වරාය ඉඩම් චීනෙටදීමට එරෙහිව පාරට බහිනවා – වරාය වෘත්තීය සමිති අනතුරු අගවයි

110

වරාය අධිකාරිය සතු අක්කර 13 ක භූමිය චීන සමාගමකට ලබාදීමට රජය ගෙනයන වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා රට විවෘත කළ වහාම වෘත්තීය ක‍්‍රියාමාර්ගවල නිරතවන බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවසීය.

රජය විසින් මෙම භූමිය චීන සමාගමට ලබාදීම සඳහා ගෙනයන ක‍්‍රියාදාමයට කොවිඞ් වසංගතය හමුවේ ආශිර්වාදයක් කර කැබිනට් අනුමැතිය ද ලබාගෙන ඇති බවත් ඒ මහතා කීය.

වරාය අධිකාරියට අයත් හිස්ව තිබෙන මෙම භූමිය වසර 35 කට අක්කරයක් ලක්‍ෂ අටහමාර බැගින් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් 2005 වසරේදී මෙතරම් නොවටිනා වරාය අධිකාරියට අයත් භූමියේ අක්කර එකයි පර්චස් 11 ක් රුපියල් ලක්‍ෂ 30 කට කුලියට දී තිබෙන බවද ගොරකානන්ද මහතා පැවසීය.

රාජ්‍ය සම්පත් විකිණීම සඳහා රජය පිහිටුවා ගෙන  ඇති සෙලෙන්දිවා ආයතනයේම තවත් පැතිකඩක් ලෙස මෙම වරාය අධිකාරියට අයත් ඉඩම විකිණීමද දකින බවත් රජය මේ සැලසුම හකුළා නොගන්නේනම් වරාය ඇතුළු වෘත්තිය සමිති 15 ක සාමාජිකයන් සමග විරෝධතා ආරම්භ කරන බවත් ඒ මහතා පැවසීය.

රජය මෙම ඉඩම චීන සමාගමට දීමෙන් පමණක් නොනවතින බවත් මේ වනවිට වරාය මගින් ක‍්‍රියාත්මක කරගෙන යන බහලූම් සේවවාන්ද එම ආයතනය හරහා ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment