වසර දහයකට කලින් සැලසුම් කළ රාජකීය සමුගැනීම!

935

● “ලන්ඩන් පාලම කඩාවැටෙයි” මරණය දැනුම්දෙන රහසිගත කේතය
● චාල්ස් කුමරුගේ “රාජාභිෂේක” දිනය තවමත් ප්‍රකාශයට පත්වී නැත

දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවය සිදු වූ දින උදෑසන සිටම ලෝකයේ බොහෝ මාධ්‍ය ආයතනවල කැමරා යොමුව තිබුණේ එක්සත් රාජධානිය වෙතයි. රැජින අවසන් කාලය ගත කළ ස්කොට්ලන්තයේ බල්මොරාල් මාළිගය අසලත්, ඇයගේ නිල නිවස්නය වූ එංගලන්තයේ බකින්හැම් මාළිගය අසලත් ජනයා එක්රැස් වෙමින් සිටියහ. සැන්දෑවේ බකින්හැම් මාළිගයෙන් ලැබුණු නිවේදනය දුටු බොහෝ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් යම් කැලඹිළි ස්වභාවයකට පත්වූ බව සජීවී රූපවහිනි සේවා ඔස්සේ පැහැදිලිව පෙනෙන්නට තිබුණි. රැජින එදින පස්වරුවේ බල්මොරල්හිදී සාමකාමීව අභාවප්‍රාප්ත වූ බවත් රජු සහ රජ බිසව එදින සවස බලමොරාල්හි රැඳී සිටින අතර පසුදින නැවත ලන්ඩනයට පැමිණෙනු ඇති බවටත් වූ නිවේදනය ප්‍රකාශයට පත්විය. ඊට ප්‍රථම බොහෝ නිවේදකයන් මොහොතක් නිහඬව සිටි බව දැක ගත හැකි විය.

එළිසබෙත් රැජිනගේ දශක හතක දීර්ඝකාලීන පාලන කාලය තුළ ලෝකය උඩු යටි කුරු විය. පැරණි රාජාණ්ඩු සංකල්ප ලෝකය තුළ තවදුරටත් වලංගු නැත. එතෙකදු වුවත් බ්‍රිතාන්‍ය රජ පවුලේ සම්ප්‍රදායන් එලෙසින්ම පවත්වා ගැනීමට රජ පවුලටත් වඩා එරට ව්‍යවස්ථාපිත ආණ්ඩුව කැමතිය. එක්සත් රාජධානිය ලෙස හැඳින්වෙන එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය ස්ථාවරව පවත්වා ගැනීමට බ්‍රිතාන්‍ය රාජ්‍යත්වය නම් සාධකය කෙතරම් වැදගත් දැයි රජය තක්සේරු කොට ඇති බව පැහැදිලිය. ඊට අමතරව බ්‍රිතාන්‍ය කිරීටය යටතේම ස්වාධීන ලෙස පාලනය වන ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය හා කැනඩාව යන ඉංග්‍රීසි ආධිපත්‍ය සහිත රාජ්‍යයන්ගේ පැවැත්ම වෙනුවෙන් ද එය අති මහත් වැදගත්ය. තවද ජැමෙයිකාව, බහමාස්, පැපුවා නිව්ගිනියා, සොලමන් දූපත්, ශාන්ත ලුසියා ආදී තවත් රාජ්‍ය එකොළහකුත් තවමත් තමන්ගේ රාජ්‍ය නායකයා ලෙස සලකන්නේ බ්‍රිතාන්‍ය රජුය. එකී රටවල්වලට අමතරව අතීතයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ආදී රටවල් ගණනාවකින් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස කටයුතු කළේද දෙවැනි එළිසබෙත් රැජිනයි. ලෝකයේ ඒ ඒ කලාප තුළ බලය පතුරුවාගත් මහා බලවතුන් කිහිප දෙනකු සිටියද බ්‍රිතාන්‍ය කිරුළ දරන්නා තවමත් ලොව පුරා බොහෝ පිරිසකගේ සම්භාවනාවට පාත්‍ර වූ චාරිත්‍රානුකූල නායකයෙක් ලෙස වැජඹෙන බව අතිශයෝක්තියක් නොවේ.

එළිසබෙත් රැජින 1952 දී කිරුළ පැළඳුවේ අප රටේ ද අග රැජිනිය ලෙස බව අමතක කළ නොහැක. එතැන් පටන් 1972 දී ජනරජයක් බවට පත්වන තුරුම ඇය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළාය. අවුරුදු 26 ක් වැනි තරුණ අවධියේදී ඇයට කිරුළ හිමිවූයේ ඇයගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ හදිසි මරණය හේතුවෙනි. ඒ වන විට ඇය පිලිප් කුමරු සමග විවාහ වී වැඩි කලක් ගත වී නොතිබිණි. ඇයට අවශ්‍ය වූයේ පියාගේ රාජ්‍යත්වය යටතේ තම සැමියා සමග බොහෝ කලක් සැහැල්ලුවෙන් හා ප්‍රීතියෙන් ගත කිරීමයි. පියාගේ මරණය සිදුවන මොහොතේත් තරුණ එළිසබෙත්, පිලිප් කුමරු සමග කෙන්යාවේ සංචාරයක නිරතව සිටියාය. පිය රජුගේ අභාවය සිදු වූ වහාම ඇය බ්‍රිතාන්‍ය රැජින බවට පත්වී තිබිණ. තමන්ගේ බිරිඳ දැන් මහා රාජිනියක බවට පත්ව සිටින බව දැනගත් පිලිප් කුමරු කනස්සල්ලට පත්ව සිටි බව පැවසේ. පියාගේ අභාවය පිළිබඳ ශෝකජනක පුවත නව රැජිනට දැනුම්දීමට සිදුව තිබුණේ ඔහුටයි. තම බිරිඳගේ හිස මතට කඩා පාත් වූ මහා බරක් සහිත වගකීම හේතුවෙන් තමන්ගේ ප්‍රීතිමත් කාලය නිමා වනු ඇතැයි සිතා ඔහු කනගාටු විය. පිලිප් කුමරු පසු කලෙක තම මිතුරන්ට පවසා තිබුණේ ජෝර්ජ් රජුගේ අභාවය සැල වූ මොහොතේ ලෝකයෙන් භාගයක් තමන්ගේ හිස මත කඩා වැටුණා වැනි හැඟීමක් දැණුනු බවයි. එළිසබෙත් රැජිනගේ සහෝදරිය වූ මාග්‍රට් කුමරියද පසුව පවසා තිබුණේ ඇය තම අක්කා ගැන දුක් වූ බවයි.

එළිසබෙත් රැජින තම රාජ්‍යයේ අභිමානය හා පැවැත්ම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළ බව කිව හැකිය. පුරා වසර හැත්තෑවක් තිස්සේ රාජ්‍යත්වයට උචිත ලෙස ජීවත් වීමම විශාල අභියෝගයකි. කෙතරම් සුඛිත මුදිත ජීවිතයකට හිමිකම් කීවද සම්ප්‍රදායන් විසින් ඇයගේ නිදහස අහුරා තිබුණි. අතීතයේ රජුට අවශ්‍ය පරිදි රාජධානිය පැවතිය යුතු වුවත් පසුකාලීනව එය රාජධානියට අවශ්‍ය පරිදි රජු පැවතිය යුතු ලෙස වෙනස් විය. රැජින නිසා එක්සත් රාජධානියේ පුරවැසියන්ගේ නිදහස අහිමි නොවීය. රාජ්‍යත්වය භාවිතා වූයේ රාජ්‍යයේ පැවැත්ම උදෙසා රැකගත යුතු උත්තරීතර සංකේතය ලෙසයි.

එක්සත් රාජධානියේ ඇත්ත දේශපාලන බලය තිබුණේ අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවට වුවත් ඒ සියල්ල අභිබවා යමින් රැජිනගේ රාජකීය සංකේතය ජනතාව අතර පිළිගැනීමට ලක්ව තිබුණි. ඇය ඒ නිසාම ලෝක පූජිත අතිශය කීර්තිමත් කාන්තාවක් ලෙස ජීවත් වීම සඳහා අවශ්‍ය අංගෝපාංග සකස් කර ගත්තාය. ඩයනා කුමරියගේ මරණයෙන් පසු ඇයට තිබුණු ගෞරවය බොහෝ සෙයින් පහළ ගියද පසුකාලීනව ඇය නැවතත් ජනතාව අතර අතිශය ගෞරවාදරයට පත්විය. ලොව තවත් රාජකීයයන් සිටියද ජනතා පිළිගැනීම අතින් ඇය තරම් ඉහළින්ම වැජඹුණු රාජකීයයෙකු මිහිපිට තවත් නැති බව පිළිගත යුතුය. රැජින වෙනුවෙන් කරන වියදම තවමත් බ්‍රිතාන්‍ය වැසියන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී නැත. අතීත ලෝකයේ පැවති රාජකීය උත්කර්ෂය වර්තමානයේ දැක ගැනීමට හැකිනම් ඒ බ්‍රිතාන්‍ය රජ පවුල තුළින් පමණි. ඒ නිසාම රාජකීයයන් නඩත්තු කිරීමට යන වියදම තවත් අතකින් එරටට ආයෝජනයක් බව පෙනී යයි.

හිරු නොබසින අධිරාජ්‍යය යැයි විරුදාවලිය ලද මුත් විසිවැනි සියවසේ ඇත්ත වශයෙන්ම මහා අධිරාජ්‍යයක් පවත්වා ගත්තේ බටහිර රාජ්‍යයන් නොවේ. බටහිර ජාතීන් සතුව තිබූ එවැනි අධිරාජ්‍ය සියල්ල සියවසේ මැද භාගයටත් කළින් බිඳ වැටුණි. ලෝක යුද්ධ ද්විත්යේදීම සිදුවූ ආක්‍රමණයන් තාවකාලික වූ අතර ඒ නිසා අති විශාල ජනතාවක් මෙන්ම ආක්‍රමණිකයන් ද විනාශයට පත්විය. දෙවැනි ලෝක යුද්ධයේ අවසානයත් සමග බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලිහිල් වන්නට විය. අති විශාල යුද වියදම හේතුවෙන් යටත් විජිත නඩත්තු කිරීමට අසීරු වීමත්, එකී යටත් විජිතයන්හි ජනතාව යුද්ධයේදී බ්‍රිතාන්‍යයට පක්ෂපාතී වීමත් යන කරුණු හේතුවෙන් බොහෝ රාජ්‍යයන්ට නිදහස හිමිවිය. එය එසේ වෙද්දී අනිත් පසින් සෝවියට් දේශය රතු අධිරාජ්‍යයක් දක්වා වර්ධනය විය.

විසිවැනි සියවසේ පැවති කොමියුනිස්ට් අධිරාජ්‍යයේ අවසාන පාලකයා වූ මිහායෙල් ගොර්බචොෆ් මහතා ද පසුගිය සතියේ අභාවප්‍රාප්ත විය. මෙම සතියේ අවසන් සුදු අධිරාජ්‍යයේ පාලිකාවද නික්ම ගියාය. ගොර්බචොෆ් මහතා සෝවියට් දේශය කඩිනම් ලිහිල් කිරීමකට ලක්කිරීමට උත්සාහ කළේය. නමුත් බ්‍රිතාන්‍ය පාලකයන් මේ සියවසේ මුල සිටම තම අධිකාරීවාදී පාලනය ලිහිල් කරමින් සිටි බව පෙනෙන්නට තිබේ. එම නිසා සෝවියට් දේශය මෙන් මහා නායයෑමක් එක්සත් රාජධානියට සිදුවූයේ නැත.

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම කලක් කිරුළ දරා සිටියේ දෙවැනි එළිසබෙත් රැජිනයි. ඊට පෙර ඇයගේ මී මිත්තනිය වූ වික්ටෝරියා රැජින වසර 68ක් කිරුළ දරා සිටියාය. වාර්තාගත ලෝක ඉතිහාසය ගත්තත් ඇයට වඩා කාලයක් රාජ්‍යත්වය හොබවා ඇත්තේ එක් රජකු පමණි. ඒ වසර 72ක් ප්‍රංශය පාලනය කළ දහහතර වැනි ලුවී රජුය. එළිසබෙත් රැජින එසේ වාර්තා පොත් අතරට එක්වෙද්දී ඇයගේ වැඩිමහල් පුත්‍රයා වූ චාල්ස් කුමරුත් බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක්විය. ඒ රාජ්‍යත්වය ලබාගැනීම සඳහා දීර්ඝතම කාලයක් බලා සිටි ඔටුන්න හිමි කුමරා ලෙසයි. තම මවගේ මරණය සිදුවූ මොහොතේම චාල්ස් කුමරු නිල වශයෙන් බ්‍රිතාන්‍ය රජු ලෙස ප්‍රකාශයට පත්විය. මෙතැන් පටන් ඔහු තුන්වැනි චාල්ස් රජු (King Charles III) ලෙස හැඳින්වෙනු ඇත. 1948 දී උපන් චාල්ස් කුමරුගේ සම්පූර්ණ නාමය වන්නේ චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් ය. ඔහුට උවමනා පරිදි මේ ඕනෑම නමක් රජුගේ නාමය ලෙස ලබාගැනීමට හැකියාව තිබුණි. නමුත් ඔහු තෝරාගෙන ඇත්තේ සුපුරුදු චාල්ස් යන නාමයයි. අභාවප්‍රාප්ත වූ තම මව වෙනුවෙන් ශෝක වෙමින් සිටියදී වුවත් තම පාලනයේ පළමු විධිමත් රාජකාරිය ලෙස ඔහු පසුගියදා බ්‍රිතාන්‍ය නව රජු ලෙස වැඩ ආරම්භ කළේය.

රැජිනගේ අභාවයට පෙර සිටම ඊළඟට ඔටුන්න හිමිවන්නේ කාටදැයි සම්ප්‍රදායානුකූලව ප්‍රකාශයට පත්ව තිබුණ ද රාජ්‍යත්වය හිස් වූ විට එය ප්‍රිවි කවුන්සලය (Privy Council) විසින් සම්මත කළ යුතුය. සාමාජිකයන් 718 ක ගෙන් සමන්විත මෙම ප්‍රිවි කවුන්සලයේ බහුතරය වන්නේ පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් ය. තවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, සිවිල් සේවකයන් හා පූජකවරුන් ද ඊට ඇතුළත් වේ. ප්‍රිවි කවුන්සලයේ ප්‍රධාන රාජකාරිය වන්නේ රජුට උපදෙස් දීමයි. අතීතයේ මෙන් රජුට දේශපාලන බලයක් නොමැති වුවත් සම්ප්‍රදායානුකූලව ප්‍රිවි කවුන්සලය තවමත් රජුගේ පුරෝහිත මණ්ඩලය ලෙස කටයුතු කරයි.

චාල්ස් රජුගේ රාජ්‍යත්වය ප්‍රකාශයට පත්කිරීම පසුගියදා ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගාවේ ඔටුනු කාමරයේ සිට රූපවාහිනි සේවා ඔස්සේ සජීවීව ලොව පුරා විකාශය විය. දෙවැනි එලිසබෙත් රැජින සිංහාසනයට පත්වන අවස්ථාවේ රූපවාහිනිය ඔස්සේ එය සජීවීව විකාශය වුවත් එකල බ්‍රිතාන්‍යයේ පවා රූපවාහිනි තිබුණේ ඉතා අතළොස්සකි. ඒ අනුව අප ඇතුළු ලෝකයා මෙවැනි ආකර්ෂණීය උත්සව මාලාවක් සජීවීව නරඹන පළමු අවස්ථාව මෙයයි. ඒ තබා අද ජීවතුන් අතර සිටින බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන්වත් එවැනි උත්සවයක් දැක නොමැත. එළිසබෙත් රැජින සිංහාසනාරූඪ වන විට බ්‍රිතාන්‍යයේ අගමැති වූයේ වින්සන්ට් චර්චිල් මහතාය. ඇයගේ අනුප්‍රාප්තිකයා සිංහාසනාරූඪ වෙද්දී එරට අගමැතිනිය වන්නේ චර්චිල්ට වඩා අවුරුදු සියයකින් බාල ලිස් ට්‍රස් මැතිනියයි.

එළිසබෙත් රැජිනගේ ආරම්භය අහම්බයක් වුවද ඇයගේ අවසානය බ්‍රිතාන්‍යයට අහම්බයක් නොවේ. රජ පවුල මෙන්ම ලන්ඩනයේ ආණ්ඩුවද ජනතාවද ඊට පූර්වගාමීව සූදානම් වී සිටියහ. රැජිනගේ අභාවයෙන් පසු සිදුවන ක්‍රියාවලිය “Operation London Bridge” ලෙස මීට දශකයට පමණ පෙර සැලසුම් කර ඇති බව පැවසේ. ඇයගේ මරණාසන්න මොහොතේ සිටම මෙකී සැලැසුම ක්‍රියාත්මකය. රාජකීය පවුලේ සාමාජිකයන් පැමිණ රැජිනගේ දෑත් සිප ආචාර පැවැත්වීමෙන් පසු ඇයගේ මරණය ලොවට දැනුම් දෙනු ලබයි. රජ පවුලේ ඔටුන්න හිමි අනුප්‍රාප්තිකයා රැජිනගේ දේහය සහිත කාමරයෙන් පිටවූ වහාම ඊළඟ පියවර ඇරඹේ. රජකුගේ මරණය මුලින්ම අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන්නේ කලින් සකස් කරන ලද රහසිගත කේතයක් මගිනි. දෙවැනි එළිසබෙත් රැජිනියට අදාළ එකී කේතය වන්නේ “London Bridge is fallen down” (ලන්ඩන් පාලම කඩා වැටෙයි.) යන වචන කිහිපයයි. 1952 දී හයවැනි ජෝර්ජ් රජුගේ මරණය එවකට අග්‍රාමාත්‍යවරයා වූ වින්ස්ටන්ට් චර්චිල් මහතාට දැනුම් දී ඇත්තේ “Hyde Park Corner” නම් වූ කේතය යොදා ගනිමිනි. මේ ආකාරයේ කුතුහලය දනවන ක්‍රියාකාරකම් ගණනාවකින් ඉදිරි දින කිහිපය විචිත්‍රවත් වනු ඇත.

රැජිනගේ අභාවයෙන් පසු එක්සත් රාජධානියේ පැවැත්ම පිළිබඳව ව්‍යාකූලතා ඇති විය හැකි බව දැනටමත් පෙනෙන්නට තිබේ. ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය තවදුරටත් එක්සත් ජනපදය සමග එක්ව සිටීම ඒ ජනතාව විසින්ම තීරණය කරනු ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට හෝ ආණ්ඩුවට ඒ තත්ත්වයන් කළමනාකරණය කිරීමට ලැබෙන අවස්ථාවට වඩා තුන්වැනි චාල්ස් රජුගේ රාජකීය පෞරුෂය මත එහි ඉදිරි පැවැත්ම තීරණය කරනු ඇත. චාල්ස් කුමරා තම මවට වඩා විවෘත මනසක් සහිත පුද්ගලයකු බව පැවසේ. සියලු බර දරාගෙන බ්‍රිතාන්‍ය කිරීටය කටු ඔටුන්නක් කර ගැනීමට වඩා ඔහු සැහැල්ලු විවෘත මනසකින් රාජ්‍යය පිළිබඳව තීරණ ගනු ඇති බව මධ්‍යස්ථ විචාරකයන්ගේ මතයයි.

චාල්ස් කුමරු රජු බවට පත්වීම සිදුවූයේ රැජින මියගිය මොහොතේ වුවත් පැරණි සම්ප්‍රදාය අනුව රජු පත් වූ බවට වූ නිවේදනය ප්‍රකාශයට පත්කිරීම චාරිත්‍රයකි. රජකුගේ අභාවයෙන් පැය 24ක් ඉක්මවීමට මත්තෙන් ප්‍රිවි කවුන්සලය ශාන්ත ජේම්ස් මාලිගයට කැඳවීම සම්ප්‍රදායයකි. 1837 දී වික්ටෝරියා රැජින සිංහාසනයට පත්වන තෙක් ශාන්ත ජේම්ස් මාළිගය බ්‍රිතාන්‍ය රජවරුන්ගේ වාසස්ථානය බවට පත්වී තිබුණි. ඉන් පසුව බකින්හැම් මාලිගය රජුගේ වාසස්ථානය බවට පත්විය.

නව රජුගේ පත්වීම ප්‍රකාශයට පත්කිරීමට පෙර මාලිගාවේ අශ්වාරෝහක හමුදාවේ රාජකීය ට්‍රම්පට් වාදක කණ්ඩායම රතු ගඩොල් සහිත බැල්කනියට පැමිණියහ. රජුගේ අවි හමුදාවේ ප්‍රධානියා (Senior King of Arms) විසින් ඉන්පසුව මහ ජනතාව ඉදිරියේ නව රාජ්‍යත්වය නිවේදනය කරන ලදී.

අවි හමුදා ප්‍රධානියා යනු මහා බ්‍රිතාන්‍යයේ හමුදා ප්‍රධානියා නොවේ. එය ගරු කටයුතු සම්ප්‍රදායික තනතුරකි. Garter යනුවෙන් ද හැඳින්වෙන මෙම නිලය චාරිත්‍රානුකූල තනතුරක් වුවත් එය එක්සත් රාජධානියට අයත් යම් කලාප තුළ අධිකරණ බලයක් සහිත අධිකාරියකි.

නව රජුගේ පත්වීම පිළිබඳ නිවේදනය ලන්ඩනයේදී පමණක් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නැත. එය ස්කොට්ලන්තයේ අගනුවර වූ එඩිම්බරෝහිදීත් වේල්සයේ අගනුවර වූ කාඩිෆ්හිදීත් උතුරු අයර්ලන්තයේ අගනුවර වූ බෙල්ෆාස්හිදීත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රජුගේ පත්වීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව “God Save the King” යනුවෙන් එක්ව හඬ නැඟීය. නව රාජ්‍යත්වය අනුව බ්‍රිතාන්‍ය ජාතික ගීය, මුදල් කාසි මෙන්ම නිල ලාංඡන පවා වෙනස් වීමට නියමිතය. එසේම නව රජුගේ පත්වීම සමරමින් දින කිහිපයක් රට පුරා සැමරුම් පැවත්වීමට නියමිතය. තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය පැවැත්වෙන්නේ එළිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍යයෙන් පසුව වන අතර මෙතෙක් එම දිනය ප්‍රකාශයට පත් වී නැත.

මහ රැජිනගේ අභාවය සිදු වූ මොහොතේ පටන් අප මෙතෙක් අත් නොදුටු රාජකීය සම්ප්‍රදායන් ලෝකය ඉදිරියේ විවර වීමට පටන් ගෙන තිබේ. පැරණි සම්ප්‍රදායික ලෝකය උත්කර්ෂයෙන් අත්විඳීමට තවත් අවස්ථාවක් ඇත්නම් ඒ රෝමයේ වතිකානයේදී පමණි. පාප් වහන්සේගේ අභාවයෙන් පසුව නව පාප් වරයකු පත්කරගන්නා තෙක් සිදුවන ක්‍රියාවලියද සිත් ඇදගන්නා සුලුය. රැජින මියගිය පුවත බකින්හැම් මාළිගයේ දොරටුවේ සවි කිරීමේ සිට චාල්ස් කුමරුගේ රාජාභිෂේකය දක්වා මේ අතීත සම්ප්‍රදායනුකූල ලෝකය අප ඉදිරියේ ප්‍රතිනිර්මාණය වනු ඇත. රාජකීය අවමංගල්‍යය සැප්තැම්බර් 19 දින ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ලොව පුරා රාජ්‍ය නායකයන් ගණනාවක් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි වීමට නියමිතය. අධිරාජ්‍යවාදී විරෝධතාකල්ප අමතක කර මැදහත්ව බැලූ විට තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය මේ සියවසේ අප දකින වඩාත් චමත්කාරජනක උත්සවය වනු ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය ලෝක ඉතිහාසය අප ඉදිරියේ ප්‍රතිනිර්මාණය වන අපූරු කාලයක් වනු ඇති බව කිව හැකිය.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment