත්න මහතාගේ කට හඬෙහි වූයේ මෙම සුවිශේෂී සටන් කලාව පිළිබඳව රජයේ ප‍්‍රමාණවත් අවධාණය තවමත් යොමු වී නොමැති බවත්ය.

ඇත්තට ම මේ ශිල්පය දශක ගණනාවක ඉඳලා මේ මොහොත වනතෙක්ම තහනම් කරපු සටන් ක‍්‍රමයක්. 1818 වසරේ මේ සටන් කලාව සුද්දා තහනම් කළාට පස්සේ අපට නිදහස ලැබුණත් තහනම ඉවත් කරන්න මේ බලධාරීන් කිසිම කෙනෙක් කටයුතු කළේ නැහැ. මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා, දේශද්‍රෝහීන් හැටියට සුද්දා විසින් ්තහනම් කරපු මේ අපේ සටන් කලාව මින් ඉදිරියට ඔවුන් දේශද්‍රෝහින් නොවේ කියලා ගැසට් පත‍්‍රයක් ගැහුව එක විතරයි කළේ. අපගේ තිබුණ උක‍්‍රමශීලී පහරදීම් දරා ගන්න බැරි නිසයි සුද්දා එදා අපේ සටන් කලා ක‍්‍රමය තහනම් කරන්න කටයුතු කළේ. අංගම්පොර සටන් ශිල්පය යනු ශාරීරික හරඹයක් මෙන්ම අධ්‍යාත්මිකව වැඩි දියුණු කළ මනසක් සහිතව හැදෑරිය යුතු ශිල්පීය සටන් කලාවකි. එහිදී පාරම්පරික අංගම්පොර සටන් ශිල්පීන් විසින් කුණ්ඩලනී ශක්තියට මුල්තැනක් ලබාදෙන බව ජනප‍්‍රවාදයේ සඳහන් කරුණකි. කුණ්ඩලනි ශක්තිය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියේ මිනිසා තුළ පවතින ශක්තීන් අතරින් කුණ්ඩලනී ශක්තිය ඉතා වැදගත් බවත් එය අවදි කිරීම පිණිස අධ්‍යාත්මික වශයෙන් දැවැන්ත පිබිදීමක් අවශ්‍ය බවත්ය.

‘‘කුණ්ඩලනී ශක්තියෙන් පුළුවන් මිනිසෙක් සම්පූර්ණ කරන්න. සැබෑ මිනිසා කියන්නේ ඇ`ගට නෙවෙයි හිතේ ශක්තියට යි. මිනිසා තුළ ශක්තීන් දහයක් තිබෙනවා. ඒ ශක්තීන් අවදි කිරීම ඉතාම වැදගත්. එයට විශාල පරිශ‍්‍රමයක් දරන්න සිදු වෙනවා. ඒ වගේම තමන් කවුද කියලා දැන ගන්න නම් මිනිසාට සිත එක්තැන් කිරීමේ භාවනා පුරුදු පුහුණු කරන්න වෙනවා. එදා රාවණා රජතුමා කුණ්ඩලනී ශක්තිය අවදි කරපු කෙනෙක්. ගුවනේ යන වාහන හදන්නත් වතුරේ යන වාහන හදන්නත් එතුමාට විශාල ශක්තියක් තිබුණා.

අධ්‍යාත්මික වශයෙන් සිත පුරුදු පුහුණු කිරීම තුළින් කුණ්ඩලනී ශක්තිය අවදි කළ පුද්ගලයන් අතීතයේ සිටි බව පොත පතෙහි සඳහන් වෙනවා වගේම එයට උදාහරණ ඕනෑ තරම් ඉතිහාසය තුළ සඳහන් වෙනවා.

මුළුමනින් ම දේශීය සටන් කලාවක් ලෙස යුග යුග නිරුපද්‍රිතව පැවැති අංගම්පොර සටන් කලාවේ ඉතිහාසයත් වත්මන් මුහුණුවරක් පිළිබඳ නිවැරදි අවබෝධයක් ඉහත සඳහන් කරුණු ඇසුරින් ලබාගත හැක. ක‍්‍රමයෙන් වළපල්ලට යන සටන් කලාවක් බවට පත්ව ඇති අංගම්පොර ශිල්පය මතු පරපුර පිණිස ආරක්‍ෂා කිරීම පවත්වා ගෙන යෑම පිණිස වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොවන්නේ නම් එම සටන් කලාවට පමණක් නොව ඉතිහාසයට ද කරන බලවත් අකටයුත්තක් වනු ඇත. අපගේ කතාබහ අවසන් කිරීමට මත්තෙන් තවත් කරුණක් පිළිබඳව ඔහුගෙන් විමසීමක් කරන ලදී. එහිදී අප විසින් විමසා සිටියේ වත්මන් තරුණ පරපුර මෙම සටන් කලාව පිළිබඳ වැඩි අවධාණයක් යොමු නොකරන්නේ මන්ද යනුවෙන්ය.

ඇත්තට ම මේ සටන් කලාව ඉගෙන ගන්න අමාරුයි. ඒ වගේම හැමෝට ම උගන්වන්නෙත් නැහැ. ඒකට යම්කිසි හික්මීමක් තිබිය යුතුයි. ඒ ඒ පුද්ගලයාගේ පැවැත්ම කොයි ආකාරයද, ගති පැවතුම් කොයි වගේද යන්න සොයා බලා කේන්ද්‍රය පරීක්‍ෂා කරලා තමයි මේ ශාස්ත‍්‍රය ඉගැන්වීම ආරම්භ කරන්නේ. එහෙම නොවුණහොත් මේ ශිල්පය අයුතු විදිහට ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්. මේක අපගේ සිංහල සටන් ක‍්‍රමයක්, අනෙකුත් සටන් ශිල්ප පුරුදු පුහුණු වෙන්න ගියොත් ඒ ඒ රටවල්වල තිබෙන සංස්කෘතියක් එක්ක තමයි සටන් ක‍්‍රමය පුහුණු වෙන්න වෙන්නේ, ඒ වගේම අංගම්පොර සටන් ශිල්පියෝ අද ඕන තරම් ඉන්නවා. නමුත් එහෙම අය හිටියට ශිල්පය සම්පූර්ණ කරගෙන නැහැ. සමහරු කඩු හරඹ දන්නේ නැහැ. සමහරු පොලූ හරඹ දන්නේ නැහැ. සමහරු ගැට සහ නිල ශාස්ත‍්‍රය දන්නේ නැහැ. ඒ වගේම මේ සටන් කලාව පුරුදු පුහුණු වුණාට මදි. අධ්‍යාත්මිකව හිත පුහුණු කිරීමත් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. එයින් අනාගතයේදී සම්පූර්ණ මිනිසකු කිරීමේ හැකියාව තිබෙනවා. සහ පළ ප‍්‍රයෝජන ගැනීමටත් පුළුවන්කම ලැබෙනවා යැයි ඔහු අවසන් වශයෙන් අප හා සඳහන් කර සිටියේය.

විශේෂ ස්තුතිය නීතිඥ මේජර් ප‍්‍රසාද් සෙනෙවිරත්න, ලහිරු අරවින්ද සහ මහේෂ් ජයරත්න යන මහත්වරුන්ට

සටහන සහ ඡායාරූප
සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment