දරුවන්ට බිරිඳට වස පොවා තාත්තා එල්ලිලා
අධික ණය බරින් පීඩනයට පත්ව සිටි වවුනියාව ගුඩ්ෂෙඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු සිය බිරිඳට සහ දරුවන් දෙදෙනාට වස පානය කිරීමට දී ඔහු ද ගෙලවැලලා ගෙන සියදිවි හානි කරගෙන ඇත.
මෙම නිවස තුළ තිබූ මළ සිරුරු වවුනියාව පොලිසිය මගින් ඊයේ (07 වැනිදා) උදෑසන සොයාගෙන තිබේ. විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම පුද්ගලයා 06 වැනිදා රාත්‍රියේ සිය බිරිඳට සහ දරුවන්ට වස පොවා ඔවුන් මරුමුවට පත් කර පසුව ඔහු ද සිය දිවි හානි කරගෙන ඇත.
මෙසේ මියගොස් ඇති 42 හැවිරිදි ශිවපාදසුන්දරම් කෝෂියන් නමැත්තා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ වීසා අයදුම්පත් සකස් කර දීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙකි. ඔහුගේ බිරිඳ 36 හැවිරිදි කේ. වරදරුසී වන අතර ඇය ගුරුවරියක ලෙස මහරම්බකුලම ප්‍රදේශයේ පාසලක සේවය කර තිබේ.
මියගොස් ඇති දරුවන් 09 හැවිරිදි කෞෂිකන් මෛත්‍රි සහ 3 හැවිරිදි කේ කේසරා යන අය බව හඳුනාගෙන ඇත.
විමර්ශනවල දී හෙළිවී ඇති අන්දමට මිය ගිය සිවපාතසුන්දරම් අධික ලෙස ණය මුදල් ලබාගෙන ඇති අතර ඒවා ගෙවා ගැනීමට නොහැකිව දැඩි පීඩනකට පත්ව සිට ඇත.
නිවසේ තිබූ රන් ආභරණ මෙන්ම වටිනා දේපොළ සියල්ල ම විකුණා දමා ණය බේරා දැමීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැත.
අවසානයේ දී ඔහු සිය දරුවන්ට සහ බිරිඳට වස පානය කිරීමට දී ඔහු ද නිවසේ බාල්කයේ එල්ලී සිය දිවි හානි කරගෙන ඇත.
මෙම සිද්ධිය සැලවීමත් සමගම දහස් ගණනක් ජනතාව නිවස වෙත පැමිණීමට උත්සාහ කර ඇති අතර පොලිසිය දැඩි වෙහෙසක් දරා ඔවුන් පාලනය කිරීමට කටයුතු කර තිබේ.
වව්නියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු – දිනසේන රතුගමගේ සහ ප්‍රසන්න ප්‍රදීප්