වසන්ත කුමාර කොබවක ගීතාවලියේ සමාජ දේශපාලනය

520

‘පමා වී පිපුණු මල් සුවඳයි’ කෘතිය වෙනුවෙන් වසරේ හොඳ ම ගේය පද රචනා සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය මෙවර හිමිකර ගත් ප්‍රවීණ ගීත රචක වසන්ත කුමාර කොබවකගේ ගීත විමර්ශනය කළ ‘ගීත විමංසා’ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය සහ ශාස්ත්‍ර පීඨ සිසුන් විසින් සංවිධානය කරන ලදුව පසුගිය දා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ දී පැවැත්විණි.

වසන්ත කුමාර කොබවක ගීතාවලියේ සමාජ දේශපාලනය

එහි දී ප්‍රවීණ ගීත රචක සුනිල් ආර්. ගමගේ විසින් පවත්වන ලද දේශනය ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

මා ගීත ලියන්නට පටන්ගෙන මේ වනවිට අවුරුදු පනහක් පමණ ගත වී ඇත. එම වසර පනහට ම මා කිසිවකුගේ ගීත විචාරයකට දායක වී නැත. මන්ද ගීතයක ඇතුළාන්තයේ ඇති දෑ එම ගීත රචකයාට හැර වෙනත් කෙනකුට විචාරය කරන්නට බැරිතරම්වන හෙයිනි. එසේ ම, අපේ ගීත විචාරයට ලක්කරන සමහරුන් ඒවා අමු අමුවේ වෙනස් කරමින් ඒවාට වෙනස් ම අර්ථකථන ලබා දී ඇති බව ද මම දැක ඇත්තෙමි. නමුත්, අදින් වසර තිස්පහක හතළිහක පමණ සිට දැන හඳුනාගෙන සිටින වසන්ත කුමාර කොබවක සොහොයුරාගේ ඉල්ලීම අප දෙදෙනා අතර පවත්නා සහෝදර බැම්ම හේතුවෙන් මට ප්‍රතික්ෂේප කළ නොහැකි විය.

එනිසා, මම ඔහුගේ ගීත පිළිබඳව ගැඹුරින් සොයා බලන්නට උත්සුක වීමි. බොහෝවිට අපි ගීත රසවින්දනය කළ ද ඒවායේ ඇතුළාන්තයේ ඇති දේ පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකරමු. එහෙත්, වසන්තගේ ‘පමා වී පිපුණු මල් සුවඳයි. කෘතියට පෙරවදන ලියන්නට මා වෙත පැවරුණු පසුව ඔහුගේ ගීත ගැඹුරින් අධ්‍යයනය කරන්නට මට සිදුවී ය. සැබැවින් ම ඒවා හරි අපූරු පුදුම සහගත ගීත ගොන්නකි.

මෙම ගීතවල ඇති අනුභූතීන් තේරුම් ගන්නට නම් එම ගීත ගැඹුරින් අධ්‍යයනය කළ යුතු ම ය. මන්ද? එම ගීත ඇසූ පමණින් ඒවා පිළිබඳව අපට ප්‍රමිතියක් ලබාදිය නොහැකි හෙයිනි. මෙතරම් අපූරු ගී රචනා කරන මෙම ගීත රචකයාගේ පසුබිම සොයා යන්නට ද මම ඒ නිසා ම කටයුතු කළෙමි. වසන්ත කුමාර කොබවක නම් ගීත රචකයා බිහිවන්නේ බුලත්සිංහල යටිගම්මන නම් ලස්සන ගම්මානයේ සියල්ලන්ගේ සැලකිල්ලට ලක්වූ ගුරුමෑණි කෙනකු සහ වෙද මහත්මයකු මාපියන් ලෙස උරුම කරගත් පසුබිමක ය.

ඒ කාලයේ ද ඔහුගේ පියාගේ කාමරය වෙදපොත්, ශ්ලෝක පොත්, ජන සාහිත්‍ය ආදී විවිධ පොත්වලින් පිරි හොඳ පොත්ගුලකි. කුඩාකල සිට ම විශේෂයෙන් ම ජන සාහිත්‍යය සහ බෞද්ධ සාහිත්‍යය නිරන්තරව ඇස ගැටීම නිසා වසන්තට අමුතුවෙන් ගීත ගැන අධ්‍යයනයක් කරන්නට අවශ්‍ය නොවී ය. ඔහුගේ අද්‍යතන ගීතවල ඇත්තේ ද මුළුමනින් ම ජන සාහිත්‍යය සහ බෞද්ධ සාහිත්‍යය යි. වෙනත් කිසිදු ගීත රචකයකුගේ ගීත තුළ ජන සාහිත්‍යය සහ බෞද්ධ සාහිත්‍යය මෙතරම් ගැබ්ව නැති බව ඉඳුරා ප්‍රකාශ කළ හැකි ය. මා එසේ ස්ථිරව ප්‍රකාශ කරන්නේ පසුගිය මාස කිහිපය තුළ ඔහුගේ ගීත රචනා සියල්ල මා ඉතා හොඳින් අධ්‍යයනය කර ඇති හෙයිනි.

නිර්මාණකරණය සඳහා ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය තිබිය යුතු බව අපි දනිමු. එයින් ව්‍යුත්පත්තිය ඔහුට ලැබුණේ අප පෙර සඳහන් කළ ජන සාහිත්‍යය සහ බෞද්ධ සාහිත්‍යය ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ඇසුරු කිරීම හේතුවෙනි.

ඔහුගේ බොහෝ ගීත රචනා නිමවී තිබෙන්නේ විරිත් ලක්ෂණ මතුකරන සිව්පද කාව්‍ය ඇසුර සහිත ආකෘතියකිනි. එමෙන් ම, ගීතයේ අන්තර්ගතය කිසිදු ගී පද රචකයකුට හමු නොවූ සාම්ප්‍රදායික ලක්ෂණවලින්, සංස්කෘත ශ්ලෝක ඇසුරින්, පද භාවිතයේ ඇති විරල භාෂා ලක්ෂණවලින් නිර්මිතව තිබේ. ඩිංගිරාලලා-සියාතුලාගේ ඇසුර, ඉරුම් පට්ටල්, රූකඩ මඩු යාග පොළවල් මා දන්නා තරමින් වෙනත් කිසිදු ගීත රචකයකුගේ ගීතවල නැත. එවැනි අනුභූතීන් ඔස්සේ ගමන් කරමින් ගීත රචනා කර ඇත්තේ ඔහු පමණ ම ය. මේ නිසා ම ඔහුට සම්මාන ගණනාවක් හිමිවේ. මීට සමවන සම්මාන ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම්, ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පමණි‘ වසන්ත කුමාර කොබවක ඔහුටත් වඩා ඉදිරියෙන් සිටින්නේ දැයි මට විටෙක සිතේ.

‘සුමති’ ටෙලි සම්මාන හතරක්, ‘රයිගම්’ ටෙලි සම්මාන දෙකක්, ‘රාජ්‍ය රූපවාහිනී’ සම්මාන තුනක්, ‘සිංගීස් උත්තමාචාර’ සම්මානයක්, ‘රාජ්‍ය සංගීත’ සම්මානයක් වශයෙන් ටෙලිනාට්‍ය සඳහා පමණක් සම්මාන එකොළහක් ඔහු දිනාගෙන තිබේ.

එසේ ම, චිත්‍රපට ගීත රචනා කිරීම වෙනුවෙන් ‘ජනාධිපති’ සිනමා සම්මාන තුනක්, ‘ස්වරණ සංඛ’ සම්මානයක්, ‘සරසවි’ සම්මානයක් ඇතුළු සම්මාන පහක් ඔහු දිනාගෙන තිබේ.

2004 දී ‘පමා වී ආ වසන්තේ’ නම් ඔහුගේ ප්‍රථම ගීත රචනා සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවන අතර ‘පමා වී පිපුණු මල් සුවඳයි’ ගීත රචනා සංග්‍රහයට පසුගිය දා ‘විද්‍යෝදය’ සාහිත්‍ය සම්මානය හිමිවී ය.

සිංහල සාහිත්‍යයේ ගද්‍ය සහ පද්‍ය යනුවෙන් කොටස් දෙකක් තිබේ. එහෙත්, ගද්‍යයට වඩා බෙහෙවින් ජනප්‍රිය වූයේ පද්‍යය යි. ජනකවි සහිත්‍යයේ එන මෙහෙවර කවිවලට පැල්කවි, ගොයම් කවි, නෙළුම් කවි, කරත්ත කවි, පාරු කවි, පතල් කවි යනාදිය ඇතුළත් වේ. මෙම බොහොමයක් මෙහෙවර කවි ආසන්න ‘දහඅට මත් විරිත’ට ලියැවී තිබේ. එම ජන සාහිත්‍යයේ ඇසුර නිසා වසන්තගේ කවියත්, ගීතයත් දෙක ම බොහෝවිට ‘දහඅටමත් විරිත’ට ආසන්න ‘දහහත්මත් විරිත’ට හෝ ‘දහනවමත් විරිත’ අනුව ලියැවී තිබේ.

‘පෙර කාලේ කරපු අකුසල් පල දීලා’ යන පැල් කවියත්, ‘තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා’ යන ගැල් කවියත් ‘දහඅටමත් විරිත’ට නිදසුන්’ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සංගීතවත් කර ගායනා කරන ‘ඩිංගිරාල නුඹලා වන දෙයියෝ ය’ ගීතය වසන්ත රචනා කරන්නේ මෙම ‘දහඅටමත් විරිත’ට ආසන්න විරිතකිනි.

එහි එන ‘අපේ පුරට අකලට අණවින බෝ ය’ යන යෙදුම මීට පෙර කිසිදු ගීත රචකයකු අතින් නො ලියැවුණු යෙදුමකි. අපට දැන් ලැබෙන ගීත රචනා දෙස බැලූවිට ඉදිරියේ දී එවන් ගීත යළි ලියැවේ යැයි නොසිතන තරම් ය. මන්ද අපට ලැබෙන බොහෝ ගීත රචනා මෙවන් අනුභූතීන් හා මෙවන් විරිත් ලක්ෂණවලින් තොර මෙවන් සාහිත්‍ය හරඹයක් නොමැති ගීත රචනා වීම නිසා ය. අමෙම ගීතයේ අන්තරා කොටස් දෙකෙන් සමාජ යථාර්ථයත්, සමාජ දේශපාලනයත් කතා කරන වසන්ත බොහෝ සේ බණ අසන, බොහෝ සේ බණ කියන රටක මිනිසුන් රැකගන්නට කිසිවකු නොමැති බව පවසයි.

එසේ ම, කරදර කම්කටොලු මැද දිවිගෙවන නාගරිකයන් මෙන් නොව, සරල දිවි පෙවෙතක් ගෙවන ඩිංගිරාල වැනි ගැමියන් අත්විඳින නිදහස පිළිබඳව ද කතා කරන වසන්ත, රට ව්‍යසනයක් කරා යද්දී ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට දේශපාලකයන් නිරන්තරව වාද විවාදවල පැටලී සිටින ආකාරය ‘අකල් විනාසෙට වහිනා මහ වැස්සේ – අපෙ රාලලා හබයක හැම පෑ තිස්සේ’ යනුවෙන් ව්‍යංගාර්ථවත් ලෙස චිත්‍රණය කරන ආකාරය ද විශිෂ්ට ය.

රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ‘සියාතුවේ’ ගීතය නිලධාරිවාදයෙන් බැටකන දිළිඳු ගොවීන්ගේ ඛේදවාචකය හෙළි කරන්නකි. මෙහි ඇති දේශපාලනය මා හඳුන්වන්නේ ‘ආපදා ධනවාදය’ – ෘසි්ිඑැර ක්‍්චසඒකසිප යනුවෙනි. මේ සම්බන්ධයෙන් නයෝමි ක්ලේන් නම් ලේඛිකාව ‘ඔයැ රසිැ දf ෘසි්ිඑැර ක්‍්චසඒකසිප’ නමින් පොතක් ලියා ඇති අතර එහි පිටු එකහමාරක පමණ ලංකාව ගැන ද සඳහන් වේ’ ඇය මේ පොත ලියන්නේ 2006 වසරේ දී ය. 2010, 2015 කාලයේ දී ඇය මේ පොත ලීවේ නම්, එය සම්පූර්ණයෙන් ම ලියන්නට වන්නේ ශ්‍රී ලංකාව ගැන ය.

විවෘත ආර්ථිකයත් සමග කොග්ගලට පැමිණි වෙළෙඳ කලාපය ඇතුළු බහුජාතික සමාගම් නිසා සිදුවූ විනාශය ගීයට නඟන්න වසන්ත තෝරාගන්නේ නැතිවූ දෙයක් සොයන එම ජන ක්‍රීඩාවේ එන නාදරටාව යි.

ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වන්නම් දහඅටක් තිබේ. ඒවා උඩරට වන්නම් ලෙස හැඳින්වුව ද නුවරවැව, කලාවැව සහ පදවිය වැව අයිති ත්‍රිකෝණාකාර බිම්කඩ වන නුවර කලාවියට අයත් වන්නම් විසිඑකක් ද අපට හමුවේ. උඩරට වන්නම්වල ඇතුළත් ගුණාංග ඇති තැන් ඒ වන්නම්වල දී ද අපට හමුවේ. එමෙන් ම, පහතරට සහ සබරගමුවේ සින්දු වන්නම් තිස්පහකට වැඩි ගණනක් අපට හමුවී තිබේ. මෙයින් ‘කිරළා වන්නම’ මගින් පෙර ඍෂිවරයන්ගේ බුද්ධි මහිමය, ශිල්ප මහිමය අපට පැහැදිලි කරයි.

මේ සෑම වන්නමක් ම බොහෝ නූතන ගීතවලට පාදක වී තිබේ. උදාහරණ ලෙස විශාරද නන්දා මාලනී ඇගේ ‘රුක්අත්තන මල මුදුනේ’ ගීතය ‘උකුසා වන්නම’ ඇසුරිනුත්, පණ්ඩිත් අමරදේවයන්ගේ ‘රන්වන් කරල් සැලෙයි’ ගීතය ‘තුරඟා වන්නම’ ඇසුරිනුත් නිර්මාණය කර තිබේ. වසන්තගේ ‘ශිල්ප සොඳින් දැනගන්න ගිහින්’ ගීතයට පාදක වී තිබෙන්නේ ‘කිරළා වන්නමේ’ එන ‘සන්න සිලෝ පෙළ දන්න ලෙසින්’ නම් කවිය යි. ඒ කවියේ සහ ගීත රචනාවේ විරිත මෙන් ම, රෝහණ වීරසිංහයන් ඊට යොදාගෙන ඇති නාදරටාව ද දෙකක් නොව, එකකි.

නොයෙක් අවතාරවලින් පෙනී සිටින දුර්ගා දේවිය හින්දු භක්තිකයන් අතර භද්‍රකාලී නමින් ද ප්‍රචලිත ය. හින්දු භක්තිකයන්ට අනුව දුර්ගා මාතාව රළු ය. සැරපරුෂ ය. එබැවින්, ‘එන්ඩ බලැති හස්තිපුරට භද්‍රකාලි දෙව් එකලා’ වැනි ඇය වෙනුවෙන් ගැයෙන ගායනා ද දෙවියන් විෂයයෙහි ගැයෙන කෝල්මුර කවි මෙන් සෞම්‍ය නැත. රළු ය, සැරපරුෂ ය.

‘රන්තලිය වලව්ව’ ටෙලිනාට්‍යයේ කතා සාරය ග්‍රහණය කරගත් වසන්ත කුමාර කොබවකයන්ගේ මනසට එකවර ම කාන්දුවන්නේ දුර්ගා දේවිය වෙනුවෙන් ගැයෙන මෙම කෝල්මුර කවිය යි. ඔහු එම ටෙලිනාට්‍යයේ තේමාගීතය වන ‘චන්ද්‍රමඬල ලෙස දෑලේ රන්සළඹක නඳ දීලා’ යන්න රචනා කරන්නේ එම කෝල්මුර කවියේ විරිත සහ භාෂා භාවිතය උපයෝගී කරගනිමිනි.

ඉලංදාරි දෙවියන් අධිපතීත්වය දරන්නේ තමන්කඩුව ප්‍රදේශයේ සිටින කුළු මී හරකුන්ට ය. අයියනායක දෙවියන්ගේ සේවකයකු බව කියන ඔහු කිරි කළයක් ලේ කළයක් බවට හරවා සක්‍ර දෙවියන්ගේ සිත දිනාගත් බවත් ජනප්‍රවාදයේ සඳහන් ය.

‘මලේ බඹරු වඩිනා ලෙස ඉලංදාරි දෙවි වඩිති’ යන ඉලංදාරි දේව වර්ණනාවේ භාෂා භාවිතය ඉතාමත් සූක්ෂම ලෙස භාවිත කරමින් විශාරද අමරසිරි පීරිස් සහ ශෂිකා නිසංසලා ගායනා කරන ‘මොනරතැන්න’ ටෙලිනාට්‍යයේ තේමාගීතය වන ‘මලේ බඹරු රඟනා – වනේ ඵල ද සැදුණා’ ගීතය වසන්ත නිර්මාණය කරයි.

වසන්ත කුමාර කොබවකයන්ගේ ‘දූවිල්ලෙන් වත්සණු තවරා’ ගීතය ඔහු බොහෝවිට යොදාගන්නා ජනකවි රීති ආදී සියල්ල පසෙක දමා වෙනස් ම ආරකට ලියූ ගීතයක් ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි. නිරන්තරයෙන් ම විරිත් ලක්ෂණ මතුකරන ඔහුගේ රචනා ශෛලියට වෙනස් ම අයුරකින් එම ගීතය ලියැවී තිබේ. කව්සිළුමිණ, මුවදෙව්දාවත, සසදාවත යන ගී කාව්‍ය ත්‍රිත්වයේ ලක්ෂණ මෙන් ම, සීගිරි ගීයේ ලක්ෂණ ද මෙහි පිළිබිඹු වේ. එසේ ම සංදේශ කාව්‍යවල ඇති ‘දසපද හෑල්ලේ’ සෙවනැල්ලක් ද මේ ගීතයේ ගැබ්ව තිබේ’ ‘සප්ත කන්‍යා’ චිත්‍රපටයට උචිත ම ආර වන නිසඳැස් පද්‍ය ආර මෙම ගීතය සඳහා තෝරා ගැනීම ම ගී පද රචකයකු ලෙස වසන්තගේ විශිෂ්ටත්වය හෙළිකරන අතර එමගින් ඔහු චිත්‍රපටයට උපරිම සාධාරණය ඉටුකර තිබේ. ගීතයේ පළමු පදය වන ‘දුහුවිල්ලෙන් වත්සණු තවරා’ යන්න ම මොනතරම් අපූර්වත්වයක් දනවන්නේ ද? සමස්ත චිත්‍රපට කතාව ම ඔහු ඒ වචන කිහිපයට කැටිකර ඇත.

වසන්තගේ මෙම අරුත්බර ගීතාවලිය ඔහුට තවත් සම්මාන දහයක් ප්‍රදානය කරන්නට වුව ද සෑහෙයි. ඔහුගේ ගීත එකින් එක ගත්විට පර්යේෂණ කෘතියකට වුව ද කරුණු අපට සොයා සපයා දෙයි. එහි දී අපට මෙම ගීතවල ඇති භාෂාමය ලක්ෂණ, විරිත් ලක්ෂණ, රිද්ම ලක්ෂණ, සමාජානුභූතීන් වෙන් වෙන්ව උප මාතෘකා කොට ගතහැකි ය. එවන් අවස්ථාවකින් විපුල ප්‍රයෝජන ගන්නා ලෙස අපේ අනාගත පරපුරට ආරාධනා කරන්නට කැමැත්තෙමි. එසේ ම, මෙවන් මියුරු ගීතාවලියක් ජාතියට තිළිණ කළ ආදරණීය වසන්ත කුමාර කොබවක සොහොයුරාණන්ට තවත් මෙවන් හරවත්, රසවත්, භාෂා ලක්ෂණවලින් පිරිපුන් ගීත වැඩි වැඩියෙන් ලියන්නටත්, එම ගීතවලට සම්මාන ලබන්නටත් වාසනාව ලැබේවා ! යි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.

අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment