වලස් පවුලක් සමග සටන් වැද දිවි ගලවාගත් මනතුංග

636

වැලහින්න එක්ක පැයක් පොර බැදුවා…

මුහුණ පතුරුගිහින් දත් ඇන්ද ගැලවිලත් සිහිය නැති වුණේ නෑ…

මාත් එක්ක ගිය කොල්ලෝ දෙන්නා බේරුණේ ගස් නැගලා…

අප ඉදිරියේ සිටින තනිකඩයා ගොවියෙකි. එහෙත් දැන් ඔහුට පෙර සේ කුඹුරු, හේන් කෙටීමට නොහැකිය. ඒ වයසෙන් වියපත් නිසා නොවේ. වැලහින්නක් ඔහුගේ ශරීර කූඩුවේ මස් ඉරා දමා අනතුරට පත්කර ඇති නිසාය. පූරුවේ පිනකට මරණයෙන් ගැලවී සිටින හේ ජී. බී. මනතුංගය. වයස අවුරුදු පනස් එකකි. බුත්තල, කෝන්කැටිය ප‍්‍රදේශයේ පුංචි පැල්පතක ජීවත්වන මනතුංග අවිවාහකය.

වැලිමඩ උපන් ගමේ සිට රැකියාවකට පැමිණි තරුණ මනතුංග බුත්තල බින්න බැසීමට හේතුවක් තිබෙන්න ඇත. එහෙත් ඒ ගැන හාර ඇවිස්සීමට අපට අවශ්‍ය නොවිණි. පසුව බුත්තල, කෝන්කැටිය ප‍්‍රදේශයේ වගා කටයුතු කරගෙන ගිය ඔහු යාල කැලේ මී කැඞීම, බිං කොහොඹ ගැලවීම, මෙන්ම ගල් සියඹලා කැඞීම ද අමතර ආදායම් මාර්ග කරගෙන දිවි ගෙවූ බව ඔහු අපට කීවේය. එහෙයින් යාල උතුර, පේ‍්‍රරක කලාපයේ පිහිටි බුදුගල්ලෙන රක්‍ෂිතය මනතුංගට ආගන්තුක කැලෑවක් නොවිණී. ඔහු ජීවත්වන පැල්පතෙන් එළියට බහිනකොට ඉදිරියෙන් දර්ශනය වනුයේ බුදුගල්ලෙන විසල් කඳු මුදුනය. සෑම පෝය දිනකම බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයට යන මනතුංග පූජා භූමිය සුද්ධ පවිත‍්‍ර කරමින් හෝරා කිහිපයක් එහි කාලයගත කිරීම ද පුරුද්දක් කරගෙන සිටියේය. 2020 වසරේ පෙබරවාරි 08 වැනිදා පෝය දින බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයට ගොස් පැමිණෙමින් සිටින විට සැඟ වී සිටි වලස් පවුලක්ම ඇඟට පැන ශරීර කූඩුවේ මස් තීරු තීරු කර ඉරා දැමූ අයුරු ඔහු අපට පවසයි.

කළ අයුරු දැන් ඔහු අපට කියන්නේය.

‘‘ඒ සිද්ධිය මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා. එදා මම තවත් කොල්ලො දෙන්නෙක් එක්ක උදේ පාන්දරම බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයට ගියා. හැතැක්ම ගාණක් කෙළින් කන්ද නඟින්න ඕනෑ. ඒ වගේම උදේට හරිම සීතලයි. සිල් ගන්න යන ඇත්තොත් එක්ක කන්ද නැඟලා සේනාසනයට ගිහින් සුද්ධ පවිත‍්‍ර කරලා දවල් එකට විතර අපි තුන්දෙනා පල්ලම් බහින්න පටන් ගත්තා. ගල් පඩිපෙළ බැහැලා ඇවිත් ගල්ලෙනක් ළඟ නතර වුණා. මහන්සියට ගල් පොත්තට බර තියන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ. වහං වෙලා හිටිය වලස්සු දෙන්නෙක් කෑගහගෙන මගේ ඇඟට පැන්නා. ගල උඩ හිටිය වැලහින්න කෙළින්ම මගේ මූණට පැන්නා. දත්වලින් අල්ලගෙන ගල උඩට මාව උස්සනකොට කම්මුලේ මස්් ඉරිලා කඩාගෙන වැටුණා. හකු ඇට කැඩිලා දත් ඇන්ද බිමට වැටුණා. මර ලතෝනී දීගෙන හිටි තැනම මම ඉඳගත්තා. මගේ පිටුපස හිටිය කොල්ලො දෙන්නා දුවලා ගස් දෙකකට නැඟලා තිබුණා. මගේ කෑගැහිල්ලට වලස්සුත් දිව්වා. මූණ පුරා ලේ බේරෙනවා මට දැනුණා. හිතට හයිය අරගෙන මූණ අල්ලගෙන නැඟිටිනකොටම පඳුරකට මුවා වෙලා හිටිය වැලහින්න ආයෙමත් ඇඟට පැන්නා. ඒ වතාවේ ඌට හව් වුණේ මගේ දකුණු කකුල. එහෙම්ම ම මාව පහළට ඇඳගෙන ගියා. මම පොඩි ගහක් අල්ලා ගත්තා. වැලහින්න ගස්සල ඇඳපු පාරට ගහ ඉඳිරිලා මාව පහළට ගියා. තව ටික දුරක් පහළට ඇඳගෙන යනකොට අනිත් කකුලෙන් වැරෙන් මම ඇන්නා. මරුවිකල්ලෙන් ගහපු පහර ඌට සැරට වැදුණා. කෑගහගෙන කැලේට දුවපු වැලහින්න මොහොතකින් ඇවිත් ආයෙමත් ඇඟට පැන්නා. විශාල වැලහින්න. ඌගේ බරට නැවත මාව වැටුණා. අතට අහුවුණු ගල් ගෙඩියක් අරගෙන ඌගේ ඔළුවට ඇනගෙන, ඇනගෙන ගියා. ලේ පේරාගෙන අහකට පැන්න වැලහින්න නැඟිටින්න හදනකොට ආයෙමත් ඇඟට පැන්නා. ඇෙඟ්ම වීර්ය දාලා ඌගේ යටිතල්ල අල්ලගෙන බිම ගැහුවා. ඒ විදිහට වැලහින්න පස්වතාවක් මගේ ඇඟට පැන්නා. අන්තිම වතාවේ උල් තිරිවාන ගල් කෑල්ලක් මගේ අතට අහු වුණා. ඒ ගලෙන් ඌගේ කන්අඩියට ඇන්නා. කෑලැව දෙවනත් වෙන්න කෑගහගෙන දිව්වා. ගල් අල්ලගෙන අමාරුවෙන් හිටගන්නකොට වලස් පැටව් දෙන්නා මගේ පිටිපස්සෙ. චූටි පැටව් දෙන්නා. දත්වත් නෑ. ආවේගයෙන් ගහපු පා පහරට උන් දෙන්නව ගිහින් ගලෙන් පහළට වැටුණා…’’

වලස් පවුලක් සමග සටන් වැද දිවි ගලවාගත් මනතුංග

‘‘පැටව් දෙන්නා හිටිය නිසා තමයි වැලහින්න පැන, පැන මාව කෑවේ. පැටව් දෙන්නා තව හිටියා නම් වැලහින්න නැවත මට පයිනවා. පැයකට වැඩි කාලයක් වැලහින්න එක්ක පොර බැදුවා. මාව මරලා ලෙන ඇතුළට ඇඳගෙන යන්නමයි හැදුවේ. කකුලෙන් ඇඳගෙන ඇවිත් තිබුණෙත් ලෙන පැත්තට. එදා මම බේරුණේ හිතේ හයියටමයි. ගමේ මිනිස්සු ඇවිත් මාව කන්දෙන් පහළට ගේනකොට හවස හය විතර වෙලා තිබුණා. ආරණ්‍ය සේනාසනයේ හාමුදුරු දෙනමක් වැඩම කරලා මට පිරිත් කිව්වා. තුවාලවලින් ලේ ගිහින් අන්තිමට බේරුණේ වතුර. එතකොටත් මට සිහිය තිබුණා. ඇම්බියුලනස් එකක් ඇවිත් සිරිගල ඉස්පිරිතාලෙට අරගෙන යනවා මට මතකයි. සිරිගල ඉස්පිරිතාලෙදී මගේ තුවාලවලට පාස්ටර් ගහලා පහුවදා උදේ පාන්දර බදුල්ල මහ රෝහලට යැව්වා. හරියට ම මාසයක් බදුල්ල රෝහලේ ප‍්‍රතිකාර ගත්තා. ඒ ඇවිල්ලත් මාස දෙකක් විතර බෙහෙත් කළා. වැලහින්න දත් ගහපු කම්මුලේ ඇටකටුව නෑ. කටේ එක දතක්වත් නෑ. ඇහැ බේරිලා තිබුණේ නූලෙන්. ඒ වගේම වැලහින්න දත් ගහපු කකුලේ නියපොතු ආවේ මාස තුනකට පස්සේ. වැලහින්නගේ එක දතක් දඹර ඇඟිල්ල විතර දිගයි. උල් කටුවක් වගෙ තියුණුයි. ඒ වගේ දත් හතරක් උන්ගේ කටේ තියෙනවා. යකඩත් හපන්න තරම් ඒ දත් ශක්තිමත්…’’ දත් නැති මුවින් හේ අපහසුවෙන් කතා කරන බව මට වැටහිණි. එහෙයින් ගලාගෙන යන කතාවට අපි කෙටි විරාමයක් තැබුවෙමු.

වලහා යනු කැලෑවේ සිටින නපුරුම සතාය. එමෙන්ම මිනිසාගේ සංසාරගත හතුරෙකි. කැලෑවේ ඇවිඳ යන මිනිසෙක් වලහෙක්ගේ ඇස ගැටුණුවිට, ඔහුට නොදැනෙන්න පසුපසින් පැමිණෙන වලහා පහරදීමට සුදුසු ස්ථානයට පැමිණිවිට උපරිම වෙර වීර්ය යොදා මිනිසාගේ ඇඟට පනියි. ඌගේ ඉලක්කය මිනිසාව බිම පෙරළා ගැනීමය. වලහාගේ පිම්ම සාර්ථක වීම මිනිහාගේ අවසානය විය හැකිය. වලහාගේ පහරදීම එතරම් ම කෲරය. මාරාන්තිකය. මිනිසාගේ මුහුණ ඉලක්ක කරගෙන පහරදෙන හෝ සපා කන වලහා තියුණු දත්, නියපොතුවලින් මස් ඉරා ඔළුව දරුණු ලෙස සපා කති. ගෙල ප‍්‍රදේශයත්, පපු ප‍්‍රදේශයත් තියුණු නියපොතුවලින් ඉරා මස් වැදිලි බවට පත් කරති. වලස් පහරදීමකට ගොදුරුව මරණයෙන් ගැල වී සිටින කෙනෙක් වේ නම් වලස් පහරදීමෙන් ඇති වූ තුවාල කැළැල් සදාකාලික වූ සටහන් බවට පත්වන බව නිසැකය. මනතුංගගේ මුහුණේ මෙන්ම එක් කකුලක තියෙන තුවාල කැළැල් ද ජීවිතයට මැකී නොයන බව නම් පැහැදිලිය. එමෙන්ම බොහෝවිට මිනිසුන් වලස්සුන්ගේ පහරදීමට ලක් වන්නේ බැද්දේ බඳින මී වද කැඞීමට යෑමේදී මෙන්ම ගල් ලෙන්වල බැඳ තිබෙන වැහිලිහිණි කූඩු කැඞීමට උත්සාහ දැරීමේදී බව කෑලෑව ජීවනෝපාය කරගෙන සිටින අය කියන කතාවකි. මනතුංගට වැලහින්න පහර දී තිබෙන ගල්ලෙන තුළ ද වැහිලිහිණි කූඩුවක් තිබී ඇති බවත් එම ලෙන වලස් පවුලේ නිවහන බවත් කෝන්කැටිය ප‍්‍රදේශවාසීහු අපට කීහ.

‘‘කැලේ මී කඩන්න ගිය අවස්ථාවලදී ඕන තරම් වලස්සු මුණගැහිලා තියෙනවා. කිසිම දවසක ආරවුලක් ඇති වෙලා නෑ. එදා උන් අපිට පැන්නේ පැටව් හිටපු නිසා තමයි. පැටව් ඉන්නකොට වැලහින්න සැරයි. සාමාන්‍යයෙන් වලහෙක් අපේ දිහාවට එනව දැනුනොත් පොල්ලක් අරගෙන එලව්වම කැලෑවට දුවනවා. වැලහින්න භායනකයි. දිව්වත් නැවත එනවා. මාව කාපු වැලහින්න ඊට පස්සෙත් කන්ද පහළ ඉන්නවා කිහිපදෙනෙක්ම දැකලා තිබුණා. ඒත් කාටවත් කරදරයක් කරල තිබුණේ නම් නෑ. බුදුගල්ලෙන කන්දේ විතරක් වලස්සු දොළහක්, දහතුනක් ඉන්නවා. ඔය කන්දේදී තවත් කිහිපදෙනකුට වලස්සු පැනලා කාලා තිබුණා. එක් අයෙක් මැරුණා. වලස්සු පහර දෙනකොට ටාගට් කරන්නේ මිනිසුන්ගේ මුහුණ. නැති නම් යටි බඩ ප‍්‍රදේශය. වලස්සු පැනලා රහස් ප‍්‍රදේශ කඩාගන්න හදලා බේරුණු කෙනෙක් අපේ ගමේ ඉන්නවා. එයා බේරිලා තිබුණේ ගමන් සඟයාගේ නිර්භීතකමට. ඒ මල්ලිට වලහා පැන්නම ගමන් සඟයා පොල්ලක් අරගෙන වලහාට ගහලා තිබුණා. එතකොට තමයි වලහා පැනලා දුවලා තිබුණේ. ඒ මල්ලි ඉන්නෙත් මේ කිට්ටුව. ඒත් ඒ අනතුර ගැන කතා කරන්න එයා කැමැති නෑ…’’ මනතුංගේ මුහුණ සිනාවකින් පිපෙන අයුරු අපි දුටිමු. එහෙත් හකුඇට කැඞී, තුවාල කැළැල් සහිත ඒ මුහුණ විකසිත නොවිණි.

වලස් පවුලක් සමග සටන් වැද දිවි ගලවාගත් මනතුංග

‘‘වලහා පැනලා තියෙන්නේ කටක් ඇරලා කාටවත් කියන්න බැරි තැනකට නේ…’’

‘‘ඒ නිසා තමයි ඒ මල්ලි අනතුර ගැන කාටවත් කියන්න කැමැති නැත්තේ…’’ මනතුංග මගේ සිතුවිල්ල යථාර්ථයක් කරමින් එසේ කීවේය.

‘‘එදා මාත් එක්ක ගිය කොල්ලො දෙන්නා කෑගැහුවට වචන පිට නොවෙන තරමට බය වෙලා. කොහොම හරි ආරංචිය ගිහින් මම වැටිලා හිටිය තැනට ගමේ අය එනකම් කොල්ලො දෙන්නා ගස්වලින් බැස්සේ නෑ. උන් දෙන්නගේ බය අරින්න සති දෙකක් එක දිගට මතුරන්න වෙලා තිබුණා. මාස ගාණක් යනකම් කොල්ලො දෙන්නා බුදුගල්ලෙන කන්ද දිහා බලලා තිබුණේ නෑ. නොදන්න කෙනෙක් වලහාගේ කෑගැහිල්ලටම බය වෙනවා. ඒ වගේම වලහෙක් කෑගහන්නේ ගොදුරකට පනින්න බලාගෙනමයි. වලහා
කෑගහනකොට ඉදිරියේ ඉන්න මිනිහගේ හෝ සතාගේ ඇස් පෙන්නේ නැතිව යනවා. ඒකට කියන්නේ වලස් ඇඳිරිය කියලා. ඇස් පෙන්නේ නැතිව ගියාම මනුස්සයට මොනවත් කරගන්න බැරිව යනවා. වලහාට පහසුවෙන් මිනිහට ගහලා, හපලා මරන්න පුළුවන්. වලහාගේ පහරදීමත් එක්ක සිහිය නැතිව මිනිහ වැටුණොත් මැරිලා කියලා හිතලා වලහා කැලේට යනවා. ඒත් පැටව් හිටියොත් වැලහින්න යන්නේ නෑ. එදත් වුණේ ඒක. ඒ වගේම දෙවැනි වතාවට වැලහින්න පැන්නේ මගේ යටි බඩ ප‍්‍රදේශයට. පොරබදනකොට ඌගේ දත්වලට අව් හුණේ කකුල. රහස් ප‍්‍රදේශය අහුවුණානම් කඩා ගන්නවා…’’

‘‘ඒ වගේම වැලහින්න මට ගැහුවා නම් මීට වඩා තත්ත්වය බරපතළ වෙන්න තිබුණා. වලහා ගහනකොට මිනිහා වගේම හිටගෙන අතින් ගහනවා. ඒ පහර වැරෙන් වදිනවා. වලහා ගහපු මිනිස්සු බේරෙන්නේ කලාතුරකින්. මගේ වාසනාවට වැලහින්න ගැහුවේ නෑ. එදා වැලහින්න එක්ක මම පොරබැදුවේ කකුලේ ආබාධයක් තියෙද්දී. 2018 ජනවාරි 01 වැනිදා බුත්තල – කතරගම පරේදී වැලි ටිපර්කාරයෙක් මාව යට කරගෙන ගිහින් මැණික් කටුව ළඟින් කකුල කැඩුණා. ඒ කකුලම තමයි වලහා කෑවෙත්. ඒ අනතුරෙන් පස්සෙ තවම කඳු නඟින්න අමාරුයි. එක දිගට වැඩ කරනකොට කකුල ඉඳිමෙනවා. ජීවත් වෙන්න රස්සාවක් කරන්නම වෙලා තියෙන නිසා සතියකට දෙතුන් දවසක් කුලියක්කර ගන්නවා…’’ දෑතේ ශක්තියෙන් කීයක් හරි උපයා නොගන්න මනංතුගට වෙනත් සරණක් නැත. ඔහු ජීවත් වන්නේ ද පිටපලූවලින්, ටකරන් කෑලිවලින් අහුරන ලද පොල්අතු පැලකය. උයාගෙන කෑමට හැළිවළං දෙකක් හැරෙන්නට ඒ පැල්පත තුළ වෙනත් කිසිවක් අපට නොපෙණිනි.

‘‘ඉස්සර වගේ දැන් කුලී වැඩත් නෑ. අතේ පිච්චිය නැතිව සති ගණන් ඉන්නවා. මී වද තියෙන කාලෙට වද කඩාගෙන පැණි විකුණනවා. ඉඳහිට කැලේට ගිහින් බිංකොහොඹ ටිකක් එකතු කරගෙන ඇවිත් තොගයට දෙනවා. ඒත් ඉස්සර වගේ මහා කැලෑවේ සති ගණන් ඉන්නේ නෑ. කඳු නඟින්න යන්නෙත් නෑ. තවත් දෙතුන්දෙනෙක් එක්ක ගිහින් පරිස්සමට ඒ දේවල් කරගෙන එනවා…’’ කුලියක් හෝ කිරීමට ආර්ථික පසුබිමක් නැති ග‍්‍රාමීය පරිසරයක ජීවත්වන මේ මිනිසුන්ට පණනළ රැකගැනීම උදෙසා කැලය ජීවනෝපාය කරගන්නවා හැරෙන්නට වෙනත් මඟක් නැත. එහෙත් මී වදයක් යනු නිවසකි. සාමූහිකත්වයේ මියුරු රස පිරුණු පුංචි කැදැල්ලකි. එකමුතුකමින් ගොඩනඟාගත් ඒ නිවස කඩා බිඳ දැමීම පාපයකි. දැන හෝ නොදැන මී වද කඩා රැස් කරගන්නා අකුසල කර්ම ඔවුන්ට මඟ දමා යෑමට නොහැකි බව ද සැබෑය.

එමෙන්ම මනතුංගට සිදු වී ඇති අනතුරු දකිනවිට මට හැඟුණේ මෙපණකි… අදටත් මනතුංග ජීවත් වන්නේ හිතේ හයියට සහ පූරුවේ වාසනාවටය. එසේ නොවෙන්න මනතුංග මිය යන්නේ වැලහින්නගේ පහරදීමට නොවේ. කාලකණ්ණි වැලි ටිපර්කාරයෙක් ඔහුව යට කරගෙන ගිය දවසේ ය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment