වසංගතවලින් රට මුදා ගැනීම

457

කොරෝනා වසංගතය නිසා ලෝකයේ බොහෝ රටවලට දැඩි බලපෑම් එල්ල විය. එම බලපෑම හමුවේ එම රටවල ආර්ථිකය ද කඩා වැටුණි. කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් කොරෝනා මතින් අළු දූවිලි ගසා නැගිටියත් අදටත් අප රට වැටුණු වැටිල්ල ගොඩනැගීමට තවමත් හැකි වී නොමැත.

තත්ත්වය එසේ තිබියදී කොරෝනා උප ප්‍රභේදයක් වන ‘ජේ. එන් 1’ වෛරසය මේ වන විට ලෝකයේ රටවල් 40ක පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබිණි.

ඔමික්‍රෝන් කොරෝනා වෛරස උප ප්‍රභේදයක් වන මෙම වෛරසය සිංගප්පූරුව, ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 40ක පැතිරී යන බව පැවසේ. මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය සෑදුනු දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ අසාදිතයන් 13 දෙනකු ඉකුත් දින 48 ඇතුළත මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම වෛරසය අප රටේ ද පැතිර යන බවට අනුමාන කළ හැකි යයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශල්‍ය වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම තත්ත්වය හමුවේ අප රට තුළ මෙම කොවිඩ් වෛරසය පැතිරයෑමේ අවදානමක් පවතින නිසා යළිත් වරක් මුහුණු ආවරණ පැළඳීම සුදුසු බව මහාචාර්යවරයාගේ අදහසයි.

‘ජේඑන්1’ කොවිඩ් වෛරසය වැළඳුනු විට කැස්ස ඇති වීම, සුවඳ නැති වීම, රස නැති වීම මෙන්ම අධික උණ ඇති වීම මෙහි රෝග ලක්‍ෂණය. එසේම තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකිවීම සහ වමනය ඇති වීම ද මෙම වෛරසයේ ස්වභාවය බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මෙකී රෝග ලක්‍ෂණ ඇතිනම් වහාම රෝහල් ගත වන ලෙසයි.

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කණාමැදිරි එළියටත් බය යැයි කියමනක් තිබේ. එනිසාම කොරෝනා වසංගතයේ අමිහිරි අත්දැකීම් ඇති අප රට ද අවදානමට පෙර සූදානම් වීම වඩා ප්‍රඥාගෝචරය.

අප රටේ වෙනදා තරම් අවුරුදු සරුසාර නැත. එහෙත් යම් ප්‍රමාණයක් නගර ආශ්‍රිතව ජනතාව ගැවසෙනු දැකිය හැකිය. එනිසාම නගරයට එන විට ජනාකීර්ණ ස්ථානවල ගැවසෙන විට මුව ආවරණ පැළඳීම වඩා ප්‍රායෝගික වනු ඇත.

විශේෂයෙන් අවුරුදු 65ට වැඩි සහ ශ්වසනාබාධ ඇති පුද්ගලයන් මෙම වෛරසයට ගොදුරු වී ඇත්නම් වඩා පරිස්සම් වීය යුතු බව වෛද්‍ය අංශ පෙන්වා දෙන අතර එම පුද්ගලයන් රෝහල් ගත කිරීම ප්‍රමාද නොකළ යුතු බව ද වෛද්‍ය අංශ පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ගත යුතු ක්‍රියා මාර්ග ගැන දැනුම්දීමක් කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග දැනුවත් කිරීම අපේක්‍ෂා කළ හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන ගත යුතු ක්‍රියාමාර්ග දැනුවත් කර නැතත් මේ පිළිබඳව අපට රටක් වශයෙන් පූර්ව අත්දැකීම් ඇති නිසා වඩා පරිස්සම් වීම වඩා ප්‍රායෝගික වනු ඇත.


කොරෝනාව තරම් ප්‍රබල තවත් විෂබීජයක් අප රටේ සැරිසරන්නේ කාලයක් තිස්සේ ය. ඒ මත්ද්‍රව්‍ය උවදුරයි. මෙම මත්ද්‍රව්‍ය උවදුර රට පුරා වසංගතයක් දක්වා වර්ධනය කිරීම භාරගෙන ඇත්තේ මෙරට පාතාලයයි. එනිසාම මෙම දෙකම එකට පැරදවීමකින් තොරව මෙයට නිසි විසඳුමක් නොලැබෙනු ඇත. මේ පිළිබඳව යුක්තිය පසඳලීම් සඳහා වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මෙන්ම මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙහෙයුමක් දියත් කර තිබේ. එහි සාර්ථක ප්‍රතිඵල මේ වනවිටත් අත්පත් කරගෙන ඇති අතර පාතාලයන්ගේ කෝටි ගණනක දේපළ මුදල් පිළිබඳව අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. අදාළ මෙහෙයුම සාර්ථක බව පාතාලයෙන් සහතික ලැබෙමින් තිබේ. පාතාලයේ දේපළවලට අත තියන්න එපා යැයි ඇමැති ටිරාන්ට යුක්රේනයේ සිට මරණීය තර්ජන කෝල් එන්නේ එහි ප්‍රතිඵලයක් නිසාය. එහෙත් ඇමැතිවරයා පවසන්නේ කුඩු සහ පාතාලය නැසීම සඳහා ගත් ක්‍රියාමාර්ග කිසිම තර්ජනයක් හමුවේ නොනවත්වන බවයි. එය අගය කළ යුතුය. අප පුංචි දිවයිනෙන් මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය අතුගා දැමුවහොත් ඉන් ඇමැතිවරයාට ලැබෙන ක්‍රෙඩිට් එකටත් වඩා රටට සිදුවන යහපත අතිමහත් ය. එනිසා පාතාලය සහ කුඩු රටින් තුරන් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට අදාළ සියලු අංශවල උපරිම දායකත්වය ලබාදීම රට වෙනුවෙන් මේ මොහොතේ සිදුකළ හැකි ලොකුම වගකීම වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment