වසංගතයට අවුරුදු එකහමාරයි… දරුවන් තාමත් ඉගෙනගන්නේ ගස්,ගල් උඩ ඉඳන්…. ඇති පදමට T.V චැනල් හැදෙන රටේ අධ්‍යාපනයට චැනලයක් නෑ

187

* සර්ලා මිස්ලා සතියකට විතර පැවරුම් දානවා වට්සැප් එකට. අපි ඒවා ඩවුන්ලෝඞ් කරගන්නෙ වහලෙට නැඟලා

 * සමහර දරුවෝ අපිට කියනවා කොරෝනා ඉවර වුණාම ඒ පාඩම් අයෙත් උගන්නන්න කියලා

නිරෝෂා වාසල

කොරෝනා පළමු රැල්ල ආරම්භයත් සමඟම ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමවේදය නිසා සිසුන් මෙන්ම ගුරුවරුන් මුහුණපාන ගැටලූ පිළිබඳව කිහිප අවස්ථාවකදීම ‘දිවයින’ අපි තොරතුරු වාර්තා කළාය.

 බස්නාහිර පළාතේ සහ තවත් ප‍්‍රදේශ කිහිපයක හැරුණු විට ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල ගුරුවරුන් මෙන්ම ශිෂ්‍යයන් ද වැඩිහිටියන් ද ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමවේදය නිසා පත් වී ඇත්තේ මහත් අසීරුතාවයකටය. දිනෙන් දින ශීඝ‍්‍රයෙන් පැතිර යන :ජදරදබ්) කොරෝනා වෛරසය සමඟම තවදුරටත් මිනිසාගේ දෛනික කටයුතු අඩාල වද්දී අධ්‍යාපන ආදී ඒ සෑම ක්ෂේත‍්‍රයකම බොහෝ වෙනස්කම් සිදු විය. නමුත් පවතින දුෂ්කරතා මැද වුවද තාක්ෂණය යොදා ගනිමින් අධ්‍යාපන ක‍්‍රියාවලිය නොනැවතී සිදු කරන ලෙසට ගුරුවරුන් හා සිසුන් දැනුවත් කර තිබුණ ද එහිදී ඇතිවන ගැටලූ වලට විසඳුම් ලබා දීමට රජය ඇතුළු වගකිව යුතු බලධාරීන්ට තවමත් නොහැකි වී තිබේ. ලංකාව පුරා සංචරණ සීමා දැඩිව ක‍්‍රියාත්මක වන කාලසීමාවක වුවද අදාළ නීතිරීති හා නියාමනයන්ට යටත්ව ‘දිවයින’ අපි ප‍්‍රදේශ කිහිපයකට ගොස් ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමවේදයේ සාධනීයත්්වය හා එහි පවතින ගැටලූ පිළිබඳව තොරතුරු සොයා බැලූවෙමු. ඒ අනුව වයඹ පළාතේ හා සබරගමු පළාතේ ප‍්‍රදේශ කිහිපයකට ගොස් ගුරුවරුන් හා ශිෂ්‍යයන්ගෙන් ද ප‍්‍රදේශවාසීන්ගෙන් ද ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳව විමසා සිටියෙමු.

 වයඹ පළාතේ ගල්ගමුව, අතරගල්ල, ඇහැටුවැව, නාන්නේරිය, මරදන්කඩවල, රාජාංගනය වැනි ප‍්‍රදේශ තුළට යෑමට අපට හැකි විය. කුරුණෑගල නගරය පසුකරමින් වාරියපොලට ළඟාවනවාත් සමඟම වරින්වර අපගේ ජංගම දුරකථන සම්බන්ධතා බිඳ වැටුණේ සාමාන්‍ය දුරකථන ඇමතුමක්වත් ලබාගන්නට නොහැකි බවට ජනතාව නඟන චෝදනා නිවැරදි බව සනාථ කරමිනි. සහෝදර මාධ්‍යවේදියකුගේ ද සහාය ඇතිව අප මුලින්ම ගල්ගමුව මැතිවරණ බල ප‍්‍රදේශයේ පාළුකඩවල ගම්මානයට ළඟා වුණෙමු. තද වැස්සට සේදී ගිය වළවල් සෑදුණු දුෂ්කර මාර්ගයක් පසු කරමින් අපි පාළුකඩවල ගම්මානයට ළඟා වුණෙමු. ඒ වන විටත් අපගේ ජංගම දුරකථන සියල්ලෙහිම සංඥා බිඳ වැටී තිබුණි. එවන් පසුබිමක දුරකථන ඇමතුමක්වත් ලබාගන්නට නොහැකි වෙද්දි ගුරුවරුන් හා දරුවන් ඔන්ලයින් ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සිදු කරන්නේ කෙසේදැයි ගම්වාසීන්ගෙන් විමසා සිටියෙමු.

 හවස් වෙනකොට පාළුකඩවල වැව් ඉස්මත්තට ළමයි එකතු වෙනවා. මේ දවස්වල තද වැස්සත් එක්ක ළමයින්ට වැව් පිටියට එකතු වෙන්න පුළුවන් කමක් නෑ වතුර පිරිලා. වතුර ටැංකියක් උඩ එහෙම නැත්තං ගහක් උඩ පැලකට ෆෝන් එක අරන් ගිහිල්ලා තමයි ළමයි ඔය ඔන්ලයින් පන්තිවලට සහභාගි වෙන්නේ ලෙස මුදියන්සේ මහතා පවසයි. ඔහුගෙන් ලද තොරතුරු ඔස්සේ අපට ගුරුවරුන් කිහිප දෙනෙකු ද මුණගැසීමට අවස්ථාව හිමි විය.

 අපේ පැති වලට සිග්නල් නෑ. ඒ නිසා ගොඩක් ළමයින්ට අපේ දේශනවලට සහභාගි වෙන්න බැරි වෙනවා. අපේ ගෙදරත් එක තැනකට විතරයි සිග්නල් ටිකක් තියෙන්නේ. හරි අමාරුවෙන් ළමයින්ට පැවරුම් ටික දාන්නේ. වෙනදට පැවරුම් හදාගෙන ටවුන් එකට ගිහින් ළමයි ඉන්න ගෲප් වලට ශෙයා කරනවා. සංචරණ සීමා නිසා දැන් එහෙම යන්නත් බෑ” ලෙස මහ නාන්නේරිය විදුහලේ ගුරුවරියක වන දමයන්ති මහත්මිය පැවසුවාය. ඇය පවසන ආකාරයට කිලෝමීටර් 12ක් පමණ ගෙවාගෙන සකස් කළ පැවරුම් ශිෂ්‍යයන්ට ලබා දීමට නම් ගල්ගමුව නගරයට යෑමට සිදුවේ.

 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අකිල දේශප‍්‍රිය අපි යන විටත් සිටියේ අඩක් සාදා නිම කළ නිවසේ වහලය මතය. ගුරුතුමිය ලබා දී තිබූ පැවරුම් කිහිපය ඩවුන්ලෝඞ් කිරීමට ඔහුට විනාඩි හතළිහකටත් වැඩි කාලයක් ගත විය.

 ‘‘අපිට නම් සූම් ඇප් එකෙන් පන්ති තියන්නෙ නෑ. ඒ වුණත් සර්ලා මිස්ලා සතියකට විතර පැවරුම් දානවා වට්සැප් එකට. අපි ඒවා ඩවුන්ලෝඞ් කරගන්නෙ මේ වහලෙට නැඟලා. සමහර දවස් වලට යාළුවොත් එනවා. ඒත් දැන් එයාලට එන්න බැරි නිසා ඒ අයට පුළුවන් විදියට කෝල් එකක් දීලා පැවරුම් ගැන කියනවා. මගෙ සමහර යාළුවන්ට ටච් ෆෝන් නෑ. තියෙන්නේ පොඩි ෆෝන් එකක්.” සමහර පුද්ගලයන්ට ස්මාර්ට් වර්ගයේ දුරකතන කිහිපයක්ම හිමි බවට පර්යේෂණ වලින් හෙළිකර ගෙන තිබුණද තවමත් තම පැවරුම් ටිකවත් ලබා ගන්නට දුරකතනයක් නොමැති සිසුන් මේ පෙදෙස් වල ඕනෑ තරම් ය.

 ‘‘ අපේ පවුලේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ලොකු දුව මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. අනෙක් තුන් දෙනා 5, 7, 8 ශ්‍රේණිවල ඉගෙන ගන්නවා. පොඩි පුතාට ශිෂ්‍යත්වයට හැමදාම පන්ති තියෙනවා. ගුරුවරු පැවරුම් එවනවා. ලොකු දුවටත් එහෙමයි. මේ පාර පොල් ටික කඩල ලැබුණ ආදායමෙන් අපි තව ෆෝන් එකක් ගත්තා. ඒ වුණත් මේ ගමේ ඒ විදිහට ෆෝන් එකක් ගන්නවත් වත්කමක් නැති මිනිස්සු ඕනේ තරම් මහත්තයෝ ලෙස නන්දාවතී මහත්මිය පැවසුවේ කඳුළු සඟවමිනි.

 ප‍්‍රදේශවාසීන් පවසන ආකාරයට පාළුකඩවල ගම තුළ පමණක් සිසුන් 200කට වැඩි පිරිසක් සිටින අතර ගල්ගමුව අඹන්පොල ඇහැටුවැව, නාන්නේරිය, අතරගල්ල වැනි අවට පාසල් වලින් අධ්‍යාපනය ලබයි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් නොකඩවා ‘දදප තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වීම නිසා මෙම සිසුන් මුහුණපාන්නේ බරපතළ ගැටලූවකටය.

 අපේ ලොකු පුතා මේ අවුරුද්දේ තොරතුරු තාක්ෂණ විෂය මාලාව ඔස්සේ උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. ඉතින් එයාට හැමදාම ඔන්ලයින් පන්ති තියනවා. ගමේ ඉඳලා ඒ පන්ති වලට සහභාගී වෙන්න අමාරු ඒ නිසා දරුවව ටවුන් එකේ යාළුවෙකුගේ ගෙදර නවත්තල තියෙන්නෙ. සමහර දෙමාපියන් තම දරුවන් නගරයේ නවත්වා හැකි අයුරින් ඔවුන්ට ඉගැන්වීමට මහන්සි වන්නේ තමා මුහුණපාන දුෂ්කර ජීවිතය දරුවන්ට උරුම නොවේවා යන ප‍්‍රාර්ථනය ඇතිවය. අනතුරුව අපි ගල්ගමුව ප‍්‍රදේශයේ ම මහ නාන්නේරිය, මරදන්කඩවල, ගිරිබාව, ඇහැටුවැව, අඹන්පොළ, බුදුරුවකන්ද වැනි ප‍්‍රදේශවල ද කිහිපදෙනකුගෙන් තොරතුරු විමසා සිටියෙමු. ඔවුන් බොහෝ දෙනකු ද මෙම ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමවේදය නිසා සිටියේ දැඩි පීඩාවකිනි. සතර දෙසින් ඉදිකර තිබුණු අලි වැටවල් පාළුවට ගිය හේන් කුඹුරු යායවල් දුෂ්කර මාවත් පසු කරමින් අපි ඉදිරියට ඇදුනෙමු. මරදන්කඩවල ප‍්‍රදේශයේ මිනිසුන්ගේ ජීවිකාව වූයේ හේන් ගොවිතැනයි. අධික වර්ෂාව හා සංචරණ සීමා නිසාවෙන් තාවකාලිකව වගා කටයුතු නතර වී තිබුණ ද ඇතැම් හේන් ආශ‍්‍රිතව සුළු බෝග වගා කර තිබෙනු දැකගත හැකි විය.

 ‘‘අපි හේනේ වැඩ කරනකං දරුවෝ දෙන්නා පැලට වෙලා එයාලට දුන්න වැඩ ටික කරනවා. ලොකු ෆෝන් පාවිච්චි කරන එක ගැන අපිට අවබෝධයක් නෑ. ටවුන් එකට ගිහිල්ලා තමයි මේ විදිහට ඉගෙන ගන්න ෆෝන් එක හදවගෙන ආවේ. ටීචර්ලා වුණත් කියන්නේ දරුවන්ට ෆෝන් එක දීලා අවධානයෙන් ඉන්න කියලා. මේ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් නැති උනත් අපි ඉන්නේ පීඩනයකින්. මරදන්කඩවල චන්ද්‍රලතා මහත්මිය පැවසුවාය.’’

 එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමට මහ පොළොව හා පොරබදන මොවුන්ට තාක්ෂණය ගැන එතරම් අවබෝධයක් නැත. නමුත් තම දරුවන් සමාජයේ උසස් මට්ටමකින් වැජඹෙනු දැකීම මේ සියලූ මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තුවයි.

 ‘‘අපේ හේන් ගොවිතැන් කුඹුරු වැඩ කරලා ජීවත් වෙන උදවිය. සමහර ගෙවල්වල පිරිමි කට්ටිය කුලී වැඩවලට යනවා. අපි දරුවන්ට ෆෝන් අරන් දුන්නෙ ණයවෙලා. ඒ ණය ටිකවත් ගෙවාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. මේ සැරේ අපේ ඵලදාවට නිසි ආදායමක් හම්බ වුණේ නැහැ. වට්ටක්කා, කැකිරි වගේ දේවල් මිනිස්සුන්ට නිකන් බෙදලා දෙන්න සිද්ධ වුණා.

 ඒ වගේම තමයි අමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නට හැමදාම ඬේටා කාඞ් දාන්න වෙනවා. ඒකටත් අපිට විශාල මුදලක් වැය වෙනවා. එදා වේල පිරිමහ ගන්නෙත් හරි අමාරුවෙන් නිසා මේ විදිහට ඔන්ලයින් ඉගෙන ගන්න එක අපේ දරුවන්ට අමාරු කාර්යයක්.”

education2කෙසේ හෝ සිග්නල් ඇති තැනක් හොයා ගත්තද දවසින් දවසට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට කාඞ් දැමීමටද සිදුවීමද මේ කාලවකවානුවේ ඉතාමත් දුෂ්කර බවට ඇතැමුන් පවසයි. දිවයින පුරා විවිධ ප‍්‍රදේශ ආවරණය කරමින් සේවාවන් පුළුල් කර ඇති බව දුරකතන සමාගම් පැවසුවද තවමත් බොහෝ ප‍්‍රදේශවලට එම පහසුකම් ලැබී නොමැති බව මතක් කළ යුතුය. එසේම විවිධ පැකේජ හඳුන්වාදී තිබුණද ඒවාද පවසන ලෙසින් භාවිතයට ගැනීමට නොහැකි නිසා ජනතාව අපහසුතාවයන්ට පත්ව තිබේ.

 වයඹ පළාතේ ප‍්‍රදේශ කිහිපයකම විමසීම් කටයුතු සිදු කළ අපි ඉන් දින කිහිපයකට පසුව සබරගමු පළාතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොලොන්න ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම් කිහිපයටද ගොස් විමසීම් සිදු කළෙමු. රජයේ රැකියා කරන පිරිස හැරුණු විට මෙම ප‍්‍රදේශයේ ද බොහෝ පිරිසකට රැකියා අහිමිව ගොසිනි. එදිනෙදා ජීවිතය ගැට ගහ ගැනීම උදෙසා කුමක් හෝ වෙළඳාමක නිරත වන ඔවුන් ඒ අසීරුතා මැද වුවද තම දුවා දරුවන්ට ඉගැන්වීමට මහත් වෙහෙසක් දරයි.

 ‘‘කැම්පස් අවුට් වෙච්ච අක්කා කෙනෙක් අපිට ඉංග‍්‍රීසි, ගණිතය, විද්‍යාව විෂයයන්වල පාඩම් කියලා දුන්නා. අපි ඉගෙන ගන්නේ 10 – 11 ශ්‍රේණිවල. ඒත් කොරෝනා හින්දා අපිට පාඩම් අහගන්න යන්න පුළුවන් කමක් නෑ. තාත්තට තියෙන්නේ පුංචි ෆෝන් එකක්. ඒකට කාඞ් එකක් දාගෙන යාළුවෙක්ගෙන් අහගන්නවා උගන්නපු පාඩම් ගැන. සමහර යාළුවෝ අපිට මුල ඉඳලා ඒවා කියලා දෙනවා. ඒත් සමහර යාළුවෝ අපිට නෝට් එකක්වත් දෙන්නේ නෑ.” නදීකා සහ සඳමාලි එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකි. මවත් නොමැතිව පවුලේ බර කරට ගත් පියාට ජංගම දුරකතනයක් මිලදී ගැනීමට තරම් වත්කමක් නැත. මිතුරන්ගේ මාර්ගයෙන් කෙලෙස හෝ පාඩම් සටහන් ලබා ගන්නා ඔවුන් ගෙවන්නේ අසීරු ජීවිතයකි.

 බොහෝ ප‍්‍රදේශවල දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් නොමැතිව දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනු අපිට දැක ගත හැකි විය. කෙසේ නමුත් කොරෝනා පළමු රැල්ල ආරම්භ වීමත් සමඟ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන මිලදී ගැනීමට බොහෝ දෙනකු පෙළඹී ඇති බව ද ජංගම දුරකථන අලෙවිසැල් හිමියන් කිහිප දෙනෙකු හා කරනලද කතාබහකදී අනාවරණය විය.

 ‘‘ඇත්තටම සමහර දෙමව්පියෝ ස්මාර්ට් ෆෝන් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. ඒ මිනිස්සු තමන්ගෙ ළමයින්ට ඉගෙන ගන්න පහසුකම් තියෙන ෆෝන් එකක් ඉල්ලනවා. සමහර වෙලාවට පාවිච්චි කරලා කැඩිලා ගියපු ෆෝන් අරගෙන අපි ගාවට හදන්න එනවා. ඒවා අලූත්වැඩියා කරන්න පුළුවන් තත්ත්වයේ නැති වුණොත් පස්සෙ එන්නම් කියලා හැරිලා යනවා. තවත් පිරිසක් කොටස් වශයෙන් ගෙවන්න ෆෝන් අරගෙන යනවා. ඇත්තටම අපි හැමෝම මේ වෙලාවේ අසරණයි. ඒත් අපි හැමෝම බලන්නෙ අපේ දරුවන්ට හොඳට උගන්වන්න.’’ දුරකථන අලෙවිසැල් හිමියකු වන ප‍්‍රදීප් කුමාර මහතා පවසයි.

 පවතින තත්ත්වය මත වෙනකෙකුගේ නිවසට ගොස් අවශ්‍ය කරුණු දැන ගැනීමට තිබූ ඉඩකඩද මේ වන විට ඇහිරී ගොසිනි. මේ නිසා කොරෝනා ඉවර වූ දවසක තම දරුවන් සුපුරුදු පරිදි පාසල් යවන්නට තවත් දෙමාපියන් පිරිසක් බලාපොරොත්තු පොදි බඳියි.

 ‘‘ඇත්තටම දරුවන්ට ඔන්ලයින් උගන්වන්න කිව්වට අපි උගන්නන්න යද්දි ඉස්කෝලෙ පන්තියෙ හිටිය ළමයිගෙන් භාගයක්වත් සහභාගි වෙන්නේ නෑ. තව පිරිසක් අතරමඟදී නෙට්වර්ක් ප‍්‍රශ්න නිසා නතර වෙනවා. අපිට දරුවන් මුහුණ දෙන තත්ත්වය ගැන ඇත්තටම කණගාටුයි. ඔන්ලයින් ක‍්‍රමවේද වලට අමතරව අපි පාඩම් සටහන් හැකි අයුරින් දරුවන්ට ලබාදීමට කටයුතු කරනවා. සමහර දරුවෝ අපිට කියනවා කොරෝනා ඉවර වුණාම ඒ පාඩම් අයෙත් උගන්නන්න කියලා” රත්නපුර නෑදොල ගමේ ගුරුවරියක් එලෙස අදහස් දක්වයි.

 වෘත්තියෙන් රියදුරෙකු වන රුවන් තිදරු පියෙකි. ඔහුගේ බිරිඳ ඇඟලූම් කම්හලක සේවය කරයි. කොරෝනා නිසා ඔවුන්ට ද රැකියාව අහිමි වී ගොසිනි. ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමවේදය ගැන රුවන් දුටුවේ මෙලෙසිනි.

 ‘‘අපි ළමයි තුන්දෙනාට උගන්නන්නෙ හරිම අමාරුවෙන්. ඒ වුණත් කොහොම කොහොම හරි එයාලට උගන්නන්න ඕන නිසා ණය වෙලා හරි ඒ දේවල් කරනවා. සමහර ගුරුවරු ඉන්නවා එයාලගේ දේශන වලට සහභාගි වුණහම පැවරුම් කිහිපයක් විතරක් දීලා කරුණු දැන ගන්ඩ ඕන්නං උපකාරක පන්ති වලට සහභාගි වෙන්න කියලා දරුවන්ට කියනවා. හැම ගුරුවරයෙක්ම එහෙම නොවුණත් සමහර ගුරුවරු මේ වෙලාවේ අපේ අසරණ කමෙන් මුදල් උපයනවා. සමහර ගුරුවරු ඉන්නවා තමන්ගෙ කාලය ධනය ශ‍්‍රමය වැය කරගෙන දරුවන් වෙනුවෙන් කැප වෙන. ඒ වුණත් අද වෙනකොට ඇතැම් උපකාරක පන්ති ගුරුවරුන් අපිට දරන්න බැරි තරම් මුදල් අය කර ගන්නවා.”

 සතර දෙසින් මෙලෙස දිග හැරෙන්නේ ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමය නිසා දෙමාපියන් ගුරුවරුන් මෙන්ම සිසුන් මුහුණපාන දුෂ්කරතාවන්ය. ප‍්‍රදේශ කිහිපයක අප කරන ලද විමසීම් වලින් අනාවරණය වූයේ තාක්ෂණික උපකරණ හරහා ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කිරීමේදී ගැටලූ කිහිපයක් ඇති වී තිබෙන බවයි.

 * අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට තරම් ශක්තිමත් නෙට්වර්ක් පහසුකම් නොතිබීම.

 * ස්මාර්ට් ජංගම දුරකථනයක්, පරිගණකයක් නොමැති පිරිසක් තවමත් සිටීම.

 * තාක්ෂණික පහසුකම් ලබා ගැනීම සඳහා දැරීමට සිදුවන පිරිවැය ඉහළ යාම.

 * බොහෝ දෙමාපියන්ට දරුවන්ට ජංගම දුරකථන, පරිගණක භාවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම.

 * ඔන්ලයින් ඉගැන්වීම් සිදු කරන ඇතැම් ගුරුවරුන් ඒ සඳහා විශාල මුදලක් අය කිරීම.

 ඉහතින් සඳහන් කළ ප‍්‍රධාන ගැටලූ වලට විසඳුම් ලෙස දරුවන්ට අධ්‍යාපනය ලැබීමට රූපවාහිනී නාලිකාවක් වෙන්කර ඒ තුළින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට බොහෝ දෙනෙකු රජයෙන් හා වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. දුරකථනයට, පරිගණකයට සාපේක්ෂව සෑම නිවසකම රූපවාහිනියක් සුලබව දැකගත හැකි ය. එමෙන්ම එය භාවිතය පිළිබඳව බොහෝ දෙනකුට අවබෝධයක්ද තිබේ. ජංගම දුරකථනය නිසා සිදු වූ සියදිවි නසාගැනීම් හා ඊට සමාන ප‍්‍රවෘත්තීන් නිසා තවමත් දෙමාපියන් දරුවන්ට දුරකථනයක් ලබාදෙන්නේ ඉමහත් පීඩනයකිනි. නමුත් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වුවහොත් දෙමාපියන්ට විශ්වාසයෙන් යුතුව දරුවන්ට ඒ සඳහා ඉඩ සකසා දිය හැකි ය. එමෙන්ම සියලූ දෙනාට එක්ව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහයෝගය ලබා දිය හැකි ය. අඩුම තරමින් ප‍්‍රධාන පෙළේ නාලිකා කිහිපයක් හෝ එකතුව මේ පිළිබඳව සලකා බලා කටයුතු කරන්නේ නම් මෙතැන් පටන් හෝ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති දුෂ්කරතා වලට විසඳුම් ලැබෙනු ඇත. බොහෝ දෙනෙකු අධ්‍යාපන අමාත්‍යංශය උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ අනෙකුත් අධ්‍යාපන ආයතන වලින් ඉල්ලා සිටින්නේ මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමවේදය වෙනස් කරමින් සැමට අධ්‍යාපනය ලැබිය හැකි ක‍්‍රමවේදයක් නිර්මාණය කර දෙන ලෙසයි.

 එසේ නොමැතිනම් ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට සියල්ලන්ට එක සේ පහසුකම් සැලසිය යුතුව ඇත.

 ‘‘අපි හැමදාම කතා කරනවා නිදහස් අධ්‍යාපනය ගැන නිදහස් සෞඛ්‍යය ගැන. ඒ වුණාට ඒවා නිදහස් වෙලා තියෙන්නෙ එක කොටසකට විතරයි. ගමේ අපිට හැමදාම මුහුණපාන්න වෙලා තියෙන්නෙ දුෂ්කරතාවයන් වලට. ඇත්තටම අපේ ළමයින් කැමතියි නගරයේ පාසල්වල ළමයි වගේ හොඳට ඉගෙන ගන්න. තාක්ෂණයෙන් ප‍්‍රයෝජන ගන්න. ඒත් අද වෙද්දි අපේ ගම්වල ඉස්කෝලවල සමහර වෙලාවට තියෙන පරිගණක වැඩ කරන්නේ නෑ. එහෙම නැත්නම් ඒවා උගන්වන්න ගුරුවරු නෑ. එහෙමත් නැත්නම් අපට සිග්නල් නෑ. මේ වෙලාවේ ළමයිට පන්ති වලට සහභාගි වෙන්න බැරි වුණා කියලා තියෙන විභාග නවත්වන්නේ නෑ. එතකොට අපේ ළමයින්ගේ ජීවිත වෙනුවෙන් කිසිම කෙනෙක් වග කියන්න ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා අපි වගේ දුෂ්කර පළාත්වල මිනිසුන්ගේ දරුවන් දෙසත් අවධානය යොමු කරන්න කියලා. අපි මහපොළොව එක්ක පොරබදලා මේ මහන්සි වෙන්නෙ අපේ පොඩි උන්ට උගන්වන්න.

 රාජාංගනය ප‍්‍රදේශයේ ගොවියකු වන උක්කුබණ්ඩා මහතා රජයෙන් ඉල්ලා සිටියි.

 ‘‘ඇත්තටම මේ වෙනකොට විශ්වවිද්‍යාල වගේම පාසල් ශිෂ්‍යයන්ට තිබෙන ප‍්‍රධාන ගැටලූව තමයි මේ ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමවේදය. ස්මාර්ට් ෆෝන් නැති සිග්නල් නැති එදා වේල හම්බකරන් කන දෙමාපියන්ගේ ළමයින්ට ඔන්ලයින් එන්න විදියක් නෑ. ගම්වල පාසල් වලට ගිහින් අමාරුවෙන් ඉගෙන ගත්තු දක්ෂ ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමය නිසා අසාධාරණයක් වෙනවා. රූපවාහිනී ගුවන්විදුලි නාලිකාවල එක කොටසක් අධ්‍යාපනය ලබා දීමත්. ඒක නිසා මේ කාලෙ රජයේ නාලිකාවක් මඟින් පාසල් විෂයය නිර්දේශය ආවරණය කරන වැඩසටහන් සැලැස්මක් හැදුවා නම් ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමයත් එක්කම හොඳයි කියලා මට හිතෙනවා. ජනතාවට සේවය කරනවා කියලා කෑ ගහන මාධ්‍යවලට ජනතා සේවය කරන්න හොඳ අවස්ථාවක් වගේම මේ රජයේ වගකීමක් ඒක ක‍්‍රියාත්මක කරන්න සැලසුම් කරන එක.

 හැබැයි ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමය නුසුදුසුයි කියලා අපි කියන්නෙ නෑ. connection proble විසඳගෙන ඉස්සරහට අරන් යන්න සැලසුමක් තිබ්බා නම් තමයි ඒ ක‍්‍රමයේ වැදගත්කම තියෙන්නෙ. මොකද අනාගත ලෝකයට මේ තාකණික දැනුම අත්‍යවශ්‍යම නිසා. කැලණිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වන රිෂිත ජනිත් එලෙස පවසයි.

 විද්‍යාර්ථීන්ට පවා මේ මොහොතේ මුහුණ දීමට සිදුව ඇත්තේ දැඩි අපහසුතාවයන්ට ය. සැබවින්ම මේ කාරණා දෙස බලන විට ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රියාවලියේ ක‍්‍රියාත්මක වීම සම්බන්ධයෙන් බොහෝ ගැටලූ සහගත තත්ත්වයන් ඇති බව අවබෝධ වේ. ඇති හැකි පිරිස පමණක් ඵල නෙලා ගනිද්දී තවත් පිරිසක් අත් හැරී යන අධ්‍යාපන ක‍්‍රමවේද වලින් සමාජයට මෙන්ම රටකටද ප‍්‍රයෝජනයක් නැත.

 සාමාන්‍යයෙන් ජංගම දුරකතන ,තාතාක්ෂණික මෙවලම් වයස අවුරුදු 14 ට අඩු දරුවන් සඳහා භාවිතයට නොදීමටද මනෝ වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත.නමුත් මේ වන විට කුඩා දරුවන් පවා ජංගම දුරකථන හා අන්තර්ජාලය භාවිත කිරීමේ ප‍්‍රවණතාවක් දැකගත හැකිය .අධ්‍යාපනය හෝ වෙනත් කාරණාවක් සඳහා මෙලෙස දරුවන් තාක්ෂණික මෙවලම් හා ගනුදෙනු කිරීම තුළින් ඔවුන්ගේ කායික මානසික නිරෝගී භාවයට හානි විය හැකි බවට මනෝ වෛද්‍යවරුන් පවා ප‍්‍රකාශ කරයි .

 එලෙස ම අධ්‍යාපනය යනු පොත පතේ දැනුම පමණක් ලබා දීම නොවේ .පන්ති කාමරය තුළ සාමූහිකව සිදු කර ලබන ක‍්‍රියාකාරකම් තුළින් හා විභාග ක‍්‍රම වේද තුළින් දරුවන් ට සමාජානුයෝජනය සඳහා අවස්ථාව හිමිවේ.ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමය හරහා ආත්මාර්ථකාමී හා දරු පිරිසක් බිහි වන බවට පිරිසක් කරුණු දක්වයි. කෙසේ වෙතත් ලාංකේය අධ්‍යාපන ක‍්‍රමය සියලූ? දෙනාට එක සේ ඵල නෙළා ගත හැකි අයුරින් වෙනස් විය යුතු අතර ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමවේදය එහි එක් කොටසක් පමණක් විය යුතුය. එසේ නොමැති වුවහොත් විට සංවේදී, පරාර්තකාමී සහ විනය ගරුක ශිෂ්‍ය ප‍්‍රජාවක් බිහි කිරීම අතිශය දුෂ්කර ක‍්‍රියාවක් වනු ඇත .

 මේ සියල්ලට ප‍්‍රථමයෙන් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමේ අභියෝගයට අකමැත්තෙන් හෝ මුහුණ දීමට අපට සිදු ව තිබේ .කොරෝනා නිසා ජන ජීවිතය එක තැන නතර වීමට දිය නොහැකිය. ඇතැම් පිරිසක් පහසුකම් නොමැතිව ලත වෙද්දි තවත් පිරිසක් පහසුකම් තිබියදීත් අධ්‍යාපන කටයුතු සඳහා යොමු නොවී ජීවිතය විනාශ කර ගන්නා අවස්ථා ද බොහෝ ය. ඒ නිසා දෙමාපියන් ගුරුවරුන් මෙන්ම ශිෂ්‍යයන් ද වගකීම් සහගත ලෙස ක‍්‍රියා කළ යුතුය. රටක අනාගතය තීරණය කරන ළමා පරපුරට කොරෝනා නිසා අධ්‍යාපන කටයුතු අඩාල කර ගැනීමට ඉඩ නොතැබිය යුතු ය. අප රටෙහි අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශ සහ වගකිව යුතු සියලූම නිලධාරීන් මේ මොහොතේ ඒ සියලූම ශිෂ්‍යයන් වෙනුවෙන් අධ්‍යාපනය ලැබිය හැකි ක‍්‍රමවේදයක් සකස් කිරීම සඳහා පියවර ගත යුතු ය.

advertistmentadvertistment