වල්නාශක නැතිව කුඹුරු කරන හැටි….

257

එළඹෙන යල කන්නයටත් වල්නාශක ලැබේදැයි සැකයි…
 
 වල්බීජ කුඹුරට පැමිණීම, පසේ තිබෙන වල්බීජ සංචිතය වැනසීම යන දෙකම කළ යුතුයි
 
 එක බජිරි පැළයකින් අලුත් පැළ 40,000 ක් බෝවෙනවා
 
 කාලය වැයකර නියම උපකරණවලින් නොකළහොත් සීසෑමෙන් හා වතුර බැඳීමෙන් වල් මර්දනයට වැඩක් නෑ
 
 80% ක් ගොවීන් අතර ගැවසෙන හුවමාරු බිත්තර වී වලත් වල් බීජ තිබෙනවා

වල්නාශක නැතිව කුඹුරු කරන හැටි....

හොර නැතුව ගොවිතැන් කෙරුවත් වල් බෙහෙත් නැත්නම් කුඹුරු කරලා අහවරයි.” මේ පසුගිය දිනකදී අපට හමුවූ වී ගොවි මහතෙක් කී කතාවකි. වල් බෙහෙත් වශයෙන් ඔහු හැඳින්වූ වල්නාශක පළමුවරට ලොවට හඳුන්වා දුන්නේ ඩබ්ලිව්. ජී. ටෙම්ප්ල්මන් විසින් වන අතර ඒ 1940 වසරයි. එම පළමු වල්නාශකය වූයේ පසුකලෙක පුළුල් ලෙස භාවිතා වූ 2,4 ඩී නමැති සංයෝගයයි. එසේනම් අද දවසේ නැතිවම බැරි දෙයක් ලෙස පෙන්වාදෙන මේවා ලොව පහල වී තවම ගෙවීගොස් ඇත්තේ සියවසකටත් අඩු කාලයකි. එමෙන්ම පැරණි ගොවියා මේවා නැතුව සාර්ථක වී ගොවිතැනක නියැළුන බවත් මේ මොහොතේ අප සිහිපත් කරගත යුතුවේ. පසුගිය මහ කන්නය තුළදී මිලදී ගන්නට වෙළඳපොළේ වල්නාශක තිබුණේ නැත. එළඹෙන යල කන්නය සඳහා නම්, පෙර වසර තුනකදී ආනයනය කළ වල්නාශක ප්‍රමාණයේ එකතුවේ සාමාන්‍ය අගයෙන් 50% ක ප්‍රමාණයක් ගෙන්වීමට මේ වනවිට අවසර දී තිබුණත්, පෞද්ගලික ව්‍යාපාරිකයන් ඊට සූදානම් වන බවක් තවමත් පෙනෙන්නට නැත්තේ විදේශ විනිම අර්බුදය ප්‍රබලව බලපවත්නා බැවිනි. විකල්ප වල් මර්දන පිළිවෙත් කෙරෙහි යොමුවීමේ අවශ්‍යතාව පැනනගින්නේ ඒ නිසාය. ඊට අවශ්‍ය උපදෙස් සියල්ල පෙරසිටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙන අතර ඒවායේ භාවිතාවට මේ හරහා ලැබෙනු ඇත්තේ ඉහළ වටිනාකමකි.

වල්නාශක නැතිව කුඹුරු කරන හැටි....

“වල්පැළ පාලනය සඳහා අනුගමනය කළ හැකි ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් අපට පිවිසුම් දෙකක් යටතේ හඳුන්වාදෙන්න පුළුවන්. පළමුවෙනි එක තමයි කුඹුරට වල් බීජ හෝ පැළ පැමිණීම හැකිතාක් අවහිර කිරීම. දෙවැන්න තමයි දැනට පැමිණිලා තිබෙන, වී වගාවත් සමග ඉදිරියට එන වල්පැළ මර්දනය කිරීම. මේ දෙක හරියට කරගත්තොත් කරදරකාරී විධියට කුඹුරේ වල් හැදෙන එකක් නෑ.”

වල්නාශක නැතිව කුඹුරු කරන හැටි....

මෙසේ පවසන්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ වල්පැළෑටි පිළිබඳ පර්යේෂණයන්හි නිරතවන ආචාර්ය ස්වර්ණා හේරත් ය. ඇය පෙන්වාදෙන පරිදි මීළඟ වගා කන්නයට පෙර, දැන් සිටම අනුගමනය කළයුතු දෑ සමහරක් මේ වනවිටත් කල්ඉකුත්වූ උපදෙස් විය හැකි වන්නේ මහ කන්නයේ අස්වනු නෙළීම ඇතැම් කුඹුරුවල මේ වනවිටත් අවසන්ව ඇති බැවිනි. එහෙත් තවත් කළයුතු දෑ බොහොමයක් තිබෙන නිසා සිතෙහි දෙගිඩියාවක් ඇතිකර ගතයුතු නොවේ. මහට වැවූ ගොයම තවමත් කපාගත්තේ නැත්නම්, කළයුතු වැදගත් දෙයක් වන්නේ ගොයම සමගම පරිනත වී මේ වනවිට බීජ විසුරුවා හරින්නට සූදානමින් සිටින වල් බීජ කරල් සියල්ල දෑකැත්තක් වැන්නකින් කපා ඉවත්කර දැමීමයි. මන්දයත් අස්වැන්න නෙළනවිට මේවා තිබුණහොත් බීජ වැඩි හරියක් වැටෙන්නේ කුඹුරටය. ඊළඟ වැදගත් කරුණ වන්නේ නියරවල, කෙතට ජලය සැපයෙන ඇළ මාර්ගයන් තුළ ආදියේ තිබෙන වල් ඉවත් කිරීමයි. වාරි ජලය සමග ඉතා පහසුවෙන් වල් බීජ කුඹුරට පැමිණේ. මේ පියවර දෙකත් සමගම යල කන්නයේ සූදානම අරඹන්නේ නම් වල් මර්දන ක්‍රියාන්විතයේ ලොකු පියවරක් දැනටමත් ඔබ විසින් පසුකර හමාරය. දැන් සැලකිය යුතු වන්නේ බිත්තර වී භාවිතය ගැනයි.

වල්නාශක නැතිව කුඹුරු කරන හැටි....

“අපේ ගොවීන්ගෙන් 15% – 20% ක පමණ ප්‍රමාණයක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද බිත්තර වී භාවිත කරන්නේ. අනෙක් අය අනුගමනය කරන්නේ ගොවීන් අතර හුවමාරු කිරීමේ ක්‍රමය. ගොවීන් සතු බිත්තර වී වල යහමින් වල් බීජ තිබෙන්න පුළුවන්. එතකොට අපි එළඹෙන යලේදී වී සමග වල් බීජත් වපුරනවා. මේ තත්ත්වය නැතිකරගන්න එකත් ගොවීන්ගේ වගකීම.”

වල්නාශක නැතිව කුඹුරු කරන හැටි....


ආචාර්ය ස්වර්ණා පවසා සිටී. එක බජිරි ගසකින් බීජ 40000 ක් පමණ නිපදවන්නේය. මේ අනුව වල්පැළ සහිත කුඹුරක නිපදවන බිත්තර වී කෙතරම් ප්‍රමාණයකින් දූෂණය වන්නේදැයි සිතා ගැනීම අපහසු නැත.

වල්නාශක නැතිව කුඹුරු කරන හැටි....

 “දැන් හුඟක් කුඹුරු කපන්නේ යන්ත්‍රවලින්නේ. එක දවසකට කුඹුරු කීපයක් කපලා දෙන්න යන්ත්‍ර හිමියන්ට ඇනවුම් ලැබෙනවා. ඉතින් එකක ගොයම් කපලා අනෙක් කුඹුරට යනකොට පළමු කුඹුර වල්පැළ බහුලව තිබුණ කුඹුරක් නම් අනිවාර්යයෙන්ම දෙවැනි කුඹුර කොච්චර පිරිසිදුව තිබුණ එකක් වුණත් එය කිලිටි වෙනවා. බලපෑම දැනෙන්නේ ඊළඟ කන්නයේදී. මේ නිසා සංයුක්ත නෙළනයක් තමන්ගේ කුඹුරට දාගන්න කලින් කුඹුරු හිමියා මේ ගැන නොසිතුවොත් ගොයම් කපන කෙනා වැඩේ කරලා, වල් බීජත් වපුරලා යයි. ඒ නිසා යන්ත්‍රය හොඳ පිරිසිදු තත්ත්වයෙන්ම කුඹුරට දාගන්න.”

වල්නාශක නැතිව කුඹුරු කරන හැටි....


ආචාර්ය ස්වර්ණා අවවාද කරයි. වල්පැළ මර්දනයේ මීළඟ කොටස වන්නේ පෙර සඳහන් කළ පරිදි කුඹුරේ තිබෙන බීජ සංචිතය අවම කරගැනීමයි. මෙය කරනුයේ ක්‍රමවත් හා විද්‍යානුකූල සීසෑම හරහාය. පළමු සීසෑම හැකි ඉක්මනින් සිදුකිරීම ප්‍රයෝජනවත් වන අතර, කුමන ආකාරයේ නගුලක් භාවිත කෙරුවත් පස් පිඩැල්ල අඟල් 5-9 ක් ගැඹුරට හාරා උඩු යටිකුරු කර පෙරලා දැමිය යුතුවේ. රොටොවේටරය භාවිතයෙන් මෙය කළ නොහැකිය. අනතුරුව වතුර හරවා පස් පිඩැල්ලේ භාගයක් පමණ යටවෙන තරමට වතුර බැඳ සති දෙකක් තැබිය යුතුවේ. දෙවන හීයට කාලය උදාවෙන්නේ ඉන් පසුවයි. ඒ සඳහා කොකුනගුල, රොටොවේටරය භාවිත කළ හැකිය. දෙවන හීයට පසු කුඹුරට හොඳින් වතුර බැඳ, වල් හා වල්බීජ හොඳට කුණුවී විනාශවීමට තවත් සතියක් කල් දී, අවසන් නොහොත් තුන්වෙනි සීසෑම කළ යුතුවේ. මින් පැහැදිලි වන්නේ වගා ස්ථාපනයට අවම වශයෙන් සති තුනකට පෙරදීවත් බිම් සැකසීම ආරම්භ කළයුතු බවයි. වර්තමාන ගොවියා අතින් සිදු නොවන්නේද මෙයමය. වල්නාශක වල පිහිට පතන්නට ඔහුට සිදුවන්නේද පසේ බීජ සංචිතය මෙවන් ක්‍රමවේදයක් හරහා සාර්ථකව විනාශ නොකරන නිසාය.

 “තවමත් ලංකාවේ ගොවීන්ගෙන් 95% ක් පමණම කරන්නේ වී වැපිරීමනේ. එතනදී තමයි රසායනික වල් මර්දනය තමුන්ට අවශ්‍යම දෙයක් හැටියට ගොවීන්ට දැනෙන්නේ. ඒ මොකද වපුරපු කුඹුරකට ඉසින්න වල්නාශක නැතිනම් ඉතුරුවෙලා තිබෙන එකම ක්‍රමය තමයි කුඹුර පුරා ඇවිදිමින් වල්පැළ ගලවන එක. මේක කම්කරු ශ්‍රමය බහුලව වැයවෙන වැඩක්. වැපිරීම යොදාගත්තෙත් කම්කරු ඌනතාවට පිළියමක් වශයෙන්නේ. ඉතින් දැන් ලොකු ප්‍රශ්නයක්. වැපිරීම සිදුකෙරුවත් දින 4 හෝ 5 පහුවෙනකොට වතුර බඳින්න පුළුවන්. සති දෙකක් පමණ දක්වා යම් ජල මට්ටමක් තබාගැනීමෙනුත් යම් තරමකට වල් මර්දනයක් වෙනවා. වල්නාශක නැති තත්ත්වයක් යටතේ පැළ සිටුවීම, පැරෂුට් ක්‍රමය වගේ දේ වඩාත් හොඳයි. පැළ සිටුවන්නේනම් සිටුවා දින තුනකට පසු සෙන්ටිමීටර් 2-3 ක් උසට සති දෙකක කාලයකට වතුර බඳින්න වෙනවා. පැරෂුට් කරද්දී නම් මුල සිටම කුඹුරේ වතුර තිබෙනවානේ. පැළ අතින් සිටෙවුවත් පේලියට සිටුවීමෙන් වල්නෙළන උපකරණයක් පේලි අතරින් යවලා වල් ගලවන්න පුළුවන්.”

 ආචාර්ය ස්වර්ණාගේ උපදේශය වන්නේ එයයි. පැළවූ ගොයමක් සහිත කුඹුරක වල් මර්දනය කරනුයේ කුමන අවස්ථාවේදීද යන්නත් සිතාබලා තීරණයක් ගත යුත්තකි. එක්කෝ මෙය පැළ සිටුවා දින 10-14 ක් දක්වා කාලය අතරතුරදී සිදුකළ හැකිය. දෙවැනි අවස්ථාව වන්නේ දින 18-21 අතරදී වල් මර්දනය කිරීමයි. බීජ වප්කරය මගින් පේලියට වැපිරීම සිදුකළත් වල් නෙළනා උපකරණය ඇසුරෙන් (වීඩරය) කටයුතු නිමකළ හැකි බවත් සිහි තබාගැනීම වටී.

 සනත් එම්. බණ්ඩාර
[email protected]
 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment