වර්ජනය සාර්ථකයි – වර්ජකයෝ කියති

1290

දුප්පත් අපිට තමයි මේ ඔක්කොම හෙණ

වර්ජකයින්ටයි ආණ්ඩුවටයි රෝගීහු දෙහි කපති

වෛද්‍යවරුන්ට අනුමත කළ රුපියල් 35,000ක දීමනාව (ඩැට්) තමනට ද ලබාදී ආර්ථික යුක්තිය ඉටුකරන ලෙස රජයට බල කරමින් ඊයේ (13දා) දිවයින පුරා රෝහල්වල පැවැත්වූ වැඩ වර්ජනය අද ද (14දා) ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.

පරිපූරක, අතුරු වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක ලක්‍ෂයකට අධික සාමාජිකයන් මෙම වැඩ වර්ජනයට එක්ව සිටින බව එම සන්ධානයේ කැඳවුම්කරු, රවී කුමුදේශ් මහතා ඊයේ පැවසීය.

ඊයේ උදෑසන 6.30ට ආරම්භ කළ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතා සාර්ථක වූ බවත්, සියලු වෘත්තීය සමිතිවල සාමාජිකයන් සියයට සියයක්ම ඊට සහාය ලබා දුන් බවත්, එම සන්ධානයේ නියෝජිත චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

මේ අතර රට පුරා රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් වර්ජනය නිසා දැඩි අසීරුතාවට පත්ව සිටි අතර ඔවුහු වර්ජකයන්ට සහ රජයට ද දැඩිසේ අප්‍රසාදය පළ කළහ.

අපේ ජීවිත හැම පැත්තෙන්ම අවදානමේ අපි අසරණයි බෙහෙත් ටික ගන්න ගියහම එතනත් වැඩ නෑ දුප්පත් අපිටමයි මේ ඔක්කොම හෙණ පාත්වෙන්නේ පීඩාවඩ පත් රෝගීහු නඟන අඳෝනා ඊයේ වර්ජනය පැවති හැම රෝහලකින්ම අපට අසන්නට ලැබිණි

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකර දීමට පත් කළ කමිටුව මුදල් අමාත්‍යාංශය සමග පෙරේදා (12දා) පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඊයේ මෙලෙස යළි වර්ජනයට පිවිසීමට සිදු වූ බවත්, තවදුරටත් විසඳුම් නොලද බැවින් වර්ජනය යළි ක්‍රියාත්මක කිරීමට සිය සන්ධානය තීරණය කළ බවත් රවී කුමුදේශ් මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම වැඩ වර්ජන සමයේ ළමා, පිළිකා, මාතෘ, මානසික රෝහල් ආදියේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත්, ගැටලු විසඳීමට ජනාධිපතිවරයා මැදිහත් නොවේ නම් රෝගී ජනතාව තවදුරටත් අපහසුතාවට ලක්වීම වැළැක්විය නොහැකි වන බවත් ඒ මහතා පැවසීය.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ මෙම වර්ජනය සාධාරණ නොවන අතර එය නීති විරෝධී බවත්, පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව මෙය ක්‍රියාත්මක වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මෙම වැඩ වර්ජනයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහාය නොදක්වන බවත්, තම සංගමයට ද ප්‍රශ්න ඇතත්, අසහනයට පත්ව ඇති රටේ ජනතාව වෙනුවෙන් සිය සංගමයේ 28,000කට අධික කාර්ය මණ්ඩලය සේවයේ යෙදී සිටින බවත්, එම සංගමයේ සභාපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ‘දිවයින’ට පැවසූහ.

මේ අතර සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වර්ජනයට සහාය පළ කරමින් ඖෂධ සංස්ථාවේ ඖෂධහල් වැඩ වර්ජන කාලය තුළදී රජයේ රෝහල් සඳහා ඖෂධ නිකුත් නොකිරීමට ගෙන තිබූ තීරණය ඊයේ දහවල් අවලංගු කිරීමට පියවර ගෙන තිබිණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment