වරාය ආදායම ඩොලර් බිලියනයක් කිරීම මගේ ඉලක්කයයි – වත්මන් වරාය සභාපති ආචාර්ය ප්‍රශන්ත ජයමාන්න

297

වරායක් යනු රටක ආර්ථිකයේ හදවත යැයි කිවහොත් එය නිවැරදිය. ඒ අනුව මෙන්ම භූගෝලීය පිහිටීම අනුවද බලන කල මෙරට ආර්ථිකයේ ප්‍රබල මර්මස්ථානයක් වන කොළඹ වරායට ඇත්තේ ඉහළ වටිනාකමකි. එවැනි වැදගත්කමක් ඇති කොළඹ වරාය සම්බන්ධයෙන් මේ වන විට කියැවෙමින් තිබෙන දේ විවිධය.

එහිදී සිදුවන අනාවරණයන් තුළ වැඩි වශයෙන් ඇත්තේ වංචා, දූෂණ සහ අක්‍රමිකතාවන්ට අදාළ කරුණුය. එම තත්ත්වය මූලික කරගනිමින් අපි වත්මන් වරාය සභාපති ආචාර්ය ප්‍රශන්ත ජයමාන්න මහතා සමඟ කතාබහක යෙදුනෙමු.

ප්‍රශ්නය – කොළඹ වරායේ වත්මන් සභාපතිවරයා ලෙස ඔබ කුමන ආකාරයටද වරාය යන්න හඳුනාගෙන තිබෙන්නේ.

පිළිතුර – මා මුලින්ම කොළඹ වරායේ උපසභාපතිවරයා ලෙස පත්වීම ලබන විට වරායේ ව්‍යුහාත්මක ක්‍රමවේදය පිළිබඳ වැඩි අවබෝධයක් තිබුණේ නැහැ. එහෙත් මාස දෙකතුනක කාලයක් තුළ මෙහි සියලුම කොට්ඨාසයන් වෙත ගොස් සියලු දෙනා සමඟ සාකච්ඡා කර ලෝකයේ අනෙකුත් වරායන්හි මෙහෙයුම් සිදුවන ආකාරය අධ්‍යනය කිරීමෙන් පසුව මට හැකි වුණා මොකක්ද වරාය මෙහෙයුම් කියන එක උකහා ගැනීමට.

ඔබ විමසුව ප්‍රශ්නයට නිවැරදි පිළිතුර සඳහන් කළොත් රටක් ගොඩනැගීම හෝ විනාශ කිරීම කියන දෙකම කරන්න පුළුවන් තැනක් තමයි වරාය කියන්නේ.

ප්‍රශ්නය – අද කොළඹ වරාය සම්බන්ධයෙන් බාහිර සමාජයේ පවතින ප්‍රතිරූපය එතරම් සුබදායක නැහැ. වරායේ සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන් ඔබ තුළ ඇති හඳුනා ගැනීම සහ ඒවා වළක්වා ගැනීමට ගෙන ඇති පියවර කුමක්ද?

පිළිතුර – මෙහිදී සඳහන් කළ යුතු කොටස් දෙකක් තිබෙනවා. එයින් එක් කොටසක් වෙන්නේ ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම්. මේ සඳහා මෙරට කිසිම පුද්ගලයකුට සම්බන්ධ වීමට හැකියාවක් නැහැ.

එහිදී සිදු කෙරෙන්නේ එක් රටකින් වරායට ගෙන එන භාණ්ඩ තවත් නෞකාවකින් වෙනත් රටකට යැවීමේ කාර්යය. කොළඹ වරාය තුළ සියයට අනූවක්ම සිදු කෙරෙන්නේ එම ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම්.

එම කාර්යයේදී කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ජාත්‍යන්තර නැව් සමාගම් දහයක් වැනි සංඛ්‍යාවක් එක්ක අපි ගනුදෙනු’ කරන්නේ.

එහෙත් රට ඇතුළට භාණ්ඩ රැගෙන එන ආනයනය කියන කාරණයේදී වරායේ එක් එක් ස්ථාන තිබෙනවා එම භාණ්ඩ රඳවා තබන, අසුරා තිබෙන, ගුදම් පහසුකම් සපයන ඒ වගේම විමසීම් සිදු කෙරෙන, සේවා සැපයුම සිදු කරන ආදී වශයෙන්. එවැනි ස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙනවා.

මෙන්න මේ වගේ තැන්වලදී යම් යම් අකටයුතුකම් සිදුවෙනවා කියන එක ප්‍රසිද්ධ රහසක්. ආනයනකරුවන් තමන්ගේ භාණ්ඩ රැගෙන යෑමට වරායට පැමිණෙන විට වෙනම මුදල් ප්‍රමාණයක් රැගෙන එනවා එක් එක් ස්ථානවලදී විවිධ අයට ලබා දීමට.

ඒ තත්ත්වය හඳුනාගෙන එය වළැක්වීම සඳහා කිසිදු චෙක් පොයින්ට් එකකදී අනවශ්‍ය පරීක්‍ෂාවක් සිදු කිරීමට නොහැකි වන පරිදි අප සිදුවන ක්‍රියාවලිය ඩිජිටලයිස් කිරීමට (තාක්‍ෂණය සමග බද්ධ කිරීමට) පියවර ගත්තා.

ඒ නිසා දැන් අනවශ්‍ය ආකාරයට කිසිම කෙනෙක් නතර කරලා මට ඔයාගේ රිසිට් එක දෙන්න කියලා කියන්න හැකියාවක් කාටවත් නැහැ. අද කිසියම් බහාලුමක් පරීක්‍ෂණ ස්ථානයක් ආසන්නයට ළඟා වන විට එහි සිටින නිලධාරීන්ට තාක්‍ෂණිකව හැකියාව තිබෙනවා එය නිවැරදිව නිශ්කාෂණය කෙරුණක්ද කියා හඳුනා ගැනීමට.

ඒ වගේම අද වරාය ආරක්‍ෂක අංශය භාරව සිටින්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක්. ඔහුත් සමඟ සාකච්ඡා කර වරායේ අභ්‍යන්තර විමර්ශන ඒකකය සම්බන්ධ කරමින් වරින් වර සියලුම චෙක් පොයින්ට් පරීක්‍ෂාවට ලක්කරනවා.

ඒවයෙහි සිටින නිලධාරීන්ට අප දැනුම්දීම් සිදුකර තිබෙනවා මොනම ආකාරයකින් හෝ කිසියම් පැමිණිල්ලක් වීඩියෝගත කිරීමක් සමඟ ඉදිරිපත් වුවහොත් අනිවාර්යයෙන්ම සේවයෙන් ඉවත් කරනවා කියලා.

වරායෙන් පිටතට භාණ්ඩයක් රැගෙන යෑමේදී කිසිම අයෙක් කාටවත් රුපියල් සියයක්වත් දියයුතු නැහැ. නිසි ක්‍රමවේදය අනුව කටයුතු සිදුවීම ප්‍රමාණවත්. වරායේ රාජකාරි කරන්නේ හොඳ වැටුපක් ලබන සේවකයන්. ඔවුන්ට ඒ වැටුප ඇති වැදගත් ආකාරයට ජීවත් වීමට.

කිසියම් වරාය සේවකයෙක් අල්ලස් ලබාගනිමින් දූෂිත ආකාරයට කටයුතු කරනවා නම් එම තත්ත්වය පටිගතකර පැමිණිලි කිරීම සඳහා 0716413332 කියන වට්ස්ඇප් දුරකථන අංකය මේ වන විට අපි ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ඕනෑම අයකුට පුළුවන් එය ඔස්සේ අදාළ සිදුවීම් පටිගත කර ඉදිරිපත් කිරීමට. එවැනි පැමිණිල්ලක් ලැබුණොත් අදාළ නිලධාරියාට විරුද්ධව ක්‍ෂණිකවම අවශ්‍ය පියවර ගන්නවා.

ප්‍රශ්නය – එසේ පැමිණිලි කිරීමේදී එසේ කරන පුද්ගලයා අමාරුවේ වැටෙන තත්ත්වයක් ඇතිවීමට ඉඩක් පවතිනවා නේද? එසේ නොවන බවට විශ්වාසය තහවුරු කිරීමට ගෙන තිබෙන පියවර කුමක්ද?

පිළිතුර – එම පැමිණිලි ඉදිරිපත් කෙරෙන දුරකථනය තිබෙන්නේ සභාපති කාර්යාලය තුළ. සියලු කටයුතු මෙහෙයවන්නේ මම සහ මගේ කාර්ය මණ්ඩලය හරහා. එනිසා කිසිම කරුණක් පිටතට යන්නේ නහැ. කිව්වේ කවුද කියන එක අදාළ නැහැ. සත්‍ය සිදුවීම් සිදුව තිබෙනවා නම් අවශ්‍ය පියවර ගන්නවා.

වරායට වැදී තිබෙන මඩ පැල්ලම අපි ඉවත් කරගත යුතුයි. අද මේ රට තිබෙන්නේ දූෂණ, වංචා සිදු කරන්න පුළුවන් තැනක නෙමෙයි.

ප්‍රශ්නය – ඔබ වගේම වරායේ සිටි විවිධ සභාපතිවරු නොයෙකුත් පියවර ගන්න ඇති මේ තත්ත්වය වෙනස් කිරීමට. එහෙත් එය සිදුකිරීම තමයි ගැටලුව වෙලා තිබෙන්නේ. අද වරායේ සිටින්නේ කාලාන්තරයක සිට රාජකාරි කරන නිලධාරීන්. ඔවුන් යම් යම් තැන්වල කිසියම් බලාධිකාරියක් ගොඩනඟාගෙන ඇති. එම තත්ත්වය තුළ මේ වැඩපිළිවෙළ යථාර්ථයක් කරන්නේ කෙසේද?

පිළිතුර – වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්ව සිටි කාලයේ වරාය වෙන්දේසිවලට පාතාල සාමාජිකයන් ඇතුළු වෙලා කියලා දැනගෙන එය සම්පූර්ණයෙන්ම නතර කළා.

එහෙත් කාලයත් සමඟ ලැබෙන පැමිණිලි අනුව අපට පෙනී යනවා යළිත් එක්තරා කණ්ඩායමක් සම්බන්ධ වෙලා එවැනි සබඳතා සමඟ කටයුතු කරගෙන යනවා කියලා. මේ තත්ත්වය තුළ අපි අපේ කොටස කරන්න ඕන කියන තැන මම සිටින්නේ. මම ඉන්නකම් එවැනි දූෂිත වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මට යන්ඩ වුණත් ඒවට විරුද්ධව පෙනී සිටිනවා.

අද මුළු රටම සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලන වෙලාවක මම මෙතැන ඉන්නේ. එනිසා අපි සිස්ටම් එකේ ඉඳලා හරියන්නේ නැහැ. වෙනසක් සිදුකළ යුතුයි. සුළු පිරිසක් නිසා රට සහ වරාය වෙනුවෙන් කැපවෙලා සේවය කරන වරාය සේවකයන් සමස්තය වැරදි නාමයක් අහගත යුතු නැහැ.

ප්‍රශ්නය – වත්මන් වරාය සභාපතිවරයා ලෙස ඔබ සාර්ථකයි කියලා විශ්වාස කරනවාද?

පිළිතුර- ඔව් මම හිතනවා මම සාර්ථකයි කියලා. කොවිඩ් වසංගතය කාලෙදිත් අපි වරාය එක දවසක්වත් වැහුවේ නැහැ. කොවිඩ් නිසා මුළු රටම බියට පත්වී සිටින අවස්ථාවේත් වරාය සේවකයෝ බය නැතුව ඇවිත් සේවය කළා.ඒ ආකාරයට කැපවීමෙන් කළ සේවය නිසා ලෝකු බැංකු වාර්තා අනුව අද කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්යක්‍ෂතම වරාය බවට පත් කිරීමට අපිට හැකිවී තිබෙනවා. ඒ වගේම ආසියානු කලාපයේ තෙවැනි කාර්යක්‍ෂතම වරායත් කොළඹ වරාය.

ලෝකයේ බහාලුම් හැසිරවීම අතින් විසි දෙවැනි තැන සිටින්නෙත් කොළඹ වරාය. මේ සියල්ල සිදු කිරීමට හැකියාව ලැබුණේ අපි කළමනාකාරිත්ව කණ්ඩායමක් ලෙස එකට තීරණ ගෙන උපායශීලී ආකාරයට කටයුතු කිරීම නිසා.

අප සමඟ ගනුදෙනු කරන නැව් සමාගම්වලට අපි කිව්වා රටේ ප්‍රශ්න ගැටලුවක් වෙන්නෙ නැහැ කොළඹට එන්න කියලා. ඒ විශ්වාසය ඔවුන් තුළ ඇති කරන්න අපට හැකි වුණා. ඒ තත්ත්වය තුළ තමයි ඉකුත් 2021 වර්ෂයේදී වරාය ඉතිහාසයේ වැඩිම බහාලුම් ප්‍රමාණයක් ලෙස බහාලුම් මිලියන 7.25ක් හසුරුවීමට අපට හැකි වුණේ.

ප්‍රශ්නය – ඔබතුමා විශාල වෙහෙසක් දරනවා අද වරායේ පවතින ගැටලු විසඳා ගන්න. මේ අතරේ ඔබ කී භූගෝලීය වැදගත්කම වගේ කරුණු නිසා කොළඹ වරායට විවිධ බහු ජාතික සමාගම් ආදී වශයෙන් නොයෙකුත් රාජ්‍යයන් සහ ඇතැම් පාර්ශ්ව වෙතින් එල්ල වන බලපෑමද සුළු පටු නැහැ. මේ තත්ත්වය තුළ වරාය සුරක්‍ෂිතද?

පිළිතුර – මට හිතෙනවා වරාය සුරක්‍ෂිතයි කියලා. එදා ලලිත් ඇතුලත්මුදලි මහතා කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් කටයුතු අරඹා එක් මට්ටමකට පැමිණියත් ප්‍රති නැව්ගත කිරීම කියන මට්ටමට අපිට යන්න හැකියාවක් ලැබුණේ නැහැ.

1999 දී එස්ඒජීටී කියන ආයතනය ලංකාවට එන්නේ තවත් නැව් සමාගම් කිහිපයකුත් සමඟ. එතනදී ඔවුන් තීරණය කරනවා ඒ නැව් සමාගම්වලට අදාළ බහාලුම් කොළඹ වරායේ සිට මෙහෙය වන්න.

ඒ තත්ත්වය තුළ ඔවුන්ට විතරක් නෙවෙයි කොළඹ වරායටත් වාසියක් අත්වුණා. ඒ සමගම සීඅයිසීටී කියන සමාගම තවත් පර්යන්තයක් රැගෙන මෙහෙයුම් ආරම්භ කළා. එතනදී ඔවුන්ගේ ව්‍යාපාරික සම්බන්ධතා මගින් තවත් නැව් කොළඹ වරායට ගෙන්වා ගත්තා. මුලින්ම කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව තිබුණේ මිලියන 2.8 ක පමණ. ඒත් මේ සමාගම් දෙක ආවට පස්සේ වරායේ ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගියා.

මේ එන සෑම බහලුමකින්ම රටට ආදායමක් ලැබුණා. මෙහෙයුම් ආදායම ලැබුණේ වරාය අධිකාරියට. වරායක මෙහෙයුම් කියන්නේ ජාලගත එකක්. එය තනි පුද්ගලයෙක්ට ඒකාධිකාරයක් තබාගෙන කළ හැකි දෙයක් නෙවෙයි. අපි උත්සාහ කරන්න ඕනෙ හැකි තරම් එවැනි සමාගම්වලට එන්න කියලා අපේ දේ රැකගෙන විවෘත මනසකින් කටයුතු කිරීමට.

එහෙම පැමිණියහොත් තමයි සමස්තය තවත් විශාල වෙන්නේ. ලෝකයේ විශාල වරායවල්වල පවා එක් එක් පර්යන්ත විවිධ නැව් සමාගම්වලට අයිතියි. එතැනදී අදාළ සමාගම් කරන්නේ ඔවුන්ට අදාළ බහාලුම් පිළිබඳ මෙහෙයුම් කටයුතු ඒ වරායන් හරහා සිදු කිරීම. ඒකේ වාසිය එන්නේ ඒ වරායන් අයිති රටවලට.

අපි පොඩි දෙයක් තියාගෙන ඒක දිහාම බලාගෙන ඉඳීමෙන් පලක් නැහැ. ඒ වගේම රාජ්‍ය ආයතනයක් ලෙස කාර්යක්‍ෂමතාව වැඩි කරගෙන වෙළෙඳපොළ අපට ළංකරගෙන අපි අපේ දක්ෂතා පෙන්විය යුතුයි. ඒක තමයි අද කොළඹ වරායේ සිදු වෙන්නේ.

ප්‍රශ්නය – වරාය සභාපතිවරයා ලෙස ඔබේ අවසන් ඉලක්කය කුමක්ද?

පිළිතුර – කිසියම් දිනක වරාය ආදායම ඩොලර් බිලියන එකක් දක්වා ඉහළට ගෙන ඒම මගේ ඉලක්කය. ඒ වගේම දැනට කෙටි කාලීන ඉලක්ක ලෙස පවතින්නේ නැගෙනහිර පර්යන්තය 2024 කාලය තුළ විවෘත කර ගැනීම. ඒ වගේම අදානි, ජෝන් කීල්ස් සහ වරාය එක්ව සිදු කරන බටහිර පර්යන්තයේ කටයුතුත් යම් මට්ටමකට මෙහෙයුම් ආරම්භ කිරීම. මේ ටික කර ගැනීමට හැකියාව ලැබුණොත් කොළඹ වරායේ ධාරිතාව සියයට සියයකින් ඉහළ යනවා.

සමන් ගමගේ –
සිරිමන්ත රත්නසේකර


advertistmentadvertistment