වරායට ඇවිත් පැය 4න් සහල් එළියට – රේගුව කියයි

1706

ආනයනික සහල් කොළඹ වරායට පැමිණ පැය 04ක් වැනි කාලයක් තුළ නිදහස් කිරීමට හැකි අයුරින් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඊයේ (05දා) පැවසීය.

රජය මේ වනවිට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 70,000ක් පමණ ගෙන්වීමට ආනයනකරුවන්ට අවස්ථාව ලබාදී ඇති බවත්, එම තොග වරායට පැමිණ පැය 04ක් වැනි කාලයක් තුළ මුදාහැරීමට කටයුතු කරන බවත් රේගු මූලස්ථානයේ ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසීය. මෙම සහල් තොගය බොහෝ විට කන්ටේනර් 2,500ක් 3,000ක් වැනි ප්‍රමාණයකින් ගෙනයෑමට හැකි බවත්, මේ වනවිට භාණ්ඩ මුදාහැරීම සඳහා ක්‍රියාත්මකව පවතින අංගන 03, 04 දක්වා වැඩිකර ඇති බවත් ඔහු කීය.

රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම බදු ආදායම ලෙස නොවැම්බර් අවසන් වන විට රුපියල් බිලියන 1038 ක්වී ඇති බවත් එය මේ වසර අවසන් වන විට රුපියල් බිලියන 1053 දක්වා වැඩිකර ගැනීමට සැලසුම්කර ඇති බවත් ඒ මහතා කීය. වාහන ආනයනය කළහොත් රේගුවට තවත් රුපියල් බිලියන 350ක පමණ බදු ආදායමක් ලැබිය හැකි බවද ඔහු පැවසීය.

රේගුවට පැමිණෙන සියලුම බහලුම් සියයට සියයක් (100%) පරීක්‍ෂා නොකරන බවත්, ඇතැම් විට පරීක්‍ෂා නොකර මුදාහරින බහලුම් තුළ සුඛෝපභෝගී වාහන පිටතට යෑමේ හැකියාවක් පවතින බවත් ඔහු කීය. සියලුම බහලුම් සියයට සියයක් ස්කෑන් යන්ත්‍ර මගින් පරීක්‍ෂා කළ නොහැකි අතර එසේ කළහොත් ස්කෑන් යන්ත්‍ර ප්‍රමාණය වැඩි කිරීමට සහ භාණ්ඩ පිටතට යැවීම ප්‍රමාද විය හැකි බවද ඔහු කීය. ස්කෑන් පරීක්‍ෂාව පමණක් සිදු කළහොත් පරිප්පු ද, කඩල ද කියා හඳුනාගැනීමේ හැකියාවක් නැතැයි ද ඔහු කීය.

රේගු බලධාරීන් 3,000ක් සිටිය යුතු වුවත් සිටින්නේ 2000ක් වැනි පිරිසක් බවත් මේ වනවිට රේගු නිලධාරීන් 300ක් බඳවාගෙන ඇතත් තවත් 700ක් පමණ බඳවාගැනීමට අවශ්‍ය බවත් ඔහු කීය.

දිනකට රේගුව මගින් බහලුම් 1500ක් පමණ මුදාහරින බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ වනවිට බහලුමක දමා නවීන මෝටර් රථයක් ගෙන්වා තිබෙන අතර අද (06දා) එම බහලුම විවෘත කරන බවද කියා සිටියේය.

චමින්ද සිල්වා සහ ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය


advertistmentadvertistment