වසංගතය හා පින

870

සියම් බුරුම කාම්බෝජ ආදී ලොව ථෙරවාදී බෞද්ධ රටවල ව්‍යවහාර කරන්නේ ශාසනික පොහොය යි. ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ ශාසනික පොහොය සීතාවක රාජසිංහ රජකාලය දක්වා පැවති බව ඉතිහාසය දන්නෝ කියති. සීතාවක රාජසිංහ රජතුමා විසින් කරන ලද ශාසන විනාශයෙන් පසු ශාසනික ක‍්‍රම අභාවයට යෑමෙන් ශාසනික පොහොය වෙනුවට තිථි පොහොය ව්‍යවහාරය ඇතිවිය.

සැලැස්මක් ඇතිව, කාලසටහනක් ඇතිව එදිනෙදා කටයුතු කිරීමට ලෝකයෙහි පළමු වරට ඉගැන්වීම කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ ය. පොහොය දින සම්මත වූයේ ද උපාසක උපාසිකාවනට එක් දිනයෙක එක් වේලාවෙක පන්සලට බැමිණ බුදුන් වැඳ බණ අසා යෑමේ පහසුව සඳහාය. වස්සාන සමයෙහි එළැඹෙන පෝය දිනයන් අතුරෙන් බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍යය අතින් ද වැදගත් පෝය දිනයෙකි.

එම නිසාම ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂීය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබුණේ බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප‍්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප‍්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය. මහා ප‍්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි සස්නට ඇතුළු වූයේ බිනර පොහොය දිනයේදීය. ඒ සමඟම උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම විය. තවද අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේද බිනර පුන් පොහෝ දිනමය. කවරක් නමුත් දිනයෙන් පිරිසිදුවන සිල් බුද්ධාගමේ නැත.

දිනයෙන් උසස් වන පින්කම් බුද්ධාගමේ නැත. එහෙයින් පොහොය නොවන දිනයන්හි ද පන්සල් යෑමට, බණ ඇසීමට, සිල් සමාදන් වීමට කිසිදු බාධාවක් නැත. කෙසේ නමුත් මිහිඳු මහ රහතන් වහන්සේ සිංහල බෞද්ධයනට බුද්ධ ධර්මය මෙන්ම බෞද්ධ චාරිත‍්‍ර ද ඉගැන්වූහ. සතර පොහොයට පන්සල් යෑම ද ඉන් එකකි. දුටුගැමුණු රජතුමා ධර්මදානමය පින්කම සම්පූර්ණ කරගැනීම සඳහා පොහෝ දිනයන්හි පන්සලක් පාසා ධර්මදේශනා සංවිධානය කළ බව ඉතිහාසයේ කියවේ. එහෙත් මේ වසංගතය නිසා මෙරට බෞද්ධයන්ට අද දිනයේත් නිවසේ සිට පෙහෙවස් සමාදන් වීමට සිදුවේ. කොරෝනාව නිසා පන්සලට රැස්වී දන් පිං කිරීම සීමා වී ඇත.

දහස් ගණන් රැුස්වී සිදු කළ මහා පිංකම් පැවැත්වීමට කිසිම ඉඩක් නැත. එම නිසා අද පොහොය දිනයේ විශේෂ සීලාදී ගුණයන් ගෙන් පේවී නිවසේම ගත කිරීම වැදගත්ය. රජය සංචරණ සීමා පනවා ඇත්තේ ද ජන රාශිගත වීම් වළක්වා ඇත්තේ ද සමාජයේම යහපත සඳහාය. කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම එහි ඉලක්කය වෙයි. බෞද්ධ දර්ශනය අනුව ගත්ත ද අභියෝගයක් ජය ගැනීම සඳහා ඉවසීම අධිෂ්ඨානය හා කැපවීම අවශ්‍ය වේ. කිසිදු ජයග‍්‍රහණයක් ඉබේ පහළ වන්නේ නැත කොරෝනාව යනු, අප මුහුණ දිය යුතු සටනකි. ඒ සටන ජය ගැනීම සඳහා සාමූහිකව කැපවීම් කළ යුතුය. සුබදායක දෙයක් සඳහා කැපවීම් සිදු කිරීමද පිංකමකි. අපේ ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් සමාජයේ ආරක්ෂාවද තහවුරු වේ. මිනිස් ප‍්‍රජාවට සුබදායක දේවල් සිදුකිරීම පිංකමකි. වසංගතය වළක්වාලීමට කැපවීමද පිනකි.

advertistmentadvertistment
advertistmentadvertistment