වරදක් වුණා නම් ගෙවන්න වෙන වන්දිය හිතා ගන්නවත් බැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

2042

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තියෙන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලය යටතේ
මිසක් ආසියානු ක්‍රිකට් කවුන්සිලය තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ නොවේ

තීරණය ගත්ත අන්තිම දවසෙත් රටේ හැමතැනම තෙල් පෝලිම් තිබුණා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අරාබි වැලිකතර උණුසුම් වීමට ඇත්තේ තවත් දින කිහිපයකි. එහෙත් ඊට මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය එම තරගාවලිය හරහා උණුසුම් විය. ඒ පාර්ලිමේන්තුවේදීය. අනතුරුව මාධ්‍ය හමුවකදීය. තවත් වරෙක ජාතික ක්‍රීඩා සභාව පිහිටුවීම නිමිත්තෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදීය. එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති උත්සවයේදී ක්‍රීඩා ඇමැතිවරයා කළ ප්‍රකාශයකින් ද, පාර්ලිමේන්තුවේ සහ මාධ්‍ය හමුවේදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකින් ද ක්‍රිකට් පිටිය උණුසුම් විය. එහි නිමිත්ත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යෑමයි. දෝෂාරෝපණය එල්ල වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටයි. මේ එම චෝදනාවට යටත් වූ ප්‍රබල පාර්ශ්වකරුවෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා සමග අප පැවැත්වූ සාකච්ඡා සටහනයි.

ප්‍රශ්නය – රටට හිමි විය යුතු ඩොලර් මිලියන 50ක පමණ මුදලක් මේ බිමට අහිමි කළ ආයතනයක් ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තමන් චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගියදා පැවසූවා. ඔහු මේ චෝදනාව කරන්නේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වා එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යෑම පිළිබඳවයි. මේ චෝදනාව සම්බන්ධයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ?

පිළිතුර – ඒ චෝදනාව බරපතළයි. හැබැයි චෝදනාවක් කරන කොට ඒවා ඔප්පු කරන්නත් පුළුවන් වෙන්න ඕන. මේ තරගාවලිය ලංකාව තුළ පවත්වන්න අපි ගත්ත උත්සාහයන් දන්නේ අපි පමණයි. පසුගිය 23 වැනිදා වෙනකම් අපි ඒ සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරුවා. ඒත් අපේ රටේ තත්ත්වය හොඳ වුණේ නැහැ. ඒ බව ජාත්‍යන්තරය දැනගත්තා. ආසියානු ක්‍රිකට් කවුන්සිලය රටේ තත්ත්වය ගැන නිරන්තර විමසිල්ලෙන් සිටියා. අපිට ඒ තත්ත්වය හංගන්න පුළුවන් වුණේ නැහැ. ඒ වගේම රටේ තිබුණු සැබෑ තත්ත්වයටත් වඩා නරක දේවල් උලුප්පා පෙන්වමින් ඇතැම් මාධ්‍ය ක්‍රියා කර තිබුණා. ඒ හැම දේකින්ම වුණේ ආසියානු කුසලාන තරගාවලිය අපේ රටෙන් ඈත්වීමයි. ඒ සමගම තරගාවලිය අපේ රටේ පවත්වන්න දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ එය පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.

ප්‍රශ්නය – රට අගාධයට වැටී ඇති මොහොතක ආසියානු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට හිමිවීම ආශිර්වාදයක්. එහෙම තරගාවලියක් අපෙන් ඈතට යද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලෙස ඔබ ඊට යම් බලපෑමක් නොකළේ ඇයි?

පිළිතුර – අවසාන තීරණය ගත්තට පස්සේ නැවත බලපෑම් කරන්න පුළුවන්කමක් අපට නැහැ. ආසියානු ක්‍රිකට් කවුන්සිලය අපට වඩා ගොඩක් බලවත්. සාමාජිකයන් සියයකට වැඩි ආසියානු ක්‍රිකට් කවුන්සිලය හමුවේ අපි තවත් එක් සාමාජිකයෙක් පමණයි. කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒත් බලපෑම් කරලා හෝ මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වා යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් කවුද වගකියන්නේ? අද ඔය කතා කරන ඔස්තාර්ලා කවුරුවත් ඒවට උත්තර දෙන්න එන ඒකක් නැහැ. ඒවාට උත්තර දීමත් වන්දි දීමත් දෙකම කරන්න වෙන්නෙ අපට පමණයි. ඒ වගේම තරගාවලිය මෙරට පවත්වා යම් වරදක් වූවා නම් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකාවෙන් ගෙවන්න වෙන වන්දිය හිතාගන්නවත් බැහැ.

මොකද ආසියානු කලාපයේ තම සංවර්ධන කටයුතු සඳහා මුදල් උපයා ගැනීමේ ප්‍රධානම ඉසව්ව විදිහට තමයි ඔවුන් මේ ආසියානු කුසලාන තරගාවලිය පවත්වන්නේ. ඩොලර් මිලියන විශාල ප්‍රමාණයක ආදායමක් ඔවුන් තරගාවලිය පැවැත්වීමෙන් බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – එහෙත් දැන් රටේ තත්ත්වය යහපත් අතට පත්වෙලා තිබෙනවා. ඒ වගේම මීට වඩා අර්බුදකාරී තත්ත්වය තුළත් පකිස්තානය සහ ඔස්ටේ්‍රලියාව ශ්‍රී ලංකාවේ සාර්ථක තරග සංචාරයක් නිමා කළා. ඒ අත්දැකීම් හමුවේ අපට ඉදිරියට යන්න පුළුවන්කම තිබුණා නේද ?

පිළිතුර – ඔව්. දැන් නම් යමෙකුට හිතෙන්න පුළුවන් ආසියානු කුසලාන තරගාවලිය නොවෙයි ලෝක කුසලාන තරගාවලියක් වුණත් මේ රටේ පවත්වන්න පුළුවන් කියලා. ඒත් මීට මාස 2ක් පමණ ඔබ අතීතයට යන්න. මේ රට එදා තිබූ තත්ත්වය ඔබට මතකද? රාජ්‍යයේ ප්‍රධානම පරිපාලන ආයතනය වූ ජනාධිපති ලේකම් කාර්යාලය මාස ගණනාවක් තිස්සේ යම් පිරිසකගේ සෙල්ලම් මඩුවක් වී තිබුණා. අනතුරුව රටේ අංක එකේ පුරවැසියාට නිල බලයෙන් හිමිවන ජනාධිපති මන්දිරය ද අරගලකරුවන් අල්ලා ගත්තා. රටේ පිරිසක් එසේ ජනාධිපති පුටුවේ වාඩි වී සෙල්ෆි ගහද්දි මේ රටේ තිබුණු තත්ත්වය මතකද? ඔබ ඇයි අද ඉපදුනා වගේ කතා කරන්නේ?

ඒ වගේම මතක නැද්ද අගමැතිවරයාගේ නිල නිවසට ගිනි තිබ්බා. මෙරට ගෝත්‍රික රටක් වගේ නේද තිබුණේ? එවැනි පිරිස් සහ ඊට විරුද්ධ වූ පිරිස් අතර කොතරම් ගැටුම් තිබුණද? මිනිස් ජීවිත 8ක් අහිමි වුණා. පණ බේරා ගන්න දුවපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහමග අමු අමුවේ මරා දැම්මා. දෙසීයකට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත වුණා. මැති ඇමැතිවරුන්ට ගෑවුණු අයගේ පවා නිවාස ගිනිබත් කළා. එවැනි තත්ත්වයක් පවතිද්දි අපට තරගාවලිය මේ රටේ පවත්වන්න කියලා බලපෑම් කරන්න පුළුවන් ද? ඇත්තටම මේ වගේ තත්ත්වයක් වෙන රටක තිබුණා නම් ඒ රටේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකට අපේ කණ්ඩායමක්වත් යවන්න පුළුවන්ද? මේ තත්ත්වය හමුවේ තමයි පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමීස් රාජා සහ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානියා අපෙන් පෙරළා විමසුවේ, ‘ඔබේ රටේ ජනාධිපති මන්දිරයත් අරගලකරුවන් අතට පත් වී තිබෙනවා. අපේ කණ්ඩායම් මේ තරගාවලිය සඳහා ඔබේ රටට පැමිණි විට ඔවුන් සිටින හෝටලයත් අරගලකරුවන් අල්ලා ගතහොත් මොකද වෙන්නේ? එවැනි ප්‍රතිරූපයක් තමයි අපේ රට ගැන එදා තිබුණේ.

ප්‍රශ්නය – ඒත් මේ තත්ත්වයට අමතරව ඔබ තවත් ප්‍රකාශ කළ දෙයක් තමයි බලශක්ති අර්බුදයත් තරගාවලිය රටෙන් යෑමට හරහට සිටි බව. ඒත් දැන් තෙල් ප්‍රශ්නයක් නැහැ.

පිළිතුර – මේ කාලය වන විට තෙල් ප්‍රශ්නයක් නැති වෙයි කියලා අපිට කවුරුවත් එදා සහතික වුණේ නැහැ. ඔස්ටේ්‍රලියා සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම්වලටත් අපි අවශ්‍ය පහසුකම් දුන්නේ ඉතා ප්‍රවේශමෙන්. ඒ අවස්ථාවන්වල හිටියේ එක් කණ්ඩායමක් පමණයි. ඒත් අද චෝදනා කරන අය දැන ගන්න ඕන 1ට වඩා 6 ලොකු බව. විදේශ රටවලින් කණ්ඩායම් පහක් එකපාර එනවා කියන්නේ ඊට විශාල පිරිසක් අයත් වෙනවා. කණ්ඩායම් භාර නිලධාරීන්, පුහුණු කරුවන්, කළමනාකරුවන් ඊට අදාළ සේවකයන් ඇතුළු විශාල පිරිසක් ඊට අයත් වෙනවා. ඒ අයට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට අවශ්‍ය පෙට්‍රල් ඩීසල් ටිකවත් නිසි පරිදි ලැබෙයි කියලා කවුද හිතුවේ? තෙල් නැව එනකම් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් වරායට වෙලා බලන් ඉන්න එකක් නැහැ. ඔවුන් ඔක්කොම අකුලගෙන එයාර්පෝට් එකෙන් යන්න ගියොත් තරගාවලිය අතරමග නැවතීමේ වන්දි දෙන්න අපේ මුදල් මදි වේවි.

ප්‍රශ්නය – නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයේ සඳහන් වූ තවත් දෙයක් තමයි මෙවැනි තත්වයක් තුළත් තරගාවලිය සඳහා අනෙකුත් රටවල් අපේ රටට ඒමට කැමැත්තෙන් සිටි බව.

පිළිතුර – තානාපති කාර්යාලවලින් අහල එහෙම සරල සුමග සුමට උත්තර දෙන්න ලේසියි. ඒත් යථාර්ථය ඊට වෙනස්. ඔහුට ඒ ප්‍රශ්නය අහන්න තිබුණේ ඒ ඒ රටවල ක්‍රිකට් ආයතනවලින්. එහෙම ඇහුවා නම් ඇත්ත තත්ත්වය දැන ගන්න තිබුණා.

ප්‍රශ්නය – ඒත් තරගාවලිය ලංකාවේ නොපැවැත්වීම නිසා විශාල ඩොලර් ප්‍රමාණයක් රටට අහිමි වුණා. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එම මුදල ඩොලර් මිලියන 50ක් පමණ බව පවසනවා.

පිළිතුර – මේ තරගාවලිය අපේ රටෙන් ගිලිහී ගියාට සත්කාරකත්වය තිබෙන්නේ අපේ යටතේ. එම සත්කාරක අයිතියත් බංග්ලාදේශයට යන්න ගොස් අපේ මැදිහත් වීමෙන් එය නතර කර ගත්තා. බැරි වෙලාවත් සත්කාරකත්වය අපෙන් ගිලිහී ගියානම් අපට හිමිවෙන්නෙ ඩොලර් මිලියන 2.5 ක් පමණයි. ඒත් දැන් අපිට ඩොලර් මිලියන 6.5ක ශුද්ධ මුදලක් මේ තරගාවලියෙන් ස්ථීරවම ලැබෙනවා.

තරගාවලිය අවසානයේ ලාභ බෙදීමේදී මීටත් වඩා මුදලක් බලාපොරොත්තු විය හැකියි. ඒත් තරගාවලිය මෙරට පැවැත්වූවා නම් රටට මීට වඩා ආදායමක් එනවා. හැබැයි ඒ මුදල ඩොලර් මිලියන 50 ක් නම් වෙන්නේ නැහැ. මොකද රටේ තිබුණ තත්ත්වය මත ප්‍රේක්ෂකයෝ අපේ රටට ඒමේ සම්භාවිතාව ඉතා අඩුයි. බස් එකේ කෝච්චියේ වහල උඩ නැගල මැච් බලන්න යන්න විදෙස් ප්‍රේක්ෂකයන් ලංකාවට එන්නේ නැහැ. එදා තිබුණේ හිටපු විදේශිකයෝ ලංකාවෙන් ගිය කාලයක්. හෝටල් කාමරවල අඳුරේ අතපත ගාමින් සිටි සංචාරකයෝ එදා ලංකාව දාලා ගියා.

ප්‍රශ්නය – ක්‍රිකට් තරග විකාශන සමාගම් ලංකාවට එන්න ප්‍රතික්ෂේප කළා ද?

පිළිතුර – ඔව්. ඔවුන්ගේ රක්ෂණ ආයතන මේ රටේ තරගාවලිය පැවැත්වෙනවා නම් ඔවුන්ට රක්ෂණය සැපයීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ නිසා විකාශන සමාගම් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි බව දන්වා තිබුණා. ඒවා අපට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි.

ප්‍රශ්නය – තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටතට යෑම පිළිබඳව ඔබ ක්‍රීඩා ඇමැතිවරයා දැනුවත් නොකිරීම වරදක් නේද?

පිළිතුර – ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඊට අදාළ තීරණය අපට දැනුම් දුන් වහාම අපි ඇමැතිවරයාට ඒ බව දැනුම් දුන්නා. කවදාවත් අපි අත්තනෝමතික ගමනක් යන්නේ නැහැ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් ලැබෙන්නේ රටේ කණ්ඩායම දක්වන දක්ෂතා හේතුවෙන්. මේ ක්‍රීඩකයන් බිහි කරන්න රජය විශාල මුදලක් පාසල් කාලයේ පටන්ම දරනවා. එසේ දියුණු වූ ක්‍රීඩකයන්ගෙන් ලැබෙන මුදල් අයිති මේ රටටයි. ඔබ ආයතනය ඒවා අවභාවිතා කර තිබෙනවද?

පිළිතුර – අවභාවිතා කරලා නම් නැහැ. හැබැයි මහා භාණ්ඩාගාරය වගේ මුදල් බෙදා දීලා නම් තිබෙනවා. උදාහරණයක් විදිහට පසුගිය මාස දෙකක වැනි කෙටි කාලයක් තුළ පමණක් අපි විශාල මුදලක් එසේ ලබාදී තිබෙනවා. ඒ අතරින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 100 ක් ලබා දුන්නා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීමට අවශ්‍ය වියදම් සඳහා රුපියල් මිලියන 22.5 ක් ලබා දුන්නා. මහරගම අපේක්ෂා රෝහලට ඩොලර් මිලියන 1 ක් සහ කොළඹ රිජ්වේ ළමා රෝහලටත් ඩොලර් මිලියනයක් ලබා දුන්නා.

ප්‍රශ්නය – එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තරගාවලිය ලබා දුන්නේ අතයට මුදල් ගනුදෙනුවක් නිසා බවයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ චෝදනාව.

පිළිතුර – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නියෝජනය කරන මම ඇතුළු අපි කිසිවෙක් මේ ආයතනයෙන් වැටුපක්වත් ගන්නෙ නැතිවයි වැඩ කරන්නෙ. අපි මුදල් පස්සේ යන අය නොවෙයි. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න කියන්න. පහුගිය අවස්ථා කීපයේදීම අපි මේ තනතුරුවලට ආවේ නිතරගයෙන්. අපේ අත්වල කුණු ගෑවිලා නැහැ. හැබැයි ඔවුන් මේ කරන ප්‍රකාශවලින් අපේ ප්‍රතිරූපයට වන හානියේ බරපතළකම වචනවලින් කියන්න බැහැ. ඇත්තටම අපි ඒවා ගැන කනගාටු වෙනවා.

සාකච්ඡා කළේ –
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment