වලව් සමාජයේ බිඳ වැටීම වරා මාලාව

519

 වලව් බිඳවැටීම තේමා කරගත් නවකතා රැසක් මෑත භාගයේදී බොහෝ සිංහල නවකතාකරුවන් විසින් රචනා කරනු ලැබ ඇත. ඇතැම් විට වලව් බිඳ වැටීමෙන් ඒ ප‍්‍රභූ පන්තිය නියෝජනය කළ ජන කොටස් ආර්ථික වශයෙන් බෙලහීන තත්ත්වයක පත්වීම නිසාය. නැතහොත් වෙනස් වන සමාජයට අනුරූප ලෙස වැඩිහිටියනට වෙනස් විය නොහැකි වූ නිසාය. ඔවුන්ගේ පාරම්පරික අදහස් උදහස් තම සමාජයට අනුරූප ලෙස හැඩගස්වා ගැනීමට ඔවුන් ප‍්‍රකට කළ උදාසීනත්වය මෙන්ම රදළ අභිමානය ද එයට යම් බලපෑමක් කළේය. සමාජානුයෝජනයක් නොතිබීමත්, ඒ සඳහා දැක්වූ බෙලහීනතාවත් එයට වක‍්‍රාකාරයෙන් බලපෑවේය. සාමාන්‍ය මිනිසුන්ගේ සමාජයට ප‍්‍රවිෂ්ට වීමට ඔවුන් තුළ ප‍්‍රසාද වන සිතක් හෝ කැමැත්තක් නොවීය. ඒ හැරුණු විට තවද වක‍්‍රාකාරයෙන් රදළ සාමාජිකයන්ගේ ජීවිත වෙළා පැවති සදාචාර විරෝධී හැසිරීමක් ඔවුන්ගේ හායනය ආසන්න වීමට වක‍්‍රාකාරයෙන් බලනොපෑයේ නොවේ.
 
 යමුනා මාලනී පෙරේරාගේ වරා මාලාව නවකතාවට ද පාදක වී ඇත්තේ වලව් සමාජයේ බිඳවැටීම පිළිබිඹු කරන අත්දැකීමකි. එම එක් කරුණක් පමණක් නොව ඉහත සඳහන් කළ කරුණු කිහිපයක් ම සෘජු හා වක‍්‍රාකාරයෙන් මෙහිදී වලව්ව බිඳ වැටීමට තුඩු දුන්නේය. නවකතාව ජීවිත විවරණයක් වන අතරම සමාජ විවරණයක් ද වන්නේය. මෙහි වලව්ව නියෝජනය කරන කිහිප දෙනෙකුගේ චරිත ආශ‍්‍රයෙන් ජීවිත විවරණයක් කරුණු අතරම ඔවුන් ඇතුළු වලව්වේ තාවකාලික වශයෙන් රැුඳී සිටි සාමාන්‍ය මිනිසුන්ගේ චරිත හා ඔවුන් ජීවත් වූ පසුබිම ඇසුරින් සමාජ විවරණයක් කිරීමට ද ලේඛිකාව අවකාශය සලසා ගෙන ඇත. ‘වරා මාලාව’ නවකතාව විකාශනය වන්නේ වෙල්ලියද්ද පවුලේ ප‍්‍රධානියා වූ වෙල්ලියද්ද මහ හාමු, ඔහුගේ බිරිඳ, එකම දියණිය වූ මල්ලිකා, ජයමාන්ත, මේනකා, ලෙනාඞ්, අගෝරිස්, ගුණවතී, සිරියලතා, දුල්ලෑව වලව්වේ මහා හාමු හා ඔහුගේ බිරිඳ යන මේ චරිත කේන්‍ද්‍ර කොටගෙනය. මෙහි අත්දැකීම් විකාශනය හා බැඳුණු ජීවිත කතා පුවත් දෙකක් නිරූපණය වේ. ඒ ජයමන්ත දුල්ලෑව හා ලෙනාඞ් වෙල්ලියද්ද යන දෙදෙනාගේ ජීවිත කතා පුවත් ය.

වලව් සමාජයේ බිඳ වැටීම වරා මාලාව

මේ නවකතාවේ නිරූපණය වන ලෙනාඞ් වෙල්ලියද්ද පිළිබඳ වෘත්තාන්තය ද ජයමන්තගේ මනස්කාන්තයට සමාන්තරව විවරණය කිරීමට ලේඛිකාව ඉඩ ප‍්‍රස්ථාව සලසා ගෙන ඇත. ලෙනාඞ්, ජයමන්තගේ බෑණාය. ඔවුන් දෙදෙනා අතර සමාන්තර ගතිගුණ දක්නට ලැබුණි. දෙදෙනා දෙදෙනාට පක්‍ෂපාත වී එකිනෙකාගේ ඇසුර පැතීමට පෙළඹුණේ එහෙයිනි. ජයමන්ත සිය සොහොයුරිය වූ මල්ලිකා දුල්ලෑව සමඟ ගැටුණු අයුරින් ම ලෙනාඞ්ට ද සිය සොහොයුරන් දෙදෙනා සමඟ ගැටෙන්නට සිදුවිය. දෙපිරිස අතර එකිනෙකා නොඉවසන, නොරුස්සන ඔවුන්ගේ ගති පැවතුම් පිළිකුල් කරන ස්වභාවයක් දක්නට ලැබුණි. ජයමන්ත හා ලෙනාඞ් මනුෂ්‍යත්වය අගය කළ, මානුෂික ගුණාංගවලට ගරු කළ මෙන්ම මනුෂ්‍යත්වයට ප‍්‍රියමනාප දෑ කිරීමට කැමැත්තක් දැක්වූ දෙදෙනෙක් වූහ. ජයමන්ත කුලමල භේද, උස් පහත් භේද නොතැකීය. ලෙනාඞ් ද එබඳුම සිතුම් පැතුම් විසින් හික්මවනු ලැබූ පුද්ගලයෙකි. ජයමන්ත ගුණවතී නම් රූමත් සේවිකාව සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ අයුරින්ම ලෙනාඞ් ද විවාහයට පෙර ගුණවතීගේ දියණිය වූ සිරියලතා සමඟ ලිංගික ආස්වාදය ලැබීමට පෙළඹුණේය. ගුණවතී හා සිරියලතා යන දෙදෙනාම එම තත්ත්වයට යොමු කරනු ලැබුයේ සිය මල්ලී හා පුතා වෙනස් සබඳතා ඇතිකර ගෙන පවුලේ ගරුත්වයට හානි කළ හැකිය යන බියෙන් හා සැකයෙන් යුතුව මල්ලිකා දුල්ලෑව විසිනි.
 
 නවකතාවේ එකිනෙක චරිත කේන්ද්‍ර කොට ගෙන යම් වෘත්තාන්තයක් නිරූපණය වීම වරා මාලාවේ දැකිය හැකි විශේෂත්වයකි. ජයමන්ත හා ලෙනාඞ් යන චරිත ද්වය කේන්ද්‍ර කොට ගත් වෘත්තාන්තයට පරිබාහිරව ඇතැම් චරිත ආශ‍්‍රයෙන් ද යම් සීමාවක් ඇතුළත වෘත්තාන්ත ගොඩ නැෙඟ්. මල්ලිකා දුල්ලෑවගේ චරිතය ආශ‍්‍රයෙන් ගොඩනැගෙන්නේ සමාජය නොමගට යොමුකරන සුළු පුවතකි. එසේම අගෝරිස්ගේ චරිතය කේන්ද්‍ර කොට ගෙන නාඹර තරුණ වියේ සිට තමාට කිසිදු නෑ සබඳකමක් නැති වලව්වකට බැල මෙහෙකම් කළ පීඩිතයකුගේ පුවතක් නිරූපණය වේ. ගුණවතී හා සිරියලතා යන චරිත කේන්ද්‍රකොටගෙන ද වෙන වෙනම පුවත් නිර්මාණය කර ගැනීම දුෂ්කර නොවේ.
 
 නවකතාවේ ජයමන්තගේ චරිතය නිරූපණය වන්නේ ස්තී‍්‍ර ආධිපත්‍යයට යටත්ව නිහඬ අරගලයක යෙදෙන අහිංසක පුද්ගලයකු ලෙසටය. පවුලේ බාලයා වීම නිසාම මව්පිය දෙදෙනාගේ ආදරය හා සෙනෙහස නිතැතින්ම ඔහුට හිමි විය. මවුපියන්ට ද ඔහු දැඩි ලෙස ළෙන්ගතු වූයේය. ජීවිතයේ සැඳෑ භාගයේදී මල්ලිකා දුල්ලෑවගෙන් නින්දා අපහාස විඳීමට ඔවුන්ට සිදුවීම ගැන ජයමාන්න ඉත සිතින් කම්පා වූවේය. ඔවුන්ට නින්දා පරිභාසවලට මුහුණ දීමට සිදුවීම ගැන හදවතින්ම වැළපුණු ජයමාන්න ඇතැම් විට අක්කා සමග පවා ගැටෙන්නට පෙළඹුණේය. ඇය ඉක්මවා යෑමට කිසිම අතකින් ඔහුට නොහැකි වුවත්, ලෙඩ රෝග හා අසරණකමින් හෙම්බත්ව සිටි ඔවුන්ට ආක්‍රෝෂ පරිභව කිරීම නොමනා බව දැඩි ස්වරයෙන් කියා පෑමට ඔහු අදිමදි නොකළේය. එහෙත් ඔහුට ඒ සම්බන්ධයෙන් දැඩි අරගලයක් කිරීමට තරම් ශක්තියක් නොවීය.
 
 සාහිත්‍ය කලාදියට පි‍්‍රයමනාප භාවයක් දැක්වූ ජයමන්ත එදිනෙදා ජීවන චර්යා සටහන් ලිවීමට පෙළඹුණේය. එසේම විවේක අවස්ථාවලදී නවකතා ලිවීමට ද නැඹුරු විය. මේනකා සමග පවත්වා ගෙන ගිය ජීවිතය ඔහුගේ ඒකාකාර ජීවන මඟට ආලෝකයක් විය. ඔහු යම් බඳු ජීවිතාස්වාදයක් වින්දනය කළේ ඇය මුණගැසී කතාබහ කරමින් ඈ සමීපයෙහි විසීමටය. එහෙත් එය වළක්වාලූයේ එකවර බලය අතට ගත් මල්ලිකා වෙල්ලියැද්දය. පසුව ඔහු ග‍්‍රහණයට ගන්නා ගුණවතී අයුතු ලාභ සත්කාර ලබා ගැනීමට පෙළඹෙයි. ඔහු ඇය සමග උදහසට පත්වන්නේ තමාට කෙතරම් ද්‍රෝහිකම් කළත් තමා සහෝදරිය මරා දැමීමට ඇය කරන්නට අදහස් කළ සැලසුම් දැන ගැනීමෙන් පසුවය. වලව් බිඳවැටීමේ ස්වභාව ධර්මය න්‍යාය තහවුරු කෙරෙන මේ නවකතාවේ චරිත එතරම් සංකීර්ණ චරිත නොවුණත් යම් නැවුම් භවයකින් යුතුව නිරූපණය වී ඇත. ජයමන්ත හා ලෙනාඞ් යන චරිතද්වය යහපත් බව පිළිබිඹු කරන චරිත ලෙස ගොඩනගන ලේඛිකාව, මල්ලිකා දුල්ලෑවගේ චරිතය දුෂ්ට, කිසිදු මානව ගුණයක් ප‍්‍රකට නොකරන පැතලි චරිතයක් ලෙස නිරූපණය කර ඇත. මේ නිසා කලාත්මක නවකතාවක චරිතවල දෘශ්‍යමාන විය යුතු සමබරතාව රැුක ගැනීමට ලේඛිකාව අපොහොසත් වූ බැව් පෙනේ. මල්ලිකා දුල්ලෑවගේ චරිත ලක්ෂණ ඇගේ දියණියන් දෙදෙනාගේ චරිතවලට ද ආරෝපණය කර ඇත.
 
 මෙබඳු යම් යම් ඌනතා දක්නට ලැබුණත් ‘වාරා මාලාව’ පාඨකයනයට පි‍්‍රයමනාප බවක් ඇති කරන කෘතියකි. විශේෂයෙන් ළගන්නා සුළු රුචිකත්වය වඩවන බස්වහරක් භාවිතයේ කුසලතාවක් ලේඛිකාව ප‍්‍රකට කරයි. කතාවට යම්බඳු ගම්භීරත්වයක් ආරෝපණය කිරීම සඳහා දැන උගත් බුද්ධිමතකු වූ ජයමන්තගේ චරිතය උපයෝගි කර ගෙන ලියෝ කෝල්ස්තෝයි, ෆියදොර් දොස්කොව්ස්කි යන ලේඛකයන්ගේ නවකතා, ඛලීල් ජිබ්රාන්ගේ කාව්‍ය නිර්මාණ උම්මග්ග ජාතිකයේ කතා, ජපානයේ වක කාව්‍ය සංග‍්‍රහයක් වූ ‘මන් යෝෂු’ වලින් උපටනු ලැබූ කවි හයිකු කවියේ පිතෘ වූ බෂෝගේ පද්‍ය, විමලකීර්ති නිර්දේශ සූත‍්‍රය, ‘සද්ධර්ම පුණඩරික සූත‍්‍රය, සූරියගම සූත‍්‍රය ආදියේ අදහස්, ප‍්‍රකාශන හා කවි උපුටන ලෙස ඉදිරිපත් කර ඇත. ඒවායින් නවකතාවට යම්බඳු ආලෝකයක් ලැබී ඇති බැව් පෙනේ. මෙහි දක්නට ලැබෙන අසාධනීය අංශවලින් මිදී සාධනීය අංශවලින් තවදුරටත් පෝෂණය කරගතහොත් අනාගතයේදී මෙයට වඩා කලාත්මක ගුණාංගවලින් සාර්ථක වූ නවකතා රචනා කිරීමට හැකි ශක්‍යතා යමුනා මාලිනි පෙරේරා සතුවන බව පැවසිය හැකිය.
 
 මහාචාර්ය  කුලතිලක කුමාරසිංහ
 සිංහල විශ්වකෝෂය ප‍්‍රධාන කර්තෘ

kandos18
advertistmentadvertistment
advertistmentadvertistment