වලෙන් ගොඩට එන්න හදනවිට තෙලෙන් බැදෙන රටක්

101

තෙවන ලෝක සංග‍්‍රාමයක පළමු වෙඩිමුරය පත්තුකර තිබේ. රුසියා යුකේ‍්‍රනය අතර මේ සංග‍්‍රාමය ඇතිවී තිබුණත් ඉන් අපට ඇතිවිය හැකි අනිසි බලපෑම කොතරම්ද යත් යුකේ‍්‍රනයට පතිත කළ පළමු බෝම්බයෙන්ම අපේ ආර්ථිකයට දැඩි බලපෑමක් දැනී තිබේ. රුසියාව යුද ප‍්‍රකාශ කළ සැනින් ලෝක වෙළඳෙපොළේ බොරතෙල් මිල ඉහළ ගියේ වසර කිහිපයකට පසු බැරලයක මිල ඉහළම තැනක තබමිණි. සටහන තබන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 105 ක් ලෙස සටහන්ව තිබිණි.

ශ‍්‍රී ලංකාවේ අප මේ මොහොතේ සිටින්නේ බරපතළ ඩොලර් අර්බුදයක් මැදය. ඩොලර් හිඟය නිසා ඉන්ධන මිලදීගත නොහැකිව රට පුරාම දිගු ඉන්ධන පෝලිම් හදාගෙන සිටින මොහොතක ඉන්ධන නොමැතිවී පැය පහ හය විදුලිය කපා හරින මොහොතක ඇතිවී තිබෙන සිත කීරිගස්වන සංග‍්‍රාමය හමුවේ හෙට දිනය අතිශය භයානක තැනකට යමින් තිබේ.

මේ මොහොතේ අප අභිමුව ඇත්තේ බරපතළ ඩොලර් ප‍්‍රශ්නයකි. අප සතු ඩොලර් සංචිත අවසන් අදියරට පැමිණ ඇත. රටේ පොදු ප‍්‍රවාහන කටයුතුවලට අත්‍යවශ්‍ය ඩොලර් ටිකවත් සොයා ගැනීම කළුනික සොයන තරමට අසීරු වී තිබේ. ඉකුත් දා සිංගප්පූරුවේ සිට කොළඹ වරායට ගෙන්වා ගත් මෙටි‍්‍රක් ටොන් 37,500 අඩංගු නෞකාව දින හතරක් තිස්සේ වරායේ සිරවී තිබිණි. ඒ දින හතරට ප‍්‍රමාද ගාස්තු ගෙවන්නටද සිදුව ඇත. නැව නිදහස් කරගැනීම ප‍්‍රමාද වූයේ ඊට අදාළ ණයවර ලිපි නිකුත් කිරීමට මහ බැංකුව ඩොලර් නිකුත් නොකළ නිසාය. එනිසා රට තුළ බරපතළ ඞීසල් හිඟයක් මතුවී ඉන්ධනහල් අසළ පාරේ දිගු වාහන පෝලිම් ඇති විය. රට පුරාම ඉන්ධන හිඟය පැතිරී යද්දී තාප විදුලි බලාගාරද එකින් එක පද්ධතියෙන් ඉවත්ව ගියේ හුස්ම ගැනීමට ඔක්සිජන් නොමැති මිනිසුන් මියයන පරිද්දෙනි. අපේ රටේ තාප බලාගාර සඳහා ඞීසල්, නැප්තා, දැවිතෙල් ආදිය භාවිතයට ගනී. මේ වනවිට අපේ රටේ ඇති එකම තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුවද ඉකුත් මාස දෙක තුනේද දෙවරක් සම්පූර්ණයෙන්ම වසා දැමුවේ පිරිපහදු කටයුතු සඳහා අවශ්‍ය බොරතෙල් නොමැති වී යෑමෙනි. මේ දිනවල පිරිපහදුව දුවන්නේ නමට පමණක් සීමා වෙමිනි. ඇතිවූ ඉන්ධන හිඟයත් සමග විදුලි බලාගාර නතර වී යද්දී රටපුරා පැය හතර පහ විදුලිය කපා හැරීමක් ආරම්භ වූයේ රටම අ`දුරක හෙළමිනි. හදිසි විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට තීරණය කළේ තෙල් හා විදුලි අර්බුදයට ගත හැකි පියවර පිළිබඳ තීරණයක් ගැනීමටය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම කැබිනට් රැස්වීම පැවැත්විණි. සාකච්ඡාව දීර්ඝ ලෙස ඇදී ගියේය. වරායට සේන්දු වී තිබූ මෙටි‍්‍රක් ටොන් 37,500ක් අඩංගු නෞකාව නිදහස් කරගැනීමට ඩොලර් මිලියන 35.3ක් ඇවැසි වී තිබිණි. ජනාධිපති දුන් උපදෙස් මත එදින රාත‍්‍රියේම අදාළ ඩොලර් මිලියන 35.3 ක මුදල මුදාහැරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පියවර ගත්තේ තාවකාලික පැලැස්තරයක් දමමිනි. එය හරියට ගෙදර කැටේ බිඳ වේල පිරිමසා ගත්තා සේ කළ වැඩකි. මේ සටහන තබන විටත් ඉන්ධන රැගත් නෞකා දෙක තුනක් ඉන්ධනද සහිතව කොළඹ වරාය පරිශ‍්‍රයට සපැමිණෙමින් තිබිණි. වරායේද නැවක් දෙකක් තිබිණි. ඒවා නිදහස් කර ගැනීමටත් ඩොලර් අවශ්‍යය ය. යළි යළි කැබිනට්ටුව රැස්කළත් ඩොලර් සොයන්නේ කෙලසද. ප‍්‍රශ්නය ඇත්තේ එතැනය. ඩොලර් ප‍්‍රශ්නය දිනෙන් දින උග‍්‍ර අතට පත්වෙමින් තිබේ.

ඉන්ධන මෙරටට ආනයනය කිරීමට පමණක් මසකට අවශ්‍ය වන ඩොලර් ප‍්‍රමාණය ඩොලර් මිලියන 500 කි. නමුත් අපේ මසක අපනයන ආදායම ඩොලර් 700 දක්වා පහත ගොසිනි. විදේශ විනිමය ලැබුණු අංශද කඩාවැටී හමාරය. සංචාරක කර්මාන්තය යාන්තම් හිස ඔසවන්නට ගත්තා පමණකි. ඉන්ධන හා විදුලි අර්බුදය නිසා හිස ඔසවන්නට බලාසිටි සංචාරක කර්මාන්තයේ හිසටම පොලූ පහර වදින්නට පටන්ගෙන හමාරය.

මෙරට විදුලිය නිපදවන ක‍්‍රම පහක් ඇත. පළමු ක‍්‍රමය ජල විදුලි නිෂ්පාදනය ය. දෙවැන්න තාප බලාගාරයය (ඉන්ධන), තුන්වැන්න ගල් අඟුරු බලාගාරයය. හතර සහ පහ සුළං හා සූර්ය බලාගාරය. සුළං හා සූර්ය බලාගාර මගින් ලබාගන්නේ මුළු විදුලි නිෂ්පාදනයෙන් සියයට පහකි. එනිසා වැදගත් වන්නේ අනෙක් විදුලි උත්පාදන අංශ තුනය. මෙරට ඇති තාප විදුලි බලාගාර සඳහා දිනකට අවශ්‍ය වන ඞීසල් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 3000කි. දිනකට දැවිතෙල් ටොන් 2200ක් අවශ්‍යය. නැප්තා ටොන් 1000ක් දිනකට අවශ්‍ය වන අතර කැලණිතිස්සේ පිහිටි ෆුදිට්සු පෞද්ගලික විදුලි බලාගාරයට දිනකට ඞීසල් ටොන් 700ක් අවශ්‍යය. නමුත් ඉකුත් සතියේ බොහෝ වෑයමින් ගොඩබාගත් මෙටි‍්‍රක් ටොන් 37,500යෙන් විදුලිබල මණ්ඩලයට දිනකට ලබාදෙන්නේ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 1000කි. ඒ අනුව දින හයකට ලංවිමට ඞීසල් ලීටර් 6000ක් ලබාදීමට එකඟතාවයකට පැමිණ ඇත. මේ තත්ත්වය හමුවේ මගී ප‍්‍රවාහනය සඳහා තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 30000කි. මගී ප‍්‍රවාහනය සඳහා පමණක් ඞීසල් ලීටර් 5500ක් අවශ්‍ය වන අතර දිනකට පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 4500ක් අවශ්‍යය. මේ ඉල්ලූම සපුරාලීමට තරම් සංස්ථාව සතුව පෙට‍්‍රල් හා ඞීසල් නොමැති නිසා දිනකට බෙදාහරින බවුසර් ප‍්‍රමාණය භාගයකින් භාගයකටත් වඩා සීමාකර ඇත. එනිසා ඉදිරි දින වලත් ඉන්ධනහල්වල පෙට‍්‍රල් නැත, ඞීසල් නැත කියා බෝඞ් ලෑලි දිස්වනු ඇත. තවත් තැනක වසා ඇත. එවැනි බෝඞ් ලෑලිද දිස් වීම ගැන පුදුම වියයුතු ඇත.

මේ වනවිට දිනකට විදුලිය කපා හරින පැය ගණන ක‍්‍රමයෙන් වැඩි කරමින් තිබෙන අතර මේ සටහන තබන විට පැය 5ක් 6ක් රට අ`දුරට පත් වෙමින් තිබිණි. කෙරවලපිටිය යුගදනවි (මෙ.වො 300), කැලණිතිස්ස ඨඔ-7 (මෙ.වො 115), කැලණිතිස්ස ද්විත්ව චක‍්‍රීය බලාගාරය මෙ.වො 165, වරායේ පාවෙන බාච් බලාගාරය මෙ.වො 60, සපුගස්කන්ද මෙ.වො 160 සහ තවත් කුඩා තාප බලාගාර කිහිපයකට අවශ්‍ය ඉන්ධන නොමැති වී යෑම නිසා මෙසේ විදුලි කප්පාදුවක් කිරීමට සිදුව ඇත්තේ ජාතික පද්ධතියෙන් මෙ.වො 800කට අධික ප‍්‍රමාණය ඉවත්ව තිබෙන නිසාය.

පවතින අර්බුදකාරී තත්ත්වය ඉතා උග‍්‍රය ඉන්ධන ගෙන ඒමට ඩොලර් නැත. ඩොලර් සොයා ගන්නට මගක්ද නැත. මේ අස්සේ තුන්වන ලෝක යුද බියකින් ලෝකයම සලිත වී ගොසිනි. ඔපෙක්, බ්‍රෙන්ටා වැනි ලෝක ඉන්ධන වෙළඳෙපොළවල්වල තෙල් බැරලයක මිල ටැක්සි මීටරය මෙන් ඉහළ නගිමින් ඇත. බොර තෙල් බැරලයක මිල ඩොලර් 97 සිට ඩොලර් 105 ඉක්මවා වාර්තා වී ඇත. මේ මොහොතේ එම මිල තවත් ඉහළගොස් තිබීම නිසැකය.

ශ‍්‍රී ලංකාව නිදහස ලබා වසර 74කි. නිදහසක අභිමානය මහ ඉහළින් සමරන අපට පිටරටින් නැව් නාවොත් කන්නත් නැත. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1500ක් දිනපතාම වරායේ සිර වී ගොසිනි. ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් නැත. හාල්, පිටි, පරිප්පු, කිරිපිටි හිඟය. සියල්ල පිටරටින් එනතුරු බලා සිටින අපට රුසියන්, යුක්රේන් යුද්ධය කරන බලපෑම අති මහත්වනු ඇත.

ඇත්තටම තෙල් අර්බුදයටත්, විදුලි අර්බුදයටත් විසඳුම් නොමැතිද? මේ ප‍්‍රශ්නය තුඩ තුඩ රැව් දෙමින් ඇත්තේ එය අප කොයි කාගෙන් ජනජීවිතයට තදින්ම බලපාන නිසාය.

මෙරට ප‍්‍රවාහනය සඳහා පමණක් දිනකට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 5500ක් අවශ්‍යය. පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 4500ක් දිනකට අවශ්‍යය. ටොන් 37,500 ඞීසල් නෞකාවක් ආවත් ඒ නෞකාවෙන් ගොඩබැස තෙල් දින හය හතෙන් අවසන් වන නිසා ඉන්ධන අර්බුදය එන්න එන්න දරුණුවනවා හැර විසඳිය නොහැකි ගැටලූවකි. ඉන්ධන මිලදී ගැනීම සඳහා මාසයකට අවශ්‍ය වන ඩොලර් ප‍්‍රමාණය ඩොලර් මිලියන 500කි. ප‍්‍රවාහන කටයුතු සඳහා පමණක් මසකට ඩොලර් මිලියන 400ක ඉන්ධන මිලදී ගත යුතුය. විදුලි බලාගාරවලට මසකට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 100ක් අවශ්‍යය. අර්බුදය ඇත්තේ ඩොලර් නැති කමයි.

මේ වනවිට රටේ මාසික අපනයන ආදායම ඩොලර් 800 දක්වා ඉහළ වැටී ඇත. විදේශ විනිමය ලැබෙන සංචාරක කර්මාන්තය ඇතුළු සම්පේ‍්‍රක්‍ෂණ මාර්ග අවහිර වී ගොසිනි. දැනට මාසික අපනයන ආදායම වන ඩොලර් මිලියන 800ක් ඉන්ධන සඳහා පමණක් ඩොලර් මිලියන 500ක් මසකට වැය කළහොත් කාලා හමාරය. ඖෂධ ආනයනය, අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය, සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඩොලර් අවශ්‍යය.

අර්බුදය ඇත්තේ එතැනය. ලයිට් කපන්නට පටන්ගත යුතුව තිබුණේ ජනවාරි මුල සිටය. නමුත් රටේ සැබෑ තත්ත්වය පිළිබඳව ප‍්‍රාමාණික දැනුමත් නොමැති අය තාවකාලික පැලැස්තර දමා රටට අඛණ්ඩව විදුලිබලය ලබා දීමට ගත් තීරණය නිසා ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජල පෝෂකවල තිබූ ජලය ඉතා ඉක්මනින්ම බැස ගියේ ජල විදුලි නිෂ්පාදනය සීමා නොකළ නිසාය. කාලගුණ අනාවැකි හරිනම් අර්බුදය උච්චතම තැනකට තල්ලූ වී යන්නේ මාර්තු මාසයේය. මේ නියඟයේ මුල් කාල සීමාවය. ඒ ලබන මාර්තු මාසයේ ජලාශ බිංදුවටම සිඳී ගියහොත් වගාවන්ටද වතුර නැති වී යා හැකිය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය බුද්ධි මාරඹේගේ අපේ‍්‍රල්වල දැඩි සාගතයක් එන බව කීවේ කටකතාවට නොව සත්‍යය ඒ තරම් දරුණු බව කරුණු කාරණ ඔප්පු වී තිබූ නිසාය. ඒ කතාව රටට කී ඔහුට තනතුර හැරපියා යන්නට සිදුවිය. විදුලි අර්බුදය පිළිබඳ විදුලි ඉංජිනේරුවන් අනතුරු ඇඟවුවත් බොහෝ අය ඒවා බැහැර කළේ දේශපාලන ගැති භාවය නිසාය.

දැන් ලෝක යුද්ධයක පෙර නිමිතිද පහළවෙලා හමාරය. තෙල් බැරලයක මිල ඉහළයෑම හරහා ඒ සඳහා යන විසඳුම්ද වැඩි වී යා හැකිය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීම නිසා වන පාඩුව හෙළි කළ විට සමහරු කිපෙති. ඇත්තම කතාව තමා පිරිපහදු කළ පෙට‍්‍රල් ඞීසල් මෙරටට කෙලින්ම ගෙන ඒම නිසා ටොන් එකකට වැඩිපුර ගෙවීමට යන වියදම ඩොලර් 15කින් වැඩි වන බවය. මේ වන විට නෞකා ගාස්තු සියයට 150කින් වැඩි වී ඇත. ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිසි කලට රටට අවශ්‍ය පෙට‍්‍රල් ඞීසල් ඇණවුම් කළපසු තෙල් අඩංගු නෞකා අදාළ දිනවලදී කොළඹ වරායට සේන්දු වේ. නමුත් ඒවා දින ගණනාවක් වරායේ රඳවා තැබීමට සිදු වී ඇත්තේ ණයවර ලිපි නිකුත් කිරීමට ඩොලර් ලබාදීම ප‍්‍රමාද වන නිසාය. ඉකුත් මාස දෙකේදී කොළඹ වරායට පැමිණි නෞකාවලට පමණක් සිදුවන ප‍්‍රමාදවීම් නිසා ගෙවීමට සිදුව ඇති ප‍්‍රමාද ගාස්තු, රක්‍ෂණ ගාස්තු, වරාය ගාස්තු ප‍්‍රමාණය ඩොලර් ලක්‍ෂ දහයකට වැඩිය. ඒ ප‍්‍රමාද හා අනෙකුත් ගාස්තු ගෙවිය යුත්තේද නැතැයි කියන ඩොලර්වලිනි.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට (මෙ. ටො. 900) අවශ්‍ය ගල්අඟුරු මිලදී ගන්නට ඩොලර් අවශ්‍යය. දැනට බලාගාරය සතු ගල්අඟුරු ප‍්‍රමාණය සෑහෙන්නේ ජූලි මාසය දක්වා පමණකි. දැනට ගල්අඟුරු ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. ඒවා ලබන අපේ‍්‍රල් මාසයට පෙර මෙරටට ගෙන්වාගෙන ගොඩබාගත යුතුව ඇත. ඊට හේතු වී ඇත්තේ අපේ‍්‍රල්වලින් පසු වාරකන් කාලය උදාවන බැවිනි. වාරකන් කාලය නොවැම්බර් දක්වා ක‍්‍රියාත්මකය. මුහුදේ සුළි කුණාටු තත්ත්වය නිසා ගල්අඟුරු අපේ‍්‍රල් මාසයට පසු ගෙනාවත් ගොඩබැම් කළ නොහැකිය. මේ වනවිට ලෝක වෙළඳෙපොළේ ගල් අඟුරුවල මිල ගණන්ද ශීඝ‍්‍රයෙන් ඉහළයමින් තිබීම තවත් බරපතළ අර්බුදයක් බවට පත්ව ගොසිනි.

මේ කරුණු කාරණා දෙස බැලීමේදී තෙල් අර්බුදයත්, විදුලි අර්බුදයත් දිනෙන් දින දළුලන බව සහතිකය. ලයිට් කපන වෙලාව නොව ලයිට් දෙන පැය ගණන රටට කීමට සිදුවනු ඇතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නන්දික පතිරගේ මහතා මීට මාස කිහිපයකට පෙර කී කතාවකි. ඒ තරම්ම විදුලි අර්බුදය දරුණුය. හේතුව බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොමැති වී යෑම, නියගය සහ ගල්අඟුරු අර්බුදයය. ඉන්ධන ගෙන ඒමට ඩොලර් නැති නිසා බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා මාස දෙකක සිට ඉල්ලූවේ දිනකට පැයක් පැය භාගයක් විදුලිය කැපියයුතු බවයි. ඩොලර් සංචිත කළමනාකරණය ගන්නා ලෙසිනි. ඇමැතිවරයා කී කරුණු කිසිවකු කනකට ගත්තේ නැත. ඒවා සුළගේ පාවීගිය වචන බවට පමණක් පෙරළී ගියේ රටේ කරුමයටය.

විදුලි ඇමැති ගාමිණී ලොකුගේ මහතා පුන පුනා කීවේ විදුලිය නොකපන බවය. ඔහු දැන් රටෙත් නැත.

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාද කීවේ දිගින් දිගටම විදුලිය නොකපන බවය. නමුත් දැන් ඔහු හරි ලස්සනට විදුලිය කපන පැය ගණන කියන්නේ එය මරු වැඩක් කරන්නාක් මෙනි.

අප කිසිවකුට මේ රට හෝ රටේ ජාතික සම්පත් අයිති නැත. අප සියලූ දෙනා මේ ගෙවන්නේ තාවකාලික කාල පරිච්ෙඡ්දයකි. මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙහෙස මහන්සි වී හරිහැටියකට බඩගින්දරවත් නිවා නොගෙන ගෙවන බදු මුදලින් පිරිසක් සක්විති සුව විඳින බව නොරහසකි. එක්තරා කැබිනට් ඇමැතිවරයකු පදිංචි රජයට අයත් නිවසක හිඟ විදුලි බිල්පත රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකි. ඒ ඇමැතිවරයා තුන්වේලට කන්නේ විදුලිය දැයි සැක සිතෙන එක සාධාරණය. ඇත්තටම මේ රටේ අනාගත දරු පරපුරට අත්වන ඉරණම ගැන දැනෙන්නේ අනුකම්පාවකි. අප සියලූ දෙනා තව ටික කලකින් මළවුන් අතරට එක්වන බව පැහැදිලිය. එසේ තිබියදී මහජන මුදල් කම්බස් කරන මැති ඇමැතිවරු දූෂිත නිලධාරීන් යා යුත්තේ නිරයටය.

මීට වසර හය හතකට පෙර ගල්අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුවකින් රුපියල් කෝටි 53ක් යටිමඩි ගසාගත් සිද්ධියක් රජයේ විගණනයේදී හෙළි වී ඇත. ඒ මුදල වසර හය හතක් තිස්සේ අයකර නොගන්නේ මන්ද? ඒ මුදල් ගියේ කාගේ සාක්කුවටද? මෙයාකාරයට ගසා කන බලධාරීන් නිලධාරීන්ට එරෙහිව ගන්නා කිසිදු පියවරක් නැත.

මේ දිනවල රට තුළ මතු වී තිබෙන ඉන්ධන හිඟය පිරිසකට බොර දියේ මාළු බාන්නටද පොටක් පාදා දී ඇත. ඒ ක්ෂණික මිලදී ගැනීම යටතේ ඉන්ධන මෙරටට ලබා ගැනීමට මග සලසා තිබෙන බැවිනි. කොළඹ වරායට නැව් එන්නේ ලියාපදිංචි සමාගම් හරහාද? නැත්නම් මේ පිටුපස යම් යම් ගනුදෙනු සිදුවේද? මේ මොහොතේ කිසිවකු ඒවා පිළිබඳ සොයන්නේ නැත්තේ අර්බුදය ඊට වඩා ප‍්‍රබල බැවිනි.

මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ‍්‍රයේ බොරතෙල් මෙටි‍්‍රක් ටොන් එක්ලක්‍ෂ විසිදහසක් ඇත. නමුත් පිරිපහදු කරන්නේ දිනකට මෙටි‍්‍රක් ටොන් 3500ක ප‍්‍රමාණයක් පමණි. දිනකට බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 5500ක් පිරිපහදු කළ හැකිව තිබියදී එමගින් පිරිපහදු කරන ඉන්ධන ප‍්‍රමාණය අඩු කර ඇත්තේ ඉන්ධන හිඟය මවා පා ක්‍ෂණික මිලදී ගැනීම් කිරීමටදැයි යන්න වෘත්තීය සමිති අතර බරපතළ සැකයක් මතුව ඇත.

පිරිපහදුවේ ගොඩගසා තිබෙන බොරතෙල්වලින් දිනකට මෙටි‍්‍රක් ටොන් 5000ක් පිරිපහදුවට ලක් කරන්නේ නම් එමගින් දිනකට දැවිතෙල් මෙටි‍්‍රක් ටොන් 2000ක් නැප්තා මෙටි‍්‍රක් ටොන් 1000ක් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 1300ක් පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 550ක් හා භූමිතෙල් මෙටි‍්‍රක් ටොන් 350ක් නිපදවා ගත හැකිය. නමුත් බොරතෙල් තිබියදීත් පිරිපහදු කටයුතු සිදු කරන්නේ අර්ධ වශයෙනි.

කෙලෙස හෝ තත්ත්වය ඉතා නරක අඩියකට පත් වී හමාරය. මේ අතර තෙල් සංස්ථාව හා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින්ට වසරකට රුපියල් කෝටි 150ක ප‍්‍රසාද දීමනා (බෝනස්) ලබාදීමද දිගටම ක‍්‍රියාත්මකය. අතිකාල සඳහා මසකට වැය වන මුදල රුපියල් කෝටි 25, 30 කි. තෙල් සංස්ථාව හා ඉන්දියන් තෙල් සමාගම හා සැසඳීමේදී මේ ආයතන දෙකේ සේවකයින් ගණනය කිරීම ඉතා වැදගත්ය. තෙල් සංස්ථා හා පර්යන්ත සමාගමේ සේවක ගණන 5200කි. ඉන්දීය සමාගමේ සේවය කරන්නේ පිරිසකි. මේ රට වළ පල්ලට යන්නේ වැරදි තීන්දු තීරණ නිසාය. තෙල් සංස්ථාව විකුණන සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් හයක් වැය වන්නේ සේවක පඩිනඩි හා ගබඩා සඳහාය.

මේ දිනවල සිදුවන ගනුදෙනු විනිවිද නැත. විනිවිදව ගනුදෙනු සිදුවන කාලයේත් මුදල් සොරාකෑ නිලධාරීන් සිටින රටක මේ අලකලංචි මැද කරන කෙළි සොයන්නට කෙනෙක් නැත. රජයේ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික‍්‍රමරත්න මහතා කියන්නේ සොරකම් කර අසුවන නිලධාරීන්ට දඬුවම් දෙන ක‍්‍රමයක් රටට නොමැති බවය. වසර 74ක නිදහස් ශී‍්‍ර ලංකාවේ රට පාලනය කළ පිරිසක් දැන් සිටින්නේ මළඋන් අතරය. මේ සිටින බලධාරීන්ද නිලධාරීන්ද හැමදාම සිටින්නේ නැත. නමුත් මේ රටේ දරු පරපුරට රටක් අවශ්‍යය. ඒ රටේ සම්පත් සූරා කන රටේ දැනටමත් ඉතුරු වී ඇත්තේ හපය පමණකි. රට අඳුරකය. තෙල් නැත. විදුලිය නැත. වතුරත් නැත. හෙට අනිද්දාට කන්නට දෙයක් නැතිව ගියත් පුදුම විය යුතුද නැත. රට කම්බස්ය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment