පසුගිය සමයේ බහුදින ධීවර කර්මාන්තයට ඒල්ල වූ බලපෑම් රැසක් හේතුවෙන් දිවයින පුරා ධීවර වරායවල් 22 ක කර්මාන්තය පවත්වා ගැනීමට නොහැකිව ගාල් කර තිබූ ධීවර යාත්‍රා 2000 කට අධික ප්‍රමාණය යළි පණ ගැන්වීමට නව රජය බලයට පත්වීමත් සමග හැකිවේ යැයි දැඩි විශ්වාසයක් පවතින බව සමස්ත ලංකා බහුදින ධීවර කර්මාන්තයට බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.
ඉන්ධන මිල වැඩි කිරීම, කර්මාන්තයට බලපාන බදුබර, අමතර කොටස්වල මිල හා ධීවර ආම්පන්නවල මිල පාලනයකින් තොරව ශීඝ්‍ර ලෙස ඉහළ යෑම ඇතුළු කරුණු ගණනාවක් කර්මාන්තය කඩා වැටීමට හේතු වූ බව පෙන්වා දෙන කර්මාන්තකරුවන් පවතින අපහසුතාවයන් මැද්දේ දිවයින පුරා ලියාපදිංචි බහුදින යාත්‍රා 6000 ක ප්‍රමාණයෙන් 4000 ක පමණ ප්‍රමාණයක් රැකියාව පවත්වාගෙන ගොස් ඇත්තේ යාත්‍රාවක් දියත් කිරීමට වැය වන මුදල ද නොලැබෙන පසුබිමක බවයි යාත්‍රා හිමියන් පවසන්නේ.
වර්තමානයේ බහුදින යාත්‍රාකරුවන් පවතින අපහසුකම් මධ්‍යයේ වුවද වාර්ෂිකව ඩොලර් මිලියන 300 ක ආදායමක් උත්පාදනය කරමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙමින් සිටින අවස්ථාවක මෙම බදු සහන ලබා දී කර්මාන්තය පවත්වා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළොත් වාර්ෂිකව ඩොලර් මිලියන 1000 ක අගයකට ළඟාවීමට හැකි බවද ඔවුන් පෙන්වා දෙති.
මේ පිළිබඳව අදහස් දක්වන සමස්ත ලංකා බහුදින යාත්‍ර හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා.
මුලින්ම අපි අභිනවයෙන් පත් වූ ජනාධිපතිවරයාට අපේ සුභාශිංසන පිරිනමනවා. මැතිවරණයට පෙර සංගමයක් විදියට පවතින ප්‍රශ්න ගැටලු සම්බන්ධව සියලු පක්ෂ නායකයන් හමුවී ඉදිරිපත් කළා. එම අවස්ථාවේ අපට තිබෙන්නා වූ ගැටලු එකවර නොවෙයි ක්‍රමයෙන් විසඳන බව ජාතික ජනබලවේගය පක්ෂය අපිට සහතික වුණා. අපි විශ්වාස කරනවා අපට සාධනීය පිළිතුරක් ලැබෙයි කියලා. අපි රජයෙන් සහනාධාර ඉල්ලන්නේ නෑ. අවශ්‍ය වන්නේ බදු අඩු කරල අපිට පීඩනයක් නොවී කර්මාන්තය පවත්වා ගෙන යෑමට යම් තල්ලුවක්.
ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන අපි ගැන පසුගිය රජය කිසිම තැකීමක් කළේ නැහැ. අපි ලිඛිතව ඒ වගේම හමුවෙලා අවස්ථා
ගණනාවක් මේ සම්බන්ධව අපේ ප්‍රශ්න ධීවර අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට ඉදිරිපත් කළා. නමුත් ඒවා පොරොන්දුවලට සීමා වුණා. අද මේ ධීවර වරායල්වල ගාල් කරල තිබෙන යාත්‍රාවල හිමිකරුවන් බැංකුවලට විශාල ලෙස ණයකරුවන් වෙලා.
ණය ගෙවා ගන්න බැහැ. ඒ අයගේ මාස ගණනාවක් තිස්සේ තම ජීවිකාව පවත්වාගෙන යන ආදායම් මාර්ගය අවහිර වෙලා. එම පවුල්වල සාමාජිකයන් වගේම වක්‍ර රැකියා පවත්වාගෙන
යන විශාල පිරිසක් අන්ත අසරණ වෙලා ඉන්නෙ. මේ පසුබෑමට කඩිනම් විසඳුමක් ලබා දෙයි කියලා අපේ විශ්වාසය.
සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා.
මේ ක්ෂේත්‍රය ක්‍රමක්‍රමයෙන් කඩා වැටීමට ලක්වුණේ අද ඊයෙක නොවෙයි. වසර ගණනක් තිස්සේ. අපි මේවා අදාළ අමාත්‍යවරුන්ට බලධාරීන්ට කොතෙකුත් කිව්වත් විසඳුම් ලැබුණේ නැහැ.
විවිධ ආර්ථික අපහසුතා මැද්දේ අපි කර්මාන්තය පවත්වාගෙන ගියා. හැබැයි ඒ සියලු දෙනා නොවෙයි ඉතාම සීමිත ප්‍රමාණයක්. දැන් බලන්න වරායවල්වල යාත්‍රා කීයක් ගාල් කරලා තියෙනවද? ඒ අයට බැංකු ණය ගෙවා ගන්න බෑ. විශාල ප්‍රශ්න ගොඩක් මැද්දෙ තමයි කර්මාන්තය පවත්වාගෙන යන්නෙ. මේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලබා දෙන්න හැකි කර්මාන්තයත් මේ ආකාරයට පත්වෙලා නෙවෙයි පත්කරලා තියෙන්නෙ ඇයි.
ඇත්තෙන්ම අපි හිතනවා නව රජය කඩිනම් විසඳුමක් දෙයි කියලා.
අමරනන්ද විජේසේකර – මහවැව