වල් නසන ඇසොල්ලා පැළෑටි වවාගන්නේ මෙහෙමයි… වර්ග මීටර් දෙකක වතුර ටැංකියකින් දිනකට ඇසොල්ලා කිලෝග‍්‍රෑමයක්…

323

දැනට සත්ව ආහාරයක් ලෙසත් ඇසොල්ලා භාවිත වෙනවා….

වල්නාශක භාවිතය සීමාසහිත වෙන පරිසරයක් වී ගොවියා හමුවේ නිර්මාණය වෙමින් පවතී. වල්පැළ නමින් හඳුන්වන පරිසරයට හොඳින්ම අනුවර්තනය වී තිබෙන මෙම ශාක කාණ්ඩයේ සාමාජිකයන්, මිනිසා විසින් මර්දනය උදෙසා ඔවුන් වෙත මුදාහරිනු ලබන ක‍්‍රමවේදයන් පහසුවෙන් ජය ගන්නට සමත්වෙනවා පමණක් නොව පහසුවෙන් සටන අතහැර පසුබැස යන පිරිසක්ද නොවේ. ගොවියාටද වල් මර්දනය වෙනුවෙන් නොනවතින සටනක් කරගෙන යන්නට සිදුවී තිබෙන්නේ ඒ හේතුවෙනි. වී වගාවේ නිෂ්පාදන වියදමින් සැලකියයුතු කොටසක් වල් මර්දනය වෙනුවෙන් දරන්නට සිදුවී තිබෙන්නේත් මේ නිසාමය. පසුගිය ලිපියක් මගින් අප විස්තර කරනු ලැබුවේ ඇසොල්ලා නම් කුඩා ජලජ පර්නාංගයට ලියැද්දේ ජලපෘෂ්ඨය මත වැවෙන්නට ඉඩහැර, පසට වැටෙන ආලෝකය ඒ හරහා අවහිර කරමින් ගොයම අතරින් මතුවෙන වල්පැළ යම් ප‍්‍රමාණයක් මර්දනය

කරගැනීමට ඇති හැකියාව පිළිබඳවයි. නිසි ක‍්‍රමවේදයට බිම් සකස්කිරීම හරහා කරගත හැකි වල් මර්දනයට මෙවැනි ‘අත්බෙහෙත්’ හරහාද ලැබෙන්නේ කිව නොහැකි තරමේ සහයෝගයකි. සියලූ උපක‍්‍රම ඒකාබද්ධව වල්පැළවලට එරෙහිව නැගී සිටිනවා යනු, මහත් විවේචනයන්ට පාත‍්‍රවී තිබෙන රසායනික වල්මර්දනය ගැන අවධානය යොමු නොකර සිටිනා තරමේ ශක්තියක් වුවත් වී ගොවියා තුළ ගොඩනැගීම, පිළිගත හැකි යථාර්ථයක්ද වන්නේය.

වල් නසන ඇසොල්ලා පැළෑටි වවාගන්නේ මෙහෙමයි... වර්ග මීටර් දෙකක වතුර ටැංකියකින් දිනකට ඇසොල්ලා කිලෝග‍්‍රෑමයක්...
සුනිල් ගමගේ මහතා

ගන්නොරුවේ පශු පර්යේෂණායතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් ගමගේ මහතා විද්‍යුත් ලිපියක් මගින් අප වෙත දන්වා තිබුණේ සත්ව ආහාරයක් වශයෙන්ද ඇසොල්ලා යොදාගැනීමට තිබෙන හැකියාව අමතක නොකරන ලෙසටය. මෙවැනි තොරතුරු හරහා ඇසොල්ලා හි වටිනාකම තවත් ඔපමට්ටම් වන අතර තම ඇසොල්ලා අවශ්‍යතාව වවාගැනීමේ ක‍්‍රමවේදයන් ඉදිරිපත් කිරීම මෙවර ලිපියේ අරමුණ වේ. පසුගිය ලිපියේ දැන්වූ පරිද්දෙන් ඇසොල්ලා වගාකළ යුත්තේ කුඹුරේම පසෙකින් සාදාගත් කුඩා ලියැද්දක් හෝ පොළොවේම තනාගත් කුඩා ජල තටාකයක් තුළයි. එකමත එක ඇසිරූ ගඩොල් පේලි දෙකක් හතරැස් කොටුවක් හැඩති වළක් සෑදෙන ආකාරයට සකසා, එහි පතුල මෙන්ම පැති ගඩොල්ද ආවරණය වන පරිද්දෙන් ඝන පොලිතීන් ආස්තරණයක් එලීමෙන් වුවත් ජලය ගබඩා කළ හැකි මෙම කුඩා තටාකය නිර්මාණය කරගත හැකිවේවි. විස්තර කිරීමේ පහසුව පිණිස මීටර් දෙකක් දිග හා මීටරයක් පළල ඇසොල්ලා වගා තටාකයක අවශ්‍යතාවන් මෙහි ඉදිරිපත් කර ඇති අතර, වගාකරුගේ වුවමනාව මත හා ඉඩකඩ තිබීම මත මෙම දිග පළල කැමති පරිද්දෙන් සංශෝධනය කරගැනීම වගාකරුගේ වගකීමකි. එහෙත් තටාකයේ පළල මීටරයක් අවට තබාගැනීම නිසා දෙපැත්තෙන්ම තටාකය මැදට අතපොවා ඇසොල්ලා අස්වැන්න නෙළාගැනීමට පහසුවෙන බවද සිහිතබාගත යුතුය.

ඇසොල්ලා යනු බීජ ශාකයක් නොවේ. එබැවින් එය බෝකර ගතහැකිවන්නේ වර්ධක ප‍්‍රචාරණයෙනි. සීග‍්‍රයෙන් බෝවෙන නිසා එය පහසු කටයුත්තක්ද වන්නේය. මෙම තටාකයේ ජල ගැඹුර සෙන්ටිමීටර් 10-15 ක් පමණ තිබිය යුතු නිසා තටාකයේ හෝ ලියදි බිත්තියේ උස අඟල් 8 කට වඩා වැඩිවිය යුතුයි. ජලයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් 40 ට වඩා වැඩිවෙත්ම ඇසොල්ලා ශාකයේ වර්ධනය අඩාල වන බැවින් සෙවන තිබෙන පරිසරයක් තෝරාගත යුතු අතර, සෙවන දැලක් භාවිතයද ඉතා සුදුසු වේ. එහි තවත් ප‍්‍රයෝජනයක් වන්නේ ජල නිකේතනය තුළ මදුරුවන් බෝවීමද දැලකින් වසා තැබීම නිසා අවහිර වීමයි. තටාකයේ දිගට සහ පළලට සරිලන, සිහින් එහෙත් ශක්තිමත් දැව දඬු හෝ උණ බම්බු වැනි දෙයක් තබා අදාළ දැල ඒ මත රැුඳවීම කළ හැකිය. මේ මගින් ආලෝක ප‍්‍රමාණයක් කපාහරිනවාට අමතරව, බාහිර කොළරොඩු යනාදිය තටාකයට පතිතවීමද වළකනු ලබයි.

වල් නසන ඇසොල්ලා පැළෑටි වවාගන්නේ මෙහෙමයි... වර්ග මීටර් දෙකක වතුර ටැංකියකින් දිනකට ඇසොල්ලා කිලෝග‍්‍රෑමයක්...

තටාකයට ගල් හා රොඩු ඉවත්වන සේ හොඳින් හලාගත් මතුපිට පස් කිලෝග‍්‍රෑම් 12-15 ක් පමණ දමා අනතුරුව දින තුන හතරක් පමණ පැරණි වියළි ගොම කිලෝග‍්‍රෑම් තුනක් පමණ ජලය ලීටර් 10 ක දියකර පස මතට විසුරුවා හැරිය යුතුවේ. අනතුරුව අඟල් හයක් (සෙන්ටිමීටර් 15* පමණ ගැඹුරක් තටාකයට ලැබෙන තෙක් පිරිසිදු ජලය දැමිය හැකිය. ඇසොල්ලා ශාකය පොස්පේට් වලට සංවේදීය. මේ නිසා දැනට දේශීයව සපයාගත හැකි එප්පාවල රොක් පොස්පේට් ග‍්‍රෑම් 15-20 ක් පමණද ජලයට එක්කිරීම ප‍්‍රමානවත් වේ. ජලය මතට ඇසොල්ලා දැමිය යුත්තේ මෙම ජල තටාකයේ කටයුතු අවසන් කර තවත් දින දෙක තුනක් ගතවෙත්දීය. ඇසොල්ලා ශාක කිලෝග‍්‍රෑමයක් පමණ ආරම්භයේදී යෙදීම ප‍්‍රමාණවත්ය. මෙසේ දමනවිට ඇසොල්ලා අහුරක් අතට ගෙන පොඩිකිරීමෙන් ඒවා කැබලි කරගන්නේ නම්, ගුණනය වඩාත් වේගවත් වනු ඇත. මන්දයත් මෙහිදී

යොදාගන්නේ වර්ධක ප‍්‍රචාරණ මූලධර්මය බැවිනි. කැබලි වැඩිවෙන තරමට ඉදිරි ගහන ඝනත්වයද වැඩිවේවි. කටයුතු ආරම්භය සඳහා අවශ්‍ය ඇසොල්ලා ප‍්‍රමාණය ස්වභාවික මිරිදිය පරිසරයකින් ඔබට එකතුකර ගැනීමට සිදුවේවි. එසේ නැතහොත් සත්ව ආහාර ලෙස දැනටත් මේවා වගාකරන අයෙකුගෙන් ඉල්ලා ගත හැකිය.

වල් නසන ඇසොල්ලා පැළෑටි වවාගන්නේ මෙහෙමයි... වර්ග මීටර් දෙකක වතුර ටැංකියකින් දිනකට ඇසොල්ලා කිලෝග‍්‍රෑමයක්...

කුඩා ඇසොල්ලා ශාක ජලය මත වැඩෙමින් ජල පෘෂ්ඨය වසා පැතිරෙනු ඇත. සති දෙකකින් පමණ කිලෝග‍්‍රෑමයක පමණ ඇසොල්ලා අස්වැන්නක් දිනපතා නෙළාගත හැකිවේ. පෙනේරයක් වැනි සිදුරු සහිත බඳුනක් යොදාගනිමින්, ජලය නොමැතිව ඇසොල්ලා ශාක පමණක් තටාකයෙන් ඉවත්කර ගන්න. ඉතිරි ශාකවලට තවදුරටත් වැඞීමට ඉඩදෙන්න. සති දෙකකට පමණ වරක් තටාකයේ වතුර ඉවත්කර අලූතින් ජලය පිරවිය යුතු අතර එම අවස්ථාවේදී වියළි ගොම කිලෝග‍්‍රෑමයක් හා රොක් පොස්පේට් ග‍්‍රෑම් 30 ක් පමණද එකතුකිරීමද කළ යුතුයි.

පළමු අස්වැන්න මෙලෙස ප‍්‍රමාණවත් වන්නේ කුඹුරු ලියදි වපසරිය වර්ග මීටර් 5 ක පමණ ප‍්‍රමාණයකටය. දිනපතාම කිලෝග‍්‍රෑමයක ප‍්‍රමාණයක් තටාකයෙන් ඉවත්කර ගතහැකි බැවින් කුඹුරේ අවශ්‍යතාව

සපුරාගැනීම අපහසු නොවනු ඇත. කුඹුර විශාලනම් ඇසොල්ලා තවානද ලොකුවට සාදාගත යුතු වේවි.

”කිරි ගවයින්, ඌරන්, කුකුලන්, එළුවන් හා තාරාවුන් වැනි ගොවිපල් සතුන් සියල්ලටම පාහේ අඩු වියදම් අතිරේක ආහාරයක් ලෙසත් ඇසොල්ලා යොදාගන්න පුළුවන්. කුඹුරු පරිසරය තුළ ඇසොල්ලා සීග‍්‍රයෙන් බෝවෙනවා. කුඹුරේ ආරම්භක වල් මර්දන ක‍්‍රියාවට යොදවා ගැනීමෙන් පසු, පොහොරක් වශයෙන් එහි පසටම එකතු කරන්නේ නැත්නම් ඊළඟ විකල්පය තමයි පසේ ජලය වියළී යන්න කලින් මෙම ශාක ඉවත් කරගෙන සත්ව ආහාර වශයෙන් භාවිත කිරීම”

එසේ අදහස් දක්වන්නේ සුනිල් ගමගේ මහතා යි.

ගවයෙක් සඳහා දිනකට ඇසොල්ලා කිලෝග‍්‍රෑම් දෙකක් පමණද, එළුවෙකුට ග‍්‍රෑම් 500 ක් ද, කුකුළෙක් වෙනුවෙන් නම් ග‍්‍රෑම් 100 ක් පමණද සහල් නිවුඩු, පිදුරු වැනි අනෙකුත් සත්ව ආහාර සමග මිශ‍්‍රකර ලබාදීමට සුදුසු බවට වාර්තා පළවී තිබේ. තනිකරම වුවත් අසොල්ලා දීමේ වරදක් නැත. කුඹුරට දැමීමේදී මෙන් නොව සතුන්ට ආහාර පිණිස දීමට පෙරදී නම් ඇසොල්ලා ශාක ගොම සුවඳ ඉවත්වෙන තෙක් හොඳින් සෝදා ගතයුතු වේ. ජලයේ පවතින පෝෂණ තත්ත්වය හා පරිසරය හිතකර නම් ඇසොල්ලා ශාක ස්කන්ධය දින 2-5 ක් අතර දෙගුණවනු ඇත. වගාවේ තදබදය අඩුකිරීම සඳහා දිනපතාම අස්වැන්න ලබාගැනීමත් කළයුතු වේ.

සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment